Saturday, June 21, 2014

ජයපාල කුමාරිට හාදුවක් දීලා... මළ කෙළියයි

මේ ගොසිප් අඩවි [හා සමහරවිට ජාතික පුවත්පත්] වල පලවන පුවතකි. මෙය මෙහි උපුටා දක්වන්නේ ඒ පුවත තුල ඇති ලංකාවේ මිනිසුන්ට ඇලජික් වචන සංඛ්‍යාව අතිශයින් වැඩි නිසාය. ටිකක් දිගට ලියන්නට සිදුවන්නේ මේක ඇතුලේ දුවන කතාව දිග නිසාය.

මෙම පෝස්ටුවේ අරමුණ ජයපාල හා කුමාරි දෙන්නගේ හෝ පෙර විවාහයේ සිද්ධියක් ගැනවත්, පොලිස් පාකින් ස්ලොට් වල පාක් කිරීම ගැනවත් කතා කිරීම නොවේ, ලංකාවේ උන්ට නිව්ස් ලියන්න හිතෙන්නේ මොන වගේ මානසිකත්වයකින්ද කියා කතා කරන්නටයි. එය මාතෘකාව මිස් කිරීමකි. එහෙත් නඩත්තු සිද්ධියක් හෝ පෙර විවාහයේ දරුවෙකු පැහැරගැනීමක් හෝ වැනි කතාවක් ගැන නඩුවක් වාරතා කරන කෙනෙකු කතා කර ඇත්තේ කා පාක් එකේ වෙච්ච දේ ගැන පමණක් නිසා මාතෘකාව මිස් වෙන්න ගත්තේ මට පමණක් නොවේ.

නම්ගම් හා ස්ථාන මනක්කල්පිත අතර, පුවත ඔරිජිනල් තැන සත්‍ය සිද්ධියක් ලෙස ලියා තිබුණි. 

කියවන අය පහත දැක්වෙන වචන අවධාරණය කරගන්න.වදන් පැහැදිලිකිරීමක් මේ සමග අමුනන්නට සිතා සිටිමි.

- ක්‍රිකට්
- පෙර විවාහයේ
- නිළිය
- හමර්
- හාදු

---------------

පුවත

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන 'ජයපාල හතරලියද්ද' ඔහුගේ පෙර විවාහයේ දරුවා දකුණු සුඩානයට රැගෙනයාමට උත්සහ කළ බවට චෝදනා කරමින් ඔහුගේ පළමු බිරිය රූමස්සල පොලිසියට පසුගිය දිනක පැමිණිල්ලක් කර තිබුණි. පසුව එම පැමිණිල්ල විභාග කිරීමට රූමස්සල පොලිසිය විසින් කරන ලද දැනුම් දීමකට අනුව ජයපාල හා ඔහුගේ වත්මන් බිරිය, ජනප්‍රිය නිළියකව සිටි 'කුමාරි මංගලිකා' ද ඔහු සමග පොලිසියට පැමිණ සිටියේ ය.

ලියාපදිංචි නොකරන ලද හමර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි ජයපාල සහ කුමාරි ඔවුන්ගේ මෝටර් රථය නවත්වනු ලැබුවේ රූමස්සල පොලිසියේ ස්ථානාධිපති වික්‍රමබුද්ධි මහතාගේ ජීප් රිය නවත්වනු ලබන ස්ථානයේ ය. මොවුන් පැමිණීමෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයාද එහි පැමිණ ඇති අතර ඒවන විට මෝටර් රථයේ සිටි කුමාරිට සිය මෝටර් රථය ඉවත් කරගන්නා ලෙස ද ඔහු දැනුම් දී තිබේ. පසුව හමර් රථය ඉස්සරහට පස්සට ගත්තද කුමාරිට එය ඉවත් කිරීමට නොහැකිවී ඇත.

