Thursday, May 29, 2014

ජවිපෙ 88-89 භීෂණ සමයේ කල ඝාතන ගැන සමාව ගනියි

88-89 භීෂණ සමයේ සිද්ධ වූ ඝාතන 6000 කට ජවිපෙ විසින් සමාව ඉල්ලු බව පළවේ. හරියටම ප්‍රකාශය දුටුවේ නැති අතර එය කලේ ප්‍රසිද්ධ රූපවාහිනියේ  හෝ පුවත්පත් නිවේදනයක් ලෙසද නැතිනම් තමන්ගේ පුද්ගලික රැස්වීමකද කියා දන්නේ නැත. කිනම් පදනමක කල දෙයක් වුවත්, ජවිපෙ ඝාතන ගැන විවේචනය කල කෙනෙකු හැටියට මේ ගැන මගේ ප්‍රසාදය හිමිවේ. අඩුම වශයෙන් ජවිපෙ නායකයා පඩත්තල කමට ඒවා සාධාරණය නොකරන විචාර බුද්ධියෙන් එම කරුණු විමසා බලන කෙනෙකු ලෙස මෙයින් හඳුනා ගත හැකිය. ගොනාට අන්දාගත් ආගමික පාක්ෂිකයන් රන්චුවකගේ කල්ට් එකක් කියන තැනින් විතැන් වී ජාතික මට්ටමේ දේශපාලන පක්ෂයක් කියන දිහාවට එන ගමනට මේ විචාර බුද්ධිය වැදගත් වේ.

එහෙත් වඩාත් වැදගත් කාරණය 88-89 කල ඝාතන ගැන කරන සමාව ගැනීම නොවේ. ඇත්තෙන්ම එහෙම සමාව ගන්නා සම්ප්‍රදායක් ලංකාවේ තිබී නැත. [ඒ අනුව මෙය එවැනි දෙයක් දුටු පළමු අවස්තාව ලෙසද හැඳිනිය හැකිය]. එහෙත් වඩා වැදගත් වනුයේ එබඳු වනචාරි ක්‍රියා දෙසට යලිත් තල්ලු වී යාමට එරෙහිව තම සාමාජිකත්වය රිහැබිලිටෙට් කරවා ගැනීමයි. 88-89 සොරි කියා ලොක්කා කියද්දී වරෙවූ ධනපතියාගේ කැවුත්ත කන්න කියන පාක්ෂික ප්‍රජාවක් සිටීනම් ඒ සමාව ගැනීමේ පලක් නැත. 

මෑත අවධියේ බුකිය වැනි සීමා සහිත තෝරාගත් සාමාජික ප්‍රජාවක් අතර පවා මෙලෙස හැසිරුණු ජවිපෙ සාමාජිකයෝ උන්හ. එමෙන්ම 88-89 කමක් නැහැ කියා සාධාරණය නොකළ ජවිපෙ සාමාජිකයෙක් නැති තරම් ය. ආයිත් වරක් වුනත් රට හදන්න එහෙම සෙට් එකක් මරන්න අවශ්‍යයි කියා පොල්පොට් පාට් දැමූ අවස්ථා අනන්තවත් දුටුවෙමි.

88-89 ලිඳකට දැම්මා ඒ ලිඳෙන් ගොඩ එන්න ඒ විදිහේ වැඩ කරන්න ඕනේ කියන කතාව එසේ කියන ලද එක කතාවකි. මහවැලි ව්‍යාපාරය වගේ වැඩක් කරද්දී ගැඩවිල්ලු මැරෙන එකට කරන්න දෙයක් නැහැ කී මහතා ගැන මට තාම හිතා ගන්න බැරි අපිත් මොහොතකට හෝ ඔවුන්ට මානුෂිය පදනමක් තිබු බව සිතු බැවිනි [මේ උදාහරණයේ ලොකුම වරද නම් මහවැලිය හරවන්නේ හිතාමතා ගැඩවිල්ලු මරන්න නොවන මුත් ජවිපෙ තුවක්කු හැරුනේ ඒ මිනිසුන් හිතා මතාම මරන්න බවයි]. ඉතාම සුපිරිසිඳු සත්ගුණවත් ජවිපෙ සාමාජිකයෝ පවා තවම අවිගත් විප්ලව ගැන කියවති. ධනපති පන්තිය භෞතිකව මරා දමන හැටි ගැන කියවති. මේවා වෙනස් කිරීම සමාව ගන්නවාට වඩා බෙහෙවින් අසීරු නමුත් එතරම්ම වටියි.

කිනම් පසුබිමක වුවද සමාව ගැනීම ඉහලින්ම අගයන අතර, මේ වගේ පිරිසක් තුලින් කල්ට් එක වෙනුවට බුද්ධිමය ජාතික මට්ටමේ දේශපාලන පක්ෂයක් හදා ගන්නට අනුර කුමාර දිසානායක මහතාට [සහෝදරයට නොවේ] ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමු.