Saturday, March 16, 2013

සිරිලක ඇසි දිසි

[කතාව පුරා දිගටම සිදු වූ බාධා කිරීම් නිසා අදහස හරියට ඒත්තු නොයන බැවින් මෙය තේරුම් ගන්නට කෙස් පලාගෙන මහන්සි නොවන්න. සමහර විට අයි ටී එන් එකේ යන සංවාද බැලීමෙන් බුද්ධිය මේරු අයට මේවා වැටහෙනු ඇත]

"සිරිලක ඇසි දිසි 
සරසවි කෙම් බිම...." ඩොල්කි පියා ගැන්ග්නම් ගානට පටන් ගත්තා.

"කෑවා කෑවා" හසියා තමන්ටම මතුරා ගත්තා. 

"දොරින් දොරට ..."

"නවත්තපිය යකෝ... ඔව් මේ ඔබ එකතු වන්නේ දොර මඩ ලා ගැනීමට" හසියා කොමෙන්ට්‍රිය දෙන්නේ හන්දියේ සැට් වෙච්ච ගැන්සියට. මැම්බර් උත්තමයාගේ සුවාදීන ස්ටෝර්ස් එකේ කඩ ලෑලි පලු දෙකේම ඇරලා මහප්‍රාණ මාත්තුරු හතර දෙනෙක් ඉන්නවා පැදුරු කඩමාල්ලේ හෝයි ගාලා එරමිනියා ගොතාන. හසියාත් පොඩි බංකුවක් ඇදගෙන 'මයික්' ටයිසන්ගෙන් ගෙනාපු මයික් එකෙන් ජනතාව අමතන්නේ.

"දැන් අද අපිත් එක්ක සැට් වෙලා ඉන්නේ අහල ගං හතේ එක එක එව්වයේ කප් ගහපු, සිදාදියේ තව ලොකුවයින් පදවි නම්බු නාම ගත්තු කැලණියේ ඉස්කෝලේ ගල් ගහලා පන්නපු හිටපු විදුහල් පති සිල්වා මහතා..."

"මම විදුහල් පති  ත් නොවේ, කපුත් නැහැ, නම්බුත් නැහැ"

"හරි අහල ගං හතේ එක එක එව්වයේ කප් ගහපු නැති, සිදාදියේ තව ලොකුවයින් පදවි නම්බු නාම ගත්තු නැති කැලණියේ ඉස්කෝලේ ගල් ගහලා පන්නපු නැති හිටපු නැති  විදුහල් පති සිල්වා මහතා..."

"හප්පා චතුර් කෝටිකේ... මෙව්වා මෙහෙම කියා දෙන්න බැහැ යකෝ"

"ඒ වගේම මම හිතන්නේ අමුතුවෙන් මේ හන්දියේ ගැන්සියට මෝස්‌තර දාන්න ඕනේ නැහැ කීර්තිමත් විද්‍යාදර ..."

"ආයිබෝවන්ඩ"

"... කාලෝ අයන්තේ මහා ඇදුරා නිතර තොවිල් නටන කෙනෙක්, නිතර අපිත් එක්ක මේ හන්දියේ බහින කෙනෙක්"

"තව පාරක් ආයිබෝවන්ඩ"

"අද සිල්වා මහත්තයා...

"මම මහත්තයෙකුත් නෙවෙයි යකෝ'

"... එන ගමන මගින් අහුලාගෙන ආපු කවුද මේ...නමත් මතක නැහැ... කවුද මේ ... "

"නිම්සිරි"

"ආ අපේ නිම්සිරි මල්ලි මේකා නම් අහවල් මගුලකට ගෙනාවද මන්දා සිල්වා අයියට හූමිටි තියන්න වෙන්ට ඇති"

"මම කොහොමද යකෝ තොගේ අයියා වෙන්නේ?"

"සිල්වා 'මොකාට' හරි හූමිටි තියන්න කියා නිවැරදි කර ගන්න සහෝදර වරුනි"

"අඩෝ ගෙරියා තෝ මොකද මට විතරක් 'මොකාට' කියල තුනේ කොලේට දාන්නේ?"

