Saturday, December 31, 2016

2017 නව වසර උදාවේ ගිනිකෙළි


නව  වසර  උදාවේ ගිනිකෙළි  වල සොඳුරු  දසුන්  ඔබ  හමුවේ  මෙසේ ඉදිරිපත්  කරන්නෙමු (පහත සබැඳි)

2017 පෙර  සියලු  වසර  ඉක්මවා  මෙම සුන්දරත්වය  අප  වෙතට  ගෙන  එන වසරක්  බව  දැනටමත්  ස්ථිරය. 2017 වසරේදී  මෙවැනි ගිනිකෙළි  වල  සොඳුරු  දසුන් ලොව  පුරා  දැකගැනීමේ   අවකාශය  කාටත්  හිමිවනු  ඇත.

නව  වසර උදාවේ වර්ණවත්  රාත්‍රිය  තුල  ඔබට  සුව  නින්දක්  පතමු.

http://www.bbc.com/news/world-middle-east-38476807

http://www.bbc.com/news/world-europe-38481521

Thursday, December 22, 2016

නව යුගයේ සිව්වැනි වාර්ෂික සැමරුම

"අසුරු සැනින් එක මොහොතකදී
කාලය නැවති යලි ඇරඹී
විශ්වය අලුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා"

හරියටම අදින් සිව් වසරකට පෙර අපි එසේ අලුතින් බිහි වූ විශ්වයේ ඉපදුනෙමු. 2012 දෙසැම්බර 21 අප කාගේ හෝ වී නම් 2012 දෙසැම්බර් 22 අපි ඔවුන්ගේම වී නැවත ඉපදුනෙමු.

2012 ලෝක විනාශය විසින් මිනිස් වර්ගයා රැවටුණු පළමු විහිළුව නොවේ. එහෙත් සිනමා පටයක ප්‍රචාරණ අවශ්‍යතාවයක් උදෙසා මිනිසා තමා රවටා ගත් ප්‍රථම අවස්තාව විය යුතුය.

2012 නම් චිත්‍රපටය නිර්මාණය කිරීමේදී ඔවුන් මුහුණ දුන් මූලික ගැටළුවක් විය. එනම් ඇත්තෙන්ම 2012 ලෝක විනාශයක් වන බවට මහලොකු සාධක නොමැති වීමයි. ට්‍රේලරය බලා අන්තර්ජාලය පීරන මිනිසුන් ඒ සාධක නොමැතිකම නිසා චිත්‍රපටය නොබැලීමට විශාල ඉඩකඩක් තිබුණි. කොටින්ම බුක් ඔෆ් රෙවලේෂන් අදහන ක්රිස්තියානිකාරයෙක්වත් ඔය ලණුව කන්නේ නැත.

එහි අධ්‍යක්ෂකවරයා විද්‍යාව සම්බන්ධයෙන් දරන්නේ අමුතුම ඉතිහාසයකි. 1998 එළි දැක්වූ Independence Day චිත්‍රපටයේ ඔහු ජාවා ප්‍රෝග්‍රෑම් එකකින් වයිරසයක් ලියා පිටසක්වල යානයක පරිගණක පද්ධතිය අකර්මන්‍ය කරවීය. 2004 දී Day After Tomorrow නම් චිත්‍රපටයකින් සියවසක් හෝ අඩුම ගණනේ දශක කීපයක් ගතවන අයිස් යුගයක් තෙදිනකින් රැගෙන ආවේය. එහෙත් 2012 එසේ විද්‍යාවේ අතපල්ලෙන් වැටෙන පොඩි බොරුවකින් ගොඩ දා ගත නොහැකි විය. ඒ නිසාම මේ සඳහා "අලුත් විද්‍යාවක්" අවශ්‍ය විය.

