Saturday, December 31, 2016

2017 නව වසර උදාවේ ගිනිකෙළි


නව  වසර  උදාවේ ගිනිකෙළි  වල සොඳුරු  දසුන්  ඔබ  හමුවේ  මෙසේ ඉදිරිපත්  කරන්නෙමු (පහත සබැඳි)

2017 පෙර  සියලු  වසර  ඉක්මවා  මෙම සුන්දරත්වය  අප  වෙතට  ගෙන  එන වසරක්  බව  දැනටමත්  ස්ථිරය. 2017 වසරේදී  මෙවැනි ගිනිකෙළි  වල  සොඳුරු  දසුන් ලොව  පුරා  දැකගැනීමේ   අවකාශය  කාටත්  හිමිවනු  ඇත.

නව  වසර උදාවේ වර්ණවත්  රාත්‍රිය  තුල  ඔබට  සුව  නින්දක්  පතමු.

http://www.bbc.com/news/world-middle-east-38476807

http://www.bbc.com/news/world-europe-38481521

Thursday, December 22, 2016

නව යුගයේ සිව්වැනි වාර්ෂික සැමරුම

"අසුරු සැනින් එක මොහොතකදී
කාලය නැවති යලි ඇරඹී
විශ්වය අලුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා"

හරියටම අදින් සිව් වසරකට පෙර අපි එසේ අලුතින් බිහි වූ විශ්වයේ ඉපදුනෙමු. 2012 දෙසැම්බර 21 අප කාගේ හෝ වී නම් 2012 දෙසැම්බර් 22 අපි ඔවුන්ගේම වී නැවත ඉපදුනෙමු.

2012 ලෝක විනාශය විසින් මිනිස් වර්ගයා රැවටුණු පළමු විහිළුව නොවේ. එහෙත් සිනමා පටයක ප්‍රචාරණ අවශ්‍යතාවයක් උදෙසා මිනිසා තමා රවටා ගත් ප්‍රථම අවස්තාව විය යුතුය.

2012 නම් චිත්‍රපටය නිර්මාණය කිරීමේදී ඔවුන් මුහුණ දුන් මූලික ගැටළුවක් විය. එනම් ඇත්තෙන්ම 2012 ලෝක විනාශයක් වන බවට මහලොකු සාධක නොමැති වීමයි. ට්‍රේලරය බලා අන්තර්ජාලය පීරන මිනිසුන් ඒ සාධක නොමැතිකම නිසා චිත්‍රපටය නොබැලීමට විශාල ඉඩකඩක් තිබුණි. කොටින්ම බුක් ඔෆ් රෙවලේෂන් අදහන ක්රිස්තියානිකාරයෙක්වත් ඔය ලණුව කන්නේ නැත.

එහි අධ්‍යක්ෂකවරයා විද්‍යාව සම්බන්ධයෙන් දරන්නේ අමුතුම ඉතිහාසයකි. 1998 එළි දැක්වූ Independence Day චිත්‍රපටයේ ඔහු ජාවා ප්‍රෝග්‍රෑම් එකකින් වයිරසයක් ලියා පිටසක්වල යානයක පරිගණක පද්ධතිය අකර්මන්‍ය කරවීය. 2004 දී Day After Tomorrow නම් චිත්‍රපටයකින් සියවසක් හෝ අඩුම ගණනේ දශක කීපයක් ගතවන අයිස් යුගයක් තෙදිනකින් රැගෙන ආවේය. එහෙත් 2012 එසේ විද්‍යාවේ අතපල්ලෙන් වැටෙන පොඩි බොරුවකින් ගොඩ දා ගත නොහැකි විය. ඒ නිසාම මේ සඳහා "අලුත් විද්‍යාවක්" අවශ්‍ය විය.

චිත්‍රපටය නිර්මාණය කෙරෙන 2008 සමයේ යු ටියුබ් වැනි ඕනේ බක්කක් දැමිය හැකි මාධ්‍ය තුල 2012 ලෝක විනාශයක් ගැන කියවෙන විවිධ "විද්‍යාත්මක" වාර්තා වැඩසටහන් පහළ විය. ඒවා කෙතරම් සර්ච් හිට්ස් වලට ඔබ්බවා තිබුනේද කිවහොත් එම සමයේ අදාළ මාතෘකාව සර්ච් කළහොත් ලැබෙන පළමු හිට්ස් සියල්ලම පාහේ එම "විද්‍යාත්මක" වාර්තා වැඩසටහන් විය. අදටත් ඒවායේ මූලය කොහේදැයි සඳහනක් නැත. 2012 දෙසැම්බර් 21 මහා බොරුව නිමා වූ පසු අපේ වාර්තා වැඩසටහන වැරදියි කියා කුඩා සටහනක් ඉදිරිපත් කල කිසිවෙකුත් නැත. මීට හේතුව ඒ බොහෝ විද්වතුන් ද කතාව මෙන්ම ප්‍රෝඩාකාරී නිර්මාණයන් වීමයි.

අවසාන පලය වූයේ විශාල් පිරිසක් මෙය ඇදහීමත් තවත් පිරිසක් මෙය තරමක් දුරට හෝ විශ්වාස  කිරීමත්  පමණි. 2012 චිත්‍රපටය විශාල බොක්ස් ඔෆිස් වාර්තා තබන්නට ඇත. එහෙත් වඩාත් විශාල සිද්ධිය වූයේ චිත්‍රපටය නොවේ, මෙම "විද්‍යාත්මක වාර්තා වැඩසටහන්" විසින් 2012 ලෝක විනාශය සත්‍යයක් බවට බොහෝ දෙනෙකු තුල මතයක් බිහි කිරීමයි.

මේ මහා විගඩම  උගත්  යයි  සම්මත  ලෝකයා  අතර  පැතිරෙද්දී  ඒ ගැන  විස්සෝප  වෙමින්  නව  යුගයක  උදාව  සමරන්නට  මායාවරුන්ට  සිදුවිය.

2012 ලෝක විනාශය සිදුවී අලුතින් බිහිවූ ලෝකයේ හතරවෙනි වාර්ෂික සංවත්සරය දවසේ තේරුම් ගතයුතු වන්නේ ලොකුම භයානක බොරු එන්නේ දේශපාලකයින්ගේ කටින් හෝ හොලිවුඩ් ෆිල්ම් වලින් නොව "විද්‍යාත්මක හෝ ඓතිහාසික වාර්තා වැඩසටහන්" වලින් බවයි.

Friday, December 16, 2016

සිරියානු කතාව

කාලෙක ඉඳල මේ ගැන කෙටි සටහනක් ලියන්න හිටියේ නිතර කට්ටිය මේ කතාව අහන නිසා. කෙසේ වෙතත් මේ වර්තමාන සිරියානු අර්බුදයේ ආසන්න ඉතිහාසය ගැන කෙටි සටහනක්.

ඉස්සරම ඔය දෙරට පාලනය කලේ අසාද් පියපුතුන් සහ සදාම් නේ. මේ දෙපිරිසම තම රටවල සුළු ජාතිකයන්. සුන්නි බහුතර සිරියාවේ ෂියා අසාද් වගේම ෂියා බහුතර ඉරාකයේ සුන්නි සදාම්. හැබැයි මේ දෙන්නම අයිති වන්නේ අරාබි බාත්වාදී [බාත් කියන්නේ පුනරුදයට] පක්ෂ දෙකකට. බාත්වාදය සමාජවාදයෙන් පොඩ්ඩයි නූතනවාදයෙන් පොඩ්ඩයි කලවම් කරාපු ඒකාධිපති පාලන ක්‍රමයක්. සේකුලර් වීම, රට සංවර්ධනය කිරීම ස්ථාවර වීම වාර්ගිකව නොසිතා රට ගැන සිතීම වගේ අගයන්න ඕනේ එව්වා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. දරදඬු යි, දූෂිතයි.

ඔය කාලේ දෙරටේම ආගමික අන්තවාදයට ඒ හැටි තැනක් දෙන්නේ නැහැ. දෙගොල්ලම එය තදින් මර්දනය කළා. කලාපයේ පැතිරෙන සුන්නි අන්තවාදය [අල් කයීඩා] මේ දෙරටට ම ආවේ නැත්තේ ඒ නිසා.