"ඉතින් ඔබතුමා මට චාන්ස් එකක් දුන්නයි වෙන විදිහකට"

"මම තුමෙකුත් නොවෙයි. කැතයි ඕයි, තමුසේ මේ එකෙක්ටවත් ඔහොම කිව්වේ නැහැ. මට තමයි ගේමට එන්නේ. අල්ලලා අරිනවා තොගේ ... [නිවසේ බලධාරියා කපා දමන ලදී]"

"ඔව් නැවතත් ඔබ අප සමග"

[පසුබිමින්] "නැහැ මං කියන්නේ ගේම නම් ගේම මූ මට එන්නත් කියලා ..."

"අවසාන වශයෙන් අපි එකතු කර ගන්නවා හරිශ්චන්ද්‍ර.... හනේ බුදු මහත්තයෝ අපේ පරණ හරිශ්චන්ද්‍ර අයියා, ගහක් ගලක් වගේ හිටිය මගෙ දෙයියා... හපොයි මට වාවන්නේ නැහැ... ආයි ඉතින් කවදා එන්නද?... හලේ මට දුකයි... තෝ ද හරිශ්චන්ද්‍ර ... තෝ කොහෙද නරියෝ අර උත්තමයා වගේ වෙන්නේ? තෝ හිතුවද තෝත් ඒ ගානේ කියලා?'

"ඉහි ඉහි"

"ඉහි ඉහි"

"ඔව් [ඉහි ඉහි] අපි මේ අලුත් හරිශ්චන්ද්‍ර ගම්බාරේ එකතු කරගන්නවා, නිතර මනෝ පාර ගහගෙන ඉන්න ඩයල් එකක්"

"ගුඩ් ඊව්නින් වේවා"

"එහෙනම් පට්ටාන් ගනිමු ඔබේ ඇසි දිසි ජල සන්නිය දොර මඩ ලා ගැනීම"

"අද පට්ට සීන් එකක් තමයි සෙට් එක අදින්නේ. මේක අපි නිතර වටේ ගියත් පුංචි තට්ටුවක් දැම්ම මිස හරියට බැහැපු සීන් එකක් නොවේ. මේ නිසාම ..."

"අඩෝ තෝම කියවන්නේ මටත් කියන්න දීපිය"

"මටත්"

"මටත්'

"... මේ නිසාම අපේ සෙට් එකට මෙව්වා බැරිය නිකම් සීනි බෝල විතරය කියා සමහරු හිතුව නම් උන්ගේ මෑණියන් සිහි කරනවා. අද මේ ටොපික් එක අඟල් හයක් බස්සලා මිසක් නවත්තන්නේ නැහැ ඔන්න..."

"... අපි තමයි මේ හන්දියේ, වත්තේ එකාලා කන බොන අහවල් එක පහ කොරන ක්‍රමවේද හදන්නේ. අපියි මේකේ හැම එකාටම හිතන්න උගන්නන්නේ. ඉතින් අපි හිතුවා මේක තමා ගේමක් නැති ටොපික් එක කියලා. මොකද ඔය හැම එකාම තක්කු මුක්කු වෙලා ඉන්න නිසා ..."

"... මේක අද කියා දුන්න ගමන් හෙට ඉඳලා උඹලයි සිතීම අම්බානට මෙව්වා වෙනවා. මේක අහගෙන ඉඳලා පාස් පේපර් දෙකක් විතර කරාම ගොඩම තමා..."

"... මේකයි සීන් එක. දැන් ඔය වීරසේකර රාලාමිලයි ගේ පිටිපස්සේ තියෙනවා ..."

"තියෙනවා කියලා එකක් නැහැ යකෝ"

"වීරසේකර රාලාමිලයි ගේ පිටිපස්සේ නැහැ ...."

"නැහැ කියලා එකකුත් තියෙන්න බැහැ. අය්යෝ මේක තේරෙන්නේ නැද්ද?"

"... පස් කන්දක්. මනක්කන්ද කියලා. මේක කවුරුත් දන්නා එකක්."

"දැනුම කියන්නේ අමු ප්‍රෝඩාවක්"

"ඉන්න ඉන්න සිල්වා. තමුසේ පනින්න එපා. අද මේක දෙකෙන් එකක් ක්ලෝස් වෙද්දී ඔය දැනුම තමා කීතු කීතු ඉරෙන්නේ..."

