Sunday, February 19, 2017

කුවාලාලම්පුර් ගුවන් තොටුපොළේ 'ප්‍රෑන්ක්' ඝාතනය - සිවිල් මාධ්‍ය ක්‍රියාකාරකම් නීතියට අනුගත කළ යුතුය

අප ජීවත් වන්නේ හද්ද විකෘති යුගයකය.

දැනට සොයාගෙන ඇති පරිදි, කුවාලාලම්පුර් ගුවන් තොටුපොළේ දී උතුරු කොරියානු 'රජ පවුලේ' පැරණි ඔටුන්න හිමි කුමරු මරා දැමුනේ  එය ප්‍රෑන්ක් එකක් බවට 'ඝාතකයන්' රවටා ලීමෙනි.

දැනට දන්නා පරිදි ඝාතනය සිදු කළ බවට සැක කෙරෙන්නේ ඉන්දුනිසියන් සහ වියට්නාම් කෙල්ලන් දෙදෙනෙකි. උන් දෙන්නාට කියා ඇත්තේ ටීවී ප්‍රෑන්ක් එකකට මග යන මිනිසුන්ගේ මුහුණට හානිකර නොවන දෙයක් ඉසින ලෙසයි, මේ සඳහා විශ්වාසය ඇති කර ගන්නට ඊට පෙර දා ද මේ කෙල්ලන් සමග තවත් නොහඳුනන හතර දෙනෙක් පැමිණ ඒ ගුවන් තොටේ ම මගීන්ට මේ ප්‍රෑන්ක් එක කර තිබේ, කෙල්ලන් දෙදෙනාට එදා ලබා දී ඇත්තේ හානිකර නොවන ද්‍රව්‍යයකි. එකියක් මග අහුරා ඉදිරියෙන් යාමත් අනික් එකිය පස්සෙන් පැමිණ ස්ප්‍රේ එක ගසා එය ලේන්සුවකින් මුහුණේ ගෑමත් සිදු කර ඇති බව කියවේ. මේ හරහා එය ප්‍රෑන්ක් එකක් බවට කෙල්ලන්ට ඒත්තු ගන්වා ඇත.

ඒ කෙල්ලන් දෙදෙනාටම ඒ ස්ප්‍රේ බඳුනම දී තවත් දවසක තවත් මිනිස් ඉලක්කයක් පෙන්නු විට සුපුරුදු ගොන් ආතල් එකට "ප්‍රෑන්ක් කරන්නට" ඇත. එහෙත් දෙවැනි දිනයේ බඳුනේ තිබී ඇත්තේ විෂ ද්‍රව්‍යයකි. ඉලක්කය අහඹු එකක් නොව උතුරු කොරියා පාලනයට විවේචකයෙකු වූ රටතුල පිළිගැනීමක් තිබු කිම් ජොන් නම් හෙවත් නායකයාගේ වැඩිමහල් සොයුරාය. ජොන් උන් සමග බල අරගලයකට යාම වෙනුවට ජොන් නම් කලේ උතුරු කොරියා ජාත්‍යන්තර ජාවාරම් වලින් එන මුදලින් කැසිනෝ කෙළිමින් චීන ආරක්ෂාව යටතේ සුකුමාර දිවියක් ගෙවීමත් වරින් වර තම සහෝදරයාගේ පාලනය විවේචනය කිරීමත් පමණි. කෙසේ නමුත් අනවශ්‍ය කුණු ඉවත් කිරීම ජොන් උන් ගේ අරමුණ වූවා විය හැකිය. කෙල්ලන් මෙහෙයවූ තවමත් නොදන්නා හතර දෙනා බොහෝ දුරට උතුරු කොරියානු ඒජන්තයින් විය හැකිය.

ටක්කෙටම උතුරු කොරියාව දිහාට ඇඟිල්ල දිගු කළ නොහැකි වුවත් [ඔවුන් දැනටමත් මේ ගැන කෙරෙන පරීක්ෂණ සාවද්‍ය ඒවා ලෙස නම් කර තිබේ] මෙතරම් සූක්ෂම මෙහෙයුමක ඔවුන්ගේ සළකුණු නැතැයි කිව නොහැක. කෙසේ වෙතත් මගේ අරමුණ මෙය උතුරු කොරියාවට පැටවීම නොවේ.

