Tuesday, October 21, 2014

ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ගෆ් විට්ලම් සහ නවීන සමාජවාදය

ඕස්ට්‍රේලියාවේ [කල්ප කාලයකට පෙර] හිටපු අගමැති අනූ අට වියැති ගෆ් විට්ලම් අභාවප්‍රාප්ත වී ඇත. ඕස්ට්‍රේලියාවේ ඉන්න බොහෝ දෙනෙක් ද නොදන්නා විට්ලම් මහතාගේ අභාවය ශ්‍රී ලංකාවට එතරම්ම වැදගත් කමක් නැතත් ඒ ගැන කතා කරන්නේ ඔහුගේ ඇතැම් ක්‍රියාකලාප වල ඇති පැහැදිලි දේශපාලන වෙනස මෑතකදී තදින් කතාබහට ලක්වෙන දේශපාලන සංවාද සමග සමීපවන නිසාය. වචන වල සිර නොවී මෙහි ඇති අදහස් ලංකාවේ දේශපාලනය සමග සංසන්දනය කරන මෙන් ඉල්ලා සිටිමි.

විට්ලම් කම්කරු පක්ෂ අගමැතිවරයෙකි. 1972 දී ඔහු බලයට එන්නේ වසර විසිගානක් විපක්ෂයේ හුන් කම්කරු පක්ෂය සමගය. ඒ විපක්ෂයේ හුන් කාලය පටන් ගන්නේ දක්ෂිනාංශික ඒකාධිකාරී පාලනයක් ගෙනගිය රොබට් මෙන්සිස් විසිනි. ඒ අනුව විට්ලම් බලයට එන්නේ තරමක් දරදඬු හා දක්ෂිනාංශික ඔස්ට්‍රේලියාවකය. එමෙන්ම ජීවන තත්වය අතින් පහත එහෙත් ආර්ථික එන්ජිම සක්‍රිය රටකය.

විට්ලම් බලයට ඒමට පෙර කම්කරු පක්ෂය වචනාර්ථයෙන්ම කම්කරුවන්ටම සින්න වී ගිය එකකි. යටත්විජිත/කොළණි සමයේ පතල් හා ගොවිපොළ කම්කරුවන්ගෙන් පැවතුනු යූනියන් බලය අඩු කොට කම්කරු පක්ෂය "සාමාන්‍ය පක්ෂයක්" බවට පත් කිරීම විට්ලම් විපක්ෂයේ ඉන්න කාලෙම කල වැඩකි. ඒ හරහා කල්ට් එකක් නොවී වඩාත් තාත්වික පක්ෂයක් ලෙස ජයග්‍රහණය ලබාගන්නට හැකිවිය.

බලයට ආ වහාම විට්ලම් ගෙන ආ වෙනස්කම් පහත පරිදි වේ.

- යුනිවර්සල් හෙවත් පූර්ණ සෞඛ්‍ය රක්ෂණයක් [ලබන ජූලියේ ඇබට් එය වෙනස් කරන තුරු යහතින් පවතී]

- පූර්ණ ලෙස නොමිලේ දෙන උසස් තත්වයේ පාසල් [රාජ්‍ය] අධ්‍යාපනය [තවමත් එසේය. සුපිරිය]

- පූර්ණ ලෙස නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය [අතාත්වික දෙයක් නිසා පසුව වඩාත් ප්‍රායෝගික ගෙවීම් සැලසුමකට හා සිසු ණය වලට මාරු කල ද තවමත් මෙහි මූලික රාමුව පවතියි]

- කාන්තාවන්ට සම වැටුප්.

- මෙතෙක් යටපත් කල අබෝරෝජිනි අයිතීන් පිළිගැනීම හා පළමු වරට එකම ජාතියක් ලෙස සැලකීම.

- අනිකාට ගැරහීම වලකා සමානාත්මතාවය ඉස්මතුවන නීති පනත්.

- ආගමික පදනමක පවතී දික්කසාද නීති වර්තමානයට ගැලපෙන සේ සකස් කිරීම.