කිසිම තාර්කික හේතුවක් නැතුව අතේ පැලවෙන බොරු ටිකක් දීලා ඇමරිකාව සදාම්ව මැරුවට පස්සේ ඉරාකයේ බලය චන්දෙන් ආපු ෂියා මූලික රජයට යනවා. ඔවුන් බහුතරය. ඒ අතර සදාම්ගේ ආණ්ඩුවේ සහ හමුදාවේ බලය තිබ්බේ සුන්නි එවුන්ට නිසා ඇමරිකාව ඒ පාර්ශ්වයන් කොන්කරල ඔවුන්ට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ෂියා රජය පත්වුනාට අතීතයේ සදාම් ශියාවරුන් තදින් මෙල්ල කර තිබ්බ නිසා ප්‍රබල හමුදාවක් හැදෙන්නේ නැහැ සදාම්ගේ හමුදාවේ වැඩි හරිය සුන්නි. ඉතින් ශියා ආණ්ඩුව කරන්නේ ෂියා මිලිශියා වල බලයෙන් රට පාලනය කිරීම. මේ නිසා සුන්නි වරුන්ට ඇමරිකන් පීඩන වලට අමතරව ෂියා ආණ්ඩුවේ මිලිශියා වලිනුත් බැට කන්න වෙනවා. සදාම් විසින් වළකා තිබ්බ සුන්නි ආගමික අන්තවාදය ඒ බැටකන සුන්නිවරුන් අතරට යන්නේ ඒ වෙද්දී. සදාම්ගේ යුද බලය සදාම් නැතිවුනාම ක්‍රමයෙන් සුන්නි අන්තවාදයේ සරණ යනවා.

ඔය අතරේ නියගයක් නිසා එන දුර්භික්ෂයක් හේතුවෙන් සිරියාවේ ඇතිවන උද්ඝෝෂණ තත්වයක් සහ එය මර්දනය කරන්න අසාද් එල්ල කරන ම්ලේච්ච ප්‍රහාර නිසා අලෙප්පෝ ආශ්‍රිතව මහජන නැගිටීමක් වෙනවා. ආරම්බයේ ඒක සාධාරණ මහජන නැගිටීමක්. පෙර වුනා සේ ම අසාද් ඔහුගේ යුද බලය දැඩි ලෙස මුදා හරිනවා. මේ සමගම උද්ඝෝෂණය කැරැල්ලක් වෙනවා. හිලරිගේ විදෙස් ප්‍රතිපත්තිය විසින් උස්සලා තියන අරාබි විප්ලවයේ කොටසක් ලෙස මේක හඳුනා ගැනෙනවා.

සිරියාව රුසියාවට සහය දෙන නිසා ඇමරිකාව මේ කැරැල්ලට සහය දෙනවා. සිරියාවේ අසාද් එකක් සතුරු නිසා තුර්කිය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. තුර්කියේ ක්‍රියාකාරිත්වය වැදගත්. මොකද අලෙප්පෝ වල කැරලිකාරයින්  පරදින ගානට එද්දී තුර්කිය මිනිස් බලය පොම්ප කරනවා. මෙන්න මේ පොම්ප කල මිනිස් බලය ඇත්තෙන්ම පිටරටවලින් එන්නේ. ඒ බොහෝ දෙනා එන්නේ ප්රජාතන්ත්රවාදය ගේන්න නොවේ. ඔවුන් අතර ප්‍රචාරය යන්නේ ෂියා අසාද් එලවන සුන්නි ව්‍යාපාරයක් ලෙස. ඉන් තියරි මේ ජිහාඩ් එකක්. ඉතින් මේ මුස්ලිම්මු එන්නේ ජිහාඩ් කරලා මැරෙන්න. තුර්කිය දේශසීමා ඇරලා ලෝකෙම ඉන්න අන්තවාදීන් එවනවා. ඉරාක දේශසීමාවෙන්න පෙර  කී  ලෙස   එහෙ හැදිච්ච සුන්නි අන්තවාදිනුත් එනවා. ඇමරිකාව ඇතුළු බටහිර [හිලරි විසින් මෙහෙයවූ ඔබාමා යටතේ තිබ්බ විදෙස් ප්‍රතිපත්තිය] මේ කරුණු දැක දැකම ඒ පොදු ව්‍යාපාරයට සහය දෙනවා. සටන ඉරාක සිරිය දේශසීමාවේ දෙපැත්තටම පැතිරෙනවා.

ඒ ව්‍යාපාරය ඇතුලේ ෆ්‍රී සිරියන් ආමි කියල ලේබල් එකක් තියෙනවා. ඊට අමතරව 2012 විතර තිබ්බ අල් කයීදා ඉන් ඉරාක් ඇන්ඩ් සිරියා කියන නමත් තියෙනවා. ඇත්තෙන්ම භුමියේ එහෙම බෙදුමක් නැහැ කියලා මම ඒ දවස්වල පුවත් වල කියෙව්වා.

පස්සේ වෙන්නේ අල් කයීදා ඉන් ඉරාක් ඇන්ඩ් සිරියා දෙකට කැඩෙනවා. අයිසිස් වෙන්නේ එහි වඩාත් අන්තවාදී කල්ලිය. අනික අල් නුස්රා දිගටම  අල් කයීඩා  එක්ක  ඉන්නවා. අයිසිස් ගේ අරමුණ වෙනස් වෙලා ඔවුන් අනිත් අයත් එක්ක ගැටෙන නිසා  ඔවුන්  පැහැදිලිව  වෙන්කළ  හැකියි. අදටත් ෆ්‍රී සිරියන් ආමි, SDF ආදී ඇමරිකන් ආධාර ලබන කල්ලි සහ අල් නුස්රා වෙන් කරන්න අමරිකාවටමත් බැහැ.

කලාපයේ සුලුජාතියක් වෙච්ච කලාපයේ හැමෝගෙන්ම ගුටිකාපු කුර්දි බලවේග තමන්ගේ  සහ  සහෝදර  යසිදී  වරුන්ගේ  ආරක්ෂාව වෙනුවෙන් එක්සත් වෙන්නේ මේ වෙලාවේ. අවාසනාවකට තුර්කිය තම පරම සතුරා ලෙස සලකන්නේ ඔවුන්. තුර්කිය කකුලෙන් අදිද්දීත් අයිසිස් එකට වැඩිම ෆයිට් එකක් දුන්නේ කුර්දි සටන් කරුවන්.

තුර්කිය මෙතන බයානක සෙල්ලම් ගොඩක් කරනවා. එකක් තමයි අසාද් පරදන්න අන්තවාදය නිර්මානයකරන්නේ තුර්කිය හරහා. අයිසිස් පවා අන්තවාදීන් බව දැනගෙනම නිර්මාණයට සහ පිරිස් බලය සැපයීමට ඔවුන්ගේ භුමිය භාවිතා වුණා. ඒ වගේම තෙල් ළිං වල බලය අල්ලාගෙන ඉන්න අයිසිස් අයගේ අවනීතික තෙල් බෝඩර් එක හරහා ලෝක වෙළඳපොළට එවීමෙන් තුර්කිය අධික ලෙස ලාබ  ගන්න බවත් කියවෙනවා. යුද්ධය  හේතුවක්  කරගෙන  කුර්දින්ට  පහර  දීම  තමා  අනික.  අයිසිස්  එකට  දුවන්න  ගහපු  කුර්දිවරුන්  නතර  කලේ  බෝඩර්  එක  ඉක්මවා  ගිහින්  ඔවුන්ට  පහර  දුන්නු  තුර්කිය.  කතාවට  පර්ෆෙක්ට්  දුෂ්ටයෙක්  ඕනෙනම්  එර්දොගාන්  තමා  ඒ.

ඇමරිකාව ඒ කාලේ උන්නේ ඔවුන්ගේ අන්තවාදීම විදෙස් ප්‍රතිපත්තියක. බුෂ් යුගය සහ ඔබාමා-හිලරි යුගය ඇමරිකාවේ අන්තවාදීම කාලයක්. ඉරාකයේ හෝ සිරියාවේ කිසිම ක්‍රියාකාරකමක් කරන්න ඔවුන්ට සාධාරනහේතුවක් හෝ කිසිම අයිතියක් නැහැ. දැන්වත්   ඒක වෙනස් වේවි කියා හිතනවා. රුසියාව තමන්ගේ සිරියන් බල කඳවුර වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. ඒ සමහර ක්‍රියාවලින් කොපමණ ජීවිත හානි වුනත් ඔවුන් ගණන් ගන්නේ නැහැ. රුසියාවේ ප්‍රහාර අනිත් අයට වඩා වදින්න ඕනේ ඉලක්ක වලට වැදුනට රුසියාව කොහෙත්ම සාන්තුවරයෙක් නොවේ.

