Thursday, March 22, 2018

වර්ගවාදී කෝලාහල වල පසුබිම

මේක ගෙවීගිය  සති  කීපයේ (2018 මහනුවර  සිංහල  මුස්ලිම් ගැටුමේ) පසුබිම ගැන කෙටි සටහනක්. ෆේස්බුක්  එකෙ ලිව්වට බ්ලොග්  කලේ  ටිකකට  පස්සේ,  ඊට  එක  හේතුවක්  තමා  තත්වය  කොහෙට  හැරේද  කියා ඒ දවස්වල ෂුවර්  නැතිවීම.

ඇයි  මෙහෙම  වෙන්නේ?

1. වීදි ප්‍රචණ්ඩත්වය:

මම දකින ලෙස මූලික ගැටලුව මේක. වර්ගවාදී ගැටුම් කියල කිව්වට වර්ගවාදය ගැටුම් දක්වා යන්නේ වීදි ප්‍රචණ්ඩත්වය නිසා. රෝගය වීදි ප්‍රචණ්ඩත්වය, වර්ගවාදී ගැටුම් එහි සිම්ටම් එකක්, පොකට් ගහපු ගෙවල් කඩපු උන් අල්ලලා මැරෙනකම් ගහල පොලිසියට බාරදෙන තැන පවතින ප්‍රචණ්ඩත්වයේ අවුල ම තමා අනෙක් තැන්වලටත් යන්නේ. පොලිසිය සහ නීති පද්ධතිය ඒ ගැන තදින් ක්‍රියා නොකලා ම පස්සේ එය වර්ගවාදී ගැටුම් වලදීත් යොදා ගන්නවා.

මම හිතන්නේ ලංකාවේ පාරේ ඇවිදින බොහෝ මිනිස්සු සත්‍ය හෝ මවාගත් හේතුවක් මත ඒ පාරේම ඉන්න තව එකෙකුට ගහල මරන්න පුළුවන් හැකියාව තියෙන මිනිස්සු. මිනිස්සු එහෙම හිතන අය වෙන්නේ ඇයි කියල හිතුවොත් මේ ගැටලුවට මුල පෙනෙයි. මිනිස්සු නීති පොලිසි ගැන විස්වාස කරන්නේ නෑ, ප්‍රාථමික මට්ටමේ වෛරී හැගීම් නඩත්තු කරනවා. වීදි ප්‍රචණ්ඩත්වයේ මුල තියෙන්නේ එතන. 58, 83 ඇතුළු ලංකාවේ බොහෝ වර්ගවාදී ගැටුම් වලට ප්‍රධානම හේතුව වීදි ප්‍රචන්ඩත්වය

2. නූගත්කම/නොදැනුම/වැරදි දැනුම:

කිසිත් නොදන්නා කෙනෙකුට වඩා දෙයක් හරියට නොදන්නා කෙනෙක් භයානකයි. ලංකාවේ පවතින මූලික ගැටලුව දැනුම ගැන හරි කියවීමක් නැති කම. ඒ මතට අන්තර්ජාලය වගේ සීමා විරහිත මාධ්‍යයක් පතිත වුණාම මිනිස්සු මොන මොනවා කොහොම අවබෝධ කරගන්නවාද කියන එක හිතාගන්න බෑ. අනික දැන් පුවත්පත් වගේ මාධ්‍ය උනත් හෙවිල්ලක් නැතුව ගන්නේ ඒ අන්තර්ජාලෙන්. මෙන්න මෙහෙම වැරදි දැනුම එකතුවන්න හා සංසරණය කරන්න ලැබෙන අවකාශය සහ එය වටහා ගන්න තරම් අවබෝධ ශක්තිය අහිමි වීම තමා දෙවෙනි ප්‍රධාන හේතුව.

