Friday, September 11, 2015

ගම නගරය හා නාගරිකයාගේ ගම

ලංකාවේ ඇත්තේ ගම්  දෙකක් හා නගරයකි.

මේ ගම් දෙකෙන් එකක් නම් රටපුරා  පැතිරී  ඇති ගම්මාන වේ. ඒවායේ මිනිස්සු  එකිනෙකා අතර  වැඩි සමාජානුයෝජනයකින් ජීවත්  වෙති. ආර්ථික වශයෙන් මධ්‍යම පන්තියට  අයත්  වුවද සාමාජිය  ලෙස  මධ්‍යම පාන්තික දිවිපෙවෙතකට  අනුගත   අධ්‍යාපනික  වෘත්තීය  පසුබිමක්  ඇත්තේ  සුලුතරයකටය. නාගරිකයා මධ්‍යම පාන්තික හෝ  ඊට  ඉහල සමාජ  ජීවිතයක් ගෙවන  ඊට  අනුගත  අධ්‍යාපනික පසුතලයක  සිටින කෙනෙකි. පැරපට් වෝල් ම  නැතත්  එකිනෙකා  අතර  වෙන  ගනුදෙනු අඩුය.  ආශ්‍රය  තමාගේ  සාමජිය පරිසරයට ගැලපෙන  උප  කොටසකට සීමාවේ.  ඒ  නිසාම සංස්කෘතික  ඇවතුම් පැවතුම්  ඒ සමාජ වලට  ආවේනික වේ.

ඇත්තෙන්ම  මේ  නාගරිකයාගේ  සංස්කෘතික  ඉරි  අතර  ඇති  හිඩැස්  වල ද  ගම  පිහිටා  තිබේ.  ඒවා  භෞතිකව  ඇත්තේ  නගරය  තුල  වුවද  නාගරිකයා  විසින්  ආශ්‍රය  වෙනුවෙන් නිර්මිත  සීමා  නිසා  ඒවා  අයිති වන්නේ ඉහත පළමු වර්ගයේ  ගම්මාන වලටමය.  ඒවා  බොහෝ  විට ස්ලම්/මුඩුක්කු  පන්නයේ නිවාස  සහිත  ලේන්, වතු, ගන් ඉවුරු, මුහුදු වෙරළ, කුණු කඳු, පාලම්  දෙපස, කැනල්  අයින් ආදී ලෙස  සැලකිය  හැකිය.  භෞතිකව  කොහේ  තිබ්බත්  ඒවායේ  ජන ජීවිතය ඇත්තේ [තරමක්  ලුම්පන් එහෙත්] පෙර කී   ගම්මාන  වලට  සමානවයි. එසේම  නගරය  යන  මිම්ම  හුදෙක් කොළඹට නුවරට පමණක් නොව  පෙර  සඳහන්  ජීවන රටාව සහිත  ප්‍රාදේශීය  නගර  වලටද  ගැළපෙන්නකි.


පල්  හෑල්ල  පොඩ්ඩක්  දිග  වැඩි  විය. ලංකාවේ  ගම්  දෙකක්  හා  නගරයක්  ඇති බව කී නමුත්  අපි  කතා කලේ  එක  ගමක්  හා  නගරයක්  ගැන  පමණි.  වඩාත්  වැදගත්  මෙන්න මේ  කතා නොකළ  දෙවැනි  ගමයි.  මේ  දෙවැනි  ගම ඇත්තේ  නාගරිකයාගේ  හිතේය.

නාගරිකයා  තමන්ගේ  සීමාසහිත  සමාජානුයෝජනය  ඉක්මවා  ගම  ගැන  අවබෝධයක්  ගන්නේ මාධ්‍ය  වලින්  හෝ  සංචරණයෙනි. සංචරණයෙන්  ඔවුන්  අත්විඳින්නේ  ලස්සන  මූනතක්  දැමු  සුන්දර  ගමකි.  ඒ  ගමේ  වුවද  එදිනෙදා  ජීවිතය  මේ  විසිටර්  ලා ට  දකින්න  නොලැබේ.  නිවාඩුවකින්  ඔබ්බට  මේ  ගමක  පදිංචිවී  ඉන්නට  නාගරිකයාට  ඉඩ  හසරක් හෝ  අවංක  ආසාවක් නොමැත.