චිත්‍රපටය නිර්මාණය කෙරෙන 2008 සමයේ යු ටියුබ් වැනි ඕනේ බක්කක් දැමිය හැකි මාධ්‍ය තුල 2012 ලෝක විනාශයක් ගැන කියවෙන විවිධ "විද්‍යාත්මක" වාර්තා වැඩසටහන් පහළ විය. ඒවා කෙතරම් සර්ච් හිට්ස් වලට ඔබ්බවා තිබුනේද කිවහොත් එම සමයේ අදාළ මාතෘකාව සර්ච් කළහොත් ලැබෙන පළමු හිට්ස් සියල්ලම පාහේ එම "විද්‍යාත්මක" වාර්තා වැඩසටහන් විය. අදටත් ඒවායේ මූලය කොහේදැයි සඳහනක් නැත. 2012 දෙසැම්බර් 21 මහා බොරුව නිමා වූ පසු අපේ වාර්තා වැඩසටහන වැරදියි කියා කුඩා සටහනක් ඉදිරිපත් කල කිසිවෙකුත් නැත. මීට හේතුව ඒ බොහෝ විද්වතුන් ද කතාව මෙන්ම ප්‍රෝඩාකාරී නිර්මාණයන් වීමයි.

අවසාන පලය වූයේ විශාල් පිරිසක් මෙය ඇදහීමත් තවත් පිරිසක් මෙය තරමක් දුරට හෝ විශ්වාස  කිරීමත්  පමණි. 2012 චිත්‍රපටය විශාල බොක්ස් ඔෆිස් වාර්තා තබන්නට ඇත. එහෙත් වඩාත් විශාල සිද්ධිය වූයේ චිත්‍රපටය නොවේ, මෙම "විද්‍යාත්මක වාර්තා වැඩසටහන්" විසින් 2012 ලෝක විනාශය සත්‍යයක් බවට බොහෝ දෙනෙකු තුල මතයක් බිහි කිරීමයි.

මේ මහා විගඩම  උගත්  යයි  සම්මත  ලෝකයා  අතර  පැතිරෙද්දී  ඒ ගැන  විස්සෝප  වෙමින්  නව  යුගයක  උදාව  සමරන්නට  මායාවරුන්ට  සිදුවිය.

2012 ලෝක විනාශය සිදුවී අලුතින් බිහිවූ ලෝකයේ හතරවෙනි වාර්ෂික සංවත්සරය දවසේ තේරුම් ගතයුතු වන්නේ ලොකුම භයානක බොරු එන්නේ දේශපාලකයින්ගේ කටින් හෝ හොලිවුඩ් ෆිල්ම් වලින් නොව "විද්‍යාත්මක හෝ ඓතිහාසික වාර්තා වැඩසටහන්" වලින් බවයි.

Friday, December 16, 2016

සිරියානු කතාව

කාලෙක ඉඳල මේ ගැන කෙටි සටහනක් ලියන්න හිටියේ නිතර කට්ටිය මේ කතාව අහන නිසා. කෙසේ වෙතත් මේ වර්තමාන සිරියානු අර්බුදයේ ආසන්න ඉතිහාසය ගැන කෙටි සටහනක්.

ඉස්සරම ඔය දෙරට පාලනය කලේ අසාද් පියපුතුන් සහ සදාම් නේ. මේ දෙපිරිසම තම රටවල සුළු ජාතිකයන්. සුන්නි බහුතර සිරියාවේ ෂියා අසාද් වගේම ෂියා බහුතර ඉරාකයේ සුන්නි සදාම්. හැබැයි මේ දෙන්නම අයිති වන්නේ අරාබි බාත්වාදී [බාත් කියන්නේ පුනරුදයට] පක්ෂ දෙකකට. බාත්වාදය සමාජවාදයෙන් පොඩ්ඩයි නූතනවාදයෙන් පොඩ්ඩයි කලවම් කරාපු ඒකාධිපති පාලන ක්‍රමයක්. සේකුලර් වීම, රට සංවර්ධනය කිරීම ස්ථාවර වීම වාර්ගිකව නොසිතා රට ගැන සිතීම වගේ අගයන්න ඕනේ එව්වා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. දරදඬු යි, දූෂිතයි.

ඔය කාලේ දෙරටේම ආගමික අන්තවාදයට ඒ හැටි තැනක් දෙන්නේ නැහැ. දෙගොල්ලම එය තදින් මර්දනය කළා. කලාපයේ පැතිරෙන සුන්නි අන්තවාදය [අල් කයීඩා] මේ දෙරටට ම ආවේ නැත්තේ ඒ නිසා.

