Friday, July 30, 2021

ඔලිම්පික් යවන්න ඉන්න අපේ මුදලිහාමි

තෝකියෝ ඔලිම්පික් උළෙල කෙමෙන් ඉදිරියට යයි. ලොකු කුඩා රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තම තම හැකියාවන්ගෙන් පදක්කම් දිනාගනිති. අපේ ගියපු කීපෙ පළවෙනි වටෙන් එලියට විසික් වන්නේ මන්දැයි ලන්කාව විස්සෝප වෙයි.

"මෙච්චර ඇලදොල තියෙන රටේ වටේට මූද තියෙන රටේ එකෙකුට හරියට පීනන්න උගන්නන්නෙ නැත්තෙ ඇයි?" කියා අසති. "යුපුන් ගෙ 10:15 කුඩු සන්සාර් වෙන්න දුවන කොල්ලො ගන්ගොඩවල ඉන්නව. උන්ට යන්න දෙන්නෙ නෑනෙ" තව එකෙක් කියයි. "යකෝ යුද්දයක් යුද්දෙකින්ම ඉවර කල රටේ ස්නයිපර් නීරෝ ලාගෙ පරපුරේ එකෙට්ට හරියට ඉලක්කෙකට වෙඩිල්ලක් තියාගන්න බැරුවානෙ" කියයි.

තව කතා කියති. මට දැනට ඔය තුන ප්‍රමාණවත් ය.

වටපිට බලමු.

ඔස්ට්‍රෙලියාවෙ තියෙන වතුර ප්‍රමාණය ගැන මම ම ලියු තරමින් කාටත් පැහැදිලි ඇතැයි සිතමි. අහම්බෙන් ගගක් ගැලුවත් ඒක වසර ගනන් හිදෙමින් ය. බොන්න වතුර තියෙන්නේ වැහි ජලය වසර හත අටකට ස්ටොක් කර ගන්න ක්‍රමවේද සැකසූ නිසාය, වහින්නෙත් නැත්නම්(දකුනු ඔස්ට්‍රෙලියාව) කිමී සියගානක් එහා ගගකින් ටවුමටම පයිප්ප දාගෙනය. ඒ වුනාට ඇමරිකාව ළගට ලෝකෙ හොදම පිහිණුම් කණ්ඩායම ඉන්නෙ ඔස්ට්‍රෙලියාවේ ය (දැන්නම් චීන්නු ළගටම ඇවිත්). දැන් ඔය දුවන එකාල හරක් පස්සේ දුවලා ගමේ වෙල් එලියේ දුවලා හැදුනු උන් නොවේ. මෙට්‍රොපොලිටන් සිටීස් වල එපාට්මන්ට් වල උපන් හැදී වැඩුනු උන් ය. ඉලක්කෙට වෙඩි තබා දිනුම් ලබන්නෝ බහුතරේ ඉන්නෙ වැර්දිලාවත් යුද්දෙකට බහින්නැති රටවලය. අනික උන් බහුතරේ ඒවයෙ හමුදාවල කවදාවත් සේවය කර නැත.

ඒ අනුව ක්‍රීඩකයින්ට වරදින තැන තේරුම් ගන්නට රටේ ජනමතයට වරදින තැන හොද නිර්ණයකි. මොකද අපි තාම ට්‍රයි කරන්නෙ ගගේ ඇලේ දොලේ පීනා ඔලිම්පික් සුවිමින් මෙඩල් ගහන්නය. මැශින් ගන් වලින් කොටි ෆ්‍රන්ට් එකට තියා ස්නයිපරේ දුර ලග කර බලා ඔලුවටම තියා ශූටින් මෙඩල් ගහන්නය. හරකා එලුවා පස්සේ පන්නා දුවා ස්ප්‍රින්ටින් මෙඩල් ගහන්නය.

මුදලිහාමි දිව්වේ එහෙමය.