කෙටියෙන් කිව්වොත් මහජන නැගිටීමක් ලෝක දේශපාලන බලවතුන් කලාපිය අවස්ථාවාදීන් සහ කලාපයේ පැතිරෙන අන්තවාදය විසින් හයිජැක් කිරීමක් වෙන්නේ. මහජන නැගිටීම කියන ලේබලය යටතේ භුමියේ ක්‍රියාත්මක වන්නේ අන්තවාදීන් පිරිසක්. මෙතන හොඳ අය කවුරුවත් නැහැ. නරක අඩු සහ ස්ථාවරත්වයක් ගොඩ නැගිය හැකි පාර්ශ්වය තේරීම පමණයි කල හැක්කේ.

ඒක ප්‍රමාද වෙන දවසක් ගානේ අයිසිස් වගේ බලවේග වලින් ලෝකය පුරා වෙනත් ස්ථාන වල ඉස්ලාමික අන්තවාදය ප්‍රේරණය වීමත්, සංක්‍රමණ අර්බුදය සහ එහි සැඟවී යන ත්‍රස්තවාදයේ තර්ජනයත් එන්න එන්නම වැඩිවෙනවා. දවසක සිරියාවයි ඉරාකයයි සාමකාමී වුනත් ලෝකය පුරා එහි ශේෂයන් පැතිරීම වලකින එකක් නැහැ. ඇෆ්ගනිස්තානයේ  පකිස්තානයේ  බංග්ලාදේශයේ ඉන්දුනීසියාවේ නයිජෙරියාව මාලි  වැනි  අප්‍රිකානු  රටවල  අයිසිස්  වල  බලපෑම  ඉස්මතු  වෙනවා.  ලෝකේ  හැම  තැනකම  වගේ  ඔවුන්ගෙන් ඉන්ස්පරේෂන්  ගත්ත  ප්‍රහාර  එල්ල  වෙනවා. මේ  බලපෑම බොහෝ  විට  ඉදිරි  දශක  කීපයක  ලෝකයේ  ප්‍රමුඛම  අර්බුදය  වේවි.

Saturday, December 3, 2016

බස් කතාබස්

බස් කාරයෝ  ස්ට්‍රයික්  ලු ය.  කතාබස්  කාරයින්  වැඩට  බහින්නේ  එතකොටය. මේ  බස්  කාරයින් ට  ගෙවන්නට  බැහැ  කියන  අධික  දඩ  මුදල්  සම්බන්ධ  කතාවක්  නොවේ.  මේ  බස්  දුවන  හැටි  ගැන  කතාබස්  කාරයින්  කියන  කතන්දර  සම්බන්ධ  කතාවකි.

දැන්  මෙතන  අපි  බස්  කියන්නේ  නගරයක හෝ  රටක  එදිනෙදා අවශ්‍යතා  වෙනුවෙන් දුවන  බස්  ගැන.  ලක්සරි  කෝචස්,  විනෝද  ගමන්,  දුර  නගර  වලට  යන [ලංකාවේ එවැනි  දුරවල්  නැත]  මිල  අධික  ගමන්  ආදියට  අදාළ  නොවේ.

බස්  කතාබස්  කීපයක්  මෙසේ  දැක්විය  හැකිය.

  •  ඉස්සර  ජනසතුකරන්න  කලින්  ඔය  බස්  සමාගම්  නියමෙට  දිව්වේ?  ජනසතුවෙන්  තමයි  කාල  දැම්මේ
  • බස්  ජනසතු  කරලා  නියම  සේවාවක්  වගේ  කරගෙන ආවනේ,  කොහෙද  ප්‍රයිවට්  ඔපරේටර් ලට  දීල නා  ගත්ත 
  • අවුල  තියෙන්නේ  තනි  තනි  එකාල  බස්  දුවන  එකේ.  පොකුරු  සමාගම් හදලා  රූට්  ටික  බෙදුවනම්  ගානට  දුවයි.
  • යකෝ  මුන්  ටිකටුත්  කඩන  ගමන්  පෙට්‍රල්  වලටයි  අමතර  කොටස්  වලටයි  ආණ්ඩුවෙන්  සල්ලි  ඉල්ලන්නේ 
  • ලංකාවේ  කාලකන්නි  බස්  කාරයෝ  බස්  දුවන  හැටි  විතරක්, එහෙන්  දාල  මෙහෙන්  දාල කට  කපලා  ලෝඩ්  කරගෙන,  අනික්  උන්  එක්ක  තරගේ 
  • පුද්ගලික  අංශයට දීලම  දාල ටිකට්  මිල  පාලනයෙන්  නිදහස්  කරන්න  ඕනේ. ආණ්ඩුවට  මොකුත්ම  කරන්න  දෙයක්  නැහැ
ඔය  වගේ  කතන්දර  බොහොමයි.  බොහෝ  දෙනා  කැමති  බවක්  පෙන්නන්නේ  දියුණු යයි  සම්මත   රටවල  පොදු ප්‍රවාහන  පද්ධති  වලට.  ඒ  කියන්නේ  වෙලාවට  බස්  දුවන,  ඒ  බස්  වල  එක  මිනිහෙක්  හිටියත්  [එකෙක්වත්  නැතත්]  ඩ්‍රයිවර්  ගානක්  නැතුව  දුවන, හැබැයි  ඕන  බක්කෙකුට ගෙවා ගන්න  පුළුවන්  තරම්  අඩු  මිල ටිකට්  එකක්  දෙන, පාසල්  සේවා,  සීනියර්  සිටිසන්  ලට  අවම  ගාස්තු  ... ඔන්න  ඔහොම  එකක්. හැබැයි  කොහොමද  මේවා  දුවන්නේ?

සමහරු  කියනවා  පොකුරු  ක්‍රමයක්  ගැන.  එහෙත්  පොකුරු  සමාගම්  වල  ඔපරෙෂනල්  කොස්ට්  එක  තනි  ඔපරේටර්  ට  වඩා වැඩි  මිස  අඩු  නැහැ,  මොකද  සමාගමක්  දුවන ඕවර්හෙඩ්  එක  එනවා  ඩ්‍රයිවර්  කොන්දොස්තරට  උඩින්. කවුද  මෙව්වට  සල්ලි  දෙන්නේ?

සරල  මූලික  ගැටලුව  නම්  සීට්  ගානට  මිනිස්සු  දාල,  හෝ  ඊටත්  අඩු  රාත්‍රී  සේවා  එහෙමත්  කරගෙන  යන්න  නම්  සාමාන්‍ය  මගියෙකුට  ගෙවිය  හැකි  මිලේ  ටිකට්  ආදායමකින්  බැහැ.  එක්කෝ  ඒ  ටිකට්  මිල  කීප  ගුණයකින්  වැඩි  කරන්න ඕනේ  නැත්නම්  අදාළ  පිරිවැය  වෙනත්  අතකින්  හොයා  ගන්න  ඕනේ.

මේ  දියුණු  යයි  සම්මත  සේවා  වල  තත්වය  පවත්වා  ගන්න  ඔවුන්ට  ටිකට්  වලින්  ලැබෙන  මුදල  මදි. ඒ සමාගම්  දුවන්නේ  ඒ කලාපයට ප්‍රවාහන "සේවාව"  නිසි  පරිදි  උසස්  තත්වයෙන්  සපයන  නිසා  ආණ්ඩුවෙන්  ගෙවන දීමනාවකින්. එනම්  බදු  ගෙවන්නන්  තමා  මේ  සේවාවට  ගෙවන්නේ.

ඔය  ආණ්ඩුවේ  ආයතන, අර්ධ  රාජ්‍ය  සමාගම්, පුද්ගලික  සමාගම්,  තනි  ඔපරේටර්ස්  ලා  ආදී ලෙස  වෙන  වෙනස්ව  තියා  ගන්නේ ඔපරේෂනල් කාරනා  පමණයි. ඒවා  බස්  පද්ධතියේ  රෝද  මිස  එන්ජිම  නොවේ.  බස්  පද්ධතියට  මුදල්  දාන  එන්ජිම  බදු  මුදල්.

ඕක  තමයි  දියුණු  රටවල සූකිරි  බස්  සිස්ටම් ගින්දර  වගේ  දුවන  රහස.  රෑට  තනි  මිනිහට  දිව්වත්  සබ්සිඩි එක එනවා. ඉතින්  එහෙම  කරන්න  පුළුවන්.  කලබල  වෙලා  එහෙන්   මෙහෙන්   දාගෙන  දුවලා  වැඩියෙන්  ට්‍රිප්  එකක්  අදින්න  ඕනේ  නැහැ,  මොකද  විශාල  ආදායමක් එන්නේ  ටිකට් වලින්  නොවේ. 