"... ඉතින් අද අපේ ඇසි දිසි ජල සන්නිය යොමු වන්නේ මේ කවුරුත් දන්නා මනක්කන්ද ගැන කතා කරන්න"

"මුලින්ම මම කැමතියි අපේ කාලෝ අයන්තේ මහා ඇදුරා ගෙන් මේ සීන් එකට එන්ටර් වෙන්න. මහා ඇදුරාණෙනි, දැන් මම කිව්වා කවුරුත් දන්නවා කියලා මේ මනක්කන්ද ගැන. මොනවාද මේ මිනිස්සු දන්නේ. මනක්කන්ද කියන්නේ කන්දක්ද? නැතිනම් ගල් පස් වැලි වතුර ගොඩක්ද? මොන රෙද්දක්ද ඕයි මේ මහා ලොකු දැනුම?'

"හසියා... අපි මේක.... මෙහෙම බලමු. දැන් ඔතන මොකද්ද තියෙන්නේ? කන්දක්. කවුරුත් ... හිතන් ඉන්නේ ... කන්දක් කියලා.... ඒත් මොකද්ද මේ ... ... කන්ද. තනිකර ... පස් ... ගොඩක්. ඔකේ ... මොකුත් ...මදයක් නැහැ. පසුයි ... ගලුයි ..."

"හයියෝ කාලෝ කාලෝ මම තමුසෙට කීපාරක්‌ මෙහෙම සෙට් වෙද්දී කිව්වද මේ කතාව. ඔහොම තියෙන මොකුත් නැහැ. නැති මොකුත් තියෙනවා. තියෙනවා කිව්වට නැහැ. නැහැ කියන එකයි තියෙන්නේ. තියෙන එක නැති උනාම, නැති එක තියෙන එකත් නැති වෙන නිසා තියෙන එක තියෙන කොට..."

"අඩෝ සිල්වා තෝ අපේ කාලෝ අයන්තේ මහා ඇදුරාට කතා කරන්න දීපිය හරිය?"

"හසියා තෝ මටමයි කෙලින්න එන්නේ, හෙට බලාගම්මු පරිසදේ
 ලඟදි. කාලෝ අයන්තේ තොට යකෝ මම ඇක්සයිස් පොත් තුනක්, පිටු එකසිය හැටේ එස් පී සී එව්වා තුනක් පිරෙන්න ලියලා දුන්න. තෝ කොහෙද ඉතින්, මගෙ අදහස් කඩල ගොටු ගහන්න දුන්න නේ"

"නැහැ... සිල්වා... මම ... දුන්නේ ... හිස් ... කොළ ටික ... විතරයි"

"පල ඩො යන්න. මම ඊයේ ගත්තම කඩල ගොට්ටක් එකේ කොලේ මාතෘකාව මගෙ ලෝකය"

"ඔබේ ලෝකේ ... එහෙම වුනාට ... මගෙ ලෝකේ ... එහෙම නොවේ"

"හරි හරි දැන් ඇති. කාලෝ කට වහ ගන්නවා. මම අනිත් පැත්තේ ඉන්න සිල්වාට දෙන්නයි යන්නේ මයික් එක"

"අඩෝ පෝලිමේ ඉන්නේ මූයි මායි. මූ නම් හූමිටියට ආපු නිසා ඔහේ හිටපුවාවේ. ඒත් මම පට්ට ජෙනුයින්. උඹ පේලි පැන්නා"

"මේකේ පේලි මගෙයි හරිය. මේ හසියා දන්නවා පේලි කොටු පනින හැටි අගේට. සිල්වා තමුසේ කියන්නේ මේක අපේ වත්තේ එකාලාට එදා ඉඳලා කරගෙන ආපු ආවේනික විදිහට විසඳා ගන්න ඕනේ කියලා. මොකද්ද මේ වත්තේ උන්ගේ අවබෝධය. මොකද්ද මේ මනක්කන්ද? මොකද්ද මේ දැනුම? අපේ වතු චින්තනයෙන් පහදා දුන්නොත්"

"අඩෝ මේ මම සිංහල බහුද්දය හරිය. සිංහල බහුද්ද එක තමා මගෙ එකත්. බුදු හාමුදුරුවෝ කිව්වත් එක වෙනස් වෙන්නේ නැහැ"

"බුදු ... හාමුදුරුවෝ ... කිව්වත්? ජේසු ... ස්වාමි ... දරුවනේ !!!"

"ඔව් ඩො. බුදු හාමුදුරුවෝ කිව්ව එකම තමයි සිංහල බහුද්ද කියන්නේ, එහෙම කිව්වේ බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාද්දී කියලා අපිට සිංහල බහුද්දයා කියා දුන්නේ."

"සුවර් ද?"

"බුදු හාමුදුරුවෝ කිව්වා කියල ෂුවර් මොකද බුදු හාමුදුරුවෝ කිව්ව එකමනේ සිංහල බහුද්දයා කියන්නේ. එහෙම කිව්වෙත් බුදු හාමුදුරුවෝ. එහෙම කිව්ව බව කිව්වේ සිංහල බහුද්දයා"

"ඔහේ රවුමේ යනවනේ සිල්වා."

"අඩෝ ... තෝ මටමයි ගේම කෝල් කරන්නේ. තොගෙ ...  [නිවසේ බලධාරියා කපා දමන ලදී]"

"හරි අපට පැහැදිලියි සිල්වා ඔහේගේ මනක්කන්ද ගැනත් ඒ සම්බන්ධ දැනුම ගැනත් තියෙන අදහස"

"කොහේ පැහැදිලි වෙන්නද යකෝ. තෝ මෙතන මට කියන්න දුන්නද? මගෙ යකා අවුස්සලා මාව පීලි පන්නලා."

"හරි අපිට පැහැදිලියි"

"පැහැදිලි වෙන්න මොකුත් කිව්වද?"

"එළකිරි උඹට ඇති සිල්වා. නිම්සිරි මල්ලි. උඹ කියාපන්, සිල්වාට හූ මිට්ට ගහන ටික ඇරෙන්න මොනවාද උඹට කියන්න තියෙන්නේ"

"සිල්වා අයියා හරි කියන එක තමයි."

"තව පැහැදිලි කලොත්"

"තව පැහැදිලි කලත් මට තේරෙන්නේ සිල්වා අයියා හරි කියලා තමයි. ඒ කාලේ අපිව දන ගස්සලා ඔව්වා කියලා දුන්නේ. හය හතර නොතේරෙන කාලේ මේකා වේවැලත් අරගෙන කැම්පස් ආපු බබ්බුන්ට ඔව්වා පපු කවුත්තට බැස්සුවේ ඒ වගේ විනයකින්. මෙතන තොපිට නැහැ ඒ විනය. තොපි එනවා හරස් ප්‍රශ්න අහන්න"

"හරි ඒ ඇති. පැහැදිලියි. ගම්බාරේ කියන්න මයේ අම්මා. මොකද්ද මේ මනක්කන්ද ගැන දන්නේ. මොකද්ද මේ දැනුම"

"හසියා බ්‍රදර් මම මනක්කන්ද දන්නේ නැහැ"

"අර වීරසේකර රාලාමිලයි ගේ පිටිපස්සේ තියෙන. යකෝ අපේ පොඩි එකත් දන්නවා"

"මම ඔය කන්ද දන්නේ නැහැ. මොකද මම ඒ කාලේ මොන හත්තිලව්වක්වත් දන්නේ නැතුව ඉන්න කොට මට එක පාරටම බුද්ධිය පහල වුනේ ග්‍රීසියේ ඔලිම්පස් කන්ද ළඟ. මම දන්නේ එක විතරයි"

"අන්න අන්න ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි පර වේ---ගෙ පුතා. බටහිරයා හිටු තෝ උල හිටුවන්ට"

"දැන් ... මේ ... කන්ද ... කොහේ ... තිබ්බම ... මොකද? අපි .. කතා කරන්නේ ....කන්දක් ... කියන එක ගැන... අපි ... දන්නා දේ. ඔලිම්පස් උනත්, ... වීරසේකරගේ කන්ද උනත් - ඔය ... 'වීරන් සේකරම් කන්දන් මනක්කන්දන්' කියලා ... ගාතාවකුත් තියෙන්නේ - මේ කන්ද ...කොහේ තිබ්බත් ... එකම දේ නේ... බටහිර උනාම... මොකද ... පෙරදිග ... උනාම මොකද?"

