Wednesday, November 14, 2012

ඉල් මහේ මතක

[අසු නවය ගැන දැමු මුහුණු පොත් ප්‍රතිචාරයක් ඇසුරිනි]

අසූ අට - අසූ නවය සමය මුළු රටම පීඩා විඳි සමයකි.

සහෝදරත්වයේ තුවක්කුවට බියේ දහවල නිවෙස් තුල සැඟව උන්නෙමු. සමහරු බඩගින්නේ හිටි අතර නීති කඩකර බඩගිනි නිවන්නට ගිය උන් ගල් කටස් පහරට ලක්විය.

රාජ්‍ය නිල හා නොනිල හමුදා වලට බියේ රෑ නොනිදා හුන්නේමු. රාත්‍රිය දහවල තරම්වත් නිශ්චිත නොවුනි. මිනි මැරුනේ බේබද්දන් පාරේ ඇවිදින්නාක් මෙනි.

හුදෙක් නීතියක් කියා දෙයක් නොතිබි පූර්ණ අරාජික සමයකි.

කිනම් හෝ හේතුවකට පිරිසක් අවි බලය අතට ගෙන අවියෙන් දිනන්නට උත්සහ කරන විට අරාජික තත්වයක් උද්ගත වේ. 1971 හා 1987-89 දකුණේ ඇතිවූයේද, 80 මුල කාලයේ සිට 2009 දක්වා [වරින් වර ලද "පිට් ස්ටොප්" හැරුණු විට] උතුරේ ඇති වුයේද මේ තත්වයයි. එම පරිසරය තුල නීතිය අතුරුදහන් වූ විට, වනචාරි සමයක් ඇරඹේ. ආයුධය ආයුධයකින් විනා වෙනත් ආකාරයකින් පරාජය කල නොහැකි නිසා ආයුධයට හා එය දරන්නාට රිසි සේ ක්‍රියා කිරීමේ නිදහස ලැබේ. ලොව කිසිම යුද්ධයක් ජිනීවා සම්මුතියට අනුව සිදු නොවන්නේ එබැවිනි.

අප අත්දුටු 87-89 වැනිම තත්වයක් 2006-2009 උතුරේ ඇති වන්නට ඇත. ගල් කටස් එක්ක හැප්පෙන්න ඔතරම් මහන්සියක් ගන්න උනා නම් ස්ලින් ගුවන් යානා දක්වා ගිය සංවිධිත යුධ යන්ත්‍රයක් එක්ක හැප්පෙන්න තව මොනවා කරන්නට ඇතිද?

මේවා අස්සේ මිය ගිය දහස් ගණන් අහිංසකයින් ඇති. එහෙත් අවසානයේ කියන්නට ඇත්තේ පළමු වරදකරු නීතිය අතුරුදහන් කල කෙනා බවයි. නීතිය වෙනුවට ආයුධය සරණ ගිය ඔවුන් ලඟා කල ප්‍රතිපලය වනුයේ ඔවුන් නවතන්නට එවැනිම අවි බලයකට නිදහස ලබා දීමයි. අවියකට එරෙහි අවියක් යන පදනම තුල මේවා සිදුවීම පුදුමයට හේතු නොවේ.

කෙතරම් දූෂිත වුවද අප ජීවත්වන සමාජයේ සිවිල් නීති පද්ධතිය අප කෙතරම් ආරක්ෂා කරන්නේද යන්න මෙහි හරයයි. කිසියම් ගැටලුවක් ඇතොත් එය සිවිල් නීති පද්ධතියට එරෙහිව නොයා හැකි පමණින් එය තුල හිඳ විසඳා ගැනීම අවශ්‍යතාවයක් වන්නේ එබැවිනි.

සමාජය වෙනස් කරන්නට පෙර ලෝකාවබෝධය ලැබිය යුතුය. සමාජය වෙනස් විය යුත්තේ මිනිහෙකුට හෝ අවි දරන පිරිසකට ඕනේ දිහාවට නොවේ. තමන්ට මතය තාර්කික රාමුවකින් පෙරට ගෙන යා නොහැකි නම් එය අතහැර දැමිය යුතුයි. ලෝකය කොහොමත් අසාධාරණ ගොඩකි. එකෙකු එහි සාධාරණය කියා තනන්නේ වෙනකෙකුට අසාධාරණයක් ම පමණි.

යම්කිසි පිරිසක් අවි අරගෙන එන්නේ මේන් ස්ට්‍රීම් එකේ පරාජිත මතවාදයක් නිසාවෙනි. මේන්  ස්ට්‍රීම් එකේ සාර්ථක මතවාද රාජ්‍ය බලයෙන් මර්ධනය කල නොහැක. එහි පරාජිත මතයක් කෙනෙක් අරගෙන යුද්ධ කරන්න ආවාට පස්සේ අවි බලය යොදා ගන්න එක හැරෙන්න විකල්පයක් නොමැත. දෙගොල්ලම කරන්නේ මිනි මරණ එකයි. එක පැත්තක් මැරුවේ නැතිනම් අනිත් පැත්තෙන් මරණ එක වැළකිය නොහේ. ඒ නිසා පළමු ඝාතකයා වැලකීම රටක හමුදාවක වගකීමක්.


ඒ නිසා ආයුධයක් ගෙන නීතිය අතුරුදහන් කරන්නා අදාළ නෛතික රික්තය තුල සිදුවන සියලු ක්‍රියා වලට මූලිකව වග කිව යුතු අතර, ඒ පාර්ශ්වය විශේෂයෙන්ම එහි නායකත්වය වනසා දැමීම අද්‍යතන මානව හැකියාවන් තුල කළහැකි එකම විසඳුමයි. 89 දීත් 2009 දීත් ඔප්පු වන එකම සත්‍යය එයයි.

ඉල් මහ සැමරිය යුතු මතකය එපමණකි.

ප.ලි. කැරලි මර්දනය යන ලේබලය යටතේ පාලක පක්ෂයක් කරන සියලු ක්‍රියා මින් සාධාරණීකරණය නොකරන්නෙමු. ක්‍රියාවේ බරපතලකම මත ඒවා ගැන පරික්ෂණ පැවැත්වීම හා වැරදිකරුවන්ට දඬුවම් දීම සිදුවිය යුතුය. එහෙත් නීතිය අතුරුදහන් කල එකාට අවනීතියේ වැරැද්ද ගැන චෝදනා කරමින් වසරක් ගානේ හඬා වැටෙන්නට අයිතියක් නැත.

Thursday, November 1, 2012

ආශ්චර්යක් නේද හසන්ත


හසන්ත මේ තමා අපේ ගම. ඒ ගම ඇතුලෙන් අපට මේ ඇහෙන්නේ අපේ කම. ඔය කොළඹ ඉඳං ගම ගැන නං දොඩවන මහත්තුරුන්ට මම කියන්නේ, බලාපල්ලා ගමට ගිහිල්ල. දැකගනිල්ලා අපේ ගමේ අසිරිය, සුන්දරත්වය. 

http://www.divaina.com/2012/11/01/news02.html
මෙන්න මේ අපේ ගම තමයි හසන්ත අද මේ දියසෙන් පරපුර මුල් බැහැ ගත්තු පදනම. මේ ගම නිසා තමයි හසන්ත කවදාවත් ඒක හොල්ලන්න බැරි. ආශ්චර්යක් නේද හසන්ත.

[මෙම පුවත අහඹු ලෙස තෝරා ගත්තකි. මගේ අරමුණ ගමට පාලමක් තනා දෙන්න නොවේ. මෙටෆෝර් පටලා නොගන්න]