ලංකාව පාරම් බානවා අපි ඉහල සාක්ෂරතාවයක් සහිත රටක් කියල. හැබැයි ඒ ඉහල සාක්ෂරතාවය එන්නේ මිනිස්සු සබුද්ධික වෙලා ඉගෙනීම ලබාගෙන නෙවි. සුද්ද සහ දේශීය විද්වත් සමාජය හදල පස්සේ රජයෙන් පූර්ණ ලෙස නොමිලේ ලබාදුන් විශාල අධ්‍යාපන පද්ධතියක් තියෙන නිසා. මිනිස්සු ඒ අධ්‍යාපන පද්ධතිය දෙන සාක්ෂරතාවය දරන්න තරම් බුද්ධියෙන් මෝරා නෑ. බුද්ධිය මෝරා නැති සමාජයක සාක්ෂරතාවය ඉහල යාම එක අතකට අනතුරුදායක තත්වයක්. ඒ සමාජයට අන්තර්ජාල පහසුකමත් ආවාම ...

කෙසේ නමුත් මෙයට විසඳුම දැනුම හෝ දැනුම් මාධ්‍ය සීමා කිරීම නොවේ. එහෙම සීමා කිරීමක මුලින්ම සීමා වන්නේ නිවැරදි දැනුම මිස වැරදි දැනුම නොවේ. මෙයට විසඳුම ජනයාගේ කොමන් සෙන්ස් වැඩි දියුණු කිරීම පමණයි. ඒ සඳහා පදනම වෙන්න ඕනේ පවතින ආගමික වාර්ගික සංස්කෘතික පද්ධති. ඒ පද්ධති වලට ටීවී එකෙන් හූ කියල මිනිස්සු දැනුවත් කරන්න බෑ. ජනයා දැනුවත් කරන්න තාමත් තියෙන හොඳම මාධ්‍යය පන්සල් පල්ලි කෝවිල් තමා.

3.වර්ගවාදය:

ඔව් වර්ගවාදය තුනට දැම්මේ හිතා මතාම. මොකද පෙර කී කරනු දෙක වර්ගවාදයට වඩා වත්මන් අර්බුදයට හේතු වෙනවා. වර්ගවාදය රෝපණය වන්නේ ඒ හේතු දෙක විසින් ලේ හැලීම් සහ ගැටුම් වලට සමාජය දක්වන ප්‍රතිශක්තිය හීන කල පසුබිමක. මේ පසුබිමේ වර්ගවාදී වෙන්න එපා කිව්වට වැඩක් නෑ.

වර්ගවාදය කියන එක මම දකින්නේ රියක්ෂන් එකක් ලෙස. හැබැයි වර්ගවාදී කණ්ඩායම් රාශියක් ඉන්න නිසා එකිනෙකා ගේ ක්‍රියා, කල බවට සැක හිතන ක්‍රියා සහ නූගත් කම එක්ක මේ වර්ගවාද රියක්ෂන් එක අන්‍යොන්‍ය ලෙස වර්ධනය වෙනවා.

හැබැයි ලෝකේ බොහෝ තැන්වල වර්ගවාදී අදහස් හිත්වල කඩදාසි වල මිය ගියාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. වීදි ප්‍රචන්ඩත්වය ඒ වර්ගවාදී අදහස් වලට සරු බිමක් සපයනවා

උයාල වර්ගවාදී වෙන්න එපා ෆෙන්ස් කියල ලියල වැඩක් නෑ. වර්ගවාදී ක්‍රියාවලට බලපාන පසුබිම් සිද්ධි බාහිරයෙන් එන අන්තවාද , විවිධ දේශපාලන කල්ලි සහ විවිධ විකාර නීති පද්ධති ඉවත් වෙන්න ඕනේ සක්‍රිය සෙකුලර් තනි නීතියක් ලබාදෙන සුරක්ෂිතබව වර්ගවාද යටපත් වෙන්න හේතුවෙයි.

ඒ මිසක වර්ගවාදීන්ට කුණුහරුපෙන් බැන්න කියල උන්ගේ වර්ගවාදී සිත් නිවී පහන් වෙන්නේ නෑ.