මගේ ගැටලුව මෙය සිදු කළ සූක්ෂම ක්‍රමවේදයයි. ඝාතකයා කවුරුන් වුවද ඝාතන ක්‍රමවේදය අප සියල්ලන් බිය ගන්වන තරම් සූක්ෂම ය. මෙහි හරය ගන්නේ නම් ප්‍රෑන්ක් කියන ලේබලය යටතේ මිනිහෙකුට ඕනෑම දෙයක් කළ හැකිය.

මිනිහෙකුට ඕනෑම දෙයක් කළ හැකිව තිබුණි. එහෙත් ශිෂ්ටාචාරය නිර්මාණය වත්ම නීති හා සම්මුති බිහිවී එය වලකා දමන ලදී. කෙනෙකුට පුද්ගලිකත්වයක් පුද්ගල අවකාශයක් විටය. කෙනෙකුට තවත් කෙනෙකු හිරිහැරයට ලක් කිරීම සාමාන්‍ය තත්ත්ව තුල නොහැකි දෙයක් විය. මේ කෙල්ලන් දෙදෙනා ප්‍රෑන්ක් එකක් නොවේනම් විහිළුවටවත් ඔහොම කරන්නේ නැත.

ව්‍යතිරේඛය වූයේ කැමරාව සෙලියුලර් උපකරණයක් වී මාධ්‍ය කරණය පුද්ගල මට්ටමට ගිය යුගයේ ප්‍රෑන්ක් කරණය යි. ප්‍රෑන්ක් මේ පුද්ගල සීමා බිඳ දැමු අතර අවසානේ කැමරාවක් පෙන්නීමෙන් සියල්ල ගොඩ දැමිය හැකි විය, ඉඳහිට එකෙක් ගුටි කෑවද, ප්‍රෑන්ක් කරුවා උසාවියට ගෙනගිය වික්ටීම් කෙනෙකු, අත් අඩන්ගුවට ගත් පොලිසියක් හෝ නීති විරෝධී ලෙස සම්මත කළ පාර්ලිමේන්තුවක් හෝ නීති රාමුවක් ගැන අසා නැත.

එය එසේ විය යුතුව තිබුණි. අඩුම ගානේ එංගලන්තයේ වින්ඩ්සර් පවුලේ කෙනෙකු රෝහල් ගත වූ මොහොතේ එලිසබෙත් වින්ඩ්සර් මැතිනිය ගේ හඬින් ප්‍රෑන්ක් එකක් කළ මෙල්බන් ගුවන් විදුලි වැඩසටහන් කරුවන්ගේ ක්‍රියාව නිසා සිත් තැවුලට පත් හෙදිය දිවි නහ ගත්ත වෙලාවේ එය සිදුවිය යුතුව තිබුණි. අරාබි ත්‍රස්තවාදියෙකුගේ වෙසින් බෝම්බ බෑගයක් විසි කරන නියායෙන් ප්‍රෑන්ක් කරන ජලාල් සහෝදරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුව තිබුණි. (ප.ලි. පෝස්ටෙක ලියද්දී  නොදැන  සිටි මුත්  වික්ටෝරියා  පොලිසිය  විය යුත්ත කර තිබේ)

එය එසේ නොවන්නේ නම් මිනිස් සම්මුති වලට ව්‍යතිරේඛයක් වන නීතිය නිවාඩු යවන ප්‍රෑන්ක් අවකාශය තුල බොහෝ ව්‍යසන විය හැකිය. මැලේසියාවේ වූ පරිදි නීතිගරුක මනුස්සයෙකු නීතිවිරෝධී හැසිරීමකට රවටා ලීමට අවශ්‍ය මානසික ඉම ඉක්මවා යන්නේ ප්‍රෑන්ක් එකක් ලෙස නම් කිරීමෙනි. දැන හෝ නොදැන ජලාල් සොයුරන් මග සලසන්නේ සැබෑ අරාබි ඉස්ලාම් අන්තවාදියාට සැබෑ බෝම්බයක් විසි කිරීමට අවශ්‍ය සාමාජිය ඉඩකඩ යි.