අපි  දැන්  හිතමු රාජ්‍ය  අංශය  ඔපරේට්  නොවෙන පුද්ගලික  රූට්  එකක   මේ  සබ්සිඩි  එක  නතර  කලොත්  වෙන්නේ  මොකද්ද?  අර තනි  මිනිහට  බස්  එකක්  දුවයිද?  සමාගමට  සල්ලි   දාපු  අයට  ලාබ  ඕනේ. ඒ  නිසා ඉබේම  ඔවුන්  අර  කට  කපල  දුවන  වෙලාවල්  පමණක්  බලා  තරග  කරන්න  ගන්නවා. කොලිටිය  බහිනවා.

මම  හිතන්නේ  කාටත්  පොදුවේ  තියෙන්නේ  විකල්ප  කීපයයි.

1. රාජ්‍ය  අංශය  විසින්  ප්‍රවාහනය ඒකාධිකාරයක් පවත්වාගැනීම.  සියලු  වියදම්  රජයෙන්,  ප්‍රවාහන  සේවාවට  කඩපු  ටිකට්  මුදල ඇරෙන්න  සියල්ල  බදු  සල්ලි. ඒවායින්  දුවන  රාජ්‍ය  දෙපාර්තමේන්තුවක්  හෝ  අර්ධ  රාජ්‍ය  සමාගමක්.

2. පුද්ගලික  අංශ  අතර  ප්‍රදේශ  බෙදාදී  ඒ  ප්‍රදේශ  අනුව  කිසියම්  සබ්සිඩි  එකක්  දීම. ඒ  කිව්වේ  එතනත්  බදු  සල්ලි.

3. මිල  පාලනයකින් තොරව කාල  සටහන්  රජයෙන්  නොහදා   එහෙත්  බදු  මුදල්  ද  නොයොදා  බස්  කාරයින්ට  රිසි  සේ  මිල පවත්වා  ගන්න කියා  රජය  ඉවත්  වීම.

4. මිල  පාලනයකින්  හා කාල  සටහන්  ක්‍රමයක්  සහිතව පුද්ගලික  අංශයට  පවරා  සබ්සිඩි  එකකින් තොරව  පවත්වා  ගැනීම

දැන්  මේ  එක  එකෙන්  වෙන  ප්‍රතිපල  බලමු.

පළමු  එක  සැලකුවොත් රාජ්‍ය  අංශයේ  පොදු  අකාර්යක්ෂමතාවය  සහ  සේවා දායකයාට  දක්වන  නොසැලකිල්ල   එන්න  එන්නම  වැඩි   වෙනවා.  බදු  මුදල්  සැහෙන්න  වැයවෙනවා.  එහෙත්  උත්සහ  කලොත්  හොඳ  සේවයක්  තියාගන්න පුළුවන්. දෙවන්නටත්   පෙර  සේම  බදු  මුදල්  වැය  වෙනවා.  තරගකාරී  පුද්ගලික  අංශය  ඔපරේෂනල්  මට්ටමින්  යොදා ගැනීමෙන් වඩාත්  හොඳ සේවාවක් ලැබෙනවා. දැන්  මේ  ඔප්ෂන්  දෙක  මාරයි  වගේ  හිතුනට එහි ඇති  ගැටලුව  නම්  බදු  සල්ලි  වැය  කරන   එක.  ඒ  වගේම  ඒ  බද්දේ  වැඩි  හරියක්  ගෙවන්නේ එදිනෙදා  බස්වල  යන්නේවත්  නැති  මිනිස්සු.  මෙය  අසාධාරණයි  කියා  මතයකුත්  සමාජයේ  තියෙනවා.

 තෙවැන්න  අනුව  සමාගම්  වලට  කැමැත්තක්  කල  හැකියි.  ඒ  අනුව  බොහෝ  විට  කට  කපලා  සෙනග  දාගන්න  හෝ  අධික  මිලක  ටිකට්  එකක්  ලබා දීම  ඔවුන්ට  කරන්න  වෙයි.  පීක්  ටයිම්  රූට්ස්  ඇරෙන්න  ආයිත් ඔය  එකා  දෙන්නට  බස්  දුවන්න  හැකියාවක්  නැහැ. මේ  මොඩලය  අනුව බස්  සේවා  අවශ්‍ය  බොහෝ  දෙනෙකුට  ඒවා  ලබාගන්න  බැහැ,  විශේෂයෙන්ම  එදිනෙදා  රස්සාවට  යන  අයට. ඒ  තුලින් විරැකියාව  වැඩිවීම, කාර්මික  ප්‍රදේශවල  ජනයා  පැල්පත්  හා  මුඩුක්කු  තනාගෙන  පදිංචියට  පැමිණීම  වැනි  සමාජ  ප්‍රශ්න  ඇතිවෙනවා. ඇන්ගොලාවේ  ලුවන්ඩා  නගරය  එහෙම  ගැටළු  තියෙන  තැනක්.  තනිකර  පුද්ගලික  බස්  සේවාවේ  ටිකට්  දෙකක  මිල  බොහෝ  සාමාන්‍ය  මිනිසුන්ගේ  දෛනික  වැටුපට  වඩා  වැඩියි.  

දැන්   ඔය  අංක  හතර  තමා ලංකාවේ  තියෙන්නේ.  වෙන  දේ  පැහැදිලියි.  කට  කපලා  සෙනග  දාගෙන  පාරේ  වමෙන්  දකුණෙන්  බැරිනම්  උඩින්  හරි  ගිහින්  හැකිතාක්  ට්‍රිප්ස්  ගානක්  ඇදගෙන  අමනුස්ස  විදිහට  නොකලොත්  ලාබයක්  එන්නේ  නැහැ.  ඒ  වගේම  මිනිස්සු  අඩු  රූට්  හෝ  වෙලාවල්  තියේනම්  නොයා  ඉන්න  තමයි  වෙන්නේ. මොකද  ටිකට්  මිල  ෆික්ස්ඩ්.  සබ්සිඩි  ලැබෙන්නේ  නැහැ  හෝ  ලැබෙන්නේ  පොඩි  සීන්  එකකට  විතරයි [ඉන්ධන/අමතර  කොටස්  වැනි]. ඉතින් ඉන්ධන  ලීටරයකට වැඩිම  ටිකට්  ගානක්  කැඩීම  පමණයි  එකම  ඔප්ෂන්  එක.

ඉතින්  පින්වතුනි,  ඔච්චරයි  සීන්ස්  එක.  කැමති  එකක්  තෝරාගෙන  ඒ  පතා  ආපු  බෝධියෙන්  ලැබෙන  ආනිශංසය  විඳගෙන  ඉන්න  පුළුවන්. වැපිරූ  බෝගයේ  පල  මිස  වෙන  ඒවා  ඉල්ලන්න  එපා.

තියෙන  බස්  එකතු  කරලා  පොකුරු සමාගම්  හැදුව  කියල  මූලික  ගැටලුව  පියවෙන්නේ  නැහැ  මොකද  මූලික  ගැටලුව  ඔපරෙෂනල්  දෙයක්  නෙවි,  සල්ලි  දෙන්නේ  මොකාද  කියන  එක.  සේවාව  හොඳ  කරන්න පුළුවන්  එකම  විදිහ  තමයි මහජනයා  ගෙවන  බදු  ඊට  වියදම් කිරීම. ඉස්සර  දෙවැනි  රාජසිංහ  රජ්ජුරුවන්ගේ  කාලේ  සමාගම්  අගේට  දිව්වා  වගේ  කතා  අදාළ  නැහැ.  ඒ  කාලේ දවසට රූට්  එකක  දුවන්නේ  ට්‍රිප්  එකයි  දෙකයි,  මිනිස්සු  කියල  එව්වයේ  ගියේ  සල්ලි  කාරයින්  විතරයි.  වර්තමාන  සංකීර්ණතාවය  ඒ  කාලේ  තිබ්බේ  නැහැ.

මෙතැනදී  සමාජවාදීන්, ලිබරල්  වාදීන්  ලිබටේරියන්  මතවාදීන්  තම  තමන්ගේ  තියරි  වල  එල්බගෙන  එක  එක  අතට  වචන  නවමින්  විකාර  කියවන  බවක්  පෙනෙනවා.  එහෙත් වචන  නැවුවට  ඉලක්කම්  නවන්න  බැහැ නේ.  කතාබස්  ගානට  පාරේ  බස්  දුවන්න  අමාරුයි.

