Friday, September 4, 2015

කැලයට ගිනි තබා දඬු වැට මුර කරන යුරෝපය

කැලයට  කැලය  කියන්නේ  එහි  රජ කරන්නේ කැලයේ  නීතිය  නිසාය.  ඒ  නීතිය  සත්ව  සම්මුතියට  එකඟ  නීතියකි.  මානව  සම්මුතියට  එකඟ  වන්නේ  නැතුවා  විය  හැකිය.  එසේ  වූ පමණින්    දඩයක්කාරයින්  සන්නද්ධ  කර  උන්ට  එරෙහිව  නැගිටින  බලවත්  සතුන්  නිර්වින්දනය කොට  දඩයක්කාරයින්ට  රිසි  සේ  කැලය  පාලනය  කරන්නට  ඉඩදීම  විහිළුවකි.

එසේ තමන් විසින්ම  දමන ලද  දඩයක්කාරයින්  කැලයට  ගිනි තියන  විට  සත්තු  දිව  ඇවිත්  තමන්ගේ  නිවෙස්  වලට  රිංගන එක  වළකන්නට  දඬු  වැට  ගසා මුර  කිරීමෙන්  කල  හැකි  දෙයක්  නැත. ගිනි  ගන්නා  කැලයෙන්  මර  බියේ  දුව  එන  සතා මොන  වැටෙනුත්  රිංගයි,  කොහොමත්  ඌට  ඉතිරි  මරණය  පමණි,  ජීවිතය  වෙනුවෙන්  ඕනෑම  මකර  කටක රිංගා  යාම  ඌට  වටියි.





පළමුවෙන්ම  මේ  කතාවේ  මා කළ  එක  වරදකට සමාව  අයදිමි.  ඒ  අප  මෙන්ම  සහෝදර  මිනිස්  සමූහයක්  වන  සතුන්ට  උපමා කිරීමයි.  එහෙත්  අද  වනවිට  ඒ  මිනිසුන්ට  සෙසු  ලෝකයා  සලකන  ආකාරය  බලන විට  මගේ  උපමාවේ  වරදක්  නැත.  වන  සතුන්ටද  ලෝකය  තුල  මීට  වඩා  ගරුත්වයක්  ලබා දුනි.

සිරියාවේ  හා  ඉරාකයේ  පාලනය  ගෙනගියේ  කැලයේ  නීතියටය.  ඒකාධිපති  අසාද්  පිය-පුතුන් සිරියාව ද  සදාම් හුසේන් සහ පුතුන්ගේ  මැරකල්ලි ඉරාකය ද පාලනය  කළහ. මෙය  සෙසු  ලෝකයේ  නව්‍ය  සම්මුති  හා  සියයට  සීයක්  නොගැලපුන  බව  සත්‍යයකි.  එහෙත්  මේ  දෙපිරිස  හමුවේ  දෙරට  තරමක  දියුණුවක්  දැඩි  ස්ථාවරත්වයක්  සහ  යහපත්  ජීවන තත්වයක්  ලබාගත්  බව  නොරහසකි.

කැලයේ  නීතිය  ඉක්මවා  නව්‍ය මානව  නීතිය  මේ  දෙරටේ  ප්‍රතිෂ්ටාපනය  කරන  දෘශ්‍ය  අරමුණ  [සහ  වෙනත්  චෝදිත යටි අරමුණු] සහිත ව යුරෝපය  ඇමරිකා එක්සත්  ජනපදය  ඔස්ට්‍රේලියාව  කැනඩාව  නවසීලන්තය  ආදී රටවල්  සමූහයක  අඩු  වැඩි  සහභාගිත්වයෙන්  විවිධ  රාජ්‍ය  තාන්ත්‍රික හා  යුධ  ක්‍රියාමාර්ග  හරහා  දෙරටට අතපොවන්න  පටන්  ගැනෙන්නේ  මේ  සමයේය.  ඉරාකයේ  නම්  එය  යුධමය  ලෙස  බලය පෙරලීමකි.  සිරියාවේ  නම්  එය  අසාද්  විරෝධී  කැරලි  කණ්ඩායම්  වලට  සහය  දීමකි.