ඊටත්  වඩා  වැදගත්  වන්නේ  නවකතාවකින්  රූපවාහිනියෙන්  දකින  ගමයි. සිංහල  අවුරුද්දට  රූපවාහිනියෙන්  දොරට  වඩින  ගමයි.  දොරමඩලාවේ  ගමයි.  අපේ  ගම  කියා  වැඩසටහනකින්  මැවූ   ගමයි.  නාගරික  මධ්‍යම පාන්තික  උගතුන්  කීප  දෙනෙකු  කිසියම්  වූ  දේශපාලනික  අවශ්‍යතාවයකට  නිර්මාණය  කරන  මනෝමූලික  ගමයි. දේශපාලන බලය  හුවමාරු  වුවද මේ  ගම  නිර්මාණය කිරීම  වෙනස්  ආකෘති හරහා  දිගටම  සිදුවේ.  ඒ  එයට  වෙළඳ  අගයක්  ඇති  නිසාය. ඒ  අගය  ෆුඩ්  සිටියෙන්  අවුරුදු  දාට  කලඑළි  බසියි.

නාගරිකයා වඩාත්  හොඳින් දන්නේ  ඒ  දෙවැනි  ගමයි.

ඒ  දෙවැනි  ගම  ගැන  විවිධ  චිත්‍ර  පවතියි.  එහි  සමහර  කරුණු දරන්නාගේ  දේශපාලන  චින්තනය  සමග  බැඳෙන  මුත්  පුදුමයකට  මෙන්  බොහෝ  නාගරිකයන්ට  මේ  ගම  ගැන ඇති  පින්තුරයේ පොදු  සාධක  පවතියි.

ඒ  ගමේ පිරිමි  කුඹුරු  කොටති,  බුලත්  හපති. පිරිසිඳු  පොල්  කිතුල්  රා  බොති [කසියා  නොබොති] ඒකනම්  ලොකු  අවුලක්  නැත.  ඇත්තෙන්ම  පිරිමි  සම්බන්ධ  ලොකු  කතාවක්  නැත.

ඒ ගමේ  ගැහැණු බොහොම  සංවරය.  මත්පැන්  පානය  නොකරති.  කුණුහරුප  නොකියති. අන්  මිනිසුන්   හා සම්බන්ධ  පවත්නේ  නම්  ඒ  එහෙමත්  එකියකි. ඇය  නළලේ  තඩි  සීල්  එකක්  ගසන ලද  ගණිකාවකි. නාගරිකයාගේ  ගමේ  අහිංසකම  ජීවියා  වන  ගැමි  ගැහැණිය  එහි ඇති අමුතුම  විකාරයයි.

අපායට  හෙන  ගහන්නේ  මෙන්න  මේ  ගැමි ගැහැණිය  නම්  අවිහිංසිකාව  ආර්ථික  අහේනියට විදෙස්  ගත වූ  විටයි. උහු  එහෙ  ගොස්  නස්පුට්  වෙන්න බොති.  බීලා  බැන  ගනිති.  අනිත්  කෙල්ලන්ට  කුණු  හරුපෙන්  බනිති. හදිසි  ගැටළු  වලදී  ලංකාවට  කෝල්  කර  විටක  කලබලය  නිසා  කුණුහරුප  වගුරති. සිගරට්  බොති. දකින  දකින  මිනිසුන්  හා යති.

මල මගුලකි.

නාගරිකයා  මේ  බව  දකින්නේ  මේ  ගැහැණු  රට  ගිය  විට  හෝ  අසාමාන්‍ය  තැනකදී  දුටුවිට  උන්ගේ හැසිරීම  වීඩියෝ  කෙරෙන නිසාය.  ගමක  ගෙදරකට  ස්මාට්  ෆෝන්  එකක්  ගෙනගොස්  වීඩියෝ  කලානම්  උන්ගේ  ගමේ  අවිහිංසක  ජීවිතයද  දකින්න ඉඩ  තිබුණු  මුත්  නාගරිකයා ට  එය පෙනෙන්නේ  රූපවාහිනියෙන්  පත පොතෙන්  දෙන  ගමේ චිත්රයෙනි.