4. පාර්ශ්වික මානවවාදය:

කට්ටියකට අනුව සුළු ජාතින් තොත්ත බබ්බු. තව කට්ටියකට අනුව සුළු ජාතීන්ට ප්‍රචණ්ඩව හැසිරෙන්න පරම අයිතියක් තියෙනවා. මේ මතවාද කියන්නේ බොහෝ දැන උගත් තමන් මානව ප්‍රේමින් ලෙස හඳුන්වන පිරිස්. එහෙත් මේ පිරිස් වක්‍රව කරන්නේ ඇවිලෙන ගින්නට පෙට්‍රල් දැමීමක්. මෙයාල ප්‍රධාන ප්‍රවාහය ග්‍රහනය කරගන්නේ නෑ. මෙයාල මහජාතිය තියා සුළු ජාතියටවත් ආමන්ත්‍රණය කරන්නේ නෑ. මෙයාල කරන්නේ උන් තවත් අවුලන එක. ප්‍රකෝප කරන එක.

මේ සෝ කෝල්ඩ් මානවවාදීන් කියන ආකාරයෙන් ම ඔවුන් කරන්නේ සිය කේන්තිය පිටට දැමීමක්. ඒ උදෙසා පාර්ශ්වීය ලෙස ප්‍රකෝපකාරී කතාවක් ලියනවා. උන්ගේ කේන්ති සහගත කතා ප්‍රශ්නය තවත් අවුලනවා.

අනික ඔවුන් මෙසේ කරන්නේ ගැටුම සමතයට පත්කරන අරමුණින් නොවේ. තම කේන්තිය පෙන්වීම, තමන් ලොකු මානවාවාදියෙක් කියා පෙන්වීම, තමන්ගේ පොරභාවය ප්‍රදර්ශනය කිරීම සහ දේශපාලන ඇරියස් ඇල්ලීම තමයි අරමුණු වන්නේ. මේම අර්බුදයේ භයානකම සහ දුෂ්ටම පාර්ශ්වය මොවුන්.

5. වාරණය:
සමාජ මාධ්‍ය  වාරණය කරලා රටේ කෝලාහල නැති කරන්න බෑ. මාධ්‍ය නොවන තනි පුද්ගලික සන්නිවේදන ක්‍රම සක්‍රීයයි. අවශ්‍ය නම් එස් එම් එස් වගේ ක්‍රම වලින් ඊමේල් වලින් සංවිධානය වෙන්න පුළුවන්. ඒ ඔක්කොම නැති අවස්තාව සියල්ලට වඩා භයානකයි මොකද එතන සක්‍රිය වන්නේ කටකතා පමණයි.

එපමණක් නොවේ. වාරණය සමග කෝලාහල වලට පෙළඹෙන අයට හැගීමක් දෙනවා තත්වය මීට බරපතලයි ඒ නිසා තමා වහන්නේ කියල. ඒ නිසා වහල දැම්මම උන් තවත් වැඩියෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා, කල යුත්තේ පුවත් වේගවත්ව ජනයාට ලබාදීම. ඒ සඳහා මාධ්‍ය දැනුවත් කිරීම.

6. මිත්‍යා:

මේ සමග කතිකාවට ගන්නවා මම දැක්ක මිත්‍යා වාරණය කල යුතුයි කියල. මිත්‍යා කියන්නේ මොනවාද? මිත්‍යා තීන්දු කරන පද්ධතිය කුමක්ද? මිත්‍යා තීන්දු කරන්නේ ආණ්ඩුවෙන්ද? ආණ්ඩුවේ මතය නොවන සියල්ල මිත්‍යා කියල කිව්වොත් මොකද කියන්නේ? මේ වගේ නිසි අර්ථ දැක්වීමක් දෙන්න බැරි දේවල් වලට 
වාරණ ලයිසන්  ලබාදීම හරියට හිස් කොලේක අත්සන දාල දෙනවා වගේ වැඩක්.