කළුබණ්ඩාගේ මුදලි හාමි නොදන්නා කෙනෙක් නැත. මයියොක්කා ටිකට ලුනුමිරිස් ටිකක් දාගෙන කාලා සෙරෙප්පු සපත්තු නැතුව රලු අඩි තබා හරක්පස්සේ එලවා වෙල් ඉපනැල්ලේ ගමේ ගුරු පාරේ දිවගිය මුදලිහාමි කැකිරාව ම්ණ්ඩලයේ දෙබෑව පාසලේ සිට නගරයේ උල් සපත්තුකාරයින් එක්ක තරගෙට දුවන්න ගියේ ය. හැමෝගෙම හිතේ ඉන්නෙ ඒ මුදලිහාමිය. ඒක හිතේ ඉන්නකම් කරගන්න තියා සීන් එක හිතාගන්නවත් බැරිය.

ඇත්තටම අපි බිහිකළේ මුදලිහාමිට මදක් එහා උන් ය. මුදලිහාමි++ ය. එනම් අපේ සුසන්තිකා ලා සුගත් ලා ශ්‍රියානි ලා ගේ සිට නිමාලි ලා පාරමී ලා ඩිල්ශි ලා දක්වා බහුතරය ට උරුම වන්නේ මුදලිහාමිට වඩා යන්තම් ලෙවල් එකක් මෙහාය. ඒ කියන්නෙ ක්‍රීඩාවට අගහිගකම් මැද්දේ ඇවිත් අමාරුවෙන් සපත්තු දෙකක් සපයාගෙන සාමාන්‍ය ආහාරපාන ගනිමින් ඉස්කෝලෙන් අවුට් උනාම එක්කො හමුදාවට නෙවිනම් වෙනත් රස්සාවකට යමින් බස්සෙකේ හෝ බයික්කෙකේ ප්‍රැක්ටිස් වලට කොට කොට යමින් (එහෙම යද්දි නිමාලි ද කොහෙද බයික් එකෙන් වැටිලා තුවාලත් වුණා) හොදට පර්ෆෝම්කලොත් ක්‍රීඩා ඇමතිතුමාගේ ප්‍රශ්න්සා ලබා ගෙදරට ඉලෙක්ට්‍රිසිටි වැනි ක්‍රීඩාවට ලොකු බක්කක් නොවෙන ප්‍රතිලාභයක් ලබා ගනිමින් ක්‍රීඩාවේ යෙදෙන දුප්පත් පාට් ටයිම් තරග කරුවන් ය. ඕල්මොස්ට් මුදලිහාමි ය. හෙවත් මුදලිහාමි++ ය.

අපේ ජනතාව ඉල්ලන්නෙ උන්ටත් එහා ඉන්න ගමේ වෙලෙ ඇලේ දොලේ සටන් බිමෙන් සොයාගන්නා රියල් මුදලිහාමිලාය. මට තේරෙන ආකාරයට ලන්කාව කාබාසිනියා කලේ මේ මුදලිහාමි චින්තනයයි.

අපි වීරත්වයට නගන්නේ මුදලිහාමි මොඩලය මිස උල් සප්ත්තු කාරයාගෙ මොඩලය නොවේ. මුදලිහාමිගේ කතාව මේකට ගෙනාවේත් ඒක ලියූ එකාට මදි නොකියන්න බනින්නෙත් මෙබැවිනි. ඉස්ටෝරියේ ඒකා දින්නාට ලෝක සම්මුතියේ මුදලිහාමිල ලොවෙත් දිනන්නේ නැත. ක්‍රිඩාවේ හිමිකම උල්සපත්තුකාරයින්ටයි.

එනම් පොඩි කාලෙ සිට නියම කෝච් ලා එක්ක ඉන්න, හරි ස්පොන්සර්ස් ලාගෙන් මුදල් ලැබෙන ෆුල් ටයිම් ස්පෝට්ස් කරන ඊට අවැසි ඇගලුම් සහ හොදම උපාන්ග නොමිලේ ලැබෙන හෝ අතින් ගෙවා මිලට ගන්න. පීනන උන් නම් කොලිටි ඔලිම්පික් ස්ටැන්ඩඩ් පූල්ස් වල ඔලිම්පික් කොලිටි කෝච්ලා ගෙන් උපදෙස් ගනිමින් ඔලිම්පික් ලෙවල් තව එවුන් එක්ක තරගෙට පීනන, ශූටින් නම් නිතර ශුටින් රේන්ජ්වල ඉන්න, මයියොක්කා කොස් දෙල් පොල් වෙනුවට ක්‍රීඩාවට ගැලෙපෙන උත්ප්‍රේරක සහිත නිසි ආහාර වේල් ගන්න ප්‍රොෆෙශනල් ක්‍රීඩකයෝ ඔලිම්පික් පරිසාධන පුරවාගෙන ගොස් තරගකර මෙඩල් දිනති.

