Tuesday, June 30, 2015

ගුප්ත බුවා - නොස්ටල්ජික කතාවක්

කාලය 1991 විය යුතුය. ඒ කැරැල්ල මර්දනය කල පසු එළඹෙන මස්තබාල්දු නිදහස භුක්ති විඳින සමයයි. ඒ කාලේ මොකුත් සිද්ධ වූයේ නැත. ගල්කටස් එකට ටයර් එකට ජීවිත බිලිදුන් යුගයේ මරණ බය හැමතැනම සැඟවී සිටි නමුත් හැමදාම කතාකරන්නට දේවල් තිබුණි. දකුණු පළාතේ ලේ වල ඇති විප්ලවය නිසා අපේ හිත්වල "විප්ලවීය බලාපොරොත්තු" තිබුණි [පහු කාලීනව එව්වා කඩල ගොටු ගහන්නට වික්කෙමු].

මේ සියල්ල කෙටි කාලයකින් සමාප්ත කොට මිනිසුන්ට නිදහසේ හුස්ම ගන්නට සහ අර විප්ලවීය බලාපොරොත්තු ඒ නිදහස් සුසුමක පාකර ඔහේ වැඩක් බලාගන්නට සිද්ද වුනු නිසා මේ කාලය මෙලෝ රහක් නැති විය. ඒ මදිවාට මට මාස කීපයක පාසල් නොයන සමයක් ද පැවතුනි.

විප්ලවයක්  පටලාගෙන මාතෘකාව අමතක විය. මේ කතාව විප්ලවයක් ගැන නොවේ. ඊට වඩා පොඩි සීන් එකකි.

ඔන්න ඔහොම මස්ත බාල්දු දවසක ගමේ බුවෙක් වෙනත් බුවෙක් සමග ගෙන්ගෙට යමින් සිටියේය. මේ ගමේ බුවා ඇත්තෙන්ම ගමෙන් කසාදයක් කරගත් ලුම්පන් කියන වචනයට බොහෝ සෙයින් ගැලපෙන වෙනත් නාගරික පැත්තක එකෙකි. එක්කෝ ගෑණි රට යවා යැපෙන එසේ නැතිනම් කඩේක රස්සාවට කියා ගොස් ගෙදර වගකීම් කට් කරන හවසට කාගෙන් හෝ බී තව කාට හෝ කෑගහන එකෙකි.

ඌත් සමග ආපු බුවා සතු ගුප්ත බල තිබුණු බව ගමේ බුවා කියයි. එසේ කී ගමන් අර ගුප්ත බුවා අමුතු පෙනුමක් ගෙන හුස්ම ඉහලට ගෙන ලාලිත්යයකින් සින්දුවක් කියයි. සින්දුවක් කිව්වට ගාතාවකි. ගාථාවක් කිව්වට මේ ලෝකයේ මෙලෝ බාසාවකින් තේරුමක් නැති එකකි. හරියට ලහිරුවාගේ රම්බරි එකේ වචන මික්ස් කර ගායනා කලානම් ඇතිවන තත්වයට නොදෙවෙනිය. කෙසේ වෙතත් පොරගේ ගාථාව තරමක් හිතට කාවදින ලෙස කීමට පොරට හැකිය. ඩිරෙක්ට් මාකටින් වල මූලික අවශ්‍යතාවයක් වන අවධානය ගැනීමට එය ප්‍රමාණවත් විය.

ගමේ බුවා ගුප්ත බුවා ගැන පම්පෝරි ගැසීය. "මෙයාට කොළඹ ගාල්ල බස් දෙකක් තියෙනවා. මේක මේ සේවයක් හැටියට කරන්නේ", "මෙයා ඇච් ඇස් සී එහෙමත් පාස්", "සෝමක්කලගේ ගෙදර අවුල බලා හිටිය වගේ කිව්වේ", "හාමුදුරුවොත් සාන්තියක් කරව ගත්ත". ඔය අතර ගුප්ත බුවා මතුරයි. එක එක විකාර ශබ්ද දමයි. හිටි ගමන් විවිධ අනාවැකි කියයි.

