Friday, February 7, 2014

ගුරු ගෝල කතා - සාපරාධි ෆේස් බුක් එකවුන්ට්ස්

පාසල් දැරියකගේ ෆේස් බුක් එකවුන්ට් එකක් [සහ ප්‍රේම සම්බන්ධයක්] ගැන විදුහල්පතිවරයෙක් ප්‍රසිද්ධියේ කුණුහරුපෙන් බැනවැදුණු නිසා දැරිය සියදිවි නහගනී. අදාල විදුහල්පතිට කේලම පවසා ඇත්තේ ගුරුවරියකි. බොහෝ විට විදුහල්පති ගුරුවරිය කියූ දේ ඇසුවායින් එහාට මේ ගැන කිසිම පරීක්ෂණයක් කරන්නට නැතුවා වන්නට පිළිවන.

මේ අපට අසන්නට ලැබුණු කතාවයි. කතාවේ පසුබිමේ අප නොදන්නා දේවල් තිබිය හැකි නමුත් අදාළ ගුරුවරුන් දෙදෙනා බරපතල වරදක් කල බව නම් ස්ථිරය. විශේෂයෙන්ම විදුහල්පති ගුරු බකමූණා ගේ වනචාරී ක්‍රියාකලාපය කෙසේවත් සාධාරණ කල නොහැකිය. මේ කතාව අදාළ කෙල්ලගේ පිට දමා "අපේ අවලම් කම" හෙවත් අපේ කම කියා හිතාගෙන ඉන්න එකේ ජාමේ බේරාගන්නට මේ මොහොතේ එහි බහිරවයින් ක්‍රියාත්මක වන බව පෙනේ. 


පාසල් දැරියක් නිල ඇඳුම කොටට ඇඳපු නිසා ප්‍රසිද්ධියේ වාටි කපපු කතාව මතක ඇතැයි සිතමි. එදා එතන දේශපාලන මැරයෙකු වූ දැරියගේ පියා කලාක් මෙන් මේ මෝඩ පිනාව ඒ ස්ටේජ් එක උඩටම නංවා පොන්නයා කියා බනින්නට දැරියගේ පියා දේශපාලන මැරයෙක් නොවීම කනගාටුවට කරුණකි. මේ වගේ ගුරු බකමූණන් විසින් බිහි කරන සමාජය අර දේශපාලන මැරයා සේ වියයුතුය. නොගලපෙන අයට පැවැත්මක් නැත.

ප්‍රධාන මාතෘකාව ඔතනම තබා අතුරු මාතෘකා කතා කරමු. ප්‍රධාන මාතෘකාව [හෙවත් කාලකන්නි පිනාට දඬුවම් කිරීම] තාවකාලික වන අතර අතුරු කතා දීර්ඝ කාලිනය.

- ලංකාවේ බොහෝ දෙනෙකු ෆේස් බුක් යනු කවරක්දැයි නොදනිති. කෙල්ලට අම්බානට අප්සෙට් ගිය බවක් පෙනෙන්නේ තමන් නොදැමූ පින්තුර වලට‍ බැනුම් අහන්නට වීමයි [ලිපියේ එහෙම කියා ඇත]. එය සාධාරණ කනගාටුවකි. වරදකට දඬුවම් කරන්නා වරදෙහි ස්වභාවය ගැන දැනසිටිය යුතුය. මේක මේ වගේ සිද්ධි බොහොමයකට හේතු විය හැකිය. ගුරුවරුන්ට හමුදා පුහුණුව දීමට වඩා ගුරුවරුන්ට බේසික් අයි ටී යුසේජ් ගැන කියාදීම කාලින මාතෘකාවකි.