"එතනයි අවූල. කාලෝ අයන්තේ, උඹට මේක තේරෙන්නේ නැහැ. ඔය ග්‍රීක කන්දේ පස් ස්තර තනිකරම අපේ කන්දට වඩා වෙනස්. මෙතනින් තමා වෙනස එන්නේ. කියෝපන්  අර නිල් පිටකවරේ අපේ ප්‍රවාද කියලා මම ලියලා දුන්නු ඇක්සයිස් පොත. ඕකේ තියෙනවා ෆුල් සිද්ධිය. කොහෙද තෝ ඒකත් දෙන්නැති කඩල ගොට්ටට. ෂික් අපරාදේ මම සයින් කොරලත් එක්ක දුන්නේ"

"ඔව් සිල්වයියා හරි. මෙතන දැවැන්ත අර්බුධයක් තියෙන්නේ මේ කන්ද බටහිර ද නැගෙන හිරද තියෙන්නේ කියන එක උඩ. කොටින්ම ඒකම විතරයි මෙතන එකම අවුල. මොකද ඔය කන්ද හදන්න පස් ගෙනිච්චේත් අපේ කඳුවලින්"

"නිම්සිරි... ඉතින්.... මොකද? පස් නම් පස්... කන්දට ... කොහෙන් ගෙනිච්චත්.. එකයි"

"අන්න මල්ලි උඹ අනා ගන්න තැන. ඔය පස් අරගෙන ගිහින් දානකොට උන්ට දිරවගන්න බැරි එව්වා හලනවා. එතකොට අපේ පස් වලින් හදන්නේ උන්ගේ ජාතියේ කන්දක්'

"හරි ... මේ ... රසල් පප්පා ... බලන්න කියන දේ. ජාති ... හතරක් තියෙනවා...."

"උඹ තාම ඉන්නේ පරණ කාලේ අන්කල්. උඹට වයස කීයද? ඒ කාලෙම මොලේ... නැහැ නැහැ මනස - මම සිංහල බහුද්දයා අර වචනේ වැරදිලා කියවුනේ - වර්ධනය වෙලා ඉස් කට්ට පිරෙන්න. ආයිත් දෙයක් ඉගෙන ගෙන නැහැ."

"ඔහොම ඉන්න නරඹන්නෙක් නැගිට්ටා. හරි ජයරත්න අයියේ කතා කරන්න"

"මම හරි ආඩම්බර වෙනවා අපේ මේ මහා පඬිවරුන් හතරක් ..."

"මම පඬිවරයෙක් නොවේ"

"... එක්ක කතා කරන්න ලැබිච්ච එක ගැන. මම අද එද්දී අමරාවතී ඇහුවා ජයේ කොහෙද යන්නේ කියලා. මම කිව්වා මම යන්නේ ලෝකේ ඉන්න වැදගත් ම මිනිස්සු පිරිසක් ලඟට කියල. අමරාවතිට මාර ජෙල. ඕකි අද ඉන්නේ මම ගෙදර ..."

"අහන්න ජයරත්න අයියේ ප්‍රශ්නය"

"... එනකම්. මොකද මම යන එන තැන් හොයනවා කුසුමත් එක්ක සීන් එක මාට්ටු උන කාලේ පටන් ..."

"ප්‍රශ්නය මොකද්ද?"

"... ප්‍රශ්නයක් නැහැ මල්ලි. ඔහොමම සීන් එක කරගෙන යන්න අපිටත් මාර මෙව්වෙක උඹලා මෙහෙම කතා කරද්දී. එච්චරයි'

"හරි. එහෙනම් ආයිමත් කතාවට ආවොත්"

"හසියා මෙව්වා මෙහෙම කරන්න බැහැ. අපිට විනාඩි දහයකින් මේක පැහැදිලි කරන්න බැහැ"

"හරි සිල්වා විනාඩි දොළහ ගානේ මම ඔහෙට දෙන්නේ. ඒ නිසා වෙලාව ඇති කියා හිතනවා"

"මම එන්නේ නැහැ මේකට ආයිත්"

"ඉතින් ඇයි එහෙම කියන්නේ? මම කැමතියි මේ සිල්වා කියන එකට. මම කැමතියි මේ අදහස් වලට. මගෙ කිසිම අමනාපයක් නැහැ සිල්වත් එක්ක. තෝ අහු වෙන්න එපා පාරේදී ඒක වෙනම දෙයක්"

"තෝත් අහුවෙන්න එපා පරිසදේ හරියේ"

"මම කැමතියි මේ සිල්වාගේ කතා අපේ අතිගරු අති උත්තම මැම්බරයාණන් වහන්සේ ගේ ශ්‍රී කර්ණයෙන් ශ්‍රවණය කරලා ...."