කිසිම තාර්කික හේතුවක් නැතුව අතේ පැලවෙන බොරු ටිකක් දීලා ඇමරිකාව සදාම්ව මැරුවට පස්සේ ඉරාකයේ බලය චන්දෙන් ආපු ෂියා මූලික රජයට යනවා. ඔවුන් බහුතරය. ඒ අතර සදාම්ගේ ආණ්ඩුවේ සහ හමුදාවේ බලය තිබ්බේ සුන්නි එවුන්ට නිසා ඇමරිකාව ඒ පාර්ශ්වයන් කොන්කරල ඔවුන්ට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ෂියා රජය පත්වුනාට අතීතයේ සදාම් ශියාවරුන් තදින් මෙල්ල කර තිබ්බ නිසා ප්‍රබල හමුදාවක් හැදෙන්නේ නැහැ සදාම්ගේ හමුදාවේ වැඩි හරිය සුන්නි. ඉතින් ශියා ආණ්ඩුව කරන්නේ ෂියා මිලිශියා වල බලයෙන් රට පාලනය කිරීම. මේ නිසා සුන්නි වරුන්ට ඇමරිකන් පීඩන වලට අමතරව ෂියා ආණ්ඩුවේ මිලිශියා වලිනුත් බැට කන්න වෙනවා. සදාම් විසින් වළකා තිබ්බ සුන්නි ආගමික අන්තවාදය ඒ බැටකන සුන්නිවරුන් අතරට යන්නේ ඒ වෙද්දී. සදාම්ගේ යුද බලය සදාම් නැතිවුනාම ක්‍රමයෙන් සුන්නි අන්තවාදයේ සරණ යනවා.

ඔය අතරේ නියගයක් නිසා එන දුර්භික්ෂයක් හේතුවෙන් සිරියාවේ ඇතිවන උද්ඝෝෂණ තත්වයක් සහ එය මර්දනය කරන්න අසාද් එල්ල කරන ම්ලේච්ච ප්‍රහාර නිසා අලෙප්පෝ ආශ්‍රිතව මහජන නැගිටීමක් වෙනවා. ආරම්බයේ ඒක සාධාරණ මහජන නැගිටීමක්. පෙර වුනා සේ ම අසාද් ඔහුගේ යුද බලය දැඩි ලෙස මුදා හරිනවා. මේ සමගම උද්ඝෝෂණය කැරැල්ලක් වෙනවා. හිලරිගේ විදෙස් ප්‍රතිපත්තිය විසින් උස්සලා තියන අරාබි විප්ලවයේ කොටසක් ලෙස මේක හඳුනා ගැනෙනවා.

සිරියාව රුසියාවට සහය දෙන නිසා ඇමරිකාව මේ කැරැල්ලට සහය දෙනවා. සිරියාවේ අසාද් එකක් සතුරු නිසා තුර්කිය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. තුර්කියේ ක්‍රියාකාරිත්වය වැදගත්. මොකද අලෙප්පෝ වල කැරලිකාරයින්  පරදින ගානට එද්දී තුර්කිය මිනිස් බලය පොම්ප කරනවා. මෙන්න මේ පොම්ප කල මිනිස් බලය ඇත්තෙන්ම පිටරටවලින් එන්නේ. ඒ බොහෝ දෙනා එන්නේ ප්රජාතන්ත්රවාදය ගේන්න නොවේ. ඔවුන් අතර ප්‍රචාරය යන්නේ ෂියා අසාද් එලවන සුන්නි ව්‍යාපාරයක් ලෙස. ඉන් තියරි මේ ජිහාඩ් එකක්. ඉතින් මේ මුස්ලිම්මු එන්නේ ජිහාඩ් කරලා මැරෙන්න. තුර්කිය දේශසීමා ඇරලා ලෝකෙම ඉන්න අන්තවාදීන් එවනවා. ඉරාක දේශසීමාවෙන්න පෙර  කී  ලෙස   එහෙ හැදිච්ච සුන්නි අන්තවාදිනුත් එනවා. ඇමරිකාව ඇතුළු බටහිර [හිලරි විසින් මෙහෙයවූ ඔබාමා යටතේ තිබ්බ විදෙස් ප්‍රතිපත්තිය] මේ කරුණු දැක දැකම ඒ පොදු ව්‍යාපාරයට සහය දෙනවා. සටන ඉරාක සිරිය දේශසීමාවේ දෙපැත්තටම පැතිරෙනවා.