Saturday, November 26, 2016

ෆිදෙල්

ප්‍රකට සෙලිබ්‍රිටියක් වන ෆිදෙල් කස්ත්‍රෝ මියගිහින්.

සමාජවාදයේ උපරිමය තිබ්බ කාලේ කස්ත්‍රෝ කියුබාව සමාජවාදය කරා ගෙනගියා. චේ වගේ අතාත්වික නොවී තමන්ට හැකි අයුරින් රටක් නිර්මාණය කරන්න උත්සහ කළා. ඒ තුලින් නිර්මාණය වෙච්ච පද්ධතියේ හොඳ මෙන්ම නරකත් තියෙනවා. වඩාත්ම වැදගත් පොයින්ට් එකනම් ලෝකේ කාලයක් තිස්සේ නිර්මාණය වන මානව දැනුම් පද්ධතියට එපිටින් ගිහින් අලුත් ලෝක නිර්මාණය කරන්න දඟලන මේ තනි මිනිස් උත්සාහ වලට යාහැකි දුර සහ ලබාගතහැකි දේවල් සීමිත වීම. එහි යටම යට තියෙන්නේ ලෝක දැනුමකට අභියෝග කරන තනි මිනිස් උත්සාහයක නොහැකියාව.

කස්ත්‍රෝ ඇවිත් බැටිස්ටා වැනි මිලිටරි ඒකාධිපතියෙක් එලවද්දීත් ලෝකේ බොහෝ රටවල් තිබ්බේ ඒ ආකාරයේම ඒකාධිපති පාලන. උදාහරනෙකට ගන්න ස්පාඥ්ඥය. 1950 දශකයේ ඔය දෙරටේ මහලොකු වෙනසක් තිබ්බේ නැහැ මගේ හිතේ. කස්ත්රෝටත් දශක දෙකකට පස්සේ උන්ගේ "බැටිස්ටා" ව එලවපු ස්පාඥ්ඥය පොදු ලෝකේ දැනුමත් එක්ක සමගාමිව ගියා. කස්ත්‍රෝ තනි ක්‍රමයක් හැදුවා. අද වෙනස බලාගන්න පුළුවන්.

කෙසේ වෙතත් කස්ත්‍රෝ හයිටියකට හොන්ඩුරාස් රාජ්‍යකට වඩා හොඳ එකක් හැදුවා. මොකද ඒ රටවල් වගේ අරාජික අසාර්ථක දූෂිත පද්ධතියකට වඩා අර තනි මිනිස් උත්සාහය තුල ගන්න දෙයක් තිබ්බ නිසා.

තාමත් අපි හැත්තෑව දශකයේ.

කස්ත්‍රෝ සීතල යුද්ධයට ඇතුළු වුනාට වඩා ඇතුළු කළා, ඇමරිකාව විසින්. ඔහුට සෝවියට් කඳවුරට ඇතුළු නොවී ඉන්න ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ කොහොමත්ම. ඇත්තෙන්ම කස්ත්‍රෝ ව වෙනත් සමාජවාදී රටක වගේ එළවා දාන එක නොවුනේ ඇමරිකාවට සහ සෝවියට් සිස්ටම් එකට පින් සිද්ද වෙන්න. සෝවියට් සිස්ටම් එක ස්තානිය වැදගත්කම නිසා තම ප්‍රාග්ධනයෙන් කියුබාව නඩත්තු කළා. ඇමරිකාව කුප්ප අමන ආකාරෙට කියුබාව වට්ටන්න යාම නිසා කියුබන්ජනතාව තමන්ගේ නායකයා ගේ පැත්ත ගත්ත. පුංචි සඳහනක් ලෙස කියන්න ඕනේ සමාජවාදයට එරෙහිව ඇමරිකාව යුද ප්‍රකාශ කල රටවල් තුනේ විතරයි අනුව දශකෙන් පස්සේ සමාජවාදී රාමුව පෙරළන්න  මිනිස්සු  පාරට  බැස්සේ  නැත්තේ. මොකද  ඇමරිකාව  ඒ  රටවල්  ජන  මතය  ඒවායේ  පාලකයින්  දිහාට  විකර්ෂණය  කළ  නිසා. ඇමරිකාවේ ගොන්කම්.

තාමත් අපි හැත්තෑව දශකයේ කිව්වනේ. ඊට පස්සේ ලෝකය වෙනස් වුනා. ගෝලීයකරණය. නවලිබරල්වාදය, ධනවාදයේ අලුත් මුහුණ, බටහිරකරණය, කොස්මොපොලිටනිසම් ආදී විවිධ නම් වලින් හැඳින්වෙන සිස්ටම් එක ලෝකය ආක්‍රමණය කළා. ඒ හරහා නව ආර්ථික සංස්කෘතික රාමුවක් හමා ගියා. ඒ රැල්ල තුල රටවල් නැගිට්ටා, වැටුනා, අතපය කඩා ගත්ත, සමහරු ලස්සනට ඒ රැල්ල රයිඩ් කළා. කස්ත්‍රෝ කලේ වෙනස් දෙයක්. කියුබාව වහල දැම්ම. ලොස්ට් වර්ල්ඩ් ස්ටයිල් එකට. ඒ නිසා කස්ත්‍රෝගේ ඩයිනොසර කියුබාව තාමත් ඉන්නේ ඒ හැත්තෑව දශකයේ

ඔහොමම දුවන්න තිබ්බ සෝවියට් සිස්ටම් එක තිබ්බනම්. ඒත් ඒක වැටුනට පස්සේ කියුබානු පර්යේෂණය සමාප්ත වුනා. කස්ත්‍රෝගේ වැඩේ ඉවර වුනා අසුව සහ අනුව දශක වල. කොටින්ම දැන් කියුබාව කියන්නෙත් ප්‍රාග්ධනය හොයා යන තවත් එක රටක්. අනූව දශකයේ ඔවුන් මුහුණ දුන්නේ හරියටම අද වෙනසුවෙලා රාජ්‍යය මුහුණ දෙන අර්බුදයටම තමා.

ඒ වෙද්දී කස්ත්‍රෝ ඉවරයි. බලය තිබ්බද නැද්ද, ආදිය වැඩක් නැහැ. පර්යේෂණය අසාර්ථකයි. පද්ධතිය විනාසයි.

ඊට පස්සේ මිනිහ සෙලිබ්‍රිටියක් වුනා. හරියට නිකම් කොල්ල කාලේ සින්දු කිව්ව ෆිල්ම් වල උන්නු නළුවෙක් නාකිවෙලා වගේ. පොර කොල්ල කාලේ රිලීස් කරාපු ෆිල්ම් තාම හෝල්වල පෙන්නන ලංකාව වගේ රටවල පොර ටොප් චාට් වල තාම ඉන්නවා.

කස්ත්‍රෝ විසින් කල දේශපාලන කර්තව්‍යයක් ඉතුරුවෙලා නැහැ කතාකරන්න. එහෙත් ඔහු විසින් නිර්මාණය කල සෙලිබ්‍රිටි තත්වය තියෙනවා. චේ ගාවට චාට් එකේ ඉන්නේ කස්ත්‍රෝ. ස්ටාලින්, මාවෝ කිම් ඉල් සුන් වගේ අය චාට් එකට දාන්න බැහැ දාලත් නැහැ.

දැන් මැරුණේ අන්න ඒ සෙලිබ්‍රිටිය. රසික රසිකාවියන් වැලපෙන හැටි ඔබට දකින්න පුළුවන් වෙයි.

Sunday, November 13, 2016

ට්‍රම්පාගමනය

ට්‍රම්ප් දින්නේ කොහොමද කියා හිතන විශාල පිරිසක් ඉන්න නිසා මේ පෝස්ට් එක තවමත් වැලිඩ් කියා හිතනවා.

ට්‍රම්ප් දින්නේ කොහොමද? හේතු රාශියක් විවිධ කෝණ වලින් සලකන්න පුළුවන්. ඒ ඕනෑම ප්‍රධාන හේතුවක් තනිකර ගත්තොත් එය ප්‍රමාණවත්. එහෙත් මම ගන්නේ සරලම සහ ඍජු ම හේතුව.

