Sunday, April 22, 2018

කඩදාසි සෙල්ලිපි

මම පොත් කියවන්නේ අඩුවෙනි. කියෙව්වොත් සයි ෆයි පමණි. ඒ ද ඉස්සරය. කසාද බඳින්නට සහ ගෙදරට නෙට් ඇක්සස් ලැබෙන්නට පෙර කාලෙය. මෑතදී කියවීමට ගත් උත්සහ බොහෝ සෙයින් ව්‍යර්ථ විය. කරන බාග කියවීම් සයිබරයේය.

මට කඩදාසි පොතක් ලියන්නට නම් මලාට නොසිතේ. සයිබර පොතක් [කින්ඩ්ල් වැනි] ලියන්නට සූටි ආසාවක් ඇත.

කියවීම සම්බන්ධ කාරණා මත සෙට් වන මගේ ලාංකීය නොවන මිතුරන් අතර විසි ගණන් වල ඉන්න උන් කඩදාසි පොත් කියවන්නේ නැත. උන් පොත් කියවීම් කියන්නේ පොත වොයිස් එකකින් කියවෙන ලෙස දාගෙන එදිනෙදා වැඩ කිරීමයි. හතලිස් පනස් ගණන් වල උන් කඩදාසි පොත් කියවා ඇත්තේ උන්ගේ විසි ගණන් වලදී ය.

කඩදාසි පොත් ලියන මගේ මිතුරියක් අද කියූ පරිදි සත් වසරක ඇගේ ලේඛන උත්සාහය විකිණී ඇත්තේ කොපි 2000 කි. මීට ටික දිනකට පෙර කඩදාසි පොත් ලියන තවත් මගේ මිතුරෙක් එවැනිම ඉලක්කමක් පළ කළේය.

මිනිස්සු කඩදාසි පොත් කියවන්නේ නැත්තේ උන්ගේ අමන කමට අධම කමට නොවේ. ඒක ඔය රටේ අවුලක් නොවේ. මිනිසුන් කඩදාසි පොත් කියවන්නේ නැත්තේ ඒ කාල ස්ලොට් එකට වෙනත් දේ ආ නිසාය. දර්ශීය උදාහරණය ලෙස මා ම සැලකුවොත් ඒ කාල ස්ලොට් එකට මට බිරියක් දරුවෙක් කුටුම්බයක් ඒ සියල්ලට වඩා අන්තර්ජාල සම්බන්ධයක් ස්මාට් ෆෝන් එකක් ලැබී ඇත. ඉස්සර කෝච්චියේ පොත් කියවූ මුත් ඒ කාලයට ද කෝච්චියේ ෆේස්බුක් කියවීම බාධා කරයි [පහුගිය සති දෙකේ ඔබ සියල්ලන් මගේ වෝල් එක මත දමන සැරසිලි ඉග්නෝ කර අමාරුවෙන් එක පොතක් කියවන්නට සමත් වීමි].

මිනිස්සු කඩදාසි පොත් කියවන්නේ නැත්තේ කඩදාසි පොත් උන්ගේ දින චරියාවට ෆිට් නොවන නිසාය. කියවන්න වෙනත් විකල්ප ක්‍රමවේද තියෙන නිසාය. ඒ අතර කඩදාසි පොත් කියවන්නෙක් වීනම් ෆේස්බුක් ඉග්නෝ කර කෝච්චියේ කියවන මාවැනි එකෙක් පමණි. පබ්ලික් ට්‍රාන්ස්පෝට් විනාඩි 45 පැය වගේ කාලයක් රස්තියාදු වෙන එහෙත් ඉඳගෙන කියවන්න තරම් සුවපහසු සිඩ්නි වැනි තැනක පමණි.

මේක සමාජයේ රටේ හෝ නව පරපුරේ අමන කම ලෙස කියන්නට කීප දෙනෙක් උත්සහ කරනු ඇත. ඒ සියල්ලන් හතලිස් පනස් හැට දශක වල ඇත්තන් බව ඔවුන්ට සිහිපත් කල යුතු වේ.