ඒ ව්‍යාපාරය ඇතුලේ ෆ්‍රී සිරියන් ආමි කියල ලේබල් එකක් තියෙනවා. ඊට අමතරව 2012 විතර තිබ්බ අල් කයීදා ඉන් ඉරාක් ඇන්ඩ් සිරියා කියන නමත් තියෙනවා. ඇත්තෙන්ම භුමියේ එහෙම බෙදුමක් නැහැ කියලා මම ඒ දවස්වල පුවත් වල කියෙව්වා.

පස්සේ වෙන්නේ අල් කයීදා ඉන් ඉරාක් ඇන්ඩ් සිරියා දෙකට කැඩෙනවා. අයිසිස් වෙන්නේ එහි වඩාත් අන්තවාදී කල්ලිය. අනික අල් නුස්රා දිගටම  අල් කයීඩා  එක්ක  ඉන්නවා. අයිසිස් ගේ අරමුණ වෙනස් වෙලා ඔවුන් අනිත් අයත් එක්ක ගැටෙන නිසා  ඔවුන්  පැහැදිලිව  වෙන්කළ  හැකියි. අදටත් ෆ්‍රී සිරියන් ආමි, SDF ආදී ඇමරිකන් ආධාර ලබන කල්ලි සහ අල් නුස්රා වෙන් කරන්න අමරිකාවටමත් බැහැ.

කලාපයේ සුලුජාතියක් වෙච්ච කලාපයේ හැමෝගෙන්ම ගුටිකාපු කුර්දි බලවේග තමන්ගේ  සහ  සහෝදර  යසිදී  වරුන්ගේ  ආරක්ෂාව වෙනුවෙන් එක්සත් වෙන්නේ මේ වෙලාවේ. අවාසනාවකට තුර්කිය තම පරම සතුරා ලෙස සලකන්නේ ඔවුන්. තුර්කිය කකුලෙන් අදිද්දීත් අයිසිස් එකට වැඩිම ෆයිට් එකක් දුන්නේ කුර්දි සටන් කරුවන්.

තුර්කිය මෙතන බයානක සෙල්ලම් ගොඩක් කරනවා. එකක් තමයි අසාද් පරදන්න අන්තවාදය නිර්මානයකරන්නේ තුර්කිය හරහා. අයිසිස් පවා අන්තවාදීන් බව දැනගෙනම නිර්මාණයට සහ පිරිස් බලය සැපයීමට ඔවුන්ගේ භුමිය භාවිතා වුණා. ඒ වගේම තෙල් ළිං වල බලය අල්ලාගෙන ඉන්න අයිසිස් අයගේ අවනීතික තෙල් බෝඩර් එක හරහා ලෝක වෙළඳපොළට එවීමෙන් තුර්කිය අධික ලෙස ලාබ  ගන්න බවත් කියවෙනවා. යුද්ධය  හේතුවක්  කරගෙන  කුර්දින්ට  පහර  දීම  තමා  අනික.  අයිසිස්  එකට  දුවන්න  ගහපු  කුර්දිවරුන්  නතර  කලේ  බෝඩර්  එක  ඉක්මවා  ගිහින්  ඔවුන්ට  පහර  දුන්නු  තුර්කිය.  කතාවට  පර්ෆෙක්ට්  දුෂ්ටයෙක්  ඕනෙනම්  එර්දොගාන්  තමා  ඒ.

ඇමරිකාව ඒ කාලේ උන්නේ ඔවුන්ගේ අන්තවාදීම විදෙස් ප්‍රතිපත්තියක. බුෂ් යුගය සහ ඔබාමා-හිලරි යුගය ඇමරිකාවේ අන්තවාදීම කාලයක්. ඉරාකයේ හෝ සිරියාවේ කිසිම ක්‍රියාකාරකමක් කරන්න ඔවුන්ට සාධාරනහේතුවක් හෝ කිසිම අයිතියක් නැහැ. දැන්වත්   ඒක වෙනස් වේවි කියා හිතනවා. රුසියාව තමන්ගේ සිරියන් බල කඳවුර වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. ඒ සමහර ක්‍රියාවලින් කොපමණ ජීවිත හානි වුනත් ඔවුන් ගණන් ගන්නේ නැහැ. රුසියාවේ ප්‍රහාර අනිත් අයට වඩා වදින්න ඕනේ ඉලක්ක වලට වැදුනට රුසියාව කොහෙත්ම සාන්තුවරයෙක් නොවේ.

