Saturday, April 20, 2013

බොස්ටන් ත්‍රස්ත සැකකරුවන් ගැනයි

බොස්ටන් බෝම්බයෙන් අහිංසක දරුවන් ඇතුළු අසරණ මිනිසුන් මියයන විට අපි කනගාටු වූයෙමු. වරදක් නොකළ මිනිසුන් මරාදමන ජනනාශක බෝම්බයක් කිසිම ආකාරයකින් සාධාරණය කල නොහැක. ඇමරිකාව ලෝකයේ වෙනත් රටවල කරන යුද්ධ ගැන සඳහන් කිරීම තුලින් මෙම බෝම්බය සාධාරණය කල නොහැක.

එහෙත් ඇමරිකාව බෝම්බය පිපිරූ බව කියන ත්‍රස්ත "සැකකරුවන්" පස්සේ එලවන විට අපිට මේ ටික නොකියාම බැරිය.

- මේ පුද්ගලයින් හුදෙක් සැකකරුවන් පමණි. රිසි පරිදි මාධ්‍ය වසා මරා දැමීමට ඔබට නොහැක.

- ත්‍රස්ත සටන් ඇවිලෙන ප්‍රදේශ වලින් මාධ්‍යවේදීන් පිටමන් කිරීම වහා නැවතිය යුතු වේ.

- ඔවුන් සන්නද්ධ ව හිටිය ද ඔවුන් ඉතිරි ජන ජීවිත වලට තර්ජනයක් වුවද මරා දැමීමට ඔබට නොහැක. ඒ ඔවුන් ත්‍රස්තවාදීන් නිසාවෙනි. උන්ට විශේෂ ආරක්ෂාවක් දිය යුතුය.

- ඔබ ඔවුන් සම්බන්ධයෙන් ජිනීවා ඇතුළු සියලුම සම්මුතීන් අනුගමනය කල යුතු වේ.

- ඔවුන් සුදු කොඩි රැගෙන විත් වෙඩි තබා පලා යන්නේ නම්, ඔබ ඊට ඉඩ දිය යුතු වේ.

- මෙම පුද්ගලයින් දෙදෙනාට බාරවීමට ජාත්‍යන්තර මට්ටමින් සහය දිය යුතුය. මේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට රාජ්‍ය නොවන සංවිධාන වන ජාත්‍යන්තර ඉස්ලාම සංගම්, හා අල් කයීඩාවට මූල ධර්ම සහය සපයන පිරිස් වලට ඉඩ දිය යුතුවේ.

- මෙම දෙදෙනාට අවැසි නම් මධ්‍යස්ත රටක් හෝ ඇෆ්ගනිස්තානය, ඉරාකය සිරියාව වැනි අරාජික කලාපයකට පලා යාමට නිදහස  දිය යුතුවේ.

- මෙසේ නොකරන්නේ නම් ඇමරිකා එක්සත් ජනපදය ජිනීවා හි පැවතෙන මීළඟ මානව හිමිකම් සැසියේදී චෝදනාවලට ලක්වන බව කරුණාවෙන් සලකන්න.

[ඉහත මගේ කතා අතාත්විකයි කියා මෙහි කොමෙන්ට් කරන අය දැන ගත යුතු වන්නේ මේවා ත්‍රස්තවාදය මර්දනය කිරීමට අපට ලබාදුන් ඇමරිකානු උපදෙස් ම බවයි]