ලංකාවේ සමාජයේ උගත්කම ඉහල සාක්ෂරතාවය සහ කඩදාසි පොත් අතර ඇති සම්බන්ධය ඔබ සිහිපත් කරනු ඇත. ජාතික මට්ටමේ පොත් සල්පිලක් වාර්ෂිකව කරන ආගමික රිචුවල් වැනි පොත් දොරට වැඩුම් කරන රටකි ලංකාව. එහෙත් ඒ සියලු තැනට එක්රැස් වන්නේ සමස්තයෙන් සුළු පිරිසකි. එක්කෝ ඉහල වයස් පරපුරු වල කඩදාසි පොත් වලට බැඳුනු නොස්ටල්ජීය ආදරයක් ඇති අයයි. නොවේනම් කළා අංශයෙන් ඉගෙන තවම ලංකා ඉපැරණි සිලබස් නිසා දශක කීපයක් පස්සෙන් ඉන්න අයයි. එහෙමත් නැතිනම් විවි හෝ වෙනත් මගින් කිසියම් දේශපාලන කල්ට් එකකට පිළිපන් අයයි. මේ සියල්ලේ සමුච්චිත පලය ලෙස මගේ හිතවතියට පොත් 2000 ක් සහ මගේ හිතවතාට තවත් එවැනිම ගණනක් විකුණා ගත හැකි විය.

ඔබ දෙදෙනාම මේ ඉලක්කම් වලට ස්තුති වන්ත විය යුතු වන්නේ ඔබ කරන ක්‍රියාව වත්මන් ජීවන රටාවෙන් ඉවත් වූ දෙයක් බැවිනි. ලංකාව සෙල් ලිපි ලිවීමේ ඉදිරියෙන් උන් රටක් වුවත් දැන් ඔබ සෙල් ලිපි ලියා කඩේ වික්කොත් ඒවා කියවන්නේ පුරා විද්‍යා ලෝලීන් පමණි, ඔබ ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුය.

මිනිස්සු දැන් පොත් කියවන්නේ වෙන වැඩක් කරන ගමනය. ඒ ෆෝන් එකේ ඇප් එකක එය කියවෙන්නට දාලා ය. ඔබේ පොත් එතනට තවම පැමිණ නැත.

ඇමසන් කින්ඩ්ල් ගැන ලියන්නට ගොහින් දැනගත් පරිදි ඔබේ සිංහල ලියමන් වලට තවම එතනට එන්නට තාක්ෂණය නැත.

මේ නිසා විය යුත්තේ ලේඛකයින් සහ ප්‍රකාශකයින් මේ යුගයට ගැලපෙන තාක්ෂණික ගැප් එක පියවා වර්තමානයට ගැලපෙන සේ "පොත්" පළ කිරීමයි. ඒ සඳහා වෙහෙසීමට අවශ්‍ය ශක්‍යතාවය ඔබට ඇත. උදාහරණයකට සිංහල යුනිකෝඩ් නිර්මාණය කලේ වසර 12 කට පමණ පෙර ස්වෙච්චා වෘත්තික සමූහයක් විසිනි.

මේ අවු අස්සේ ඔබටම ගැලපෙන ඔබේම යහපාලන රජය මේ අමාරුවෙන් කඩදාසි පොත් ලියන පළ කරන විකුණන වචනයේ පරිසමාප්ත අර්ථයෙන් හිඟන මාකට් එකෙන් 14% වගේ ගානක ටැක්ස් එකක් ගහයි. මෙය මේ රජයේ බංකොලොත් බව ගැන කදිම සාධකයකි [රජය එය පත්කළ ජනයාගේ ප්‍රතිමූර්තියකි]. එහෙත් ඊට එරෙහි වෙනගමන් උන්ට උන්ගේ ගල් යුගයේ ටැක්ස් එක තියා ගන්න දී ඔබ කඩදාසි පොත් වෙනුවට නව ප්‍රකාශන ක්‍රමවේද කරා සංක්‍රමණය වන්න. ඒ සඳහා මේම නව බද්ද හේතුවක් කරගන්න.
ප.ලි. මේ බ්ලොග් සටහන ඊට පස්සේ දැනගන්න ලැබුණු Poth ඇප් එකට කැප කරන්න කැමතියි

Tuesday, April 10, 2018

ටෙක්නොක්රසිය සහ අතත්‍ය වටිනාකම්

ඈ විටෙක ව්‍යායාම පුහුණු කරන්නිය. විටෙක වීගන් ජීවන රටා ප්‍රචාරය කරන්නීය. හරිත පුරුදු අගයන්නීය. සත්ව හිංසනය ගැන කතා කරන්නීය. ගී ගයන්නීය. සමාජ විචාර ඉදිරිපත් කරන්නීය.