මෙන්න  මේ  ආකාරයට  ගමේ  ගැහැණු  රටගිය  විට  හෝ  නගරයට ආ විට අරුම  පුදුම  වැඩ  කිරීම  පුදුම  දනවන  සුළුය.  ඒ  නිසා  ඒ  වීඩියෝ  හැමෝම  දැකිය  යුතුය.  වයිරල්  කල  යුතුය.  ඒවා යටින්  කදිම  කැප්ෂන්  යයි.  මේ  ගැහැණු  නිසා  රටේ  සංස්කෘතිය  වැනසෙන  හැටි  කතාවට  ගැනේ.  ඕකිලා  බීලා  නටා  බඩ  කරගන්න හැටි  කියවේ. රටටම කෙළවෙන්නේ  උන්ගෙනි.

තරමක්  නිවැරදිය.  රටට  කෙසේ  වෙතත්  මවාගත්  ගමට  කෙළවෙන්නේ  උන්ගෙනි.  මේ  වයිරල්  වීඩියෝ  නොවන්නට  නාගරිකයාට  තම  සුන්දර  ගමේ  සිහිනය  සැමදාම  නින්දට  ගෙනගොස්  අවසානයේ  සුසානය  දක්වා  ගෙන යා හැකිය.  මේ  ගැහැණු  ඒ  සිහිනයට  කෙළිති.

පහුගිය දිනවල  වයිරල්  කරන  ලද  රට  ගිහින්  බීලා  තරමක්  වැඩිවී  පිස්සු  කෙලින  නංගියා  ගේ  වීඩියෝව  හා  හදිසියකදී  කෝල්  කලවිට  ගෙදර  එකෙක්  පිස්සු  කෙලින නිසා ඌට  කුණුහරුපෙන්  බනින  ඇන්ටියාගේ  වීඩියෝව  පසුපස  ඇති  මූලික  මනෝ  විද්‍යාත්මක  ගැටලුව  මෙයයි. නාගරිකයා  පළමු  වරට  ගමේ  ගැහැනියක්  දැකීම  නම්  මහා  මානසික  අර්බුදයයි.

මේ  කතාව  නිශ්චිතවම  ගැහැණු ගැන  කතාවකි.  වික්ටෝරියානු  මූල  වලින්  පැවතෙන  නාගරිකයාගේ  මනෝරාජික  ගමට  කෙළවන්නේ  ගමේ  පිරිමින්  නොව  ගැහැණුය.  වික්ටෝරියානුවන්   විසින්  ලේස්  ඇඳුම්  තුල  තලිබාන්  කර මිසිස්  පිරිමියා  ලෙස  මුළු  ගැන්වූ  ගැහැණුය. මදක්  හෝ  සැකනම්,  ඔය  වීඩියෝ  වල ගැහැනියගේ  තැනට පිරිමියෙක්  ආදේශ  කර  බලන්න.  එහෙනම් ඔව්වා  මළාට  වයිරල්  වන්නේ  නැත.

මේක  නාගරිකයාට  පමණක්  නොව  ගමේ  ඉපිද  හැදී  වැඩී  ගමෙන්  නික්ම  නගරයට  ගිය  පැරණි  ගැමි  වත්මන්  නාගරිකයාටත්  සමසේ  උරුමය.  උන්ගේ  ඉපැරණි  අත්දැකීම්  ඉක්මවා  රූපවාහිනියේ  මැජික්  ගම  පෙරට  පැමිණ  ඇත.  එක  අතකින්  මෙය  උන්ට  නාගරික බව හුවා දක්වන්නට  ඇති  අවශ්‍යතාවය  විසින්  කරන්නක්  විය  හැකිය.  දෙවනුව  දැන්  ගමේදී මහත්තයෙකු හෝ නෝනා  කෙනෙකු වන උන්ට  අවැසි  ඒ  සමාජ  ඉරි  පවත්වා  ගන්නට  ඇති  වුවමනාව  නිසා වන්නක්  විය  හැකිය.