කෙටියෙන් කිව්වොත් මහජන නැගිටීමක් ලෝක දේශපාලන බලවතුන් කලාපිය අවස්ථාවාදීන් සහ කලාපයේ පැතිරෙන අන්තවාදය විසින් හයිජැක් කිරීමක් වෙන්නේ. මහජන නැගිටීම කියන ලේබලය යටතේ භුමියේ ක්‍රියාත්මක වන්නේ අන්තවාදීන් පිරිසක්. මෙතන හොඳ අය කවුරුවත් නැහැ. නරක අඩු සහ ස්ථාවරත්වයක් ගොඩ නැගිය හැකි පාර්ශ්වය තේරීම පමණයි කල හැක්කේ.

ඒක ප්‍රමාද වෙන දවසක් ගානේ අයිසිස් වගේ බලවේග වලින් ලෝකය පුරා වෙනත් ස්ථාන වල ඉස්ලාමික අන්තවාදය ප්‍රේරණය වීමත්, සංක්‍රමණ අර්බුදය සහ එහි සැඟවී යන ත්‍රස්තවාදයේ තර්ජනයත් එන්න එන්නම වැඩිවෙනවා. දවසක සිරියාවයි ඉරාකයයි සාමකාමී වුනත් ලෝකය පුරා එහි ශේෂයන් පැතිරීම වලකින එකක් නැහැ. ඇෆ්ගනිස්තානයේ  පකිස්තානයේ  බංග්ලාදේශයේ ඉන්දුනීසියාවේ නයිජෙරියාව මාලි  වැනි  අප්‍රිකානු  රටවල  අයිසිස්  වල  බලපෑම  ඉස්මතු  වෙනවා.  ලෝකේ  හැම  තැනකම  වගේ  ඔවුන්ගෙන් ඉන්ස්පරේෂන්  ගත්ත  ප්‍රහාර  එල්ල  වෙනවා. මේ  බලපෑම බොහෝ  විට  ඉදිරි  දශක  කීපයක  ලෝකයේ  ප්‍රමුඛම  අර්බුදය  වේවි.

Saturday, December 3, 2016

බස් කතාබස්

බස් කාරයෝ  ස්ට්‍රයික්  ලු ය.  කතාබස්  කාරයින්  වැඩට  බහින්නේ  එතකොටය. මේ  බස්  කාරයින් ට  ගෙවන්නට  බැහැ  කියන  අධික  දඩ  මුදල්  සම්බන්ධ  කතාවක්  නොවේ.  මේ  බස්  දුවන  හැටි  ගැන  කතාබස්  කාරයින්  කියන  කතන්දර  සම්බන්ධ  කතාවකි.

දැන්  මෙතන  අපි  බස්  කියන්නේ  නගරයක හෝ  රටක  එදිනෙදා අවශ්‍යතා  වෙනුවෙන් දුවන  බස්  ගැන.  ලක්සරි  කෝචස්,  විනෝද  ගමන්,  දුර  නගර  වලට  යන [ලංකාවේ එවැනි  දුරවල්  නැත]  මිල  අධික  ගමන්  ආදියට  අදාළ  නොවේ.

බස්  කතාබස්  කීපයක්  මෙසේ  දැක්විය  හැකිය.