ඇයට ව්‍යායාම පුහුණු කරන්නට බැරිය. ගී ගයන්නට ද බැරිය. යහපත් අනාගතකාමි දිවියක් ගැන ඇගේ බොහෝ අගනා ප්‍රචාරයන් බොහෝ දෙනා තුල ඇති කලේ ප්‍රහර්ෂයකි.

එහෙත් ඇයට සැලකිය යුතු ග්‍රාහක පිරිසක් හුන්හ. ඕකිට පිස්සු කියා බොහෝ දෙනා කීව ද අද වෙනකම් ඒකිට පිස්සු කියා ඔප්පු කරගන්න හැකියාවක් නැත.

අපි  ඇයට  සුළු  විවේකයක්  දෙමු.

ඉන්දියාවේ ගංගොඩක උපන් නූගත් කෙල්ලක් වන දින්චක් පූජා ට ද   සින්දු කියන්නට බැරිය. මෝටර් බයික් පදින්නට හැකිමුත් හෙල්මට් නැතුව මෝටර් බයික් පැදීම නිසා පොලිසිය ඇය සොයයි. දින්චක් පූජා ගේ දරාගත නොහෙන ගායනා කටෝර බව නිසා අසන්නා අවුස්සන ගායනා වේ.

දින්චක් පූජා ට ගයන්නට චිත්‍රපට රේඩියෝ හෝ වේදිකා විවර නොවේ. එහෙත් ඈ අතිශය ජනප්‍රිය තරුවකි. ඇයට තමන්ගේ ටීම් එකක් පවා ඇත.

ශෘති ආනන්ද් හැඩ ඉන්දියානු කෙල්ලකි. තව හැඩ වෙන්න කැමතිය. ඇමරිකාවේ ඇන්ග්ලෝ ජනගහනය ඉක්මවන්නට වෙර දරන ඉන්දීය පරිගණක වැඩසටහන් සැකසුම් කරුවන් අතර තවත් එකියකි. ශෘති යු ටියුබ් ආවේ මේකප් දාන හැටි බලා ගන්නය.

ටික කලකින් ශෘති වෘත්තියෙන් සමුගත්තාය. ඒම අංශයේම සේවයේ නියුතු සැමියා ද සේවය හැර ගියේය. දෙදෙනා නැවත ඉන්දියාවට ගිය අතර දැන් ඔවුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හයර් කර සිටිති. ශෘති හෝ සැමියා කිසිම තැනක රැකියා කරන්නේ නැත.

බොහෝ දෙනෙක් දන්නා පරිදි ඉරාජ් වීරරත්නට ද ගී ගයන්න ඒ හැටියට බැරිය. ලියන්න තනු නිර්මාණය කරන්න එහෙමත් බැරිය. ඉරාජ් ස්ටේජ් නැග සින්දු කියනවා මෑතකදී කවුරුත් දැක නැත. මිනිහා ලොකුවට සීඩී වල සින්දු දමා විකුනන්නේ ද නැත. වාණිජ සිනමාවේ නමක් හිමි පියෙකුගේ පුතෙක් වුනත් සිනමාවෙන් උපයන්නේ ද නැත.

එහෙත් ඉරාජ් සංගීත නිෂ්පාදකයෙක් ලෙස විශාල ධනයක් උපයන බව කියවේ.

නම් ලිස්ට් එක දිගු කල හැකිය. මේ කියවන ඔබ ද ලියන මා ද මේ කතාවේ කොනකට පැටලී ඇත.

දින්චක් පූජා සින්දු කියාගන්න බැරිව ඒත් සින්දු කියන්නේ ඇයි? ඇගේ කටෝර හඬ ට ඇති වෙළඳපොල කුමක්ද? ඈට දොර විවර කල සංගීත මාධ්‍යය කුමක්ද?

පූජා තමාගේ ටීම් එකක් හයර් කරගෙන ජනප්‍රිය තරුවක් වන්නේ යු ටියුබයේ ගී ගැයීමෙනි. මිනිස්සු පූජාගේ ගී අහන්නේ ඒ කටෝර බව නිසා මේ මොන මගුලක් ද කියන හැගීමෙනි. එහෙත් ගැටලුවක් නැත. විචාරකයා කෙසේ කීවත් වීව් එක පමණක් වටී. ඒ වීව්ස් වලින් ඉන්දියාවේ ගංගොඩක හැදුනු නූගත් කෙල්ලක් තමන්ගේ මීඩියා ටීම් එකක් පවා පවත්වා ගෙන යාමට සමත්ය.

ශෘති ආනන්ද් මේකප් දාගත්තාය. යු ටියුබ් එකෙන් බලා ගත්තාය. ඊට පස්සේ දවසක් එයා මේකප් දාන හැටි යු ටියුබ් එකට දැම්මාය. දිග කතාව කොට කළහොත් දැන් ඒ මේකප් වීඩියෝ වලින් ඉන්දියාවේ ජනප්‍රිය වූ තරුව ඇමරිකාවේ පරිගණක රස්සාවට සමුදී සැමියා ද අස් කරවා ගෙන පස් දෙනෙකුගෙන් යුත් ටීම් එකක් සමග ඉන්දියාවේ සිට තමන්ගේ යු ටියුබ් චැනලයක් නඩත්තු කරන්නීය. තමන්ගේම නිෂ්පාදන  බිහි  කරන්න සිහින දකින්නීය.

ඉරාජ් ගැන මා ලියන්න අවශ්‍ය නැත.

මිනිසුන් සතු වටිනාකම් පවතී. ගල් යුගයේ කුඩා මෙවලමක් බෙලි කට්ටක් සිප්පි කට්ටක් වටිනා දෙයකි. බෙලිකටු අහුරකට බොහෝ මිනිස් අවශ්‍යතා සපුරා ලූ කාලයක් තියෙන්න ඇත. ස්වභාවයෙන් හැඩ වූ සිප්පි කට්ටක මූල්‍ය මය අගය දකිනා ගල් යුගයේ මිනිසෙක්, මුදල් නෝට්ටුවක වටිනාකම හඳුනා ගනීද? බැංකු කාඩ් පතක භෞතිකව නොපෙනෙන මූල්‍ය අගයක් කොහේ හෝ පරිගණක පද්ධතියක වෝල්ට්  පහේ දෙකේ අර්ධ සන්නායක පැටර්න් අස්සේ ඇතැයි පිළිගනීද?

මිනිස් වටිනාකම් කාලය සමග වෙනස් වේ. එහෙත් බොහෝ විට මිනිස් අවබෝධයන් තිබ්බේ ඒ වටිනාකම් වල විකාශයට පස්සෙනි. ඒ නිසාම බොහෝ දෙනා ඒවා දැක්කේ ප්‍රමාද වී ය. ඔබ ඔබේ අතත්‍ය වටිනාකම් හඳුනනවා ද? ඉන්දියාවේ ඉන්දියාවේ ගංගොඩක හැදුනු නූගත් දින්චක් පූජා තරම් ඔබ ඒවා අවබෝධ කරගෙන තිබේද?

මා මේ කතා කරන්නේ සයිබරය හරහා ලැබෙන නිකම් ප්‍රසිද්ධිය ගැන නොවේ. බ්ලොග් වල එක එක විකාර ලියා ෆේස්බුක් එකේ "ෆන්" ගන්න ගිහින් එහෙම ප්‍රසිද්ධියක් අප බොහෝ දෙනෙකුට ඇත. ආ මේ අරු නේද කියා අහම්බෙන් මිනිස්සු හඳුනා ගැනෙන අවස්ථා, අඩෝ ඕකව මන් දන්නවා ඕක අහවලා නේද කියන අවස්ථා ලොකු සීන් නොවේ. ඒවායින් වටිනාකම් ලැබේනම් ඒ හර්දයාංගම ආතල් පමණි. මං කියන්නේ මේ අතත්‍ය පැවතුම් හරහා මුදල් ගලා ඒම ගැනයි. ඔබේ ෆේස්බුක් එකවුන්ට් එක හෝ යු ටියුබ් චැනලය කොටස් වෙළඳ පොලේ ආයෝජිත වත්කමක් වගේ ඔබට උපයා දීම ගැනයි. කොටස් වෙළඳපොළට රිංගන්න නම් ආයෝජනයට  මුදල් අවැසි මුත් මේ වැඩේට යන වියදමක් නැත.