මේ කලබෑගිනිය දුටු ජයපාල එතනට විත් කුමාරි රියදුරු අසුනෙන් බස්සා ඇයට හාදුවක් දීමට උත්සාහ කිරීමේ දී පොලිස් ස්ථානාධිපතිවරයා හාදු දෙන එක පසුව කරගන්නා ලෙසත් මුලින් මෝටර් රථය ඉවත් කරන ලෙසත් ජයපාලට විදානය කර තිබේ.

----------------

වදන්

ක්‍රිකට්:
අපේ පණ මෙනි. එහෙත් පර සුද්ද ගෙනාපු එකකි. මේවා ගහන එවුන් අඟහරු ලෝකෙන් ආපු උන්ය. උන්ට සල්ල අම්බානටය. උන්ගේ අම්මලටය. අපි උන්ගේ අගු පිලක හැංගී උන්ගේ මහා ධනස්කන්ධ ගැන හොයන්නට රුසියෝ වෙමු. ඔකුන්ගේ සල්ලි පෙරේත කම නොදකින්ය [අපි වගේ සල්ලිවලට පෙරේත නොවී ඉන්න උන්ට බැරිහැටි]. පුලුවන්නම් කවුරුහරි ඔකෙකුගේ වාහනයක් හප්පපිය. කීයක් හරි කඩා ගනින්. ඒ වුනාට අපේ ටීම් එකේ කොල්ලෙකුට සුද්දෙක් පාට් දැම්මොත්. අඩෝ අපේ සිංහ පැටවූ හරිය. පිට්ටනියේ සිංහ පැටවූ ...

පෙර විවාහයේ:
මහා අසෝබන දෙයකි. විවාහයක් කර ගත්තේ නම් එය තුල සිටිය යුතුය. දික්කසාදය අපේ සංස්කෘතියේ ආනන්තරීය පාපයකි. හොර ඒවා කලාට කමක් නැත. අපි හෙන බෞද්ධ නිසා මේ වගේ සංකර සිරිත් වලට අකමැත්තෙමු. මොකද දෙවියන් වහන්සේ විසින් එක්කල දෙය මනුෂ්‍යයා විසින් වෙන්කළ යුතු නොවන බැවිනි.

නිළිය:
වෙසගනට පර්යාය පදයකි. එහෙත් පාර අයිනේ ලගින කළු හඩු  වෙසඟනන් මෙන අහිංසක නැත. උන් බුදියා ගත්තුවා ගොසිප් ගත කර අපේ නින්ද කඩති. මෙම ඕනෑම  ගෑනියෙක් ලංකාවේ ධනවත් බලවත් පිරිමි 10% සමග නිදිවැද ඇතිබව ස්ථිරය. අපිට සල්ලි නැති නිසා අපි වගේ සදාචාරවාදීන්ට මෙය කරදරයකි.  ඒ නිසා ඕකිලාගේ රෙදි ගැලවිය යුත්තෙමු.

හමර්:
ධනපති පන්තියේ වාහනයයි. හදන්නේ ලෝක ධනවාදයේ නිජබිම වන ඇමරිකාවයි. ජයපාල වැනි මිනිසුන් පුද්ගලිකව හම්බු කල ධනයෙන් ගත්ත වුනත් මේවා තනිකරම වංචාකාරී ලෙස ඉපයූ දේවල් වේ. හමර් යන නාමය ම ඊට ශාක්ෂිය. මේවා හදන්නේ දුප්පතා සූරාගෙනය. දුවන්නේ දුප්පතා හප්පා ගෙනය. මේ පවතින ක්‍රමයේ ධනේශ්වරයේ තුප්පහි කමයි. නිර්ධන පන්තිය නැගිට මේ හමර් වල යන එවුන් ගෝල්ෆේස් එකේ එල්ලිය යුතුය.