  •  ඉස්සර  ජනසතුකරන්න  කලින්  ඔය  බස්  සමාගම්  නියමෙට  දිව්වේ?  ජනසතුවෙන්  තමයි  කාල  දැම්මේ
  • බස්  ජනසතු  කරලා  නියම  සේවාවක්  වගේ  කරගෙන ආවනේ,  කොහෙද  ප්‍රයිවට්  ඔපරේටර් ලට  දීල නා  ගත්ත 
  • අවුල  තියෙන්නේ  තනි  තනි  එකාල  බස්  දුවන  එකේ.  පොකුරු  සමාගම් හදලා  රූට්  ටික  බෙදුවනම්  ගානට  දුවයි.
  • යකෝ  මුන්  ටිකටුත්  කඩන  ගමන්  පෙට්‍රල්  වලටයි  අමතර  කොටස්  වලටයි  ආණ්ඩුවෙන්  සල්ලි  ඉල්ලන්නේ 
  • ලංකාවේ  කාලකන්නි  බස්  කාරයෝ  බස්  දුවන  හැටි  විතරක්, එහෙන්  දාල  මෙහෙන්  දාල කට  කපලා  ලෝඩ්  කරගෙන,  අනික්  උන්  එක්ක  තරගේ 
  • පුද්ගලික  අංශයට දීලම  දාල ටිකට්  මිල  පාලනයෙන්  නිදහස්  කරන්න  ඕනේ. ආණ්ඩුවට  මොකුත්ම  කරන්න  දෙයක්  නැහැ
ඔය  වගේ  කතන්දර  බොහොමයි.  බොහෝ  දෙනා  කැමති  බවක්  පෙන්නන්නේ  දියුණු යයි  සම්මත   රටවල  පොදු ප්‍රවාහන  පද්ධති  වලට.  ඒ  කියන්නේ  වෙලාවට  බස්  දුවන,  ඒ  බස්  වල  එක  මිනිහෙක්  හිටියත්  [එකෙක්වත්  නැතත්]  ඩ්‍රයිවර්  ගානක්  නැතුව  දුවන, හැබැයි  ඕන  බක්කෙකුට ගෙවා ගන්න  පුළුවන්  තරම්  අඩු  මිල ටිකට්  එකක්  දෙන, පාසල්  සේවා,  සීනියර්  සිටිසන්  ලට  අවම  ගාස්තු  ... ඔන්න  ඔහොම  එකක්. හැබැයි  කොහොමද  මේවා  දුවන්නේ?

සමහරු  කියනවා  පොකුරු  ක්‍රමයක්  ගැන.  එහෙත්  පොකුරු  සමාගම්  වල  ඔපරෙෂනල්  කොස්ට්  එක  තනි  ඔපරේටර්  ට  වඩා වැඩි  මිස  අඩු  නැහැ,  මොකද  සමාගමක්  දුවන ඕවර්හෙඩ්  එක  එනවා  ඩ්‍රයිවර්  කොන්දොස්තරට  උඩින්. කවුද  මෙව්වට  සල්ලි  දෙන්නේ?

සරල  මූලික  ගැටලුව  නම්  සීට්  ගානට  මිනිස්සු  දාල,  හෝ  ඊටත්  අඩු  රාත්‍රී  සේවා  එහෙමත්  කරගෙන  යන්න  නම්  සාමාන්‍ය  මගියෙකුට  ගෙවිය  හැකි  මිලේ  ටිකට්  ආදායමකින්  බැහැ.  එක්කෝ  ඒ  ටිකට්  මිල  කීප  ගුණයකින්  වැඩි  කරන්න ඕනේ  නැත්නම්  අදාළ  පිරිවැය  වෙනත්  අතකින්  හොයා  ගන්න  ඕනේ.

මේ  දියුණු  යයි  සම්මත  සේවා  වල  තත්වය  පවත්වා  ගන්න  ඔවුන්ට  ටිකට්  වලින්  ලැබෙන  මුදල  මදි. ඒ සමාගම්  දුවන්නේ  ඒ කලාපයට ප්‍රවාහන "සේවාව"  නිසි  පරිදි  උසස්  තත්වයෙන්  සපයන  නිසා  ආණ්ඩුවෙන්  ගෙවන දීමනාවකින්. එනම්  බදු  ගෙවන්නන්  තමා  මේ  සේවාවට  ගෙවන්නේ.

ඔය  ආණ්ඩුවේ  ආයතන, අර්ධ  රාජ්‍ය  සමාගම්, පුද්ගලික  සමාගම්,  තනි  ඔපරේටර්ස්  ලා  ආදී ලෙස  වෙන  වෙනස්ව  තියා  ගන්නේ ඔපරේෂනල් කාරනා  පමණයි. ඒවා  බස්  පද්ධතියේ  රෝද  මිස  එන්ජිම  නොවේ.  බස්  පද්ධතියට  මුදල්  දාන  එන්ජිම  බදු  මුදල්.

ඕක  තමයි  දියුණු  රටවල සූකිරි  බස්  සිස්ටම් ගින්දර  වගේ  දුවන  රහස.  රෑට  තනි  මිනිහට  දිව්වත්  සබ්සිඩි එක එනවා. ඉතින්  එහෙම  කරන්න  පුළුවන්.  කලබල  වෙලා  එහෙන්   මෙහෙන්   දාගෙන  දුවලා  වැඩියෙන්  ට්‍රිප්  එකක්  අදින්න  ඕනේ  නැහැ,  මොකද  විශාල  ආදායමක් එන්නේ  ටිකට් වලින්  නොවේ. 

