Friday, July 18, 2014

ඊශ්‍රායලය හා පලස්තීනය

ගාසා තීරයේ සිදුවන දේවල් ගැන යමක් ලියන්නට සිතුවත් ඒ සිදුවීමෙහි සංකීර්ණභාවය නිසා හරියට කාරනාවක් ගලපන්නට බැරිය. ඔය අර්බුදයේ මගේ ස්ථාවරය ඔය පෙදෙස් දෙක වෙන් කරන වැටේ හරි මැද ලක්ෂ්‍ය මතයි. දෙපාර්ශ්වයම දෙපාර්ශ්වය කෙරෙහි එල්ල කරන අසාධාරනයන්ගෙන් පෙලීමෙන් ඔබ්බට මට යමක් නොපෙනේ.

කනගාටුදායක තත්වය නම් මේ දෙපිරිසම කරන්නේ අනිකා කරන දේ නිසා දක්වන ප්‍රතිචාරයක් හෙවත් රියක්ටිව් වැඩක් වීමයි. එනම් අනිකාට මුහුණ දීම සඳහා කිසිම විචාරයකින් තොරව ගන්නා පියවරයන් විනා තමන් ගැන සිතාවත් ගන්න අනාගතවාදී සැලසුමක් දෙන්නටම නැත. දෙන්නටම අවශ්‍ය අනිකා රිදවීමටයි. එහි නියත ප්‍රතිපලයක් ලෙස තමන්ට ලැබෙන රිටර්න් එක ගැන සිතන්නේ නැත.

මේ තරම් ඇරියස් එක මත ජීවත් වෙන මෝඩ අර්බුදයක් තවත් නම් මා දන්නේ නැත. මේ දෙරටටම ලෝකයෙන් ලැබෙන්නේ සහයකි. බටහිර ඇතුළු පළමු ලෝකය ඊශ්‍රායලයට සහය දෙද්දී අරාබි සහය පලස්තීන කල්ලි වලට ලැබේ. මේ එකම පිරිසක්වත් මේ කට්ටිය කොටවා වාසි ගන්නා බවක් නොපෙනේ. ලංකාව වැනි රටවල අර්බුද වලට බලපෑ ආයුධ වෙළෙන්දන්ගේ කුමන්ත්‍රණ මේ කලාපය තුල ඇති බවට අද වෙනතුරු දැනගන්න ලැබී නැත. මේ දෙගොල්ලම තමන්ට නොමිලේ ලැබෙන හෝ තමා විසින් හදා ගන්න ආයුධ වලින් සටන් කරන පිරිසකි.

එත් මේ කිටි කිටියේ තද වුන කලාපය තුල මේ දෙන්නටම සැලසුමක් නොමැත. ඇති එකම සැලසුම අනිකාගේ වැඩිම ගණනක් මරා සතුටු වීමයි. අඩුම ගානේ එහෙම කිරීමෙන් තමා ගේ එවුන්ට වෙන අතවරය ඉවර වන්නේ ද නැත. එත් මේ මරා ගැනීම එපා වන්නේ ද නැත.

මේක හරියට දීර්ඝ කාලින වෛරයෙන් පොර කන බල්ලන් දෙදෙනෙකුගේ ක්‍රියාවක් වැනිය. බල්ලන් දෙදෙනා ට අසල්වැසි වසම් දෙකක් තිබ්බද උහු දුටු තැන සපා කති. සපා කන්නේ අනිකා සපා කෑමට පෙර වෙන කරන්න දෙයක් නැති නිසාවෙනි. සපා කෑමෙන් ලැබෙන යමක් නැත. ඉතිරි වන්නේ තුවාල පමණි.

ඒ නිසා ඉතිහාසය ලිහාගෙන අර්බුදය ගැන හාර බලන්නේ නැත. ඉතිහාසය හාරා බැලුවද තරාදියේ දෙපැත්ත සමාන වන සේ සාධක මට පෙනේ. අතවරයන් ගත්ත ද [ඊශ්‍රායලයේ ප්‍රහාර වල බලපෑම වැඩි නමුත්] දෙපාර්ශ්වයම එක සේ විඳවනවා විනා මේ යන සටනෙහි අවසානයක් පෙනෙන්නේ නැත. ඊශ්‍රායල යුධ බලය ගැන අධි තක්සේරුවක නැතිනම් අද ඊශ්‍රායලය තනන අයෝමය පියස්ස හෙට පලස්තීනුවන් විදින බව තේරුම යනු ඇත.

කතාවේ යටින් යන මෝඩ ආගමිකත්වය පමණක් විත්තිකරු ලෙස සලකා ජුදා ආගම හා මුස්ලිම් ආගම එකවර එල්ලා මරා දමමි.

පසු සටහන: "අනේ යන්න මෙයා ආගම මාර පවිත්‍ර යි. ඔය ඕකුන් ගහ ගන්නේ අපේ අහවල් පොත හරියට කියවලා නැතිව" ආදී ලෙස මනෝරාජික ආගමක පුද්ගලික අහින්සකත්වයක් පෙන්නා දීමට ඉදිරිපත් වන අය සිටිති. අහන්නත් කලින්ම කියන්නේ මා මෙහි ආගම කියන්නේ මිනිස් සමූහ ඇදහිලි මත මෙහෙයවී කරන සාමාජිය ක්‍රියාකාරකම ගැන විනා ටෙක්ස්ට් බුක් එකක් ගැන නොවන බවයි.