Saturday, January 7, 2017

පවන - 88/89 විප්ලවය කලේ නන්දා සහ සුනිල් ය

මේක පුද්ගලික කියවීමක්. තරමක් නොස්ටල්ජීය කතාවක් කිව්වත් වරදක් නැහැ.

88 ඉස්කෝලේ වහපු කාලේ වෙද්දී මම සමාජවාදය ගැන දන්නේ අර ගෙවල් වලට බෙදපු සෝවියට් පොතෙන් සහ ඉස්කෝලේ පොතෙන් පමණයි. කැරැල්ල අපිට වඩා චුට්ටක් වයස වැඩියි. බය නැතුව කැරැල්ලට බහින්න තරම් වයසක් නැහැ. හැබැයි මම හිතන්නේ තව අවු 5 ක් එහානම් බඩුම තමා. මොකද අපි  ඒ ගානට කුලප්පු වෙලා තිබ්බ.

මෙලෝ තේරුමක් නැති හුදු වාගාලාප වෙච්ච රෝහණ විජේවීරගෙන්/ජවිපෙ මධ්‍යම කාරක සබාවෙන් ඉඳහිට ලන්කාදීපෙට එන ලිපි කියවන්න හිතාන හැමදාම පත්තරේ පෙරලනවා. මම නම් එව්වා කපල එකතු කළා. සාමාන්‍ය මරිමොඩ පාසල් වියක අපි එමිනෙම් ලා කෝලිලා හෝ හින්දි නිළියන්ගේ පින්තුර වෙනුවට එකතු කලේ එව්වා. විප්ලවය ගැන මුලින්ම ඉගෙන ගත්තේ එහෙමයි.

හැබැයි දවසක අපිට තේරෙන්න තිබ්බ මේක මෝඩ වැඩක් කියල. ජවිපෙ එදත් සබුද්ධික සම්භාව්‍ය ඉගැන්වීමක් තිබ්බේ නැහැ. ඔය අද කියන 2020 ආණ්ඩුව අල්ලනවා වගේ කතා  තමා.  ඉන්දීය හමුදාවට වියට්නාමේ ඇමරිකාවට දුන්න වගේ ගහනවා ආදී මෝඩ කතා කිව්වේ. අපිට මේක තේරෙන්න තිබ්බ. අපිට නැතත් අප අතරින් පරම්පරාවක් ලෙස වියෝ වෙච්ච අපිට වඩා අවු. 5 සිට 20 විතර ගැප් එකක් වයස එවුන්ට  මේකේ ගැටලුව තේරෙන්න තිබ්බ නන්දක්කයි සුනිල් සර් රුයි නොඉන්න. පවන නොකරන්න. මොකද අර මාක්ස්වාදී පිටස්තර විකෘතිය සහ ලාමක ජවිපෙ බොලදකම වහන්න දේශීය  චින්තනයකින්  සම්භාව්‍ය සුභාවිත සංගීතමය [ඒකත් රොම්බ ශාස්ත්‍රීය, උපරිම කටහඬකින්] අයිසින් එක්ක දැම්මේ මේ දෙන්න. කොටින්ම අමු ගරුඬ මාක්ස්වාදයෙන් ආවනම් ජෙප්පන්ට එක දාහක් සපෝට් කරන්නේ නැහැ.

උදේට හවසට අහල ඕක කටපාඩම් ඒ කාලේ. හැබැයි ඕක අහන්නේ ගංජා ගහනවා වගේ වෙන වැඩ නවත්තලා. සංගීතයට මනස තුලට යා හැකි දුරක් වේ නම් ඕක උපරිමය කියල කියන්න පුළුවන්.

මේක තමයි පවනේ ඉන්ට්‍රෝ මතක හැටියට.