ලන්කාව කියා රටක් තියෙන නිසා ඒකට කෝටාවක් හිමි නිසා ඒකෙන් වයිල්ඩ් කාඩ් එන නිසා සහබාගිත්වයත් මාර වටිනෝ කියමින් අපේ මුදලිහාමි++ මට්ටමේ පාට්ටයිම් ක්‍රීඩක වෙනත් වෲත්තිකයන් ඇනුවල් ලීව් දම්මා එහෙ යවන්නට ලෝකයා ඉඩ ලබා දේ ඒ අවන්කෙන්ම "සහබාගිත්වයත් වටිනා නිසා" ම පමණි.

මම ලියන්නේ නරුම කතා ය. මේකෙන් ඒ මුදලිහාමි++ ලේයර් එකට නරකක් ලියන්නට කොහෙත්ම අදහසක් නැත. ඒත් සමස්ත රටවැසියා හිතන්නෙ යන්තම් ස්පෝට් කිටක් හොයන් ට්‍රැක් එකේ පූල් එකේ ශූටින් රේන්ජ් එකේ මාස හයක් හෝ ප්‍රැක්ටිස් කල උන්ටත් වඩා පට්ට සයිස් මුදලිහාමිලා ගමේ වෙලේ ගුරු පාරේ ගගේ ඇලේ දොලේ යුද පිටියේ ඉන්නවා කියා ය. මේ විකෲති තින්කින් එක තියෙනකම් කවදාවත් ලන්කවට උල් සපත්තුකාර්‍යින් හෙවත් ප්‍රොෆෙශනල් ස්පෝට්ස් පීපල් ලා හදාගන්න බැරිය.

මන් මේ කියන්නෙ සුසන්තිකා ලා සුගත් ලා ශ්‍රියානි ලා ගේ සිට නිමාලි ලා පාරමී ලා ඩිල්ශි ලා දක්වා සෙට් එකටත් ප්‍රොෆෙශනල් ක්‍රීඩකයින් වී උන් එක්ක තරග කරන අනිත් රටවල් උන් මෙන් ක්‍රීඩාවට ගැලපෙන ජීවන රටාවක නිසි පුහුනුවක යෙදි පූර්නකාලිනව ක්‍රීඩා කර ඇත්තෙන්ම රට වෙනුවෙන් යමක් කරන්නට අවකාශ ලැබෙන තැනට කටයුතු සකසන්න කියාය. උනූත් දැන් එක්ස්පයර්ඩ් නම් අලුත් පරම්පරාවෙන් මේ දක්ශතා හදුනාගෙන උන්වත් යන්තම් හරිපාරේ ගෙනගොස් උල් සපත්තුකාරයින් හෙවත් ප්‍රොෆෙශනල් ස්පෝට්ස් පීපල් ලෙස ලොකු මාත් කරගන්න කියා ය. මුදලිහාමි හෝ උල්සපත්තු බේදෙකින් තොරව කුඩාවියේදිම  හදුනාගෙන උගෙන් උල්සපත්තුකාරයෙක් හදන්න කියාය. 

ඕක නොවෙන ලොකුම හේතුව මොකද්ද කිව්වොත්, ඕක ගැන තියෙන නොතේරුම යි. දේශපාලකයා සහ නිළධාරියා එතනට ගේන්න බැරි වන්නේ කාටවත්ම එය නොතේරෙන බැවිනි. කවුරුත් හරි පාත් එක දකිනවා නම් එතනට එන්න අමාරු වන්නේ නැත. ඒ නොතේරුම ට ප්‍රධාන හේතුවක් වන්නේ හැම එකාගෙම හිතේ හදා තියෙන බහුබූත මුදලිහාමි චින්තනයයි.

ක්‍රීඩාව ගොඩ යන්න නම් ඒ මුදලිහාමියා මනසින් ඉවත් කළ යුතුවේ. 
මුදලිහාමි ෆැන්ටසිය  සදහටම වළලා දැමිය යුතු වේ. උල් සපත්තුකාරයා වෙනුවෙන් පෙනි සිටිය යුතු වේ. උල් සපත්තු කාරයෙක් ම ඉල්ලා සිටිය යුතු වේ.