අපි  දැන්  හිතමු රාජ්‍ය  අංශය  ඔපරේට්  නොවෙන පුද්ගලික  රූට්  එකක   මේ  සබ්සිඩි  එක  නතර  කලොත්  වෙන්නේ  මොකද්ද?  අර තනි  මිනිහට  බස්  එකක්  දුවයිද?  සමාගමට  සල්ලි   දාපු  අයට  ලාබ  ඕනේ. ඒ  නිසා ඉබේම  ඔවුන්  අර  කට  කපල  දුවන  වෙලාවල්  පමණක්  බලා  තරග  කරන්න  ගන්නවා. කොලිටිය  බහිනවා.

මම  හිතන්නේ  කාටත්  පොදුවේ  තියෙන්නේ  විකල්ප  කීපයයි.

1. රාජ්‍ය  අංශය  විසින්  ප්‍රවාහනය ඒකාධිකාරයක් පවත්වාගැනීම.  සියලු  වියදම්  රජයෙන්,  ප්‍රවාහන  සේවාවට  කඩපු  ටිකට්  මුදල ඇරෙන්න  සියල්ල  බදු  සල්ලි. ඒවායින්  දුවන  රාජ්‍ය  දෙපාර්තමේන්තුවක්  හෝ  අර්ධ  රාජ්‍ය  සමාගමක්.

2. පුද්ගලික  අංශ  අතර  ප්‍රදේශ  බෙදාදී  ඒ  ප්‍රදේශ  අනුව  කිසියම්  සබ්සිඩි  එකක්  දීම. ඒ  කිව්වේ  එතනත්  බදු  සල්ලි.

3. මිල  පාලනයකින් තොරව කාල  සටහන්  රජයෙන්  නොහදා   එහෙත්  බදු  මුදල්  ද  නොයොදා  බස්  කාරයින්ට  රිසි  සේ  මිල පවත්වා  ගන්න කියා  රජය  ඉවත්  වීම.

4. මිල  පාලනයකින්  හා කාල  සටහන්  ක්‍රමයක්  සහිතව පුද්ගලික  අංශයට  පවරා  සබ්සිඩි  එකකින් තොරව  පවත්වා  ගැනීම

දැන්  මේ  එක  එකෙන්  වෙන  ප්‍රතිපල  බලමු.

පළමු  එක  සැලකුවොත් රාජ්‍ය  අංශයේ  පොදු  අකාර්යක්ෂමතාවය  සහ  සේවා දායකයාට  දක්වන  නොසැලකිල්ල   එන්න  එන්නම  වැඩි   වෙනවා.  බදු  මුදල්  සැහෙන්න  වැයවෙනවා.  එහෙත්  උත්සහ  කලොත්  හොඳ  සේවයක්  තියාගන්න පුළුවන්. දෙවන්නටත්   පෙර  සේම  බදු  මුදල්  වැය  වෙනවා.  තරගකාරී  පුද්ගලික  අංශය  ඔපරේෂනල්  මට්ටමින්  යොදා ගැනීමෙන් වඩාත්  හොඳ සේවාවක් ලැබෙනවා. දැන්  මේ  ඔප්ෂන්  දෙක  මාරයි  වගේ  හිතුනට එහි ඇති  ගැටලුව  නම්  බදු  සල්ලි  වැය  කරන   එක.  ඒ  වගේම  ඒ  බද්දේ  වැඩි  හරියක්  ගෙවන්නේ එදිනෙදා  බස්වල  යන්නේවත්  නැති  මිනිස්සු.  මෙය  අසාධාරණයි  කියා  මතයකුත්  සමාජයේ  තියෙනවා.