ඉරාකයේ  ඇමරිකානු  ආක්‍රමණ  නිසා බලවත්  වන  සහ  සිරියාවේ  කැරලිවලට  දුන්  බටහිර  සහය  නිසා බලවත්  වන  ඉස්ලාමික  රාජ්‍ය  සංවිධානය  මේ  බටහිර  බලපෑමේ  අවසන්  පලයයි. අවසානයේ  දෙරට  තුල  අද  පවතින්නේ  විහිළුවට  වගේ  මිනි  මරණ, ආගමික  ක්‍රියාවක්  සේ  ගැහැනුන්  දූෂණය  කරන දඩ  වැද්දන්ගේ  සෙල්ලම්  පිටියක්  බඳු  දඩ බිමකි. ඊට  අමතරව මධ්‍යධරණී  වෙරළේ  යුරෝපයට  ආසන්නම  රාජ්‍යයක්  වන  ලිබියාව  ද  මෙලෙසින්ම  අකර්මන්‍ය  කොට  එහි  අරාජික  පසුබිමක්  සකසා තිබේ. නේටෝ  රාජ්‍යයක්  වන  තුර්කියද  හිතා  මතා ම  අයිසිස්  සමග  ලිහිල්  දේශසීමාවක්  පවත්වා  ගන්නා නමුත්  නේටෝ  රටවල්  ඊට  තවම  කිසිම  විරෝධයක්  දක්වා  නැත.


මේ  සියල්ල මෙසේ  සිදුවෙද්දී  අසීමිත  පීඩනයෙන්  හා ජීවිත   තර්ජනයෙන්  තැලෙන  සිරියා  ඉරාක ජනයා දිවි  රැක  ගන්නට  ලිබියාව හෝ  තුර්කිය  හරහා  කෙටි  සාගරික  දුර  බෝට්ටුවෙන්  තරණය  කොට  යුරෝපයට  ඇතුළු  වූ  විට  යුරෝපා  රටවල්  හදිසියේ සිදු  වූ  නොසිතුවිරු දෙයක්   මෙන්   දේශසීමා  බාධක  හා හමුදා බලය  යොදාගෙන  මේ  මිනිසුන්  මර්දනය  කරති.  පුදුම  වෙති.  මෙසේ  වන්නේ ඇයි  ද  විමසති.





සැලකියයුතු  ජනගහනයක්  වෙසෙන ස්ථාවර  දෙරටක් අරාජික  කර,  තමන්ගේ  ආයුධ  හා සම්බාධක  සහයෙන්  එහි  මරණයේ  කල්ට්  එකකට  බලවත්  වෙන්න  ඉඩ  දී,  එම  දෙරටේ  සිට  තම රටවල්  කර  ඇති  ප්‍රදේශ  අරාජික  වන්නට  ඇමරිකාව  හා  සමසේ කටයුතු  කළ  යුරෝපය කැලයට  ගිනිතබා  අඩිපාරවල්  සුද්ද  කර  තබා  සතුන් මරබියේ  දිව  එද්දී  දඬු වැට  ළඟ  මුර  කරති. එසේ වන්නේ  ඇයිදැයි  අසති.


තමන්ගේ  ජීවිතයේ  සතුට  සොරාගන්නා  මේ  අවලමුන්ට  සාප  කරති.



මෙහි  කිසිම  අමුතු  කතාවක්  නැත.  මේ  අප  දකින්නේ  බටහිර  රටවල්  විවිධ  අරමුණු  වෙනුවෙන්  දේශපාලනික  ලෙස  අස්ථාවර  කල  රටවල කැරලි  කෝලාහාලවලින්  දිවි  රැක  ගන්නට  ආසියාවේ  අප්‍රිකාවේ  පාරවල්  දිගේ  ඇදුණු  අවතැන්  වූ  මිනිසුන් ය  [සියලු  අවතැන්  මිනිසුන්  බටහිර  ක්‍රියාවල  පලයක්  යයි  මින්  කියවෙන්නේ  නැත].  වෙනසකට  ඇත්තේ  මේ  පිරිස  ඇදෙන්නේ  යුරෝපයේ  සුවදායක  ජීවිතයේ  ධමනියක  දිගේ  වීමයි.  එය  යුරෝපයේ  හදගැස්ම  තීව්ර  කර  යුරෝපයට අධික  රුධිර  පීඩනයක්  උදාකර  තිබේ.