- මේ දක්වා මහා රාජිනියට වන්දනා කල කොලොනියල් කාලේ ජාතික ගීය වෙනුවට ජාතික ගීයක අවශ්‍යතාවය ඉස්මතු කිරීම හා ඒ හරහා චන්දයක් මගින් වර්තමාන ගීය තේරීම. [එය හා තරග කලේ ප්‍රකට වෝල්ට්සින් මැටිල්ඩා ගීයයි] ජාතික ගීය හැටියට මෙය  නිල වශයෙන් බාර ගන්නේ නම් විට්ලම් ට බොහෝ පසුවයි.

විට්ලම් මේ සියල්ල කලේ වසර තුනකිනි. ඒ විපක්ෂ බලය සහිත සෙනෙට් සභාවක කකුලෙන් ඇදීමත් සමගයි. මේ අතර කාලය තුල ලෝක තෙල් අර්බුදය හා වෙනත් හේතු මත රට ආර්ථික ගැටළු වලට මුහුණ දුන්නේය. විට්ලම්ගේ දැඩි මතධාරී ප්‍රතිසංස්කරණ ඊට තදින් බලපෑ බවට චෝදනා පවතී. අවසානයේ සෙනෙටය රජයට මුදල් සම්මත කිරීම නතර කළේය [මේ ලඟදි ඔබාමාට කල සේ]. විට්ලම් පොඩ්ඩක්වත් වෙනස් වන්න කැමති වූයේද නැත. අන්තිමේදී නාමමාත්‍රික රාජ්‍යනායක වන බ්‍රිතාන්‍ය රැජිනගේ නියෝජිතයා 1975 දී විට්ලම් බලයෙන් පහ කළේය. මෙය ව්‍යවස්ථානුකූල ද යන්න විවාදාත්මක සිදුවීමකි. ඉන් පසුව වසර කීපයකින් පවතී චන්දය පරාජය වූ අතර විට්ලම් විශ්‍රාම ගියේය.

ප්‍රසිද්ධියේ පිළිගන්න පරිදි විට්ලම් සමාජවාදියෙකි. ෆේබියන් සමාජයේ යාවජීව සාමාජිකයෙකි. එහෙත් ඔහු මාක්ස්වාදී මොඩලය පසෙක දමා නවීන සමාජවාදියෙක් කියා දෙයක් හඳුන්වා දුන්නේය. වචනය පමණක් ලෙස නොගත යුතු මෙහි නිදහස් වෙළඳපොල, පුද්ගලික නිෂ්පාදන, ව්‍යවසායකත්වය, ආයෝජන, ප්‍රාග්ධනය පිළිගැනේ. එයට උපකාර කෙරේ. ඔහු සමාජවාදී දර්ශනය වැඩිපුර යෙදුවේ සුභසාධනය වෙනුවෙනි. වර්තමානයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ එක අවස්තාවක් ලෙස හඳුන්වන ස්කන්දිනේවියානු මොඩලයේ අනුරුවක් ලෙස විට්ලම් සැලකිය හැකිය. ඒ සඳහා වාම අන්තයක හුන් කම්කරු පක්ෂය ද දක්ෂිනාංශික අන්තයක හුන් රට ද ඔහු වෙනස් කළේය.

විට්ලම් ගැන හොඳ මෙන්ම නරකද කියවේ. විට්ලම් ගේ දර්ශනය තනිව ගත්විට එතරම් හොඳක් නොවෙන්නට ඉඩ තිබුණි. ඊට ප්‍රතිවාදී මිශ්‍රණ වලින් එහි අඩුපාඩු මැකෙන්නට ඇත. දියුණු සමාජයක් හදන්නට එක මතයකින් බැරිය. එහෙත් ඕස්ට්‍රේලියාව මෙතරම් වෙනස් කල වෙනත් තනි පුද්ගලයෙක් නැති බව බොහෝ දෙනා පිලි ගනිති [වසර තුනකින්]. කිනම් කාරණා කියවුණත් ඔස්ට්‍රේලියාව ලෝකයේ ජීවත් වෙන්නට හොඳම ස්ථානයක් ලෙස විවිධ සුබසාධක මත පදනම් වන ගණනයන් තුලින් ඔප්පු වන්නේ මූලික වශයෙන් විට්ලම් නිසාවෙනි.