ට්‍රම්ප් දින්නේ හිලරි නිසා. වරද්ද ගන්න එපා, මේ ජෝක් එකක් නෙවි කරන්නේ. ට්‍රම්ප් දින්නේ හිටපු රාජ්‍ය ලේකම් හිලරිගේ විදේශ ප්‍රතිපත්තිය නිසා. සිම්ප්ලි සිරියාව ලිබියාව ආදී රටවල් අස්ථාවර කරලා ඒ රටවලට තුර්කිය වගේ තම පාර්ශ්වකාර රටවල් හරහා ත්‍රස්තවාදීන් පොම්ප වෙන්න ඉඩ දීලා අද වෙනකනුත් ඒ ත්‍රස්තවාදීන්ගෙන් පූර්ණ ලෙස වෙන් නොවන හිලරි විසින් ආරම්භ කල විදෙස් ප්‍රතිපත්තිය නිසා.

අයිසිස් මූලිකව ලොව පුරා ඉස්ලාමික ත්‍රස්තවාදී ඝාතන රැල්ලක් පටන් ගන්නේ එතනින්. අල් කයීඩා හන්දි ගානේ බෙලි කැපුවේ නැහැ. අයිසිස් ආශ්‍රිත රැල්ල තමා ඒ තත්වය බිහි කලේ. 9/11 වුනාට මිනිස්සු අනාරක්ෂිත වුනේ නැහැ. හැබැයි පැරිසියේ පහර දෙද්දී ලෝකෙම මිනිස්සු තමන් අනාරක්ෂිත බව තේරුම් ගත්ත.

ඊට සමගාමිව මහාපරිමාණ සංක්‍රමණික අර්බුදයකුත් නිර්මාණය කලේ ඒ විදෙස් ප්‍රතිපත්තිය. ඒ සංක්‍රමණිකයන් අස්සේ ත්‍රස්තවාදීන් ස්මගල් වෙච්ච බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අයිසිස් කියලම තිබ්බ. අනාරක්ෂිත බව දෙගුණ වුනේ ඒ නිසා.

ට්‍රම්ප් දිනන මූලික හේතුව ඒක. වෙන මොන හේතුව නොතිබ්බත් ඉස්ලාමික අන්තවාදය විසින් මිනිසුන් අනාරක්ෂිත කරවීම පමණක් ප්‍රමාණවත්. කට්ටිය කියනවා ට්‍රම්ප් මිනිස්සු බය කරලා චන්දෙ ගත්තලු. රෙද්ද තමා. මිනිස්සු බයවෙලා හිටියේ. ට්‍රම්ප් එන්න බොහෝ කලකට පෙර මිනිසුන්ට බයවෙන්න අවශ්‍ය පසුබිම හැදුවේ මූලික වශයෙන් හිලරි ප්‍රධානත්වයෙන්. ට්‍රම්ප් මොන බුලක් කෙලීද මම දන්නේ නැහැ. එහෙත් ඔහු ඉස්මතු කල ඉස්ලාමික අන්තවාදයේ ගැටලුව [ඔහු ඊට දුන් පිළියම් නොවේ] බොහොම කාලීනයි. ඒ ගැටලුව හදන්න ලෝකේ මූලිකවම වගකිවයුතු කෙනෙක් වේ නම් ඒ අන් කිසිවෙකු නොවේ ඔහු අතින්ම පැරදුනු හිලරි ම තමා.

කර්මා ඉස් අ බීච් කියල එහෙම, වට් ගෝස් අරවුන්ඩ් කම්ස් අරවුන්ඩ් කියල එහෙම අපේ පැරැන්නෝ කියලා තියෙන්නේ කට කහනවට නෙවි. දැන් විස්සොපේ නවත්තලා සත්‍යයට මුහුණ දෙන්න කියලා ට්‍රම්පාගමනයෙන් තවමත් කම්පිතව ඉන්න ජාත්‍යන්තර විශ්ලේෂක භවතුන්ට ආරාධනා කරනවා. හිත නිවා ගන්න හැකි විදිහකට.


ප.ලි. දැන් ඔබාමා මාර නායකයෙක් කියන අපේ විශ්ලේෂක භවතුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් දෙමු නේද? තමන්ගේ රාජ්‍ය ලේකම් මෙසේ පිස්සු කෙලිද්දී ඒකා නිහතමානි රංගන කර කර හිටියේ හැබෑටම ඔබාමා බබෙක්ද?

Friday, September 16, 2016

සිරියාවේ ඇමරිකන් බයිලා

සිරියාවේ සුපුරුදු බයිලාව නැවතත් රඟ දැක්වෙමින්.

සිරියාවේ අයිසිස් සහ අල් නුස්රා කල්ලි දෙක වෙන් කර පහර දීමට ඇමරිකාව රුසියාවඑකඟ කරවා ගනියි. එම අනුව සෙසු "මොඩරේට්" කරලිකරුවන්ට රුසියා ප්‍රහාර එල්ල නොවේ. මේ වෙන්වීම සඳහා .කැරලි කණ්ඩායමට කෙටි කාලයක් ලබා දී තිබේ.

එහෙත් සිරියා අර්බුදයේ මුල සිටම වූ ගැටලුව නම් භුමියේ මේ බෙදුම කළ නොහැකි වීමයි. එනම් ඇමරිකාව කියන ඔවුන්ගෙන්පෝෂණය වන මොඩරේට් සෙබළු වෙනම වෙන් කල නොහැකි වීමයි. වරක් එක මාධ්‍ය සටහනක කියවුනේ මේ කණ්ඩායම් දෙකම බෙදා ගන්නේ එකම පිරිසක් බවයි. එනම් ඇමරිකන් ආධාර වෙනුවෙන් මොඩරේට් ලෙස "දිවාකල" හැඳින්වෙන සෙබලා ම "රාත්‍රියේ" මුස්ලිම් අන්තවාදී කල්ලිවල සාමාජිකයන් බවයි.

රුසියාව කියන පරිදි මෙවරද අල් නුස්රාවෙන් "මොඩරේට්" කියා වෙනම වෙන් වීමක් වන බවක් පෙනෙන්නේ නැත.

කලකට  පෙර  අයිසිස්  උන්නේ  ද  මෙසේම  "මොඩරේට්"  කඳවුරේය.  ඒ  කාලේ  ඇමරිකානු  ආයුධ  සහ  තුර්කි  සප්ලයි  සමග  සැහෙන  මිනිස්  සම්පතක්  තුර්කියෙන්  ස්මගල්  වෙද්දී  බටහිර  රටවල්  එයට  කිසිම  විරෝධයක්  දැක්වුයේ  නැත.  "සිරියාවේ  සටනට"  ඕස්ට්‍රේලියාවේ  මිනිසුන්  එකතු  වුනේ  බොහොම  එලිපිටය.  එහෙත්  අයිසිස්  වෙන්වී  යාම  සමග  කතාවේ  දිග  පළල  වැටහුණි.  අයිසිස්  ගියද  ඉතිරි  "මොඩරේට්"  ගොඩේ  ඉස්ලාමික  අන්තවාදය  එලෙසින්ම  ඉතුරු  විය. අද  එය  අල්  නුස්රා  වැනි  කල්ලි  ලෙස  හඳුනා  ගැනේ.  හෙට  අල්  නුස්රා  වෙන්  කල  ද  ඉස්ලාමික  අන්තවාදය  එලෙසින්ම  පවතියි.  එනම්  සිරියාවේ  සැබෑ  තත්වය  නම්  "මොඩරේට්"  කරලිකාරයින්  කියන්නේ  ඉස්ලාමික  අන්තවාදීන්  ම  බවයි.  මතුපිට  පෙන්වන  බොරු  මුහුණෙන්  පහලට  ඇති  මොඩරේට්  කැරලි  කාරයෙක්  නැත. 


ඇමරිකාව මේ තත්වය පිළිගන්නා තෙක් සිරියානු අර්බුදය විසඳෙන්නේ නැත. ඇමරිකාව මෙය පිළිගත් දිනයට 2011 සිට විශාල වියදමක් මහන්සියක් දරා කල සිරියානු මෙහයුම තුල ඔවුන් පරාජය ලබනු ඇත.

ඒ නිසාම ඇමරිකාව කොච්චර ඔබ්වියස් වුනත් මෙය පිළිගන්නේ ද නැත.

සිරියානු අර්බුදය තව වසර කීපයක් ඇදුනොත් එය ලෝකයේ වැඩිම බලපෑමක් කෙරෙන ලොව පුරා ප්‍රහාර වලට මූල හේතුවක් වන විශාලම මානව ඛේදවාචකයක් වනු ඇත.