ඔහොමින් වැඩේ නැගලා යද්දී සැලකියයුතු ක්‍රවුඩ් එකක් වට විය. ඊට පස්සේ ගුප්ත බුවා පම්පෝරි ගැසීම ප්‍රකාශකගෙන් තමාට පවරා ගත්තේය. ගුප්ත බුවාට අනුව පොර ආත්ම කීයක්දෝ මන්දා සිට පේවුණු එකෙකි [එදා පොර ගමේ බුවා සමග සෙට් වීම පේවීමට බාධාවක් නැති වීම වෙනම එකකි] පොර ඒ සංසාර ගමනේ විවිධ උසස් තනතුරු දැරීය. දුටුගැමුණු රාජසබාවේ රාජපුරුශයෙකි [ඒ ටික කියද්දී පොඩ්ඩක් රාජපුරුෂ හැසිරීම කර පෙන්වයි]. තවත් කලෙක මොකෙද්දෝ මන්දා රජෙකි [එහෙම එකෙක් අප දන්නා ලංකා ඉතිහාසයේ සිට නැත], තවත් ඉහල තනතුරු හා ඉහල මානසික තත්ත්ව ලබා තිබේ [ඒවා රඟපා පෙන්වයි], කාලයක් සිරිපා අඩවියේ ලෙනක සුදු නයෙකි [බංකුව මත දගර ගැහෙන්නට හදයි]

පැය බාගයක් පමණ තිස්සේ ගිය මේ නාටකය හෙවත් වෙළඳ දැන්වීම මස්තබාල්දු දවස රසවත් කළේය. වචන මතක නැතත් චිත්ත රූප සමග පොරගේ ගාථාව වගේ එකක් මට තාමත් ඇසෙයි. කෙසේ වෙතත් කොලු කෙල්ලන්ට සොමියක් දෙනවාට එහා යමක් සිදු නොවීය. කොටින්ම මුන් දෙන්නට එදා නොමිලේ රා බෝතලයක් වත් ලැබුණා යයි නොසිතමි.

ටික වෙලාවකින් ගුප්ත බුවා ගමේ බුවා සමග බස් හෝල්ට් එක දිහාවට ඇදෙනු දකින්න ලැබුණි.

කතාව් ලිව්වේ පරණ සීන් බෙදා ගන්න ආතල් එකටය. එහෙත් ඊට පාදක වූයේ වසර විසිදාහක  ආත්මභාවයන්  ගැන  මතක  ලංකාවේ  රජවරු  ඇමතිවරු  වෙලා උන්නු බව  කියන ගුප්ත  බුවෙක්  ගැන  ලියැවුණු මෙන්න මේ "පුවත" යි.


අදට වඩා ලෝකාවබෝධයෙන් දුර්වල එදා ලංකාවේ මිත්‍යා ඇදහිලි වලට ප්‍රකට පෙදෙසක ගමක පෙර කී ගුප්ත බුවාට ලැබුනේ විසුළු සහගත රිසෙප්ෂන් එකක් වුවත් දැන් එහෙම නැත. දැන් ඒ පොරවල් ඉන්නේ ගොසිප් සයිට් වලය. හෙට අනිද්දා මේ යකා ඊගාව දොලුකන්දයා වුනත් පුදුමයට හේතුවක් නැත.

කෙතරම් නව තාක්ෂනයන් සමාජගත වුවත් අවබෝධය හා බුද්ධිය අතින් ලංකාව ආපසු යන බවට කදිම සාධකයකි.

Monday, June 22, 2015

එරන්ද කුමාරප්පෙරුම - මිතුරෙකුගේ කලා නිර්මාණ ගැන ඇගයුමක්

එරන්ද කුමාරප්පෙරුම මා හඳුනන්නේ කලකට පෙර සිට ය. මගේ විශ්ව විද්‍යාල සමය හා ඔහුගේ පාසල් අවසාන සමය වූ ඒ කාලයේ අපි හොඳ මිතුරෝ වීමු. වෙනස් ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ උගත් අපි, ඒ ක්ෂේත්‍ර වල වෘත්තීන් වලට යොමු වූයෙමු. දශකයකට වැඩි  කලකට  පසු එරන්ද මට මුණ ගැසෙනුයේ සපුරා වෙනස් සන්දර්භයකදීය.

එරන්ද දැන් චිත්‍ර ශිල්පියෙකි. සම්මාන/ජයග්‍රහණ ලද්දෙකි. එරන්දගේ චිත්‍ර තුලින් සුවිසල් භාවාත්මක කතිකාවක් නිහඬව කළ එළි දැක්වේ. වැදගත් ම කාරණාව ඒවා පළ කෙරෙනුයේ කඩදාසියක් මත නොවීම නිසාය. එරන්ද චිත්‍ර 
පළ කිරීම ආරම්භ කළේ ටී ෂර්ට් වලය.



ඔහුගේ චිත්‍ර බොහෝ විට ඉස්මතු කරනුයේ සමාජය තුල කලක පටන් පැවත ගෙන ආ සාමාජිය සිහි සටහන් විශේෂයකි [social memoirs]. විටෙක මීට දශකයකට පෙර මිනිසුන් සුලබව සහභාගී වූ ක්‍රියාකාරකමක්, තවත් විටෙක නගරයක සුවිශේෂි කෙළවරක්, එසේත් නැතිනම් බොහෝ දෙනෙකුට අතීතයේ මතකයක් අවදි කරවන කිසියම් හැගීම් ප්‍රකාශනයක් ඒ චිත්‍ර අතර සොයා ගත හැක. බොහෝ චිත්‍ර වල සියුම්ව ඉරි අතර සඟවන වැදගත් සලකුණු වේ. තමන්ට ඉස්මතු කිරීමට අවැසි කතිකාව සංකේතාත්මක සටහන් කීපයක රඳවන්නට ඔහු සමත් වී තිබේ.

මේ වසර විස්සකට පමණ පෙර ඔහු සිටින ඕස්ට්‍රේලියාවේ මිනිසුන් බොහෝ දෙනෙකු ප්‍රියකළ ප්‍රචලිත වාහනයකි. එකල සුලබ වූ මෙම වාහනය බොහෝ දෙනෙකුට අතීත මතක සිහි ගන්වයි.



මේ සිඩ්නි නගරයේ කෙලවරකි. බොහෝ සිත්තරුන් ලොකුවට අඳින පාලම ඔහු මෙහි සඟවා තිබේ.



පැටළුණු ඉරි ගොඩක ගැඹුරු අදහසක් - Hunger.






කළා  නිර්මාණ  ඇගයීමට  ශාස්ත්‍රීය  හැකියාවක් නැති  මගේ  වචන  හරඹ  පසෙක  ලා  අපි  එරන්දගේ  තෙලි   තුඩට  කතා  කරන්නට  ඉඩ  දෙමු.













ටී ෂර්ට් නිර්මාණයෙන් ඔබ්බට යන ඔහු වෙනත් නිර්මාණ අවකාශවලට අවතීර්ණ වී ඇත. රාමුකළ  චිත්‍ර, වෘත්තීය චායාරූප කරණය, වීඩියෝ කරණය හා ගීත වලට රූප රචනය ඉන් සමහරකි.

මේ අමරදේවයන්ගේ නවතම ගීයකට ඔහු විසින් කල රූප රචනයයි.

ඉරි සටහන් ඉක්මවන වර්ණ පදාස වලින් කල අදහස් දැක්වීම් කීපයක් එකතු කරන්නේ එරන්ද එක ශෛලියක සිරගත නොවන්නෙකු බවට සාධකයක් වශයෙනි. මේවා උපුටා ගන්නේ ඔහුගේ නිර්මාණ  එළි   දක්වන  වත්පොත් පිටුවෙනි.












කාර්යබහුල වෘත්තිය ජීවිතයක් සහිත වුවද නිර්මාණකරණයේ යෙදෙන්නට හා නිර්මාණ වෙළඳපොළට එකතු කරන්නට ඔහුගේම සමාගමක් පිහිටුවා ගෙන තිබේ. මේ එහි වත්පොත් දිගුවයි.

එමෙන්ම  නිර්මාණකරුවෙකු  ලෙස  https://www.facebook.com/erandak හරහා  ඔහු  රසිකයන්  හට  දැකබලාගත  හැකිය.

එරන්දගේ යුටියුබ් ෆීඩ් පහත දැක්වේ.
www.youtube.com/nugadesigns
www.youtube.com/erandak


ඔහුගේ සියලු නිර්මාණ තුල ඇත්තේ සිතුවම් හරහා ඔහු දකින ලෝකයයි. ටී ෂර්ට් එකකින් වීඩියෝ එකකින් එලියට එන්නේ ඔහුගේ තෙලි තුඩෙක ඇඳෙන කටු සටහනකි. ඒ කටු සටහන් වල පිළිවෙලක් නැති ඉරි කීපයක ස්වරූපයෙන්  අමුතු කතන්දරයක් මවන්නට ඔහු සමත් වේ. ඒ තුලින්  ඔහුටම  ආවේනික දර්ශනයක්  නිහඬව  ඔහු  ඉදිරිපත්  කරයි.


තමන්ගේ ම කලාවක් පටන් ගෙන සියුම් හා සුන්දර නිර්මාණ හිතට කා වදින මාතෘකා හරහා ඉදිරිපත් කරන එරන්දට සුබ පතමු.