හාදු:
අවිනීත අසංවර බටහිර සංකර ජුගුප්සාජනක දෙයකි. මේවා කාට හෝ පෙනෙන්නට දිය යුතු නොවේ. දෙන්න ඕනේ කසාද බැන්දට පස්සේ කාමරයේය. ඒවා අපේ රටේ එකාලා  යතුරු හිල් වලින් බලන එක අවුලක් නැත. ආදරය යනු මේවා නැති එකකි. මේවා තියෙන විට ආදරය වෙනුවට බලා සිටින සුවාසුදහසක් අපේ ස්නායු පද්ධතියේ දුරුවලම තැනට පහර වදියි. එක වරම එයින් ජනිත වන්නේ කුණු රසැති ලිංගික හැගීමක් හා දැවැන්ත සදාචාර ආරක්ෂණ වාදයකි. ප්‍රසිද්ධියේ මේවා දෙන එවුන් ගල්ගසා මැරිය යුතුවේ.

Tuesday, June 17, 2014

ලෝක විහිළුකාරයා

ඉරාකය තුල ආගමික අන්තවාදය පැතිරීම වලකා සිටියේ සදාම් හුසේන් ය. ඇමරිකාවේ සහයෙන් ඔහු මුලින්ම යුධ වැදුනේ ඉරානය සමගය. ඇමරිකාවට අනුව එදත් අදත් හැමදාමත් ඇමරිකාවේ අංක එකේ සතුරා ඉරානය යි.

එහෙත් ඉරාකය තුල ආගමික අන්තවාදය පැතිරීම පාලනය කල සදාම් ඇමරිකාව විසින්ම මරා දැම්මේය. ඇමරිකානු ආක්‍රමණයේ ප්‍රතිපලය අන්තවාදී ඉරාකයක් බව පෙනී පෙනීත් ඉරාක සේකියුලර් පද්ධතිය වනසා රූකඩයක් හිටෙව්වේය. ඊට පස්සේ හිමිහිට මාරු විය.

අසල්වැසි සිරියාවේ ආගමික අන්තවාදය පාලනය කල සේකියුලර් අසාද් රජයට පහර දුන්නේ අමරිකානු සහයෙනි. එතනත් රූකඩ සිරියා නිදහස් වීයාපාරය අස්සේ හුන් ප්‍රබල බලය මුස්ලිම් අන්තවාදයයි. එය නොදැක්කා සේ ඇමරිකාව ඊට සහය දුන්නේය

අන්තිමට දැන් සිරියාව හා ඉරාකය එකතු කර අන්තවාදී කාලිෆෙට් එකක් හදන්නට මුස්ලිම් අන්තවාදීන් පටන්ගෙන තිබේ. මෙම සංවිධානය මුලින් හැඳින්වූ ISIS ඉරාකය හා සිරියාව තුල ඉස්ලාමිය රාජ්‍යය කියන එකේ නම වෙනස් කර ISIL හෙවත් ඉරාකය හා ලෙවන්ත් කලාපයේ [මේ කලාපය තුර්කියේ සිට ඊජිප්තුව දක්වා පැතිරේ] ඉස්ලාමිය රාජ්‍යය ලෙස පුළුල් කර ඇත. ISIL ම්ලේච්චත්වය කෙතරම් ද යත් අල් කයීඩා පවා ඔවුන් ම්ලේච්චයින් ලෙස සලකා තම සංවිධාන සමූහයෙන් ඉවත් කර ඇති බව කියවේ. දැනටමත් ඉරාක සිරියා රාජ්‍ය දෙකේම අගනුවර හැරුණුවිට බොහෝ ප්‍රදේශ අල්ලා ගෙන ඇත. ඇමරිකාව කල බූරු ක්‍රියාවේ ප්‍රතිපලය කළු සුදු අකුරෙන් ලියවී ඇත.