Tuesday, August 9, 2016

විජය නන්දසිරි

මළ ගෙවල් වල බූරු ගහන්න එපා කිව්වට කට්ටිය පෝලිමේ තියාගෙන කාඩ් කුට්ටම අනද්දී බලා ඉන්න අමාරුයි. අනික සම්භාව්‍ය තල දර්පන සිනමාව සහ බන්දු ටෙනි වාණිජ සිනමාව හෝ හඳගම විකාර සිනමාව දක්වා ෆිල්ම් කෑල්ලක් එහෙමත් වෙලාවක පමණක් බලන, වේදිකා නාට්ටිය දෙක තුනකට වඩා නොබලපු, ටෙලිනාට්ටිය වෙලාවට ගෙදරින් එලියට යන කොටිම්ම එතුමා වගේ එක නාට්ටියකින් එහාට විජය නන්දසිරි උන්නු මෙලෝ දානයක් බලලා නැති [සමහර නාට්ටි කෑලි රූපවාහිනියෙන් බැලුවද මන්දා] මම වගේ එකෙකුට ලියන එවුන්ගේ හැටියට උපරිමයෙන් ලියන්න සුදුසුකම් තියේ.

විජය නන්දසිරි මහත්තයා මනමේ එකේ සිංහයාට රඟපාපු එක නිසා එයාට හිරිපොදවැස්ස ෆිල්ම් එකේ රඟපාන්න එපා කීම මාර අසාධාරණයි. දැන් ගුණසේන ගලප්පත්ති මහත්තයා මැරුණට [ද නැතිනම් මයිග්රේට් කළාද] පස්සේ එතුමාගේ මනමේ එක පෙන්නන්නේ නැහැ නේද? ඉතින් දැන් ඔය කියන ආකාරයට විජය නන්දසිරි මහත්තයට මනමේ එකේ සිංහයාට රඟපාපු නිසා ආයිත් එකක මෙව්වා කරන්න තහනම් නම් දේවිකා මිහිරානි මැඩම් ට අල වේවි හැමදාම ගෙදර තපින්න වෙනවා නේද? මැඩම් ඒ මහත්තයට අල වෙවී ගෙදර තපින්නේත් එයා ගඟ අද්දර එකේ රඟපාපු නිසා වෙන එව්වයේ ඉන්න එපා කියලා පාටකයෝ සොරි ප්‍රේක්ෂකයෝ දෝස් මුරේ දාන නිසාද?

මගේ හිතේ ඔන්න ඕකයි රඟපාන්න මාර හැකියාවක් තිබ්බත් අර රොඩ්නි වර්ණකුල මෙලෝ වැදගත් කතාවක නැත්තේ. මොකද මිනිහා හුණුවටයේ කතාවේ මහුෂධ චරිතේ කලොත් කට්ටිය කියනවා මලාට රඟපාන්න එපා අර මහුෂධගේ මෙව්වෙක යනවා කියලා.

විජය නන්දසිරි චරිත හතක් එකේ හතෙන් එක චරිතයක් කරද්දී තිබ්බ තේජස චරිත තුනක් වගේ වාණිජ ටෙලි නාට්ටියක ඉද්දි නැතිවෙනවා වගේ කතා කීමෙන් වලකින්න. ඊට වඩා කතා කරන්න ඕනේ අර කොලිටි ටෙලි නාට්ටි වෙනුවට හතේ හත ගොන් කසිකබල් එන එක ගැන. මොකද රඟපාන උන් නෙවිනේ කතාව රචනය අධ්‍යක්ෂණය නිෂ්පාදනය කරන්නේ. තියෙන එකක නේ කාටත් රඟපාන්න පුළුවන්.

මම ප්‍රශ්නය මෙහෙම අහන්නම්. චෙරියෝ සාජන් එකේ පොලිස් නිලධාරියාගේ චරිතෙට [එහෙම එකක් ෂුවර් එකටම ඇති] හිටිය වෙලාවේ විජය නන්දසිරිට ඉන්න තිබ්බ වෙන සම්භාව්‍ය චරිතේ මොකද්ද? එකදාස් නවසිය හැත්තැවේ එතුමා රඟපාපු රේඛාව ෆිල්ම් එකේ පින්තුරේ රාමු කරගෙන සම්මානේ කැබිනට් එකේ දාගෙන ඔය විටක් කාරිය හපාගෙන ගෙදෙට්ට වෙලා ඉන්න එකද?

ඇත්තටම කියන්නේ එහෙම වේලි වේලි ඉඳලා මැරිලා ගිය සම්භාව්‍ය ශිල්පියෝ හිටියා. පුලුවන්නම් කියන්න බලන්න කවුද කියලා. නිකමට මතක් වෙන්නේවත් නැහැ නේද? නිකමටවත්. කොටිම්ම මටත් මතක් වෙන්නේ නැහැ.

හැබැයි එතුමා විතරක් බලලත් මට විජය නන්දසිරි ව මතකයි. ඒ මදැයි.

Monday, June 13, 2016

ඔර්ලන්ඩෝ තුවක්කුකරුගේ දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය

1700 ගණන් වල ලෝකෙට හිතාගන්න බැරි බ්‍රිලියන්ට් ව්‍යවස්ථාවක් හදාපු ඇමරිකන් කාරයට එක පාරට ප්‍රශ්නයක් එනවා. අපි බ්‍රිතාන්‍ය ඒකාධිකාරයට එරෙහිව කැරලි ගහලා දැන්අපේ ජනතා අභිලාෂමත රට පාලනය කරනවා. දැන් මේ පාලනය දවසක ඒකාධිපතියෙක් වෙලා ජනතා විරෝධී වුනොත් මොකද කරන්නේ. අපි අපේම පාලනයට එරෙහිව මිනිසුන්ට කැරලි ගහන්න ඇති අයිතිය සුරක්ෂිත කල යුතුයි.

ඔන්නඔහොම හිතලයි ඔවුන් ගෙන එන්නේ දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය. එනම් මිනිසුන්ට අවිදැරීමේ අයිතිය. මේක මාර ලොජිකල්. 1770 ගණන් වල ගන් තුවක්කු දරාපු "නිකම් බුවාලා" තමා බ්‍රිට්ට ව එලෙව්වේ. ආයිත් මේකුන් පිස්සු කෙලියත් ඒ ආකාරෙටම වැඩේ ඉවර කල හැකි.

එහෙම හිතපු ඇමරිකන් කාරයා සියවස් දෙකකදී ලෝකෙන් බාගයක් දවා හළු කල හැකි න්‍යෂ්ටික අවි පවා හදලා ඉවරයි. අහසේද මුහුදේද අභ්යවකාශයේද ඌට උඩින් යන යුද බලයක් නැහැ. මේක එහෙම නොවේ කියා හිතන පිස්සු එකාධිපතියෙක්වත් දැන් ලෝකේ ඉතුරුවෙලා නැහැ.

විහිළුව නම් මේ අසමසම යුද බලය සහිත ආණ්ඩුව පිස්සු කෙලියොත් කියලා තාම උන් "ගන් තුවක්කු" දැරීම් නිදහස මේන්ටේන් කිරීම. දැන්ඔය ඇමරිකානු අවි දැරීමේ නිදහසෙන් ලබා ගත්තු රයිෆල් වලින් හදිසියක් ආවොත් ගහල අල්ලනවා වයිට් හවුස් එක. එහෙමයි මේක ලොජිකලි කියවෙන්නේ.

දෙවැනි සංශෝධනයේ විසුලුකාර වර්තමාන ස්වරූපය ඕකයි. ඇමරිකන්ව්‍යවස්ථාව අතිශයින්යල්පැන ගිය එකක් බවට පත්වෙන්නේ ඔතනින්.

එහෙම නෙවි අපි කියන්නේ අපි මානව නිදහසේ උපරිමය අපි මානවයාට අවිදරන්න ඇති නිදහස පවා සුරකිනවා. එහෙමත් හිතන මිනිස්සු ඉන්නවා. හැබැයි ඒ කතාවම ඔක්සිමොරනයක්. අවි දැරීමේ "නිදහස" දුන්නු ගමන් වෙනත් බොහෝ නිදහස් මිනිසාට අහිමි වෙනවා. එබ්‍රහමික ආගමික අන්තවාදියෙක්ට අවි දරන්න "නිදහස" දෙන තැනක සමරිසියන්ගේ නිදහස උල්ලංඝනය වෙන්න ඉඩ තියෙනවා [නිකමට කිව්වේ මේ පෝස්ට් එකට ලොකු සම්බන්ධයක් නැහැ] කොටින්ම අවි දැරීමේ "නිදහස" කියල දෙයක් නැහැ. ඒ "නිදහස සීමාකරගැනීමේ" ම්ලේච්ච ක්‍රමවෙදයක්.