සාධු ජන ගන මනා සභා ගැබ හොබවනා
දැහැන්ගත නොවී මා ගීතයෙන්
සිටින් පුටු කබල් මත සීරුවෙන්
මේ යකඩ ගොඩවල්ය වැයෙන්නේ
කටුක පද පෙළවල්ය ගැයෙන්නේ
දාඩියයි ගත පුරා ගලන්නේ
මිනිසුන්ය ගයන්නේ වයන්නේ
කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ
කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවියරන් විසින් නොව දුකට පත් දන විසින්
එදළ රළු පද බැඳුම් විරචිතයි
ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මඟ තොටේ ඔබ දකින ගැහැනියයි
ගීත නොව මා මුවින් නැඟෙන්නේ
තැලී ගිය සුවහසක් ආත්මය හඩ නගා
ඉකි බිඳින බැණ නැගෙන රාවයයි
නැත අපට ප්‍රතිරූප දේශයක්
විඳින්නට අති පවර රස භාව
පෙදෙහි රස හව් විඳින ජනයිනි වනු සමා
ඔබ සවන් පිනවන්ට සමත් ගී දුලබ නම්
කලා මල් යා දා බිඳින්නට විනම් මට
බිඳ හලෙමි සැහැසි ලෙස චණ්ඩ මැරවරියක්ව
යළි කියමි නැත අපට භද්‍ර වූ කාලයක්
භද්‍ර වූ දේශයක් රාජ්‍යයක්
අනන්තවු දුකින් වුව අතැර කව් රස භාව
ගයන්නට ලද හඩින් කියා සැඩ පරුෂ වැකි
අප මැරැණු කළ අපේ දරුවනේ
ගයව් තෙපි වැස භද්‍ර දේශයක රාජ්‍යයක
අප වෙතින් පලා ගිය මධුර ගී.......


ඉතාම සම්භාව්‍ය බසකින් ඔස්ටින් මුණසිංහ සංගීතයෙන් ඉතාම සම්භාව්‍ය වූ ශ්රාවකයට කියනවා සම්භාව්‍ය මියුරු ගී කියන්න බැහැ දැන් බැහැපල්ලා පාරට කියල. ඔය ටික ඔහොම වචන වලට ගන්න එකමත් මාර ටැලන්ට් එකක්.

ඒ ගානට කට්ටිය ටයර් උඩ මලා. වද දෙද්දී පාවා නොදෙන්න පුච්චලා දාද්දි ජවිපෙට ජයවේවා කියමින් මැරෙන්න ඕනේ ශක්තිය දෙන්න හැංගිලා උන්නු විජේවීරට වඩා නන්දක්ක සමත් වුනා කිව්වොත් නිවැරදියි. ඒ මැරිච්ච කීයක් දාස් කැපිටාල් කියෙව්වද සෝවියට් සිස්ටම් එක අධ්‍යනය කලාද මාක්ස්වාදය ගැන කොච්චර දැනුමක් තිබ්බද ඒ තියා 71 කැරැල්ල ගැනවත් දැනගෙන උන්නද කියල දන්නේ නැහැ. හැබැයි එකක් ෂුවර් ඕකුන් ඔක්කොම පවන කටපාඩමේ කියන්න සමත්.


මම නන්දක්කට වත් සුනිල් සර් ට වත් බනින්නේ නැහැ. උන් දෙන්නත් ජීවිත අවදානමක් ගත්ත. උන් දෙන්න බෙරුනෙත් නූලෙන් කියලයි මගේ අවබෝධය. ධනපති නාගරික අධිපතිවාදයකට එරෙහි ලාංකීය හෝ සිංහල ජාතිකත්වය එක්ක පදනම් වෙච්ච   මතයක් [මාක්ස්වාදයක් කියා මම හිතන්නේ නැහැ] උන්ට අවංකව තිබ්බ කියා හිතනවා. උන් දෙන්න වෙනස් වෙන්නේ නැහැ වඩාත් සම්භාව්‍යයි කියන ඔය කොළඹ විතරක් දුවන චූටි චූටි කල්ලිවල න්යයචාර්යවරුන්ට. ඔකුන්ටත් ඔහොම සින්දු ලියන්න පුලුවන්නම් ඔහොම යසට කියන්න පුලුවන්නම් ඕකුනුත් මේ දැක්කිල්ල ම කරනවා.

හැබැයි හැටදාහක් මලානම් නන්දක්කයි සුනිල් සර් රුයි උන්ගේ කරේ බැන්ද සයනයිඩ් ප්‍රමාණය විජේවීරටත් වඩා වැඩියි.

ඉන්  පසුව  නැවත  ඒ  කැරලිකාර  ස්වරූපය  නන්දගෙන්  දුටුවේ  නැහැ.  මගේ හිතේ එතුමියත් පුනුරුත්තාපනය කරගන්න ඇති තමන්ව. අපිට තිබ්බ ඇම්ම එයාටත් ඊට කලින් තියෙන්න ඇති. 

තවමත් මගේ ප්‍රියතම ගායිකාව නන්දා.

[සංවාදය  මතුකළ රුවන් බණ්ඩාර  සහ  ද්‍රව්‍යමය  දායකත්වය  දුන්  රංග  වීරක්කොඩි  දෙපළට  විශේෂ  ස්තූතිය]