 තෙවැන්න  අනුව  සමාගම්  වලට  කැමැත්තක්  කල  හැකියි.  ඒ  අනුව  බොහෝ  විට  කට  කපලා  සෙනග  දාගන්න  හෝ  අධික  මිලක  ටිකට්  එකක්  ලබා දීම  ඔවුන්ට  කරන්න  වෙයි.  පීක්  ටයිම්  රූට්ස්  ඇරෙන්න  ආයිත් ඔය  එකා  දෙන්නට  බස්  දුවන්න  හැකියාවක්  නැහැ. මේ  මොඩලය  අනුව බස්  සේවා  අවශ්‍ය  බොහෝ  දෙනෙකුට  ඒවා  ලබාගන්න  බැහැ,  විශේෂයෙන්ම  එදිනෙදා  රස්සාවට  යන  අයට. ඒ  තුලින් විරැකියාව  වැඩිවීම, කාර්මික  ප්‍රදේශවල  ජනයා  පැල්පත්  හා  මුඩුක්කු  තනාගෙන  පදිංචියට  පැමිණීම  වැනි  සමාජ  ප්‍රශ්න  ඇතිවෙනවා. ඇන්ගොලාවේ  ලුවන්ඩා  නගරය  එහෙම  ගැටළු  තියෙන  තැනක්.  තනිකර  පුද්ගලික  බස්  සේවාවේ  ටිකට්  දෙකක  මිල  බොහෝ  සාමාන්‍ය  මිනිසුන්ගේ  දෛනික  වැටුපට  වඩා  වැඩියි.  

දැන්   ඔය  අංක  හතර  තමා ලංකාවේ  තියෙන්නේ.  වෙන  දේ  පැහැදිලියි.  කට  කපලා  සෙනග  දාගෙන  පාරේ  වමෙන්  දකුණෙන්  බැරිනම්  උඩින්  හරි  ගිහින්  හැකිතාක්  ට්‍රිප්ස්  ගානක්  ඇදගෙන  අමනුස්ස  විදිහට  නොකලොත්  ලාබයක්  එන්නේ  නැහැ.  ඒ  වගේම  මිනිස්සු  අඩු  රූට්  හෝ  වෙලාවල්  තියේනම්  නොයා  ඉන්න  තමයි  වෙන්නේ. මොකද  ටිකට්  මිල  ෆික්ස්ඩ්.  සබ්සිඩි  ලැබෙන්නේ  නැහැ  හෝ  ලැබෙන්නේ  පොඩි  සීන්  එකකට  විතරයි [ඉන්ධන/අමතර  කොටස්  වැනි]. ඉතින් ඉන්ධන  ලීටරයකට වැඩිම  ටිකට්  ගානක්  කැඩීම  පමණයි  එකම  ඔප්ෂන්  එක.

ඉතින්  පින්වතුනි,  ඔච්චරයි  සීන්ස්  එක.  කැමති  එකක්  තෝරාගෙන  ඒ  පතා  ආපු  බෝධියෙන්  ලැබෙන  ආනිශංසය  විඳගෙන  ඉන්න  පුළුවන්. වැපිරූ  බෝගයේ  පල  මිස  වෙන  ඒවා  ඉල්ලන්න  එපා.

තියෙන  බස්  එකතු  කරලා  පොකුරු සමාගම්  හැදුව  කියල  මූලික  ගැටලුව  පියවෙන්නේ  නැහැ  මොකද  මූලික  ගැටලුව  ඔපරෙෂනල්  දෙයක්  නෙවි,  සල්ලි  දෙන්නේ  මොකාද  කියන  එක.  සේවාව  හොඳ  කරන්න පුළුවන්  එකම  විදිහ  තමයි මහජනයා  ගෙවන  බදු  ඊට  වියදම් කිරීම. ඉස්සර  දෙවැනි  රාජසිංහ  රජ්ජුරුවන්ගේ  කාලේ  සමාගම්  අගේට  දිව්වා  වගේ  කතා  අදාළ  නැහැ.  ඒ  කාලේ දවසට රූට්  එකක  දුවන්නේ  ට්‍රිප්  එකයි  දෙකයි,  මිනිස්සු  කියල  එව්වයේ  ගියේ  සල්ලි  කාරයින්  විතරයි.  වර්තමාන  සංකීර්ණතාවය  ඒ  කාලේ  තිබ්බේ  නැහැ.

මෙතැනදී  සමාජවාදීන්, ලිබරල්  වාදීන්  ලිබටේරියන්  මතවාදීන්  තම  තමන්ගේ  තියරි  වල  එල්බගෙන  එක  එක  අතට  වචන  නවමින්  විකාර  කියවන  බවක්  පෙනෙනවා.  එහෙත් වචන  නැවුවට  ඉලක්කම්  නවන්න  බැහැ නේ.  කතාබස්  ගානට  පාරේ  බස්  දුවන්න  අමාරුයි.