මිත්‍යාවට එරෙහිව කියල ලංකාවේ කරන්නේ මිනිස්සුන්ට මැද ඇඟිල්ල පෙන්නලා රෙද්ද ඉස්සීම තමා. එව්වා නිසා වෙන්නේ මිනිස්සු තවත් විකර්ෂණය වීම පමණයි. අර යතා රූප කියල කොමිටලයක් ගියේ මං පොර සමාජ විරෝධීන්ට මිනිසුන්ට සරම උස්සන්න ග්‍රවුන්ඩ් එකක් හදාපු. ඔව්වයෙන් වෙන්නේ මිත්‍යාව පැතිරීම නැවතීම නෙවි මිත්‍යාවට ගොදුරු වෙච්ච එකා ප්‍රකෝප වීම.

Tuesday, March 20, 2018

ගැටී කතා [සාපරාධි ජූරි තීන්දුවක් ගැන මෙතෙක් හෙළි නොවූ අභිරහසක් සමග]

මේ සීන්ස් එක වෙද්දී මට වයස දහයක් දොළහක් වගේ. ඒ කාලේ මම නර්ඩ්වරයෙක් ලෙස අධ්‍යාපනය ගැනම කාලය යොදමින් ලොකු ඉස්කූල්ස් එකකට යන්න සිස්සත්තේ කොරගෙන යන කාලේ [මේක ලොකු ඉස්කූල්ස් ගැන නෙවි, ඒ වුනාට නෙවිත් නෙවි]

පොතේම ඇලිලා ඉන්න නිසා අම්මලා බලෙන්ම වගේ හන්දියට එලෙව්වා [ඔව් අපි එහෙමයි] කඩෙන් මොනවදෝ අරගෙන එන්න කියල. ඒ යද්දී මගේ හිතෙසිවන්ත කොමට අහල පහල ගෙවල් වල සමවයස් බුවාස් ලා කීපෙකුත් මාත් එක්ක ආවා. මුන් ඇත්තෙන්ම මගේ සපිරිවර ලෙස සලකන්නට ඕනා.

ඔය සන්දියේ ඒ හරියේ එක ගෙදරක පියා විදෙස ගත වූ බැවින් සහ ඒ නිසාම එයාලට සල්ලි තියෙන බැවින් ඒ ගෙදර "බබාලා" බලාගන්න දුර පලාතකින් "කොලුවෙක්" අරගෙන ඇවිත් තිබ්බ "සකලබුජන්" ධූරයට. දැන් මේ හරියට කොටු දාලා ඩිස්ක්ලේමර් දාන්න ඕනේ මේක නීති විරෝධියි, ඩෝන්ට් ට්‍රයි ඇට් හෝම් කියල. ඒ වුනාට ඉතින් එක්කගෙන ඇවිත් තිබ්බ. ඌ අපිට වඩා පොඩි ගානක් වැඩිමල් ඇති, ටිකක් උස මහත එකා. ඌ ගැන දැනගන්න ඌ ඉස්කොලේකටවත් ආවේ නැහැනේ. ඉතින් අපේ ගමේ ඉස්කූලියන්ස් වරු අතර ඌ ගැන තිබ්බේ හරියටම ඉහල ශික්ෂණයක් සහිත ඉස්කූලයක ඉස්කූලියන් කෙනෙක් එහෙම ශික්ෂණයක් නැති පාසලක අනන්‍යතා නාම රහිත එකෙක් ගැන තියෙන්නා වගේ පිටසක්වල ෆීලින් එකක්.

