Sunday, January 6, 2013

ඩෙත් ඔෆ් අ කවුන්සිලර්

අනාගතයේ දවසක රූපවාහිනියේ චැනල් මාරු කරමින් සිටියෙමි.

+++++++++++++++++

මීළඟට අපේ "ඩෙත් ඔෆ් අ කවුන්සිලර්" විශේෂාංගය.


[ඩිඩින් ඩිඩින් ක්‍රෑෂ් බ්‍රාස් ජරබරස් ඩිෂුම් ඩොන්]

ඩෙත් ඔෆ් අ කවුන්සිලර් ඔබ වෙත ගෙන එන්නේ දියබරිස් පාවහන් අනුග්‍රහයෙන්. සැහැල්ලුයි සුමටයි දියබරිස්.

කැලණියේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය ප්‍රාදේශීය මන්ත්‍රීවරයා සම්බන්ධ සිද්ධිය තවම හෙළි කර ගෙන නැහැ. මෙන්න මීට පෙර සිදුවීම් පෙළ ගැස්ම.

මීට දෙසතියකට පෙර කැලණියේ ප්‍රාදේශීය මන්ත්‍රී වරයෙකු නාඳුනන තුවක්කු කරුවෙකු විසින් ඝාතනය කරන ලදී.

මෙම පරීක්ෂණය සිදු කරන පොලිස් කණ්ඩායම ඝාතනයෙන් දෙදිනකට පසු මෝටර් සයිකලයක් සමග පික් පොකට් කරුවන් දෙදෙනෙකු ලෙස ප්‍රකට පිත්තලයා සහ කුපාඩියා අත්අඩංගුවට ගත්තා. පිත්තලයා විසින් කරන පාපොච්චාරනයකදී හෙළි වූයේ අදාළ මන්ත්‍රී වරයා විසින් ග්‍රාමීය ප්‍රදේශයක බස් ධාවනය වැඩි කිරීමෙන් බස්වල සෙනග අඩුවීම නිසා තමන්ට වුනු පාඩුව පිරිමහ ගන්නට මෙම ඝාතනය කල බව.

හරියටම ඉන් දෙදිනකට පසු මන්ත්‍රීවරයා සමග සබඳතා පැවැත්වූ බව කියන ටෙලි නාට්‍ය නිළියක් අත් අඩංගුවට පත් වුණා. මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට භාවිතා කළ ගිනි අවිය ඇය සතු නීති විරෝධී අවියක්. තම ලොකු අම්මා සමග මෝටර් සයිකලයක නැගී පැමිණ මන්ත්‍රීවරයාට වෙඩි තැබූ බව ඇය පොලිසිය හමුවේ පවසා සිටියී. මේ සම්බන්ධයෙන් මෝටර් සයිකලය පැදවූ බව කියන හැත්තෑ දෙහැවිරිදි ඇගේ ලොකු අම්මාද පොලිස් අත් අඩංගුවට පත වුණා.

--- [බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්]

දැන් ඒ සැක කරුවන් සියලු දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසා සිටියේ කටු ගෙයි සිද්ධියටත් වඩා හොඳින් ඉතාම කෙටි කලකින් සැකකරුවන් මෙතරම් ප්‍රමාණයක් සොයා ගත් පළමු අවස්තාව මෙය බවයි.

[ඩිඩින් ඩිඩින් ක්‍රෑෂ් බ්‍රාස් ජරබරස් ඩිෂුම් ඩොන්]

ඩෙත් ඔෆ් අ කවුන්සිලර් ඔබ වෙත ගෙන ආවේ දියබරිස් පාවහන් අනුග්‍රහයෙන්. සැහැල්ලුයි සුමටයි දියබරිස්.

+++++++++++++++++ [ඊළඟ චැනලයට]

... ඇමති තුමා මේ දැන් අප හා සම්බන්ධ වෙනවා.

"දැන් බලන්න මේ සිද්ධියේදී පොලිසිය ක්‍රියා කළ ආකාරය. මම හිතන්නේ එකිනෙකා පරදවන සැකකරුවන් විශාල ගණනක් මේ අපරාධයට සම්බන්ධයි කියා අත් අඩංගුවට අරගෙන. මේක අපේ පොලිස් ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණයක්‌""""
"

"ඇමති තුමා කෙනෙකුට නිකමට හිතුනොත් එකම මිනි මැරුම බොහෝ දෙනෙකුට කරන්න බැහැ කියලා. මම කියන්නේ අද මේ රට තුල විවිධ කුමන්ත්‍රණ කාරීන් ඉන්නවා. එහෙම අයෙක් ඒ වගේ කතාවක් කිව්වොත්"