"අනේ පල ඩො. ඕකා දන්නා රෙද්දක් නැහැ. ඌට මෙව්වා තේරෙන්නේ නැහැ. තොටත් තේරෙන්නේ නැහැ. මුන් තුන්දෙනාටත් තේරෙන්නේ නැහැ. මේ නිම්සිරියත් හා හූ ගාන්නේ තේරිලා නොවෙයි පාඩම් කරගෙන. ඕක තේරෙන්නේ මට විතරයි"

"... එතුමාණෝ ශ්‍රවණය කරලා මේ සිල්වාගේ මතය අපේ වත්තෙන් උකහා ගෙන අපේ මේ පළාතේ දියුණුවට යොදනවනම්. මොකද  අපේ අතිගරු අති උත්තම මැම්බරයාණන් වහන්සේ මේ දක්වා හැමදේම කලේ අපේ යහපත වෙනුවෙන්. උන් වහන්සේගේ .... [හැමදාම අහන නිසා ලේඛකයා විසින්ම කපා දමන ලදී]"

"ඔව් ඔබ නැවතත් ඉන්නේ ඒ ඇසි දිසි ජල සන්නියේ. මම හිතන්නේ අපේ සංවාදශීලී ජල සන්නිය ඉවර කරන්න කාලය හරි"

"කෝ තෝ මට අපේ වතු චින්තනය කියන්න දුන්නද? බජාර් ඒක හිතයි මම මේක දන්නේ නැහැ කියලා. යකෝ මම අවුරුදු විසි හයක් වැඩ කලේ මේ වතු චින්තනෙන්"

"හරි හරි කාලය ඉවරයි. ඕනෙනං ලබන සතියේ සෙට් වෙමු"

"එහෙම බැහැ මල්ලි. මගෙ බල්ලවත් ආයිත් එන්නේ නැහැ."

[කාලෝ යමක් කිව්වත් එය නොතේරේ]

"අනේ පල ඩො යන්න. තෝ මගෙ පොත් කියෝපිය. මම එව්වයේ ඔව්ව කියලා තියෙන්නේ. කොහෙද තෝ කියවන්නේ මලක් ගහල වෙන්නැති. මෙලෝ දානයක් තේරිලා නැහැ."

"අපේ ... අතිගරු ...  වැදගත්, මහා ... දැනුමැති සිල්වා මැතිතුමා ... ඔබට ... බොහොම ගෞරවයෙන් කියන්නේ ... ඔබ ලියලා තියෙන ... පොත්වල ... මොකුත් නොලියපු කොලත් .. තිබ්බා, යමක් ලියලා තියෙන කොලත් .. තිබ්බා. ඇත්තෙන්ම ... ඒ කොළ වලින් ... යමක් ලියලා තියෙන ... කොලවල ... ගන්න දෙයක් නැහැ, ... ගන්න යමක් තියෙන ... කොළ වල ... මොකුත් ලියලා නැහැ. මොකද ... මම ... කඩල කාරයාට දීලා ... යමක් ගත්තේ ... ඒ ... හිස් කොළ ටිකයි"

"අඩෝ .... තෝ හිතන්නේ මම ඔටුවා. මම දෙයක් ලියලාම නැහැ. මම තොට අභියෝග කරනවා වර පුලුවන්නම් හෙට පරිසදේ හරියට තොගෙ කකුල් කඩන්න. හරි එහෙම නෙවෙයි, වරෙන් ප්‍රසිද්ධියේ මෙතනට ඔප්පු කරලා පෙන්නන්න මම ලිව්ව කොලවලිනුත් හිස් කොළ වගේම කඩල ගොටු ගහන්න පුළුවන් කියලා"

"ඇත්තෙන්ම ඔබ දෙපල ඒ සංවාදය කරනවා නම්, මම කැමතියි කඩේ ආයිත් අරින්න"

[ෆෝන් එක අරගෙන]

"ගුණසිරි අයියේ, මුන් දෙන්නා ආයිත් සෙට් වෙන්න යන්නේ. හෙටත් මෙතන සෙට් වෙන උන්ට බඩු ටික විකුණා ගන්න අයියට පුළුවන්"

"අපේ සංවාදශීලී ජල සන්නිය මෙතනින් සමාප්තයි. ඔබට සුබ රාත්‍රියක්"

"සිරිලක ඇසි දිසි
සරසවි කෙම් බිම...." ඩොල්කි පියා තනියම ගසනු පෙනේ.