මෙම  මැජික් එක  වයිරල්  වලට  සීමා  නොවේ.  මේ  ගමේ  මැජික්  ගැහැණිය  චිත්‍රපට  තුලද  විකිණේ. ඒ  බොහෝ  විට  අර  මනෝරාජික  ගමේ  ගෙතෙන  සුන්දර  අවිහිංසක  කතාවක  මැද්දට  දයාවතී  හෝ  එන්සිනා  වැනි  අමුතු  සතෙක්  බස්සවා  අසාමාන්‍ය  ලෙස  කුනුහරුපයක්  කියවීමෙනි,  බීඩියක්  පෙවීමෙනි. මිනිස්සු  මේ  මැජික්  ගැමි  ගැහැණියට  ආසය.  ඇය  පුදුමය  දනවයි.  කොටින්ම  ස්ත්රිවාදිනියක් ලෙස  සැලකෙන අධ්‍යක්ෂක  වරියක්  මෑතක  කල  සම්භාව්‍ය  ලෙස  සැලකෙන  ෆිල්ම්  එකක  ට්‍රේලර්  එකේ  ලොකු  කොටසක්  දුන්නේ  ඇය  එහි  සිගරට්  එකක්  බොන  බව  කියා පාන්නටයි.  ගැහැණු  සිගරට්  බොන  අරුම  දසුනකි. මැජික්  ය.

මේ වයිරල් වීඩියෝ  ගැන  කතාවෙන  සිනාසෙන  වෙන  ඕන  මගුලක්  කරන එක  ගැන සදාචාර  ධර්ම  දේශනාවක්   කිරීමට  අපිට  ඇම්මක්  නැත.  එසේම  බොන  එක  සිගරට්  බොන  එක  කුණුහරුප  කියන එක පට්ට  වැඩකි  හෝ  පට්ට  චාටර්  වැඩකි  කියා  ද  කියන්නේ  නැත.  මේ  සියල්ල  මිනිස්  ජීවිත  වල  ගැලවිය  නොහැකි  කොටස්ය. එහෙත්  මේ  වීඩියෝ  මැජික්  වන්නේ  මන්ද  යන  ප්‍රශ්නයේ  කෙලවරේ  නාගරිකයාගේ  මනෝරාජික දෙවැනි  ගම  හා භුමියේ පිහිටි  පළමු  ගම  අතර  ඝට්ටනය  මනාව පෙනෙන  බව පමණක්  සටහන්  කරන්නට  කැමැත්තෙමු.

1 comment:

  1. ඔය ගම සහ නගරය අතර තියෙන වෝල් එකේ ලේසි තැන් තියෙනවා හරියට අර ඉස්සර පංචි දාද්දි ඉනිමගවල් නයා එහෙම තියෙනවා වගේ.. එයින් එක ජනප්‍රිය දෙයක් තමයි නිදහස් අධ්‍යාපනය.
    අපේ සමාජය පන්ති විදියට විග්‍රහ කරන්න බැරි වෙන් කරන්න බැරි අරුම පුදුම නූල් බෝලයක් වගේ වෙල තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය කියන සමාජ විකෘතිය නිසා..
    තාමත් අපේ රටේ ආගම කියලා විශයක් උගන්වනවා.. හොද ලමයා කියල චරිතයක් ගැන උගන්වනවා..
    ඒ වගේම විශ්ව විද්‍යාල වල පවා දැන් දැන් දැඩි විනයක් හදන්න යනවා..
    ගම්බද පරිසරයේ ඉදලා ඉහලට සරුවට වැඩෙන උගතාත් ඒ පරිසරයේම මිටි ස්ථර විදියට ඉන්න වැඩිමනක් උගත් කමක් නැති කෙනාත් අතර පැහැදිලි වෙනසක් තියෙනවා.. ඉහලට යන්න යන්න වදින හුලං පාර සැරයි..

    ReplyDelete