"අපිට ඒක ප්‍රශ්නයක් නොවේ. රටේ නීතියක් තියෙනවා. නීතිය යටතේ වරදක් කළා නම් ඒ හැමෝටම සමසේ දඬුවම් ලැබෙන්න ඕනේ. එහෙම පිරිසකට වෙනස් විදිහකට සැලකුවොත් මේ අයම කියයි අන්න ඇමති වරුන් හඳුනන නිසා කට්ටියක් බේරුවා කියලා. නැහැ. එක නඩුවක් නොවේ වෙන වෙනම නඩු අහලා හරි මේ අපරාධයට යුක්තිය අපි ඉෂ්ට කරනවා."

"ස්තුතියි ඔබ තුමාට"

+++++++++++++++++ 
[ඊළඟ චැනලයට]

"හසන්ත ... මම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නය ඉස්මතු කලාට. මේක බොහොම වටිනා දෙයක්.

බටහිර විද්‍යාවේ මහා බලකණු අද පිලිගන්නවා හසන්ත මේ විශ්වයට සමාන්තර තවත් විශ්ව බර ගානක් තියෙන බව. මේ හැම විශ්වයකම ඉන්නවා හසන්ත ඔබ අප වැනිම පිරිසක්. සමාන්තර විශ්වයක් කිව්වම බොහෝ දෙනෙකුට හිතෙයි මහා ලොකු විසාල දෙයක් මේක කොහොමද හැදුනේ කියලා. අද විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා මේ අති මහත් වූ සමාන්තර විශ්වය බිහිවෙන්නේ සමනලයෙක් තටු ගැහැව්වොත් කියලා. මේක හරිම පුදුමයක් හසන්ත. හරිම පුදුමයක්. 

අපි මේ ලෝකේ දිහා බලන්න ඕනේ මෙන්න මේ සමාන්තර විශ්ව තුලින්. දැන් අපේ මේ මන්ත්‍රී තුමාට වෙඩි තිබ්බ කියන සිද්ධිය ගත්තොත්; එකම මන්ත්‍රී තුමාට බොහෝ දෙනෙක් කොහොම වෙඩි තියන්නද කියලා කට්ටිය අහනවා. ඒක වෙන්නේ මෙන්න මේ සමාන්තර විශ්ව තුල.

හසන්ත මම ආඩම්බර වෙනවා මේක ප්‍රකාශ කරන්න ලැබීම ගැන. මොකද හසන්ත අද මේ සමාන්තර විශ්ව හැම එකකම වෙච්ච අපරාධයට වරද කාරයින් හොයා දඬුවම් කරන්නට සමත් වුන පළමු පොලිසිය තමයි අතිගරු ජනාධිපතිතුමා මෙහෙයවන ශ්‍රී ලංකා පොලිසිය. අපි හැමෝම ආඩම්බර වෙන්න ඕනේ හසන්ත. මුළු මිනිස් වර්ගයාම අපි ගැන ආඩම්බර වෙන්න ඕනේ මේ වෙලාවේ."

+++++++++++++++++ 
[ඊළඟ චැනලයට]

... සිල්වා මහාචාර්ය තුමා කරගෙන යන ප්‍රසිද්ධ අඳුනෙන්. 

ඉතින් ලයිව් ඇට් එයිට්‌ කට්ටිය ගියා එතුමගේ ප්‍රසිද්ධ අඳුන බලන්න.

[ඔන් ලොකේෂන්
]

කථනය: මම දැන් ඉන්නේ ඒ නාථ දෙවියන්ගේ බලයෙන් කරගෙන යන අඳුන ළඟ. මෙතන සාමාන්‍ය සාත්තර පොලක් නොවේ. මෙතන සැරසිලි කරන්න ආවතේව කරන්න එන බොහෝ දෙනෙකුට ආචාර්ය උපාධියක්‌ වත් අඩුම ගානේ තියෙනවා. සාත්තරය කියන කාන්තාවත් උසස් අධ්‍යාපනය ලබපු කෙනෙක්.

රූපවාහිනී මාධ්‍යවේදී: "මම හිතන්නේ විශ්‍රාම ගියාට මහාචාර්ය තුමාට විවේකයක් නැහැ වගේ"

[එතුමා සිනාසෙයි]

කථනය: එහෙනම් අපි දැන් එ මොහොත සජීවීව ඔබට ලබා දෙන්නයි හදන්නේ.

රූපවාහිනී මාධ්‍යවේදී: "ඔබ තුමියට යමක් පෙනෙනවද?"

කාන්තාව: "ඔව් මට පෙනෙනවා ... නාථ දෙවියන් - අපේ සමයක් දෘෂ්ටික දෙවි හාමුදුරුවන් මට පෙන්නනවා... "

රූපවාහිනී මාධ්‍යවේදී: "මොනවාද ඔබට පෙනෙන්නේ?"

කාන්තාව: "එතුමා සමග කෙනෙක් ඉන්නවා"

රූපවාහිනී මාධ්‍යවේදී: "කවුරු වගේද පෙනෙන්නේ?"

කාන්තාව: "අර මියගිය මන්ත්‍රී තුමා. එතුමා මොනවාද කියනවා"

මහාචාර්ය තුමා [සිනාසෙමින්]: "කියන්න මොනවාද කියන්නේ එතුමා?"

කාන්තාව: "මාව මැරුවේ මම මයි කියනවා. මට කෙලින්ම වෙඩි තියාගන්න බය නිසා මම කට්ටියකට කොන්ත්‍රාත් දුන්නා. මාව මාරුවට පස්සේ ඒ දෙන්නත් දිවි නහ ගත්ත - එහෙම තමයි කියන්නේ'

මහාචාර්ය තුමා: "මේක අපේ බටහිර විද්‍යාව පස්සේ දුවන අයට විහිළුවක් වෙන්න පුළුවන් නිසා අපි ඔවුන්ගේ ක්‍රම වේදයකින් බලමු. සාමාන්‍යයෙන් බටහිර විද්‍යාව නිරීක්ෂණයක් බාර ගන්නේ එකම දත්තය කීප වතාවක් ලැබුනොත් පමණයි. ඔබ තුමිය තුන් පාරක් අහන්න එයාගෙන්"

[එතුමිය එම ප්‍රකාශයම තෙවතාවක් කරයි]

මහාචාර්ය තුමා: "හරි දැන් මේක ගැන මොකුත් කියන්න බැහැ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට වහල් කම කරන අනුකාරක සමාජ විකෘති ...."

කථනය: අපත් සමග මේ අවස්ථාවට සහබාගි වෙනවා පරීක්ෂණය කරගෙන යන පොලිස් කණ්ඩායම සමගින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා.

රූපවාහිනී මාධ්‍යවේදී: "මොකද්ද ඔබතුමාලගේ නිගමනය"

පොලිස් මාධ්‍ය ප්‍රකාශක: "ඉස්සර නම් අපි මේ වගේ සාධක ගැන සැලකිලිමත් වුණේ නැහැ. එත දැන් මේ මහාචාර්ය තුමා ඉදිරිපත් වෙලා අපට අපේම ක්‍රමයකින් මේ දේවල් හොයාගන්න පුළුවන් බව තේරුම් කර දුන්නා"

රූපවාහිනී මාධ්‍යවේදී: "එතකොට මිනීමැරුමට වෙන්නේ මොකද්ද?"

පොලිස් මාධ්‍ය ප්‍රකාශක: "ඇත්තෙන්ම මිනි මැරුමක් කිව්වට මේක සියදිවි නසා ගැනීමකම විශේෂ අවස්තාවක්. එතුමා විසින්ම කොන්ත්‍රාත් දීපු නිසාත්, ඝාතකයින් දෙදෙනාත් දිවි නහගත්තු නිසාත් මම හිතන්නේ මේ නඩුව තවත් ඉස්සරහට අරගෙන යන්නේ ඕනේ නැහැ. ඇත්තෙන්ම කියන්න ඕනේ මේ ගැන අපිට තනියම තීන්දුවක් ගන්න බැහැ. ලංකාවේ අපරාධ පරීක්ෂණ ගැන ඉහලින්ම ඉන්නේ පොලිස්පති තුමා. එතුමාගේ තීරණයකට ජනාධිපතිතුමාටවත් එරෙහි වෙන්න බැහැ. ඉතින් අපි එතුමාට මේ ගැන දැනුම් දීලා නඩුව සමතයකට පත් කරන්න කටයුතු කරනවා"

රූපවාහිනී මාධ්‍යවේදී: "ස්තුතියි"

[නැවත මැදිරියට]

මම හිතන්නේ කාටත් දැන් පැහැදිලියි මෙතන වෙලා තියෙන දේ.


අපොයි ඔව්. මේ ගැන අර අහිංසක ඇමතිතුමාට එල්ල කළ මඩ ප්‍රහාර ගැන ඒ අය දැන් පසු තැවෙනවා ඇති.

ලයිව් ඇට් එයිට්‌ මෙයින් අප සමාප්ත කරනවා. ඔබ සැමට සුබ අනාගතයක්.