ප.ලි. [21/03/2015] විට්ලම්  ගැන  ලියලා  
ප්‍රේසර්  ගැන නොලිය බැහැ.  මේ  තිසර ට දීපු  කොමෙන්ටුවක්  අරගෙන  මදක්  වෙනස්  කර  ලියන  පසු  ලිවීමක්.

විට්ලම් අන්තවාදී ලෙස ගෙනා වෙනස්කම් දරාගන්න ආර්ථිකයට අපහසු  වුණා. ඒවා  තරමක්  ආන්තික  හා  වේගවත්  ලෙස  ගෙන  ඒමයි  හේතුව. එහි ප්‍රතිපලයක් ලෙස ඔහු විශාල ණයක් ගන්න ගියා එතරම් විශ්වාස කටයුතු නොවන මාර්ගයකින් [බ්ලැක් මාකට් වගේ].

ඒ වෙලාවේ ඔහුගේ රජයට බජට් එක පාස් කරන්න නොදී සෙනෙටය හරහා හිරකර විට්ලම් ගෙදර යැව්වේ ප්‍රතිවාදියා  වන ලිබරල් නායක මැල්කම් ප්‍රේසර්. ඊ ගාව ආණ්ඩුව ප්‍රේසර් ගේ. ප්‍රේසර් අවුරුදු අටක් ඉන්නවා.

හැබැයි එහෙම එලෙව්වට ප්‍රති පාක්ෂිකයෙක්  වුනාට ප්‍රේසර් විට්ලම් කරපු කිසිම දෙයක් අයින් කලේ නැහැ. ඒවා වඩාත් ප්‍රායෝගික ලෙස කපලා කොටලා හදාගෙන ඒවා තමන්ගේ ප්‍රතිපත්ති බවට පත් කර ගත්තා. ඒ අනුව ප්‍රේසර් තමා විට්ලම් ගේ දර්ශනය ක්‍රියාවේ යොදන්නේ.

ප්‍රේසර් දිගටම තමන්ගේ  පැත්තේ සෙසු ලිබරල් උන්ගෙන් බැනුම් ඇහුවා ප්‍රතිවාදී විට්ලම් ගේ  ප්‍රතිපත්ති  වඩාත්  හොඳින්  ක්‍රියාත්මක  කිරීම  ගැන. එහෙත්  මේ  දෙන්නගේ  පාලන කාල  දෙකේ  තමා  ඔස්ට්‍රේලියාව  ඉහල  ජීවන තත්වයකට පත්වන්නේ.

විශ්‍රාම යාමෙන් පස්සේ ප්‍රේසර් හා විට්ලම් හොඳ මිත්‍රත්වයක් තියාගෙන තියෙනවා. පුදුමාකාර  විදිහට විට්ලම්  ගැන  සටහන ලියා  මාස පහක්  ගෙවෙන  තැන [ඊයේ]  මැල්කම් 
ප්‍රේසර් ද  ජීවිතයෙන්  සමුගන්නවා.  දැවැන්තයින්  දෙදෙනකුගේ  නික්ම  යාම. 

11 comments:

  1. විට්ලම් මූලිකව සුබසාධක නියමුවෙක්. ඒ නිසා නොලියු තව තියෙනවා. වියට්නාම් යුද්ධයට ඇමරිකාවට දුන්නු සහය නවතා හමුදා ගෙන්වා ගැනීම. චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධ පටන් ගැනීම අපාතයිඩ් දකුණු අප්‍රිකාවට එරෙහිව කෙලින්ම කටයුතු කිරීම හා ජාත්‍යන්තර මට්ටමින් හඬ නැගීම.