ඔබේ දේපොළ සහ වටිනාකම් අතරට ඔබේ බ්ලොගය, ෆේස්බුක් ප්‍රොෆයිලය, ඉන්ස්ටග්රාමය හෝ ට්විටරය එහෙත් නැතිනම් යු ටියුබ් එකවුන්ට් එක ඔබ එකතු කර තිබේද? එය ඔබේ බූදලයට ඇතුළු කිරීමට සාමාන්‍යයෙන් පරපුරක් පස්සෙන් සිටින නීතිවේදීන් නම් සමත් නොවනු ඇත. එහෙත් වඩාත් වැදගත් කතාව නම්, මේ දේවල් ඔබට සපයා දෙන සමාගම් වත් ඒවා එතරම් වටිනා දේවල් ලෙස සලකන්නේ නැතිවීමයි.

දෙවියන් වහන්සේ එදිනෙදා අහර සපයන ක්‍රිස්තියානි ආගමික සංකල්පය මෙන් ඔබේ අතට මේ දේවල් නිකම්ම සපයන්නට සකර්බර්ග්, බ්රින් පේජ් වැනි ප්‍රකොටිපතින් දානපතින් නොවේ. ඔවුන් ඔබට ඔබේ අතත්‍ය පැවැත්ම නොමිලේ ලබා දුන්නේ ඔබ විකිනීමෙනි. ඔබ ලවා ඔබ යෙහෙන් විකුණා ගන්නට ඔවුන් ඔබට පොඩි කොමිස් එකක්  ලබා දී ඇත. ඒ කොමිස් එක මත ඔවුන් ඉපයූ කොටස කීයද කියා ෆෝචුන් 500 සඟරාවකින් කියවා ගත හැකිය.

කොටින්ම ඔබේ අතත්‍ය වටිනාකම් ඔබේ වත් නොවේ. ඔවුන් විසින් ම පනවන ඇතැම් නීති මත ඔබේ ෆේස්බුක් ගිණුම අවලංගු කල හැකිය. ඔබේ යුටියුබ් චැනලය ෆිල්ටර් හෙවත් දැන්වීම් ආදායමෙන් තොර කල හැකිය. මෙය හුදෙක් ප්‍රකාශනයේ නිදහස පමණක් නොවේ. බ්ලොග් ලියු මුල් කාලේ ඇඩ් සෙන්ස් දාගෙන අවුරුදු ගානකට ඇමරිකන් සත කීපයක් ඉපයූ මා වැන්නන් හට නම් මේ ප්‍රකාශනය ගැන ගැටලුවක් පමණි. එහෙත් ටීම් එකක් දාගෙන මෝට බයික් එකේ සින්දු කියමින් යන දින්චක් පූජාට හෝ හස්බන්ඩ් රස්සාවෙන් අස්කර තමනුත් අස් වී රටත් හැර ගොස් ටීම් එකකුත් හයර් කරගෙන සිටින ශෘති ආනන්ද් ට මෙය ඊට එහා දෙයකි. ඔවුන්ගේ ගිණුමක් අවලංගු වුවහොත් එය ජීවිකාව වැලකීමකි. ව්‍යාපාර අවහිරයකි. පවුල් කීපයක් බඩ ගින්නේ තැබීමකි.