මේ වෙලාවේ නිවටයෙකු මෙන නියවා ගෙන ප්‍රකාශ නිකුත් කරන ඇමරිකාවට අන්තිමේදී සහයට ඉන්නේ දෙතුන් වසරකට පෙර ඇමරිකාවෙන් සම්බාධක පහර කෑ ඉරානයයි. ඉරානය මේ ප්‍රහාරය සමගම තම විශේෂ හමුදා සහය ඉරාක රූකඩ රජයට දී ඇත. ඇමරිකාව ඉරාන සහයෙන් ආක්‍රමණය නතර කරන්නට උත්සහ කරන බව දැනටම පිළිගෙන ඇත.

සදාම් හා අසාද් උන්නා නම් අහවල් කෙමනක් වනු ඇද්ද?

ලෝක පොලිස්කාරයා වීම තරමක ප්‍රචණ්ඩ වැඩක් වුවද එය නම්බුකාරය. ලෝක විහිළුකාරයා වීමට වඩා අගනේය. දැන් ඇමරිකාවේ භූමිකාව කෙමෙන් මාරුවන්නේ දෙවැන්නටය.

Friday, June 6, 2014

ගූගල් සහ කළුගල් හෙවත් සයිබරාබාදයේ සී ඊ ඕ වරයාගේ කතා වස්තුව

ශ්‍රී ලංකා රජය කළ  කිසියම්  නොමනා ඉල්ලීමක්  නිසා  ගූගල් සමාගම ලංකාවට  ගෙනා  කලාපිය  දත්ත  මධ්‍යස්ථානයක ආයෝජන  අවස්ථාවක් අහිමි  වූ බව ආණ්ඩු විරෝධී මාධ්‍ය හෙළි කල අතර ඒ බව විශ්වාස නැති නිසා කතා කලේ නැත. එහෙත් දැන් ආණ්ඩුවට කඩේ යන පිරිස ගූගල් වගේ සමාගම් මොකට ගෙන්න ගන්නවද කියා මිදී තිත්ත බව කියන්නට පටන් ගත් නිසා කතාව සත්‍ය යයි සිතන්නමු.

ඒ නිසාම වෙනත් සමූහයක පලකල අදහසක් නැවත මෙහි පළකරන්නට සිත් විය.

වරක් එක්තරා දේශපාලකයෙකුට ගුවන් තොටුපලකදී විදේශ ධන කුවේරයකු හමු වූ විටෙක දේශපාලකයා කරන පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් නිසා එම ධන කුවේරයාගේ සමාගමේ පළමු විදේශීය ශාඛාව දේශපාලකයාගේ ප්‍රධාන නගරයේ ස්ථාපනය විය.

මේ දේශපාලකයා චන්ද්‍රබාබු නායිදු. හයිදරාබාදය මත ඉදිවන ඉන්දීය තොරතුරු තාක්ෂණ අධිරාජ්‍යයේ නියමුවා. ධන කුවේරයා බිල් ගේට්ස්.

බාබු ගේට්ස් හම්බු වුනේ 1997. මේ දෙවැනි හමුව 1998මේ සියල්ලට මුල වෙන්නේ හදිසියේ ගේට්ස් ව දැකලා බාබු හදන පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකයි.

1995 දී ආන්ද්‍ර ප්‍රදේශ් කියන කෘෂිකාර්මික පසුගාමී ප්‍රාන්තයේ බාබු බලයට ඇවිත් සර්වේ එකක් කලාම දැක්කලු මුළු ප්රාන්තෙටම තියෙන්නේ කම්පියුටර් අසු දාහයි කියලා. මේ කෝටි අටක ජනගහනයකට. බාබු මේ ගැන ලජ්ජා වුනාලු. එවකට  පරිගණකයේ  සාක්ශර  කෙනෙකු නිසා  බාබු  ඇහුවලු  එයාගෙ  ඔෆිස්  එකේ [කම්පියුටරේ]  පවර් පොයින්ට් තිය්‍යෙද කියල  බලන්න  කියල.  නිළදාරිය  ප්ලග්  පවර්  බේසස්  ගනන් කරල  "සර්   තුනක් ම තියේ" කිව්වලු.  බාබු   හැදුවෙ  අන්න  එහෙම  තැනක්.