- ලංකාවේ පාසල් ළමයින් අතර හුවමාරුවෙන ෆෝන් එක හා අන්තර්ජාල ක්‍රියාකාරකම් ගැන පාසල් ගුරුන් දක්වන්නේ පුදුම අවුලකි. ෆෝන් එකක හුටප්පරෙකට කොළඹ පාසලක ගුරුවරුන්  කෙල්ලක් බියගන්වා ඇය පාසලේදීම ගෙල වැල දා ගත් කතාවක් මීට පෙර අසන්නට ලැබුණි. මීට හේතුව සරල වනචාරි කමයි. හැටේ දශකයේ දරුවන් බයිසිකල් පදින විට දෙමව්පියන් එය නසරානි වැඩක් සේ සලකා දඬුවම් කල බව අසා තිබේ. හෙන ඉස්සර කාලේ සුද්දගේ රේල් පාරේ කෝච්චි දුවන විට ඒවා මහා නරක දේවල් කියා බිය වී ගම්වැසියන් වන වැදුණු බවද අසාතිබේ. තමන් ඉන්නා යුගයට මේ යල්පැනගිය ගුරුන් යාවත්කාලින කිරීම දෙවන කාරණයයි.

- දරුවන්ට ප්‍රසිද්ධියේ දඬුවම් කිරීමේ වරද අපි කුරුණෑගල දිහාවේ නිල ඇඳුමේ වාටි කපාපු කේස් එක වෙලාවේ ද කතා කළෙමු. නැවත ඉස්මතු කරන්නට ඇත්තේ මේ වනචාරි දඬුවම් ක්‍රමයට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමින් පිළියම් යෙදිය යුතු බවයි.

- ගුරාගේ හැසිරීමෙහි දක්නට ඇත්තේ සමාජ විරෝධි මානසික ආතතියකින් පෙලෙන මනුස්සයෙකුගේ හැසිරීමකි. මෙහෙම වීමට මිනිසුන්ට සැහෙන හේතු ඇත. ලංකාවේ පාසල් වල තමන්ගේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න නිසා ලමයින්ගෙන් පලිගහන සහ ඇතැම්විට බීමත්ව පැමිණෙන ගුරුහු සිටිති. මෙය තවත් ගැටලුවකි.

- සිසුවියගේ ලිපිය කියවූ විට එහි මූලික කරුණු දෙකක් පෙනුනි. පලමු වන්න නම් හොඳ ළමයා කියන අයිඩලය මේ දරුවන්ගේ සිත් වලට කෙතරම් නරක බලපෑමක් කරන බවයි. අයිඩියලිස්ටික් රාමුවක් දරුවන්ට බලෙන් එබ්බීමෙන් එම රාමුවෙන් අපගමනය වන තැනදී දරුවා මානසික ආතතියකට ලක්වේ. සිද්ධිය තුල එහෙම ගතියක් මට පෙනේ.

- දෙවැන්න නම් පාසල් මව කියන මල කෝලම මේ ළමයින්ට කෙතරම් බලපාන බවයි. ලංකාවේ සියලු පාසල් තමන් පාසල් මවක් ලෙස දරුවන්ගේ සිතට කාවද්දයි. එම හරහා බාහිර ක්‍රියාකාරකම් වලට හැකිතාක් පිරිස අද්දවා ගනියි. මේ දැරියත් එවන්නියකි. එහෙම කෙනෙකුට පාසල තුල මෙවැනි කෙනෙහිල්ලක් සිදුවීම දරාගන්නට අමාරුය. මේ වගේ කෙනෙහිලි අප බොහෝ දෙනෙකුට සිදු වුවද මෙතරම් මානසිකව නොවැටෙන්නේ අම්මා පටලාගෙන නැති නිසාවෙනි. පාසලට ගරු කිරීම හා බැඳීමක් තිබීම යහපත් වන නමුත් පාසලේ කෙහෙම්මල් වලින් දිවි නහ ගන්නට උවමනා නැත.

- අනික් වැදගත් කාරණය නම් ගැහැණු දරුවන් මල් මෙන් හදන කාලය අහවර කලයුතු බවයි. වේසි කිව්වම පරවෙන සුමට මල් වෙනුවට පල පොන්නයෝ යන්න කියා අනිත් පැත්තට කියන රළු පරළු කෙල්ලන් අවශ්‍යය. මෙතනත් අපි ඉන්නේ අතීත යුගයක සිරවෙලාය. වර්තමාන ලෝකයේ ඔය මල් ප්‍රභේද වලට අවශ්‍ය පාරිසරික තත්වයන් නොමැත. පාරේ යනකොට වේසි කියා කියන එක බොහෝ විට හෙට දිනයේ සාමාන්‍ය දෙයක් වනු ඇත.