ඒත් එසේ වුවහොත් ඔවුන්ට නඩු දැමිය හැකිද? ඔවුන්ට ඔවුන්ගේ ගිණුම් අයිතිද? නැතිනම් තවම ඒවා සමාගම් පිනට දීපුවාද? ඔබේ එකවුන්ට් බ්ලොක්  කරන නීති  සම්මත  කර  ඇත්තේ  අහවල්  පනත  යටතේ  ද?  අහවල්  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා  වගන්තිය  යටතේ  ද?  උන්ගේ  එකවුන්ට්  නිසා උන්ට   ඕනේ මගුලක්  කල හැකිද?

මහා රජානෝ සියල්ල ජනයාට සැපයු, සියල්ල රජාට හිමි වූ කාලේ නම් බත් වේලක් කන්න මහා රජාගේ බිමේ ගොයිතැන් කර මහා රජාගේ පංගුව මාලිගාවටම උස්සන් ගොහින් දී ඉතිරි වන සොච්චම මහා රජාට පින් දෙමින් බුදින එක සාමාන්‍ය තත්වයකි. ටෙක්නොක්රසිය හෙවත් සමාගම් පාලිත ලෝකය තවම ඇත්තේ එතනය.

ඔබ යු ටියුබ් වලින් උපයන්නේ නම් ඔවුන් දැන්වීම් වලින් උපයන මිල ට සාපේක්ෂව වීව් එකකට ඔබට ගෙවන මිල හෙට්ටු කරන්නට ඔබට හැකිද? සාමාන්‍ය වෙළඳ පොලේ නම් එය එසේය. ඔබ ගනුදෙනුවකදී ඔබේ කොටස ගැන අනෙක් පාර්ශ්වය සමග ගිවිසුම් ගත වේ. කොටින්ම ඔබේම පින්තුරය විකුණන වෙළඳ දැන්වීම් ලෝකයේ වුවත් නළුවා හෝ නිළිය සිය මිල ඩිමාන්ඩ් කරයි. එහෙත් ඔබේ අතත්‍ය පැවතුම් විකුණන සයිබර ලෝකේ ඔබට හෙට්ටු කිරීමේ අයිතියක් ඇද්ද? දෙන ගානක් අරගෙන ඔහේ ඉන්නවද?

දැන් අපි අර නතර කළ  තැනට යමු. අපි විවේකයක් දුන්  ඒ කාන්තාව නැවත කැඳවමු.

ඇගේ නම නසීම් ය. නසීම් නජාෆි අග්ධම් ය. ඉරාන සම්භවය සහිත බහයි ආගමික කෙල්ලකි. ඉරානයේ බහයි ආගම තහනම් නිසා ඇමරිකාවට පලා ගිය පවුලක කෙල්ලකි. ඈ විටෙක ව්‍යායාම පුහුණු කරන්නිය. විටෙක වීගන් ජීවන රටා ප්‍රචාරය කරන්නීය. හරිත පුරුදු අගයන්නීය. සත්ව හිංසනය ගැන කතා කරන්නීය. ගී ගයන්නීය. සමාජ විචාර ඉදිරිපත් කරන්නීය.

ඇයට ව්‍යායාම පුහුණු කරන්නට බැරිය. ගී ගයන්නට ද බැරිය. යහපත් අනාගතකාමි දිවියක් ගැන ඇගේ බොහෝ අගනා ප්‍රචාරයන් බොහෝ දෙනා තුල ඇති කලේ ප්‍රහර්ෂයකි. එහෙත් ඇයට සැලකිය යුතු ග්‍රාහක පිරිසක් හුන්හ. ඕකිට පිස්සු කියා බොහෝ දෙනා කීව ද අද වෙනකම් ඒකිට පිස්සු කියා ඔප්පු කරගන්න හැකියාවක් නැත.

නසීම් ට පිස්සු නැතත් ඇය පිස්සු වට්ටවන සිදුවීම වූයේ යු ටියුබ් අතිනි. ඔවුහු ඇගේ චැනලය අවහිර කළහ. සීමිත වීව් ලබාදුන් ඒවාටද දැන්වීම් ෆිල්ටර් කර තිබුණි.