මේ මිනිස්සු  යන්නේ  මර  කපොලු  රාශියක හරහාය. පළමුවෙන්ම  මිලිශියා  කල්ලි  අතේ  දුවන  වෙරළ  තීරයකින්  සබ්බසකලමනාවම  මුදල්  ලෙස  කප්පම්  දී  බෝට්ටුවට  නැගගත  යුතුය.  ඉන්  පසු  ඒ  මරණයේ  බෝට්ටුවේ  නොමැරී ගොඩට  පැමිණිය  යුතුය. ඉන් පසු  රට  රටවල්  හරහා  හොරෙන්  පැනගත  යුතුය.  සමහර  විටෙක  ඒ  ගමන්  සීල්  කල  පෙට්ටියක්  තුල  ය.  ඒ  පෙට්ටිය  රැගෙන  යන  රියැදුරා රථය  දමා පලා  ගියහොත්  මරණය  ද  ඒ  තුලමය. ඊ ලඟට  දේශසීමා වල  කම්බි  වැටවල්  බැටන් පොලු  හා  මැෂින්  තුවක්කුය.















මේ යන්නේ තනිකර අහිංසකයින්  කියා  අප  කියන්නේ  නැත.  මේ  යන  සමහරක්  අය  අසාද්  සදාම්  වැනි නරුම  එකාධිපතීන්ගේ  මිනීමරුවන්  මෙන්ම  ඒ  ස්ථාවර  රජයන්  පෙරලන  බටහිර  සැලසුම්  වලට  සහය  දුන්නවුන් ද විය  හැකිය. මේ  යන  පිරිස  යම්  දිනක  බටහිර රටවල ස්ථාවර  වී  අන්තවාදයේ  බීජ  පැතිරීම  නොකරන්නේ  යයි  කාටවත්  කිව  නොහැක.  එසේම  මේ  අතර  සාමකාමී  රටවල  එදාවේල  අර්බුදය හමුවේ යුරෝපයට  ලෙහෙසියෙන්  රිංගා  ගන්නට  ආ  පිරිස් ද  සිටිය  හැකිය.

එහෙත් ජීවිතයත්  මරණයත්  අතර  මේ  ගමන  ආ  බහුතරය  යුද්ධයෙන්  කොලාහාලයෙන්  පලායන  මනුෂ්‍ය ප්‍රජාවකි.  ඒ  අතර  ශක්තිමත් ගැහැණු  පිරිමි  පමණක්  නොව,  කුඩා දරුවෝ,  වෙරළෙන්  ගොඩගත්  වහා  දරු  උපත්  සිදු  කරන  ගානට  බඩදරු  අම්මලා  ආදීහු  ද  වෙති.  ගුවන්  යානයකින්වත්  යාමට  අසීරු  මේ  මිනිස්සු  මෙසේ  බෝට්ටුවෙන්  එන්නේ  මූලිකවම  යුද්ධය  නිසාවෙනි.


යුද්ධය  කෝලාහල  ස්වාභාවික  විපත්  ආදියෙන්  පලා  යාම  ඕනෑම  ජීවී ගහනයක  අවශ්‍යතාවයකි. එහෙත්  මිනිසා  විසින්  නිර්මිත  දේශසීමා  හා පාස්පෝට්  නමැති  කෘතීම  දේවල්  ඒ  සංචරණය  සීමාකර  උන්  මරණය  තුල  සිර  කර  දමති. මේ  කතාවේ  හොලිස්ටික්  මතවාදය  වරක්  අපි " බෝට්ටු  හා පාස්පෝට්"  මගින් කතා  කළෙමු. අද  මේ දකින්නේ එහි ප්‍රායෝගික උදාහරණයකි. එමෙන්ම  සිරියාව හා ඉරාකයට  ගිනි තැබුවන්ට  පල දෙන  දිට්ට  ධම්ම කර්මයකි.

කෙසේ නමුත් දිග  කතාවක්  කෙටි  කර  දෙන්නට  මෙන්න මේ අහිංසක  පොඩි  එකා සමත්  විය. පළමු රූප  රාමුවේ  සතුටින් ඉන්න සිරියාවේ  කොබානි  නගරයේ  අහිංසකයා  තුර්කියේ වෙරළක  දෙවැනි  රූප  රාමුවේ  පරිදි  අවසන්  ගමන්  යන්නට  හේතු  වූයේ  කාගේ  වරදින්දැයි  සිතන්නේ  නම්  මුළු  කතාවම මනාව  පැහැදිලි  කරගත  හැකිවනු  ඇත.







[සියලු පින්තූර  බීබීසී  පුවත්  සේවයෙනි]

5 comments:

  1. මේ දෙවල් දැනේන්නේ පෙනෙන්නේ සාමාන්‍ය ජනතාව වෙච්ච අපට විතරද? බලධාරින් ඇයි නිහඩ? 😭😭😭😭😭

    ReplyDelete
    Replies
    1. බලධාරීන් කියන්නේ ඉතින් පළමු ලෝකේ දේශපාලකයින් නේ. බින් ලේඩන් හැංගිලා උන්නු ගෙදර ෆේක් බ්ලඩ් ටෙස්ට් එකක මාර්ගයෙන් හොයා ගන්න තරම් ඔත්තු සේවා අ තියෙන උන්ට මේවා පේන්නේ නැද්ද?

      දැන් බොරුවට පුදුම වෙලා වගේ කටයුතු කලාට මේ කතාවේ මුල යන්නේ කිසිම හේතුවක් නැතුව ඉරාකය ආක්‍රමණය කල තැනට. එතන සිටම තේරෙන්න ඕනේ මේ දේ වෙනබව. ඒ කාලේ පවා සමහරු කතා කළා මාධ්‍යවල අරාබි සෙකුලර් පාලකයින් ඉවත් කිරීමෙන් අරාජික වෙනවා කියලා

      Delete
  2. 'එසේම මේ අතර සාමකාමී රටවල එදාවේල අර්බුදය හමුවේ යුරෝපයට ලෙහෙසියෙන් රිංගා ගන්නට ආ පිරිස් ද සිටිය හැකිය.'

    මේ සම්බන්දව මැදිහත්වීමක් කරන කෙනෙක් විදියට මෙන්න මේක නම් හයිලයිට් කරන්නම ඕනේ. බහුතරයක් යුද්ධයෙන් බැට කන මිනිසුන්ට වඩා මේ වගේ අය තමයි වැඩි කියලා මා දන්නේ.
    ඒකෙන් කොහෙත්ම කියවෙන්නේ නෑ යුධ සරණාගතයෝ භාර නොගතයුතුයි කියලා.

    නිකම් හිතාගන්නකෝ යාපනේ ඒ කාලේ පාරක් අන්න ඒ වගෙයි මෙහෙත් දැන් .

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ නැහැ එදාවේල ඩයල් නැහැ කියලා. එහෙත් බහුතරය නම් සිරියානු අනාතයින් බවයි තේරෙන්නේ. අනික මේ කට්ටියට එන්න පුළුවන් විදිහට කලාපය අස්ථාවර නොකරන්න කාටවත්ම එන්න වෙන්නේ නැහැ.

      මමනම් කියන්නේ නැහැ සරනාගාතයෝ බාරගතයුතුයි කියලා. ඔහොම එන මිනිසුන්ගෙන් පස්සේ කාලෙක සැහෙන අන්තවාදීන් පිරිසකුත් හැදෙනවා. අද අයිසිස් කියලා ආපහු ගිහින් ඉන්නේ ඉස්සර ඔහොම ආපු අයම තමා. ඒ නිසා මේ වගේ ලොකු ප්‍රමාන බාරගැනීමේ අවුලක් තියෙනවා.

      හැබැයි මම කියන්නේ මේ ඔක්කොම උන්ගේ රටවල් විනාස කරපු නිසා. නොවැලැක්විය හැකි ප්‍රතිපල.

      Delete
    2. ආ මට එදාවේල ඩයල් එකකුත් හම්බුනා, බෝට්ටුවේ ආපු.

      බෝට්ටුව

      Delete