Wednesday, December 26, 2018

දෙසැම්බර් 26: මතකයන් ගෙන් ඔබ්බට

සුනාමිය ඇවිත් ගොස් අවු 14 කි. සුනාමිය ගැන ලියු කවි [මාත් එකක් ලියා තිබේ] තවම නැවත පළ වේ. ප්‍රතිපත්තියක් ලෙස දසවැනි සමරුවෙන් පසු ඒ ගැන කවි කතා තව දුක සීන් මැරුණු අය ගැන ස්මරණ පළ කිරීම නවතා දැමුවේ එකම දේ නැවත පළ කිරීමෙන් එහාට අලුත් යමක් නොවෙන නිසාත් සුනාමිය රෙටෝරික ප්‍රකාශයක් සහ "අපි ඒ කාලෙත් ඔය ගැන ලිව්වා" තාලේ අපේ අතීත හපන්කම් ගණයට වැටෙමින් පවතින නිසාත් ය. එහෙත් සුනාමිය සපුරා අමතක කර දැමීමට වඩා මිනිසුන් තවම ඒ නොස්ටල්ජිය බියකරු සිහිනයේ ගිලී යාම යහපත් තත්වයකි. සුනාමියක් ආයෙත් පැමිණිය හැකි බැවිනි.

ප්‍රශ්නය ඇත්තේ එතන නොවේ. ඊයේ පෙරේදා සුමාත්‍රා සහ ජාවා වෙරළ දෙකට භූ කම්පනයකින් තොරව පැමිණි [ගිනිකදු ආශ්‍රිත පස් කඩා වැටීමක් නිසා හටගත්] සුනාමිය හඳුනා ගන්නට ඔවුන් අපොහොසත් විය. ඒ පුවත් අතර මා දැක්කේ සුනාමිය හඳුනා ගන්නට මුහුදේ දැමු උපකරණ සැලකියයුතු තරමක් සොරුන් සහ විනාශ කරුවන් අතින් වැනසී ඇති බවයි. භූ කම්පනයක් කම්පනයෙන් හඳුනා ගත හැකි නිසා මේ දක්වා මෙය ඉස්මතු නොවුවද, ඉන්දීය සාගර කලාපය තවමත් සුනාමියක් හඳුනාගත හැකි මට්ටමක ඇත්දැයි නොදන්නෙමු. සෑම සුනාමියක්ම හටගන්නේ භූ කම්පනයකින් ම පමණක් නොවේ.

සුනාමියෙන් ලංකාවේ ජන අවබෝධය සහ වගකිවයුත්තන්ගේ අධීක්ෂණය භූ කම්පන කෙරෙහි යොමුවිය. 2004 ට පසු කම්පන කීපයක් සිදු වූ බව [ජාත්‍යන්තර මාධ්‍ය සහ භූගෝල පර්යේෂණ ආයතන මගින්] දැන ගන්නට සහ අනතුරු ඇඟවීම් නිකුත් කරන්නට ලංකාව සමත්විය. මෙය හපන්කමක් නොවුනත් 2004 දෙසැ 26 ඇමරිකානු භූ සමීක්ෂණ ආයතනය සහ පැසිෆික් සුනාමි මධ්‍යස්ථානය එවූ පණිවුඩ නිවාඩු ගිය ඔෆිසියක ඊමේල් එකවුන්ට් එකක නාස්ති වී ගිය සුනාමිය එනවා කිව්වා එයාපෝට් එකට ගියා කියා ජෝක් හැදුනු රටට ඒකත් වැඩකි. ඒ අතර 2012 සුමාත්‍රා ආශ්‍රිත මුහුදේ සිදු වූ භූ කම්පනය අවස්තාව කළමනාකරණය කළ ආකාරය සුවිශේෂී වේ. එහෙත් භූ කම්පනයක බලපෑමෙන් තොරව සිදුවන සුනාමියක් හඳුනා ගන්නට ලංකාවට පමණක් නොව කලාපයට ද බැරි බව සතියකට පෙර ඔප්පු විය.

සුනාමිය ආ සමයේ වෙරළාසන්න ගොඩනැගිලි අඩු කරන්නට කතාවිය. ඇත්තටම කතාවූ සමුද්‍රාසන්න උද්‍යාන සංකල්පය ලංකාව වැනි ජනාකීර්ණ රටකට කල නොහැක්කකි. එහෙත් අනතුරු කලාප හඳුනා ගැනීම පලායන්නන් හට නිරවුල් උපදෙස් පළ කිරීම, ස්තානිය උස සලකුණු කිරීම, හැකි සෑම සාගරාසන්න මිනිස් වාසයක් ම ඉවත් කිරීම [සංචාරක ව්‍යාපාරය සමග එකතු වුනොත් පිරිවැය ගැටලුවක් නොවනු ඇත] වෙරළ මත ඇති ධීවර පැල්පත් ඉවත් කිරීම, සුනාමි සයිරන් පද්ධති පරික්ෂා කිරීම ආදී ලෙස කල හැකි දේ බොහෝ සෙයින් ඇත. මේවා වෙනවාද නොවේද කියා අප දන්නේ නැත. නොවන්නේ නම් මේ ස්මරණ දිනය ඒවා අධීක්ෂණය කිරීමට රජය විසින් වෙන්කළ යුතුය.

ස්මරණය කාව්‍යකරණය සහ නොස්ටල්ජියාව වෙනුවට අනාගතයට මුහුණ දීමට කලාපය සූදානම් විය යුතුය. ඊ ගාව එක වැඩි දුර නොවිය හැක.