එතකල් "සහබාගිත්වය  බෝම වටිනවා" ය. මුල් වටයට සහබාගි වී ගෙදර එනවාය.

4 comments:

  1. එකඟයි...ඔතන තමා අවුල තියෙන්නෙ.. අපේ ජනකතා, ගැමි කතා, කෙටි කතා හැම එකකමත් කරන්නෙ ඔය ටිකම තමා. ප්‍රොමෝට් කරන්නෙ නෙගටිව්මය.. මහදැනමුත්තා, කිරිහාමි, රයිගමයයි, ගම්පලයයි වගේ කතා තමා ඉස්මතු වෙන්නෙ. වීරයෝ හිඟය. චිත්‍ර කතාවලින් මතු කළ වීරයෝත් (යුනිකෝ, ටෝගා, ප්‍රාග්) හපෝ චිත්‍රකත බලන්න හොඳ නෑ කියලා මරලා දාපු එක තමා කළේ. ළමා මනස ගොඩ නැගෙන්නේම පරාජිත හැඟීම් එක්කමය. ඉතින් රන්පදක්කමක් ගන්න එකෙක් බිහි නොවීම පුදුමයක් නෙමේ..

    ReplyDelete
    Replies
    1. අන්ඩඩෝග් ගෙත් බොටම් ම රෑන්ක් එකේ තමා ඉන්න ආස අපි

      Delete
  2. ඔබ මතුකොට ඇති චින්තනය හා තර්කය පිළිබඳවා මා එකඟය. ඒ පිළිබඳ විවාදයක් නොමැත. එහෙත් මුදලිහාමි බිහිවන්නේ මීට වසර පනහකටත් එහා කාලයකය. කරුමෙට සිදුවී ඇත්තේ අදවන විට පාඩම් පෙලපොතකට ඇතුළු කරණ්නට තරම් උල් සපත්තු කාරයෙක් හොයා ගන්නට නොහැකිවීමය. සොයා ගත්තද ඔහුගේ හෝ ඇයගේ අක් මුල් සොයා ගෙන යාමේදී හමුවන්නේ මුදළිහාමි කෙනෙක්ව මැයි.
    එහෙත් පිහිණුම්, ඉලක්කයට වෙඩි තැබීම, ඔරු පැදීම, ටෙනිස්, ගොල්ෆ් වැනි ක්‍රීඩා තුලින් ලංකාව නියෝජනය කරණ්නේ නම් මුදලිහාමිලා නොවේ. (නන්දසේන පෙරේරා - ගොල්ෆ්, මොහමඩ් ලාෆීර් - බිලියඩ් වැනිඅහම්බයන්ද නැත්තේම නොවේ!)
    වරද ඇත්තේ චිතනයේ නොව ක්‍රමවේදයේ බව මාගේ විශ්වාසයයි. ක්‍රීඩාව සෙල්ලමක් නොවේ. සත්තකින්ම ඒ සඳහා විශාල මූල්‍යමය පිටු බලයක් අවශ්‍ය වේ. එවන් මූල්‍යමය වාතාවරණයක් ඇති දරුවන් ගෙන් බහුතරය පිට්ටනියට බසින්නේ නැත. ඔවුන් ක්‍රීඩා ලෙස තෝරා ගන්නේ ගේම්ස් මිස ජවන හා පිටිය සෙල්ලං නොවේ.
    කෙසේ වෙතත් ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණීමේ ජවය නොමැතිනම් ගාය, හැකියාව උවමනාව ඉතිරිවී ඇත්තේ මුදලිහාමිලා තුල පමනක් වීම චින්තනයේ නොව ක්‍රම වේදයේ අවුලක් ලෙසිනුයි මා දකින්නේ.
    බොහෝ ජැමෙයිකානුවන් මුදලිහාමිලා සේ පටන් ගෙන උල්සපත්තු කාරයන් සේ ජීවිතය අවසන් කල ක්‍රීඩකයින්ය.
    අබාබේ බිඛිලා පවා මුදලිහාමි කෙනෙකි!

    ReplyDelete
  3. System එක තමයි කොහෙත් අවුල🙄

    ReplyDelete