අපි කඩේට ගිහින් ආපහු එද්දී ඌවත් නෝනා කඩේ යවලා ඌ අපිට තරමක් පස්සෙන් එමින් උන්නේ. සාමාන්‍යයෙන් උගේ සමාජ තත්වය පහල වැටී තිබීමත් සමහරවිට ඌ අපේ ඔක්කොටම වඩා හයේ හතරිෂ් වීමත් නිසා අපේ එවුන් ගැන්සිය ඌට වීලු කොරන්න ගත්ත. මම සාමාන්‍යයෙන් එහෙම එව්වට සහබාගි වෙන්නේ නැහැ හැදියාවම නෙවි අනාගතේ දවසක මුන් ටික නැතිව ඌව තනියම මගදී හමුවීමේ සම්බාවිතාවය ඔලුවේ කොනක කීක් ගාන නිසා. හැබැයි මට ගටක් තිබ්බේ නැහැ මුන්ට එපා කියන්නත්. මම අර වික්ටර් බැන්ද සීන් එක වගේ මේක ඉග්නෝ කරලා මුනුත් එක්ක ආවා. මුන් එන්න එන්නම ඌට නොහොබිනා දේවල් කිව්වා. උගේ නික්නේම් සියල්ල ද වැඩකාරයා කියන පහත්කුල වදනද තව කුණු හබ්බද ඌට දෙසන්න ගත්ත.

අර කොලුවට කියන්න දෙයක් තිබ්බේ නැහැ. ඌ සියල්ල ඉවසා දරා ඉඳලා එක මොහොතක පාරේ තිබ්බ ජම්බෝලයක් විතර සයිස් ගල් ගෙඩියකින් අපිට ගැහුවා. ඇත්තෙන්ම ඒක ලොකු ගලක් නිසා ආවේ බම්ප් වෙවී. ඒක අපේ එකෙකුගේ පිටේ හැපුණා. ඒ වෙද්දී සැහෙන ස්ලෝ වෙලා තිබ්බේ හැබැයි ඒත් ඌ වැටුනා.

මේ දක්වා සිද්ධිය ඉග්නෝ කළ වැඩිහිටියන් වහාම පොලිසිය බවට පත් වුනා. ඒ සමගම ගල් පාර කාපු එකාගේ අම්මා ආඩපාලි කියාන ආවා. කොලුවගේ නෝන ඇන්ටිත් දුවගෙන ආවා.

කොලුවා විත්තිය වශයෙන් දිගටම කිව්වේ අපේ ගැන්සිය ඌට කියූ අසමජ්ජාති කතා. ඌ වේදනාවෙන් හඬමින් දිගටම එව්වා කිව්වා. මගේ පිරිවර ක්ෂණික බෝධි වෘක්ෂ වී ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. පාරේ කිසිවෙක් මේක නෝටිස් කරලත් නැහැ.

අවසානේ වුණේ කොලුවාගේ නෝනා ඇන්ටි තීන්දුව දෙන්න ජූරිය වශයෙන් මාව පත්කිරීමයි. ඒකට හේතුවක් තිබ්බ. මොකද අපි ඒ කාලේ මැච් බලන්න ගියේ ඔය ගෙදරට [ගමටම ටීවී ඕනෙනම් දෙකක් තියෙන්න ඇති] ඒ අවස්ථාවල කීකරුව අහිංසකව ඉන්න මම වගේ හොඳ දරුවෙක් රිලයබල් කියල ඒ ඇන්ටි හිතුවා. ඉතින් ඒ නිසා කෙලින්ම කිව්වේ "පුතා කියන්න මෙයාට අරගොල්ලෝ නරක කතා කිව්වද කියල"

නෝනාවරුනි මහත්වරුනි, ගැට්ටක සාමාජිකයෙක් වීමේ අර්බුදය පටන් ගත්තේ ඔතනින්. මම මුලුහිතින්ම කොලුවා ගැන දුක් වුනා. මගේ ගැට්ටේ උන්ගේ අමන ක්‍රියා මට කොහෙත්ම එකඟ විය නොහැකි බවත් තේරුනා. හැබැයි උන් මගේ ගැට්ට. උන් ආවේ මම නිසා, මාත් එක්ක. මගේ සපිරිවර. ඉතින් මම කොහොමද කියන්නේ ඔව් ඇන්ටි මුන් මග දිගටම "නරක කතා" තමා කිව්වේ කියල. මම "නැහැ" කිව්වා.

