Friday, October 16, 2015

ඇමරිකාව, චීනය, රුසියාව සහ යුරෝපය අඟහරු තරණය අතහැර දමයි ද?

අඟහරු මත බුදු පිළිමයක හැඩය සහිත කළුගල් තලාවක් සොයාගැනීමත් සමගම අඟහරු තරණය කිරීමේ සැලසුම් අතහැර දමන්නට ඇමරිකාව, චීනය,  රුසියාව සහ යුරෝපය තීරණය කර තිබේ. මීට හේතුව තම වැඩසටහන් කෙතරම් වේගවත් කළත් අඟහරු තරණය කල මුල්ම ජාතිය වීමට නොහැකි බව මෙම  නව  සොයාගැනීමත්  සමගම ඔවුන් විශ්වාස  කරන බැවිනි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන නාසා ආයතනය පවසා සිටියේ සාමාන්‍යයෙන් මීට පෙර මෙවැනි සිදුවීම් පිලිබඳ ඉතිහාසය සලකා බලන විට ඉදිරි දශකයේ අඟහරු මතුපිට විශාල මිනිස් ක්‍රියාකාරකමක් සිදුවීමට ඉඩ ඇති බවයි. එය තම  වැඩ  පිළිවෙල  මෙන්  සිය  දහස්  ගුණයක්  විශාල වීමට  ඉඩ  ඇති  බව  ද ඔවුහු  පවසති.


යුරෝපා අභ්‍යවකාශ වැඩ සටහනේ නම හෙළි නොකළ විද්වතෙකු අඟහරු ගවේෂණයේ පළමු පියවර දකුණු ආසියානු රටක් අතින් සිදුවන බවට අනාවැකියක් පල කර තිබේ. 

කෙසේ වෙතත් එම රට ශ්‍රී ලංකාව බව රොස් කොස්මොස් රුසියානු අභ්‍යවකාශ ආයතනය හෙළි කර සිටියි. "ඔබ අසා තියෙනවද නිකවැරටිය ගැන? හරි එච්චර අතීතය අමතක නම් දොළු කන්ද වුනත් ගන්න ඇහැකි. ඒ දෙවෙනි සිද්ධිය නම් බුදු පිළිමයක්ම නොවේ රන් කොතක්. එහෙත් අපේ දත්ත අනුව වැඩිම ශක්‍යතාවයක් තියෙන්නේ බුදු පිලිමෙකට"

මේ අතර ෂින්හුවා ප්‍රකාශකයෙකු පවසා සිටියේ අඟහරු වැඩසටහන නවතා හදිසියේම අභ්‍යවකාශ තරණය කල හැකි බස් වර්ගයක් හදන්නට චීනය කටයුතු කරන බවයි. "ශ්‍රී ලාංකිකයන් යන්නේ බස් අරගෙන පෝලිමේ. අශෝක්  ලේලන්ඩ්  හෝ  ටාටා  ආයතන  දෙකට  කළින්  මේක  අපි  කරන්න  ඕනේ. අපිට අඩුම ගානේ මේ වර්ගයේ බස් දාහක්වත් විකුණගන්න පුළුවන්". මීට අමතරව අඟහරු මත විකිණීමට එම බුදුරුවේ අනුරූ නිපදවීමට වඩාත් පැහැදිලි චායාරූප ලබාගැනීම අවශ්‍යතාවය ද මතුවී ඇත.

මේ අතර අඟහරු වෙත අඩු වියදම් නිරීක්ෂණ යානයක් යැවු ඉන්දියාව තරගය අතහැර දමා නොමැත. "අපිට පුළුවන් ලංකාව පරදන්න. අපි මේ දිනවල අඟහරු මතුපිට සම්පූර්ණ ස්කෑන් එකක් කරගෙන යනවා. රාමා සීතා වෙන්න ඕනේ නැහැ. හනුමන් ශේප් ගලක් තිබ්බනම් අපිට ලංකාව පරදන්න පුළුවන්"

1 comment:

  1. රාමා සීතා වෙන්න ඕනේ නැහැ. හනුමන් ශේප් ගලක් තිබ්බනම් අපිට ලංකාව පරදන්න පුළුවන්" ඒවා හදේ... අපේ ඇත්තෝ ඊට වඩා උගත් බුද්දිමත්. අපි කියනෝ ඒ නලපාන ජාතකේ කියල

    ReplyDelete