ඒ අතරේ තමා බාබුට ගේට්ස් අහම්බෙන් හමු වන්නේ 97 දී. ගේට්ස් පිස්සු වැටෙන්නේ ආන්ද්රයේ ඇති කෙහෙම්මලකට නොවේ. එත් චීෆ් මිනිස්ටර්ගේ පරිගණක උනන්දුව හා ගේට්ස් වෙනුවෙන් දුන්නු කාලය ගැන. ඒ නිසා තමයි මයික්‍රොසොෆ්ට් වල පළමු පිටස්තර ශාඛාව හයිදරාබාදයට දෙන්නේ. එතනින් පටන් ගත්තු රැල්ල තමා හයිදරාබාදය ලෝකයේ අයි ටී හබ් එක දක්වා ගෙනගියේ. පහුගිය කාලේ ඇමරිකාව ආදී රටවල රැකියා හිඟයට පවා හයිදරාබාදය හේතුවක් කියා කියනවා. ඒ කාලේ ඉන්දියාවේ නොම්මර එකේ මිනිහා බාබු. ක්ලින්ටන් බ්ලෙයාර් වගේ මිනිස්සුත් ආවලු බාබු හම්බුවෙන්න. ලොව පුරා සම්මාන රාශියක් දින්නා වගේම නායිදු දිනය කියා දිනයක් පවා ඇමරිකාවේ සැමරුවා. නායිදු මොඩලය කියා ආර්ථික මොඩලයක් පවා තියෙනවා. බාබු තමන්ව හඳුන්වා ගත්තේ ආන්ද්රයේ මහා ඇමති ලෙස නොවේ. සයිබරාබාද් [cyber + hyderabad] සමාගමේ සී ඊ ඕ ලෙස.

මේ කතාවෙන් ගන්න තියෙන හරය මොකද්ද?


මේ බාබුලා තමා බටහිරට කත් අදින බටහිර සමාගම් වල ලාභ බැලන්ස් කරලා දෙන කාලකන්නි. ඕකුන් වගේ ද අපේ රත්තරන් දේශපාලකයෝ. ගූගල් ආවා ආපහු ගියා. අපි සැලෙයිද? අපි කළුගල් වගේ. හැමදාම එකතැන.

ප.ලි.

පනහ හැට දශක වල අප සංසන්දනය වුනේ ජපානයටය. හැටේ දශකයේ සිංගප්පුරුව අපේ තැනට එන එක ඉලක්කයක් කර ගත්හ. ඊට පසු සිංගප්පුරුව, මැලේසියාව, එවකට "කොරියාවක් බඳු" කොරියාව, චීනය හා ඉන්දියාව පවා අප ඉක්මවා ගොසිනි. තායිලන්තය වියට්නාමය මේ ලිස්ට් එකට ළඟදී එකතු විය. ඒ අතර අප්‍රිකාවේ උගන්ඩාව ඉතියෝපියාව ආසියාවේ බංග්ලාදේශය බුරුමය වගේ මානව ඛේදවාචක වූ දේශයන් පවා ක්‍රමයෙන් අප දිහාට එමින් සිටිති.

අපි මේ අය පෙරට ඇදෙන මාර්ගය අයිනේ පොඩි අම්බලමක් හදාන ඒකෙ කුලල් කා ගනිමින් පගා ගහමින්, බටහිරයාට අම්ම මතක් කර බනිමින්, බනින්නට අවැසි තරම් තිතට මත්වෙමින් ඔන්න ඔහේ සිටිමු. අපි හෙන කළුගල්ය. නොසැලෙමු. නොදුවමු. අව්වට වැස්සට වේලි වේලි තපින්නෙමු