Tuesday, August 9, 2016

විජය නන්දසිරි

මළ ගෙවල් වල බූරු ගහන්න එපා කිව්වට කට්ටිය පෝලිමේ තියාගෙන කාඩ් කුට්ටම අනද්දී බලා ඉන්න අමාරුයි. අනික සම්භාව්‍ය තල දර්පන සිනමාව සහ බන්දු ටෙනි වාණිජ සිනමාව හෝ හඳගම විකාර සිනමාව දක්වා ෆිල්ම් කෑල්ලක් එහෙමත් වෙලාවක පමණක් බලන, වේදිකා නාට්ටිය දෙක තුනකට වඩා නොබලපු, ටෙලිනාට්ටිය වෙලාවට ගෙදරින් එලියට යන කොටිම්ම එතුමා වගේ එක නාට්ටියකින් එහාට විජය නන්දසිරි උන්නු මෙලෝ දානයක් බලලා නැති [සමහර නාට්ටි කෑලි රූපවාහිනියෙන් බැලුවද මන්දා] මම වගේ එකෙකුට ලියන එවුන්ගේ හැටියට උපරිමයෙන් ලියන්න සුදුසුකම් තියේ.

විජය නන්දසිරි මහත්තයා මනමේ එකේ සිංහයාට රඟපාපු එක නිසා එයාට හිරිපොදවැස්ස ෆිල්ම් එකේ රඟපාන්න එපා කීම මාර අසාධාරණයි. දැන් ගුණසේන ගලප්පත්ති මහත්තයා මැරුණට [ද නැතිනම් මයිග්රේට් කළාද] පස්සේ එතුමාගේ මනමේ එක පෙන්නන්නේ නැහැ නේද? ඉතින් දැන් ඔය කියන ආකාරයට විජය නන්දසිරි මහත්තයට මනමේ එකේ සිංහයාට රඟපාපු නිසා ආයිත් එකක මෙව්වා කරන්න තහනම් නම් දේවිකා මිහිරානි මැඩම් ට අල වේවි හැමදාම ගෙදර තපින්න වෙනවා නේද? මැඩම් ඒ මහත්තයට අල වෙවී ගෙදර තපින්නේත් එයා ගඟ අද්දර එකේ රඟපාපු නිසා වෙන එව්වයේ ඉන්න එපා කියලා පාටකයෝ සොරි ප්‍රේක්ෂකයෝ දෝස් මුරේ දාන නිසාද?

මගේ හිතේ ඔන්න ඕකයි රඟපාන්න මාර හැකියාවක් තිබ්බත් අර රොඩ්නි වර්ණකුල මෙලෝ වැදගත් කතාවක නැත්තේ. මොකද මිනිහා හුණුවටයේ කතාවේ මහුෂධ චරිතේ කලොත් කට්ටිය කියනවා මලාට රඟපාන්න එපා අර මහුෂධගේ මෙව්වෙක යනවා කියලා.

විජය නන්දසිරි චරිත හතක් එකේ හතෙන් එක චරිතයක් කරද්දී තිබ්බ තේජස චරිත තුනක් වගේ වාණිජ ටෙලි නාට්ටියක ඉද්දි නැතිවෙනවා වගේ කතා කීමෙන් වලකින්න. ඊට වඩා කතා කරන්න ඕනේ අර කොලිටි ටෙලි නාට්ටි වෙනුවට හතේ හත ගොන් කසිකබල් එන එක ගැන. මොකද රඟපාන උන් නෙවිනේ කතාව රචනය අධ්‍යක්ෂණය නිෂ්පාදනය කරන්නේ. තියෙන එකක නේ කාටත් රඟපාන්න පුළුවන්.

මම ප්‍රශ්නය මෙහෙම අහන්නම්. චෙරියෝ සාජන් එකේ පොලිස් නිලධාරියාගේ චරිතෙට [එහෙම එකක් ෂුවර් එකටම ඇති] හිටිය වෙලාවේ විජය නන්දසිරිට ඉන්න තිබ්බ වෙන සම්භාව්‍ය චරිතේ මොකද්ද? එකදාස් නවසිය හැත්තැවේ එතුමා රඟපාපු රේඛාව ෆිල්ම් එකේ පින්තුරේ රාමු කරගෙන සම්මානේ කැබිනට් එකේ දාගෙන ඔය විටක් කාරිය හපාගෙන ගෙදෙට්ට වෙලා ඉන්න එකද?

ඇත්තටම කියන්නේ එහෙම වේලි වේලි ඉඳලා මැරිලා ගිය සම්භාව්‍ය ශිල්පියෝ හිටියා. පුලුවන්නම් කියන්න බලන්න කවුද කියලා. නිකමට මතක් වෙන්නේවත් නැහැ නේද? නිකමටවත්. කොටිම්ම මටත් මතක් වෙන්නේ නැහැ.

හැබැයි එතුමා විතරක් බලලත් මට විජය නන්දසිරි ව මතකයි. ඒ මදැයි.