එතන උල්ලංඝනය වූයේ නසීම් ගේ ප්‍රකාශන අයිතිය පමණක් නොවේ. මේ දක්වා උසුළු විසුළු මධ්‍යයේ වුව විවිධ සංකල්ප ජනගත කරමින් තරමක ප්‍රසිද්ධියක් දිනාහුන් ඇයගේ ආදායම වැසී ගියේය. මෙය හරියටම ඔබේ බැංකු ගිණුමේ ඔබේ පවුලේ වත්කම් විකුණා මුදල් තැන්පත් කල පසු බැංකුවෙන් ඒ සල්ලි ඔබේ අයිතීයෙන් පැහැර ගත්තා වැනි දෙයකි. ඉපයීම් වැසූ පසු නසීම් ගේ අතත්‍ය වටිනාකම අරුත් විරහිත දෙයකි.

එතැන් සිට සිදු වූ කිසිවක් කිසිවෙකුත් එකඟ වන දේවල් නොවේ. එහෙත් පද්ධතිය සමග මළ පැන යකා නැටු පළමු එකා හෝ ඒකීය නසීම් ම නොවේ. 
නීති නැති තැන මත ගැටුම් සමනය  වූයේ  අතේ  පයේ හයියෙනි. නොවේනම්  අවි  බලයෙනි.   කතාව කෙළවර වන්නේ යු ටියුබ් ආයතනයේ සේවක පිරිසක් වෙඩි කා රෝහල් ගත වීමත් සියතින් ම වෙඩි තබාගත් නසීම් දිවියෙන් සමුගැනීමත් සිදුවීමෙන් පසුවය. 

නසීම් ට පිස්සු කියා තවම ඔප්පු කර නැත. එහෙම කියන්නට ඕනා අය ඇතැයි සිතමු, එහෙත් එසේ කරගත හැකි වී නැත. ඇය ඉරාන සම්භවයකින් යුතු කෙනෙක් වුවත් ඇමරිකන් ජීවන රටා විවේචනය කලත් කාටත් ලෙහෙසි ත්‍රස්තවාදියා කියන ලේබලය තවම ගසා නැත. මේ කිසිවකින් තොරව අපි නසීම් අවබෝද කරගන්නේ කෙසේද? මේ වැඩේ කරන්නම ආයුධ පුහුණුවක් ගෙන පෙර දවසේ රෑ සිට එතන රැක සිට ඇය කල ප්‍රචණ්ඩ අශෝභන දුර්දාන්ත එහෙත් අපිට නොතේරෙන වැඩේ අපි දාන්නේ කොයි පෙට්ටියට ද? නසීම් ට හිමි වර්ගීකරණය තවම බිහි වී තියේද?

මේ ආණ්ඩු විරෝධී සටනක් නොවේ. අධිරාජ්‍යවාදයේ අරගලයක් නොවේ. ධනපති පන්තියට එරෙහි නිර්ධන සටනක් නොවේ. ප්‍රධාන ධාරාවට එරෙහි ධාරාවෙන් අපගමනය වූවෙකු ගේ ප්‍රතික්‍රියාවක් නොවේ. මේ වෙඩි වැදුනේ ටෙක්නෝක්රසියටය. මේ ඉල්ලන්නේ තවම අපට පවරා ඩී නැති අතත්‍ය වටිනාකම් ය. කළු කෝට් දැම්මට තවම පරපුරක් පස්සේ ඉන්න නීතිවේදීන් තවම නොහඳුනන අපේ යුටියුබ් රයිට්ස් ගැනය. හෙවත් මගේ එකවුන්ට් එක බ්ලොක් කලාම උසාවි යාහැකි තවම පනවා නැති නෛතික පදනම් ගැනය. මගේ අතත්‍ය වටිනාකම් වල ඉපයීම් වලට මට හෙට්ටු කරන්න ඇති අයිතිය ගැනය.

ඒවා ලෝකයා අතර බෙදී යන දවසක, ගල් යුගයේ සිප්පි කටු එක්ක ගනුදෙනු කරන වත්මන් ලෝකයා මේ අලුත් දේ ග්‍රහණය කල දිනක, අතත්‍ය වටිනාකම් සැබවින්ම ඔබේ වන දිනක නසීම් ලෝකයට කෙසේ සිහිපත් වේ ද?

ඊ ගාව අරගලය ටෙක්නොක්‍රසියට එරෙහිව ද?