මගේ ජූරි තීරණයෙන් වරදකාරයා වෙච්ච ඒ කොලුවා ටික දිනකින්ම උගේ ගමට එළවා දැම්ම බව මට ආරංචි වුනා. ඊට පස්සේ හැමෝම සන්තෝසෙන් ජීවත් වුනා.

කොලුවා ඇරෙන්න. ඇත්තෙන්ම ඒක මම දන්නේ නැහැ, ඒ වුනාට මම එහෙම හිතුවා. ඌ උගේ තාත්තාගෙන් රීප්ප පටි පාරවල් කාල බඩගින්නේ ඉන්න හැටි මගේ හිතේ අවුරුදු ගානක් වද දුන්නු ප්‍රශ්නයක්.

ඔකේ ගැටලුව තියන්නේ මම ගැට්ටක උන්නු එකේ. ගැටී කියන්නේ සංකල්පීය කුට්ටි. දැන් මේ සෙට් එක මගේ පිරිවර වීම සංකල්පීයයි. කෙනෙක් අහවලියන් කෙනෙක් වීමත් සංකල්පීයයි. ගැට්ට ගැන්සිය පාසල ජාතිය ආගම වගේ එව්වා පවතින්නේ නැහැ. මිනිස්සු නිර්මාණය කරනවා. පාසල කියන්නේ බිල්ඩින් ගුරුවරු සිසුන් උපකරණ වගේ ද්‍රව්‍යමය දෙයක් නෙවි. එව්වා සියල්ල බාහිර ලෙසයි සම්බන්ධ වන්නේ පාසල තියෙන්නේ හාට් එකේ තනිකර සංකල්පීයව. සියලු ගැටී එහෙමයි.

මම දැන් කියන්නේ මම සියලු ගැටී ප්‍රහීන කළ උදාන පාටය නොවේ. අපි හැමෝම මොකක් හෝ ගැට්ටක් ගහගන්නවා. මම සැලකුවත් ලංකාව කියන ගැට්ටත් ක්‍රිකට් ටීම් එක කියන ගැට්ටත් එහෙමයි. හැබැයි අපි අපිවත් විවේචනයට ඇතුළු කරලා කතා කලොත්, ඔය ඕනේ ගැට්ටක ඉන්නකොට හැසිරෙන්න වෙන්නේ මම ජූරිය ලෙස දුන්නු ඒ අමන කෲර තීන්දුව වගේ තමා.

ඔය ගැටී  වාදේ  ලංකාවේ  ලේ  වලම තියෙන  එකක්.

තව සීන්  එකක්  කිව්වොත්; ඉස්සර මම කාලයක් ගෙදර සිට කොළඹ ඔෆිස් ට්‍රැවල් කළා. ඒ කාලේ නැග්ගේ හයට ඉස්ටෙසමට එන ස්ලෝ කෝච්චියේ. ඔකේ ඉන්න බුවාලා හතට එන එක්ස්ප්‍රස් එකත් එක්ක අමු තරහයි. මොකද සමහර දාට හතේ එක ස්ලෝ එක ඕවටේක් කරනවා. ඒ නිසා හයේ එකේ එවුන් පතන්නේ හත කැඩිය කියලා.

ඊට පස්සේ බෝඩිමක් හොයාගෙන මම සඳුදට එද්දී ආවේ හතේ එකේ. ඒ කාලේ දැනගත්ත පරිදි හතේ එකේ එවුන් හයේ එකත් එක්ක තරහයි. උන් පතන්නේ හය කැඩිය කියල.

ඕවටේකින් දෙකෙන්ම වෙනවා අරු මූව නැවත මූ අරුව. ඒ හැම විටම ඉස්සර වෙන එකාගේ උන් අනික් උන්ට හූ කියනවා.

ඒකත් කමක් නැහැ කියමුකෝ. එකම පලාතක නිසා සෝෂල් ලයිෆ් එකේදී උන් මුණ ගැහෙනවා. අන්න ඒ හමුවීම් වලදී හයේ ගැට්ට හා හතේ ගැට්ට ඉන්නේ වෙනම. අනිත් ගැට්ට සමග ෆිට් වීම ඉතාම නොහොබිනා දෙයක් ලෙස සැලකෙනවා.