ප්‍රෑන්ක් දෙස වඩාත් අවධානයෙන් බැලීමට කාලය පැමිණ තිබේ. වල් බූරු පුද්ගල මාධ්‍ය නිදහසේ ඇතැම් තැන් සිවිල් නීතිය තුලට ගන්නට කාලය පැමිණ තිබේ.

3 comments:

  1. .
    කිම් ජොන් නම් යනු කවුද?
    -----------------------

    උතුරු කොරියාවේ කිම් ඩිනාස්ටියේ දෙවැන්නා වූ දිවංගත කිම් ජොන් ඉල් [කිම් ඉල් සුන් ගේ පුත්‍රයා] තමන්ට වඩා වයස වැඩි විවාහක නිලියක් සමග රහසිගත සම්බන්දයක් පවත්වනවා. මේ ඔහු බලයට ඒමට පෙර. ඇයගෙන් ඔහු ලබන පුත්‍රයා රහසිගත මාලිගාවක නිවාස අඩස්සියේ හදනවා. මොකද මේක බලය ලබා ගැනීමට බාධාවක් නිසා. පසුව ජොන් ඉල් වෙනත් ගැහැණියක් විවා කරගත්තත් ඔහුට තවත් ස්ත්‍රීන් ගෙන් ද දරුවන් ලැබුණත් රාජ්‍ය නායකයා ප්‍රියකරන්නේ මේ පළමුවෙන් ලද පුතා. අනීතික සම්බන්ධයක් වුනත් ඔහු තමන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස ඔසවා තබන්නේ මේ පුතාව. සුපුරුදු පරිදි යුරෝපයේ අධ්‍යාපනය දීලා ආපහු ගෙන්න ගෙන පාලනය මාරු කරන්නයි හදන්නේ. ජොන් ඉල් ගේ සොයුරිය සහ ඇගේ සැමියා පවා එම දරුවාට තමා වැඩියෙන් කැමති.
    එහෙත් කිම් ඩිනාස්ටියේ විකෘති සමාජවාදයෙන් ලෝකයට වැසුණු, දුක්බර ජීවිත ගෙවන උතුරු කොරියාවට වඩා ඒ පුතා අගයන්නේ නිදහස් හා සමෘද්ධිමත් ලෝකය.ඒ නිසා ඔහු පියා සමග ආරවුල් හදාගනිමින් පද්ධතිය විවේචනය කරනවා. පියා ඔහුට බලය නොදෙනවා පමණක් නොවේ ඔහු දේශපාලන හිර කඳවුරකට යවන බවට පවා තර්ජනය කරනවා. අවසානයේ මේ පුත්‍රයා රට හැර යනවා. ඔහු තමන් විසින්ම බලය එපා කියල එලියට යන්නේ.
    ඔහු පියා එක්ක විරසක වී ගියාට සම්පුර්ණයෙන්ම තරහ වෙලා නැහැ. ඔහු ජීවත් වෙලා තියෙන්නේ රටින් පිට පිහිටි උතුරු කොරියානු රජයට අයත් මන්දිරයක. ඔහු එහි සිට රටේ විදේශ විනිමය එකතු කරන [යතා/අයතා] ක්‍රම මෙහෙයවලා තියෙනවා. මේකත් කිම් පවුලේ කෙනෙකුගේ රස්සාවලින් කොටසක්. මේ මුදල් සියල්ල යන්නේ රටේ එකවුන්ට් එක ලෙසින් කිව්වට කිම් පවුලේ සුඛ විහරණයට මූලිකවම. මෙසේ මුදල් හසුරුවමින් ඒ මුදලින් බොහොම සුඛෝපභෝගී ලෙස සහ සෙල්ලක්කාර ලෙස [නිතර කැසිනෝ වල ගැවසෙමින්] ඉන්නත් මේ පුද්ගලයා සමත් වෙනවා. ඔහු තමන් කැමති ජීවිතේ රටේම නමින් ලබාගෙන ඔහේ හිටියා කියලා තමා වැටහෙන්නේ.
