Friday, August 3, 2012

Laugh with me: හිග්ස්‌ ඔබ හෙළයෙකු වී නම්

නදීෂා චන්ද්‍රසේන මට ලියන්නට යමක් දී ඇත. ඒ ඇයත් සමග සිතන්නට යාමෙනි. බොසෝනය නම් ඉතා කුඩා උප-පරමාණුක තරම් අංශුවක  පැවැත්ම ගැන පීටර්  හිග්ස් පලකළ මත සඳහා සාක්ෂි වසර  පනහකට  පසු සොයා ගැනීම   සම්බන්ධයෙනි.

මේ සටහනට බෙහෙවින් වැදගත් ඉහත නදීශාගේ ලියමන කියවන්නේ නම් මැනවි.

ඒ ඇයත් සමග සිතන්නටය. මේ මාත් සමග හිනැහෙන්නටය. නිකම් නොවේ හෙළයෙකු වීම ගැන සාඩම්බරයෙනි.

----------

හිග්ස්‌ ඔබ උපදින්නට තිබුනේ මේ පුණ්‍ය භූමියේය. එසේ නම් ඔබට අඩ සියවසක් චාටර් කන්නට සිදු නොවනු ඇත.

එහෙනම් අවශ්‍ය වනුයේ රන්දිව හෝ රිවිර වැනි පුවත්පතක් සමග සාකච්චාවක් පමණි [දිනමිණ රිසර්ච් බුලටිනය හරහා තරුරටා වලින් භූමිකම්පා ගැන පර්යේෂණ පත්‍රිකා පළකර රටම කම්පා කල භූ විද්‍යා මහැදුරන් උදාහරණයකි].

එහෙනම් අපේ මාධ්‍යවේදීන් බෝසෝනය මොන පාටයිද කියාත් පත්තර වලට ලියනු ඇත. රූපවාහිනියේ අගමැතිතුමා හෝ [බෝසෝනයේ අගය වැඩි නම්] ජනපතිතුමා සමග බෝසෝන අහුලන්නට හිග්ස්‌ මැතිතුමාට හැකි වන්නට ඉඩ තිබුණි.

හිග්ස්‌ අපේ නිසා බොසෝනය පවතින බව සියලු දෙනාම පිළිගන්නවාට කිසිම සැකයක් නැත. අනික් අතට
බෝසෝනය ප්‍රත්‍යක්ෂයෙන් බාර ගන්නට අපේ ජාතික චින්තනයට සුළු දෙයකි. අවශ්‍ය වන්නේ බෝසෝනය විසින් චතුස්කෝටික භාවය සම්පූර්ණ කිරීම පමණි. එනම් බෝසෝන ඇති බව, බෝසෝන නැති බව, බොසෝනය ඇති බව හා නැති බව, බෝසෝන ඇත්තෙත් නැති නැත්තෙත් නැති බව වේ.

බෝසෝන ගලවන්නට කවුරුන් හෝ හිග්ස්‌ ට සල්ලි ලබා දීමට ඉඩ තිබේ. වසර කීපයකින් හිග්ස්‌ සල්ලි වලට ගේම දුන්නා කියා ඔහුට නඩු යාමට සිදු වනු ඇත.

"
හිග්ස් මොළකාරයෙකු මිස කේන්තිකාරයෙකු නොවේ.විද්‍යාව විසින් ඉල්ලා සිටින සංයමය හිග්ස් ප්‍රගුණ කර ඇතැයි සිතමි.හදිස්සියට ආදරය කරන්නවත් පර්යේෂණ කරන්නවත් බැරිය." මෙසේ කියන්නී නදීෂා ය. 
හදිස්සියට ආදරය කරන්නවත් පර්යේෂණ කරන්නවත් බැරිය. එහෙත් පර්යේෂණ වල ප්‍රතිපල දාන්නට ලංකාවේ පුළුවන.

IEEE වාගේ එකක පර්යේෂණයක් පල කරන්නට කෙතරම් දුක් විඳිය යුතුද? එතුලින් පර්යේෂණ කෙතරම් යටපත් වේද? අපේ හෙළයා මෙම බරපතල කඩ ඉම ජයගත්තේ එබැවිනි.

අද විවි මහාචාර්ය වරුන් ඉතාමත් සංවේදී පර්යේෂණ ක්ෂණිකව පල කරන්නේ දිනමිණ රිසර්ච් බුලටිනයේය. [එසේ නොවන්නට කල්වෙලා ඇතුව භුමි කම්පා ගැන අනාවැකි පළකර ජනයා පාරට බස්සවන්නට හැකි නොවේ].

නව නිමැවුම් කරුවන්ගේ නිර්මාණ වල ශක්‍යතා අධ්‍යනය කරන්නේ මාධ්‍යවේදීන් විසිනි [එසේ නොවන්නට ජර්මන් ටෙක් එකෙන් හයිඩ්‍රජන් හොරකම් කර වතුරෙන් දුවන එන්ජිමක් හදාගත් කොලුවා තවමත් එතැනමය]

දෙයක් ප්‍රත්‍යක්ෂයෙන් විනා තාර්කික හෝ පර්යේෂණ ඔප්පු කිරීමකින් බාර නොගන්නා ලෙස ජාතික චින්තකයෝ බලකරති. යමක් ඔප්පු කරන්න හදනවා කියන්නේ සැක කටයුතු තත්වයකි. ඔප්පු කලේ නම් ෂුවර් බොරුවකි.

මේ ඔක්කොම වැඩ නොකරත් පර්යේෂණ ප්‍රතිපල ටක් ගාල අවුට් කරගන්නට ඕනේ නම් රිවිර හෝ රන්දිව වැනි පුවත් පතකින් පිළිවන. පර්යේෂණ ගැන අතිශයින් ලිබරල් අපි පර්යේෂණ පත්‍රිකා සම්බන්ධයෙන් වෙළඳපොල තරගයක් ඇති කර එතුලින් පත්‍රිකා පල කිරීම තවත් වේගවත් කර ඇත.

දේශයේ කොඳු නාරටිය වූ මාධ්‍යවේදියා ලන්ඩන් ඔලිම්පික් එකටත් යවන්නේ එබැවිනි. ක්‍රීඩකයින්ට වඩා මාධ්‍යවේදීන් ඉන්නා එකම "ක්‍රීඩා කණ්ඩායම" අපේ කණ්ඩායමයි.

"මෙන්න මේකයි ආශ්චර්ය කියන්නේ හසන්ත" ප්ලාස්ටික් වලින් සැදු බෝසෝනයක් අතින් ගෙන සූරියප්පෙරුම පඬිවරයා කියනු ඇත.

[ඔබේ ලිපිය මෙව්වා කලාට ලේඛිකාවනි සමා වනු මැන]