මේ අවුරුදු තිහ   හතළිහේ එවුන් ඕයි. පිස්සු ලෝකයක්.

නිකන් ලිව්වේ ... ඒත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දවස්සල මොකද්දෝ ටෙලි නාට්ටි දෙකක් අල්ලාගෙන කට්ටිය නටන නාඩගමක් අළලා දැම්ම කියල. 

Saturday, March 17, 2018

ගැහැණු ළමයි කතාවේ කුසුම් නොදුටු විශ්ව ගම්මානය

මේ  ෆේස්බුක්  මිතුරියකගේ  පිටුවෙන්  උස්සන  පින්තුරයක්.  ස්තුතිය  රාධා  ලියනගේ  ඔබට.



පොත කියවා නැති නිසා මේක පොතේ කොටසක් දැයි ටක්කෙට දන්නේ නෑ. එහෙම නොවුනත් මට කියන්න ඕනේ දෙයට බාධාවක් නෑ.

මේක 1960-1990යුගය ගැන කියවීමක්. ලංකාව සහ විශ්ව ගම්මානය ගැන එක්තරා යුගයක ශේෂ වූ කතාවක්.

මෙහි පර්ස්පෙක්ටිව් එක පමණක් සළකා සරළ ලෙස කැඩුවොත් 60 දශකය කියන්නේ විශ්ව ගම්මානේ නැති කාලේ ලංකාව ඔහේ කාත් කවුරුත් නැතුව කාත් කවුරුත් නොදැන ජීවත් වෙච්ච දශකයක්. 70 දශකය කියන්නේ ලෝකය ක්‍රමයෙන් සම්බන්ධකම් හදාගෙන ඒ විශ්ව ගම්මානේ හදාගෙන එන කොට ලංකාවේ අම්ම බය වෙලා ගේට්ටුව ලොක් කරලා දොර ජනෙල් වහල ළමයි ටිකත් තුරුල් කරගෙන ගේ ඇතුලේ බඩගින්නේ ලැගපු කාලයක්. 80 දශකය කියන්නේ අම්ම ගෙයි දොර ලොක් කල නිසා ලොක් එක කඩල ඒ මදිවට දොරත් කඩල ඒත් මදිව ගේත් කඩල කුලෑටි ලාංකිකයා අමු නිරුවතින් ඉසට හෙවනකුත් නැතුව ලෝකෙට නිරාවරනය කරාපු කාලයක්.

දැන් මේ කාලය තුල ලංකාවට එළියෙන් සිංගප්පුරුව ස්වෙට් හවුස් දාල ධනවාදේ අන්ත නරක ක්‍රමේට හැදුනා. චීනය වහල් කඳවුරු දාල සංස්කෘතික විප්ලවේ කරලා ඊට පස්සේ විශේෂ ආර්ථික කලාප දාගෙන එක්තරා කොමිනිස්ට් රාමුවකින් ඇවිත් ධනවාදය එක්ක මුහු වෙලා හැදුනා. කොරියාව සාම්ප්‍රදායික බර කාර්මික රාමුවෙන් තායිවානය ලුහු කර්මාන්ත වලින්.

ඔය මුළු කාලෙම ලංකාව ගෙව්වේ එකම මෝඩ කුණු මුල්ලක. සිම්ප්ලි ලෝකය එක්ක අනුගත නොවෙන කුණු මුල්ලක.

ඉතින් ලංකාවේ බොහෝ කුසුම් ලට ඉස්කෝලේ ඉගෙන ගන්න තිබ්බේ ආට්ස් විතරයි. ඊට පස්සේ යන්න තිබ්බේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාල විතරයි,. ඊට පස්සේ ආණ්ඩුවේ රස්සාවක් නොලැබෙන්න ඉතිරි වෙලා තිබ්බේ වහබොන්න විතරයි.