    ඔහුගේ කිසිම දේශපාලන අගයක් නැතුව ඇති. තියේනම්, බටහිර රටවල් පාවිච්චි නොකර ඉන්නේ නැහැ. ඔහු ප්‍රබල දේශපාලන චරිතයක් වෙලා ඩිනාස්ටිය එක්ක හැප්පෙනවට වඩා සුවදායි ලෙස විනොදකාමිව ඉන්නවැඩිපුර උත්සහ ගන්නේ, එහෙත් ඔහු වරින්වර සිය පවුලේ දේශපාලනය විවේචනය කරනවා.
    2011 දී ජොන් ඉල් මැරිලා ඔහුගේ වෙනත් කසාදයක පුත්‍රයෙක් වන කිම් ජොන් උන් බලයට එන්නේ. ඔහු විසින් සිය මාමා හෙවත් ජොන් ඉල්ගේ සොයුරියගේ සැමියා ඔහු දැරූ ප්‍රබල තනතුරෙන් ඉවත්කොට මරා දැමීමත් මේ අර්ධ සහෝදර අර්බුදයේ කොටසක් ලෙස සැක කෙරෙනවා.
    අන්තිමේදී වසර ගණනක් ට්‍රෙස් කරලා ඊයේ මේ විවේචකයා හෙවත් ජොන් ඉල් ගේ වැඩිමහලු පුතා ව මරා දාලා. උතුරු කොරියානු සළකුණු මේ අපරාධයේ පැහැදිලිව තියෙනවා.
    ඒ අනුව කිම් ඩිනාස්ටිය බලය හැර යා යුතු බවත් ප්‍රතිසංස්කරණ හඳුන්වා නොදුන්නොත් කොහොමත් මිනිස්සු එළවා දමන බවත් කියූ උතුරු කොරියාවේ ඉහලම මට්ටමෙන් ආපු දේශපාලන විවේචකයා මරා දමලා.
    කෙසේ නමුත් තම රටේ ක්‍රමය වෙනස් කළ යුතු බව සිතන යුරෝපයේ ඉගෙන ගන්නා විසිඑක් වියැති පුතෙක් ඔහුට ඉන්නවා. ඉදිරි කාලයේ ඒ පුතා තම දේශපාලනය කෙසේ කරගෙන යාවිද දාන්නේ නැහැ. හුදෙක් සැප සම්පත් වලට ඇති කැමැත්ත නිසා එතරම් දේශපාලනික නොවන ජීවිතයක් ගෙවූ පියාට වඩා තදින් ඩිනාස්ටිය එක්ක හැප්පෙන්න ඔහු සමත් වේ නම්, විකෘති සමාජවාදය බිහිකළ තවත් ශේෂයකින් නිදහස් වෙන්න ඒ මිලියන විසි ගානට පුළුවන් වෙයි.
    පසු සටහන:
    බොහෝ රජ ගෙවල් වල වගේ මෙතනත් නොලියු එහෙත් වඩාත්ම සක්‍රිය චරිතය නම් ජොන් ඉල් ගේ බිරියක් වන ජොන් උන් ගේ මව වන කාන්තාව. ජොන් ඉල් මේ කාන්තාව ජීවිතේට වැද්ද ගන්නේ [හොර අඹුවක් ලෙස] මේ මරා දැමු පුත්‍රයා අධ්‍යාපනය ලබන්න රට ගියාම ආපු දුකටලු. එහෙත් ඇය ඔහුට දාව දරුවන් හදා ප්‍රසිද්ධියේ සහ නිල ස්ථාන වල ඔහු සමග සිටිමින් දේශපාලනයේ ඉහල චරිත එක්ක මිතුරු වෙමින් ජොන් උන් ව බලයට ගන්න වෙහෙසෙනවා. පසුව ජොන් ඉල් ගේ වැඩිමහලු පුතා ආපහු ආවත් ක්‍රමයට ඇති අකමැත්ත සහ කුඩම්මාගේ කුමන්ත්‍රණ හමුවේ ඔහු නික්ම යන්නේ. ජොන් ඉල් මිය ගිය වහාම ජොන් උන් තම අර්ධ සහෝදරයා මරණ සැලසුම පටන් ගන්නවා. ඔහුගේ මව මේ සියල්ල මෙහෙය වූ බව පැහැදිලි කාරණයක්.