අනික ඉතින් අවුලකුත් නැහැනේ. දැන් රාජ්‍යය කරන දේ වැරදි නම් ඊට එරෙහි වන්න තමා ජනයාට අවි දරන්න නිදහස් දුන්නේ. ඉතින් ජනයා කිව්වම එකමතයක නැහැනේ. එක එක "ජනයා" හිතන්නේ එක එක තාලෙට. ඒ අතර ඉන්න ඇමරිකාවේ ම උපන්න ඔමාර් මටීන් කියන පුද්ගලයා හිතනවා රාජ්‍යය කරගෙන යන විදිහ වැරදියි කියලා. සමරිසියන්ට  නිදහසේ  එකතු වෙන්න  දෙන  එක  වැරදි වැඩක් කියල  ඔහු  හිතනව. ඔහු එය වෙනස් කරන්න ඔහුගේ "අවි දැරීමේ" නිදහස භාවිතා කරනවා. ඔය  කීපයක් මැරෙන  එක  මොකද්ද? දෙවෙනි  සන්ශෝධනය  අකුරටම  ක්‍රියාත්මක  වෙන  වෙලාවක.

බැලුවම මේ සෙකන්ඩ් අමෙන්ඩ්මන්ට් එක අප්හොල්ඩ් කරපු අවස්තාවක්නේ.

සාදු කියන්න පින්වතුනි, ව්‍යවස්ථා රාජයාට නමස්කාර කරන්න

Saturday, March 26, 2016

කියුබාව කොයිබට ද?


ලංකාවේ ෆේස්බුක් අවකාශ තුල ඇවිලෙන කියුබානු ඇමරිකා අර්බුදයට පෙට්‍රල් ටිකක් දාන්න හිතුනා.

දැන් බොහෝ දෙනා කියන්නේ කියුබාව ඔබාමා යාම හරහා ප්‍රජාතාන්ත්‍රික ධනවාදයේ සෞභාග්‍යය උදා කරගන්න බව නේ. එතකොට කියුබන් ෆෑන්ස් ලා කියනවා රවුල් ගේ බල්ලවත් ඔබාමාව ගණන් ගත්තේ නැහැ, විප්ලවය පරද්දන්න තොපිට ඔහොම බැහැ කියලා.

එහෙත් ඔය වේදිකාවක රගදක්වපු නාට්‍යයක් වගේ එකක්.

සැබෑ ජීවිතයේ කියුබාවේ විප්ලවය පරද්දන්නේ බරක් ඔබාමා නෙවි රාවුල් කස්ත්‍රෝ. රාවුල් ෆිදෙල්ගේ අසාර්ථක අන්තවාදී වාම දේශපාලනය වෙනුවට චයිනීස් ධනවාදය හඳුන්වා දීලා දැන් සැහෙන කාලයක්. කියුබාව ඉන්නේ සමාජවාදයෙන් ධනවාදයට යන මාවතේ. චීනය වියට්නාමය ගියා වගේ.

බොහෝ දෙනෙක් නොදන්නවා වුනාට කියුබානු ආර්ථිකය අනූව දශකයේ මුහුණ දුන්නු තත්වය සමාන වන්නේ කොමියුනිස්ට් සෝවියට් හා චීන දෙරටේ ඇති වූ මහා සාගතයට. ඉක්මනින් වෙනස් වෙන්න පටන් ගත්ත නිසා ජීවිත හානි අඩු වුණා. හැබැයි මිනිස්සු සැහෙන්න දුක් වින්දා. මීට මූලිකව බලපෑවේ සෝවියට් සංගමයෙන් පිනට යැපුණු කියුබානු සිස්ටම් එක සංගමේ විසිරුවා හැරියම අනාත වීම, එය සමාජවාදයේ රෙලික් එකක් වන ෆිදෙල්ගේ අසාර්තකත්වය මනා සේ පෙන්නුවා. ඒ අසරණ වෙච්ච කියුබාවට ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ධනවාදී චීනයේ [එනි ඔබ්ජෙක්ෂන්ස්??] එල්ලගෙන ඉදිරියට ගෙනියන වැඩේ රවුල් පටන්ගෙන දැන් තරමක් කල්. "ප්‍රතිසංස්කරණ" ඔව් එව්වා තමා, වම්මුන්ගේ බියකරු වචනය.

දැන් දේශපාලනේ නොදන්නා අඳබාලයෙක් ඇරෙන්න කතා කරනවද වර්තමාන චීන සමාජවාදය ගැන, වර්තමාන වියට්නාම් සමාජවාදය ගැන... එව්වා ඉබේම හැරිලා. එව්වා හරවන්න ඇමරිකාව ගියේ නැහැ උන්ම හරෝ ගත්තා. ඒ හැරවීමේදී මීට පෙර විප්ලවීය සහෝදරයන්ගේ ආණ්ඩු, ඒකාධිපති ධනවාදී පවුල්වාදී දූෂිත හොර ගුහාවල් වෙනවා. ඒ පවුල්වලත් දෙවැනි පරපුර ඒකට කැමතියි, මොකද උන් උපතින්ම නිර්ධනයින් නොවේ.

දැන් කාලෙක සිට රාවුල් වැඩේ පටන්ගෙන තියෙන්නේ. ඔබාමා ඇත්තෙන්ම ගියේ පොඩි රාජ්‍යතාන්ත්‍රික හලෝ පාරක් එක්ක හොලිඩේ ට්‍රිප් එකක් තමා, මොකද මිනිහට ගිහිල්ල දෙන්න අමුතු බක්කක් ඉතුරු වෙලා නැහැ.

දැන් කට්ටියක් බලාගෙන ඉන්නවා ඔබාමාගේ සංචාරයත් එක්ක ධනවාදයේ දහම්කඳ කියුබානු සිත් සතන් වලට ගිහින් උන්ට ඒහි පස්සිකෝ භාවයෙන් ප්‍රජාතන්ත්‍රවාදයයි සෞභාගයයි ලැබෙනකම්, තව කට්ටියක් බලාගෙන ඉන්නවා ඇමරිකාව සත පහකට ගණන් නොගෙන සමාජවාදය වෙනුවෙන් නොසැලී ඉන්න විප්ලවීය කියුබාව ජය ගන්න හැටි. රෙද්ද තමා, බටහිර ආයෝජන වලට දොර විවර කලාට පස්සේ කස්ත්‍රෝ පවුලේ එකාධිපතිකම ගැන ඇමරිකාව මීක් කියන්නේනැහැ. තමන්ගේ ඒකාධිපති පාලනය තුලට බටහිර ආයෝජන ගලා එන්න ගත්තම විප්ලවේ පකිස් පෙට්ටියේ දාලා පුස්කන්න දාන්න දැනටමත් රවුල් සෙට් වෙලා ඉවරයි.

කියුබාව තව දශකයකින් බටහිර ආයෝජන වලට ශ්‍රමය හා [ටුවරිසම් ඇතුළු] සේවා සපයන කස්ත්‍රෝ හා තවත් එවැනි පවුල් කීපයක එකාධිපතිවාදයක හිරවුණු පිචන් ධනවාදී රටක් වෙලා තමයි නවතින්නේ. විසිවැනි  සියවසේ  ගොන්පාට්  වල  හිරවුණු  ලාංකීය  සංවාද  අවකාශවල  ඉන්න ධනවාද ෆෑන්ස් ලා කියන සුරංගනා සිහිනය හෝ සමාජවාද ෆෑන්ස් ලා කියන සුරංගනා සිහිනය සිද්ද වෙන්නේ නැහැ.

දැන්වත් උන්ට උන්ගේ පාඩුවේ උන්ගේ මහපොළොවේ ප්‍රශ්න අසල්වාසීන් එකක් උන්ට ගැලපෙන ලෙස විසඳ ගන්න දීලා තොපිලගේ හීන වලට වෙන තැනක් හොයා ගනිල්ලා. දැන් ඔය හීන කාරයින්ට ඉතුරු ඉස්පයිඩර් මෑන් සුපර් මෑන් හැරී පොටර් අවකාශය විතරයි.