ආ තව එකක් තිබ්බ. ඒ තමා මාක්ස්වාදී දේශපාලනය. ඒ හරහා එක්කෝ පොෂ් වාම ක්‍රියාකාරියෙක් වෙන්න. නෙවිනම් ජවිපෙ එක්ක විප්ලව කරන්න. මේ සටහනේ අපි දකින්නේ ජවිපෙ තිඹිරිගෙය. ජවිපෙ බිහි වූ සත්‍ය හේතු. එකල සමාජය තුල තිබ්බ විකාරය.

78 ගේ කඩා දැම්මම මිනිස්සු යුද්ද දෙකකත් පැටලුනත් 90 දශකේ වෙද්දී ලෝකේ තිබ්බ දේවල් ලංකාවට ආවා. ලංකාව විශ්ව ගම්මානේ මොන කුණු මුල්ලක් වුනත් ගමේ තැපැල් කන්තෝරුවෙන් ලියුම් ටික බෙදෙන නිසා ගමේ කඩපිලෙන් කන්සියුමර් ප්‍රොඩක්ට්ස් ගෙදරට ලැබෙන නිසා මිනිස්සු වෙනස් වුනා. අද වෙද්දී ළමයෙක් ආට්ස් ම කරන්න ඕනේ නෑ. කැම්පස් ම යන්න ඕනේ නෑ. ආණ්ඩුවේ රස්සාවක් ම කරන්න ඕනේ නෑ.

අද වෙද්දී කියල ලෙහෙසියක් වෙලා නෑ. ඉස්සරටත් වඩා අමාරුයි. එහෙම වෙන්නත් ඕනේ මොකද වැඩිවන ජනගහනය එක්ක ජීවිතේ අමාරු තමා වෙන්නේ. හැබැයි එදා තිබ්බ ඒකාකාරී විකල්ප රහිත ජීවිතය අද නෑ. අද මිනිසුන්ට මහන්සි වුනොත් කරන්න දේවල් තියෙනවා.

කවුරුත් අපිට කොරල දීල නෙවි. අපි අපිට කොරගෙනත් නෙවි. නිකම්ම නිකම් වෙච්ච වෙනසක්. විශ්ව ගම්මානේ නිසා.

හැබැයි අදටත් විශ්ව ගම්මානේ ලියුම් බෙදන්නේ රටේ කොටසකට විතරයි. එහි කන්සියුමර් ප්‍රොඩක්ට්ස් වලට ඇක්සස් තියෙන්නේ කොටසකට විතරයි. එනයින් විශ්ව ගම්මානෙට සෙට් වෙන්නේ රටෙන් කෑල්ලක් විතරයි. අන්න ඒ කෑල්ලෙන් එපිටහ රටේ ඉතිරියේ තාමත් ඉස්කෝලේ ඉගෙන ගන්න ඇත්තේ ආට්ස් විතරයි. ඊට පස්සේ යන්න ඇත්තේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාල විතරයි,. ඊට පස්සේ ආණ්ඩුවේ රස්සාවක් නොලැබෙන්න ඉතිරි වෙලා තියෙන්නේ වහබොන්න විතරයි. නෙවී නම් ජේ වී පී කරන්න.

විශ්ව ගම්මානේ ජීවිතේ වටිනාකම එය ලෙහෙසි නිසා නොවේ, එය ඔබට සපයන දහසකුත් එකක් විකල්ප නිසා. දහසක් අවස්ථා නිසා, සිම්ප්ලි ඒකෙ අස්සේ අනාත වෙන්නේ නැති නිසා. ගැහැණු ළමයි කතාවේ කුසුම් ගේ මේ ජීවිත අබග්ගය තුල ඇයට අවශ්‍ය ජීවිතේ ලෙහෙසි කරදීම නොවේ ජීවිතේ අවකාශයන් විකල්පයන් අවස්තාවන් හැකිතාක් විවර කරදීම.