    ReplyDelete
  2. කොහෙ හරි ආසියානු රටක තව ප්‍රෑන්ක් එකක් තිබ්බා, බිල්ඩිමක කොනෙන් එක පාරටම මිනිහෙක් මතු වෙලා, අර පාරේ යන සාමාන්‍ය මනුස්සයාට නොපෙනෙන බිල්ඩිමේ අනිත් පැත්තට වැඳ වැඳ (වෙඩි තියන්න එපා වගේ දෙයක් වෙන්නෙ ඕනේ කියන්නේ) පස්සෙන් පස්ස්ට එනකොට වෙඩි සද්දයක් ඇහෙනවා. අර වැඳ වැඳ හිටිය එකා මැරිලා වගේ බිම වැටෙනවා. මේක දකින සාමාන්‍ය මිනිහා අර බිල්ඩිමේ කොනෙන් තව මොහොතකින් මතුවන ඝාතකයාට බයෙන් බඩු මුට්ටු මග දම දමා වැටි වැටී දුවනවා. නමුත් වතාවක සාමාන්ය ඇඳුමෙන් ඉන්නෙ පොලිස් නිළධාරියෙක් අර සාමාන්‍ය මිනිහා වෙච්ච වෙලාවක, පොර ඇවිත් අර ප්‍රෑන්ක් එකට සම්බන්ධ අනිත් එකාට වෙඩි තියලා මරනවා. සමහර විට ඒක ප්‍රෑන්ක් එකකත් ප්‍රෑන්ක් එකක් වෙන්න ඇති, ඒ වුණාට වෙන්න ඉඩ කඩ තියන දෙයක්. වටින කාර් හූරනවා වගේ ප්‍රෑන්ක් එකක් කරපු එකෙකුට මිනිහෙක් ටේසර් ගන් එකක් පාවිච්චි කලා. තව දරුණු ප්‍රෑන්ක් එකක් තමයි, මෝටර් සයිකල් පාරේ එන විට දෙන්නෙක් දෙපැත්තෙන් පාර හරකා නූලක් අල්ලගෙන ඉන්නවා වගේ රඟපෑම. මම නම් ප්‍රෑන්ක් නෙමේ සර්ප්‍රයිස් වලටවත් කැමති කෙනෙක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. @සුජීව,
      මම කොහේ හරි කියෙව්වා බැංකු කොල්ලකරුවෝ සෙට් එකක් කැමරාවකුත් අරගෙන යමු කියනවා..කොල්ලය වැරදුනොත් ප්‍රෑන්ක් එකක් බව අඟවන්න.. :)

      @තිසර
      මම දන්න විදියට දැන් ඔයවගේ බොහෝ ප්‍රෑන්ක්ස් වල වෙන්නේ WWE වගේ සෙල්ලමක්..එක්කෝ නලුවෝ යොදාගන්නවා..නැතිනම් ප්‍රෑන්ක් එකට ලක්වෙන කෙනාව කලින් දැනුවත් කර තියෙනවා..

      සර්ප්‍රයිස් වලට අකමැති එක හිතාගන්න පුලුවන්.ඒත් සමහරවෙලාවට ගොඩක් ආදරණීය සර්ප්‍රයිසස් තියෙනවා නේද..බලන් ඉන්න අයටත් ඇහැට කඳුලක් උනන ඒවා..මම නම් ඒවා ගොඩක් විඳිනවා..

      Delete