    ReplyDelete
  2. මා කියවූ දේශපාලන ලිපි අතුරින් තේරුම්ගිය, හොඳම දේශපාලන ලිපිය...:)

    ReplyDelete
  3. මොනාද බං මේ ලෝකයා කියන්නෙ, උ‍‍ඹේ මේ ලොල් ඩිවයිස් එ‍කේ මැස්සො ඇහිරෙනවය, අරකය, මේකය කියලා!!?? මේ සූ ගාලා කමෙන්ට්ස් තුනක්ම තියෙන්නෙ. ලෝකයා බොරු නෙව කියලා තියෙන්නෙ. :-D

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා ඔය හිට්ස් එහෙමත් තියෙනවා[එත්මම කල්පනා කරන්නේ උනුත් මේක කියෙව්වද කියලා]. අනික බන් ලෝකයා එහෙම කියන්නේ ලෝකයා මේ බ්ලොග් එක ගැන දන්නවා කියන එක නේ. ඒකම මදැයි ඉස්මෝල් ඉස්කේල් බ්ලොග් එකකට.

      Delete
  4. සමහර විට ඔහු කල මේ වෙනස්කම් සුළු කාලයක් තුල දරාගන්න මිනිස්සුන්ට අපහසු වෙන්න ඇති. නමුත් ඔහුගේ දැක්ම නිවැරදි බව, මේ වෙනස්කම් අද දක්වාම විවිධ ආණ්ඩු යටතේ නොනැසී පැවතීමෙන් පෙනෙනවා. මේ සමහර වෙනස්කම් අද සමාජයේ තිබිය යුතුම අනිවාර්යය අංග.

    ReplyDelete
    Replies
    1. තිසරත් ඉන්නේ ඔස්ට්‍රේලියාවෙමද කොහෙද. සමහර විට දන්නවත් ඇති. මේ විට්ලම් අන්තවාදී ලෙස ගෙනා වෙනස්කම් දරාගන්න බැරි වුනේ ආර්ථිකයට. එහි ප්‍රතිපලයක් ලෙස ඔහු විශාල ණයක් ගන්න ගියා එතරම් විශ්වාස කටයුතු නොවන මාර්ගයකින් [බ්ලැක් මාකට් වගේ]. ඒ වෙලාවේ ඔහුගේ රජයට බජට් එක පාස් කරන්න නොදී සෙනෙටය හරහා හිරකර විට්ලම් ගෙදර යැව්වේ ලිබරල් නායක මැල්කම් ප්‍රේසර්. ඊ ගාව ආණ්ඩුව ප්‍රේසර් ගේ. ප්‍රේසර් අවුරුදු අටක් ඉන්නවා.

      හැබැයි එහෙම එලෙව්වට ප්‍රේසර් විට්ලම් කරපු කිසිම දෙයක් අයින් කලේ නැහැ. ඒවා වඩාත් ප්‍රායෝගික ලෙස කපලා කොටලා හදාගෙන ඒවා තමන්ගේ ප්‍රතිපත්ති බවට පත් කර ගත්තා. ඒ අනුව ප්‍රේසර් තමා විට්ලම් ගේ දර්ශනය ක්‍රියාවේ යොදන්නේ.

      ප්‍රේසර් දිගටම සෙසු ලිබරල් උන්ගෙන් බැනුම් ඇහුවා. මේ ලඟදි ඇබට් ලිබරල් ලොක්කා වුනාම ප්‍රේසර් ඉල්ලා අස්වුණා "අද පටන් ලිබරල් පක්ෂය කන්සවේටිව් පක්ෂයකි" කියලා.

      විශ්‍රාම යාමෙන් පස්සේ ප්‍රේසර් හා විට්ලම් හොඳ මිත්‍රත්වයක් තියාගෙන තියෙනවා.

      Delete
  5. Thanks for this valuable information. I appreciate it.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete