Tuesday, February 19, 2013

මහා සිංහලේ වංස කතාවට පූර්විකාවක්


මහා සිංහලේ වංශ කතාවේ අලුත් වර්ෂන් එකක් ඇවිත් ලු. වාසනාවකට තවම මට ඒක බලන්න වෙලා නැහැ. ඒත් පෙනෙන තරමට පරණ එකේ අවුල් ඊටත් එහාට තියෙන වැඩ සටහනක් බවයි තේරෙන්නේ. හැම දේම කපලා කොටලා විකුණන කාලෙක ඉතිහාසය වික්කම මොකද? අවාසනාවකට ඒක හිතන තරම් සිම්පල් නැහැ. ලංකාවේ ඉතිහාසය කියන විෂය වටේ සමහරු හිතෙන මවා ගෙන ඉන්න සේරම මිත්‍යා ගොඩ නැගෙන්නේ මේ ආකාරයට. ඒකෙ බලපෑම ලංකාවේ විවිධ අන්තවාදීන්ගෙන් මනාව තේරුම් ගන්න පුළුවන්.

මහා සිංහලේ වංශ කතාව ඉතිහාසයට දක්වන සම්බන්ධය සිරස සුපර් ස්ටාර් ශාස්ත්‍රීය සංගීතයට දක්වන සම්බන්ධය වගේ. ඒකෙ කියන කාරනා අරගෙන "සත්‍ය දැනුම" සොයා ගන්න එක අවුලක් නැහැ. මොකද මේවා කවුරු හෝ ඉස්මතු කරන්න එපයි. හැබැයි ඒකෙ කියන ඒවා තමයි හරි කියන මතයට එන්න එපා. උදාහරනෙකට "ඈත රන් විමන් තුලින්" ගීය ගයන්නේ අජිත් බණ්ඩාර නෙවෙයි.

ඔය වැඩසටහනේ ඉස්සර හිටියා පාර්ශ්ව තුනක්.

1. මෙලෝ හත්තිලව්වක් හරියට නොදන්නා හැම හත්තිලව්වම බාගෙට දන්නා මාධ්‍ය බකමුනෙක් [ඌට පුළුවන් රඟපාන්න විතරයි]. මේ මිනිහගෙන් ඉතිහාසය ඉගෙන ගන්න එක, ටුවරිස්ට් බීච් එකක ගයිඩ් කොල්ලෙක් කැම්පස් එකක ඉංග්‍රීසි උගන්නනවා වගේ.

2. කට විතරක් තියෙන බක පණ්ඩිතයින්. මේ අය "බොහෝ ඇසු පිරු" අය උනාට ඇසු පිරු දේවල් ව්‍යක්තව ගලපන්න අවශ්‍ය දැනුම හා පරිචය නැහැ. මේ අය විද්‍යාර්ථින් වුනේ හාන්සි පුටු වල. මේ අය කරන්නේ ඉතිහාසයේ සාමාන්‍ය සිද්ධි වලට ලුණු තුනපහ දාලා බයිට් හැදීම.

3. ඉතාම වියපත් පන නැති සැබෑ ඉතිහාසඥයෙක් [වැඩිම උනොත් ගෙන්නන්නේ එකයි මේ වර්ගයෙන්]. අර කට බරි සෙට් එක මේ මිනිහව බිත්තියට තියලා අහනවා "අඩෝ ක්‍රීටය ජනාවාස කලේ අපේ නාගදීපේ උන්නු නාගයෝ නේද? කියාපිය ඔව් කියලා, නැතිනම් තොගේ ඔලු කටු කුඩු කරනවා" කියලා. මේක නිකම් ලංකාවේ පොලිසියේ අත් අඩංගුවේ දුන්නු විත්ති ප්‍රකාශයක් වගේ. 

ඉතිහාසය කියන්නේ අම්බානට සංකීර්ණ ඩල් සබ්ජෙක්ට් එකක්. ඒකෙ සම්මත ක්‍රමවේද, නිගමන පිළිගන්නා ආකාර, කාරනා ගලපන හැටි හරිම අවිනිශ්චිතයි. ඒක එක රැයකින් එළිකරන්න බැහැ. කාලයක් එක එක අතට පැද්දීලාත් එක මතයකට එන්න බැහැ. ඒක මහා චාටර් දෙයක් බහුතර ජනයාට. ඒ ඉතිහාසයේ හැටි.

ඒත් ඒක එහෙම වෙන්න ඕනේ. ඉතිහාසය කපලා ලුණු තුන පහ දාලා, බයිට් වලට බැදලා සැශේ පැකට් ගහලා දෙන්න බැහැ සතියකට පාරක් ජනයාට ආතල් ගන්න. එහෙම හැදෙන්නේ ඉතිහාසය [history] වෙනුවට මාධ්‍ය බකමුනෙක් ගේ කතාව [his story] අදහ ගත්තු පිරිසක්. බොහො විට මේ පිරිස තමා විවිධ අන්තවාදී රැළි වල පෙරමුණේම ඉන්නේ.

ඔන්න මගේ ගානේ මහා සිංහලේ වංස කතාවට පූර්විකාවක්. එන්ජෝයි ඈ.

Sunday, January 6, 2013

ඩෙත් ඔෆ් අ කවුන්සිලර්

අනාගතයේ දවසක රූපවාහිනියේ චැනල් මාරු කරමින් සිටියෙමි.

+++++++++++++++++

මීළඟට අපේ "ඩෙත් ඔෆ් අ කවුන්සිලර්" විශේෂාංගය.


[ඩිඩින් ඩිඩින් ක්‍රෑෂ් බ්‍රාස් ජරබරස් ඩිෂුම් ඩොන්]

ඩෙත් ඔෆ් අ කවුන්සිලර් ඔබ වෙත ගෙන එන්නේ දියබරිස් පාවහන් අනුග්‍රහයෙන්. සැහැල්ලුයි සුමටයි දියබරිස්.

කැලණියේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය ප්‍රාදේශීය මන්ත්‍රීවරයා සම්බන්ධ සිද්ධිය තවම හෙළි කර ගෙන නැහැ. මෙන්න මීට පෙර සිදුවීම් පෙළ ගැස්ම.

මීට දෙසතියකට පෙර කැලණියේ ප්‍රාදේශීය මන්ත්‍රී වරයෙකු නාඳුනන තුවක්කු කරුවෙකු විසින් ඝාතනය කරන ලදී.

මෙම පරීක්ෂණය සිදු කරන පොලිස් කණ්ඩායම ඝාතනයෙන් දෙදිනකට පසු මෝටර් සයිකලයක් සමග පික් පොකට් කරුවන් දෙදෙනෙකු ලෙස ප්‍රකට පිත්තලයා සහ කුපාඩියා අත්අඩංගුවට ගත්තා. පිත්තලයා විසින් කරන පාපොච්චාරනයකදී හෙළි වූයේ අදාළ මන්ත්‍රී වරයා විසින් ග්‍රාමීය ප්‍රදේශයක බස් ධාවනය වැඩි කිරීමෙන් බස්වල සෙනග අඩුවීම නිසා තමන්ට වුනු පාඩුව පිරිමහ ගන්නට මෙම ඝාතනය කල බව.

හරියටම ඉන් දෙදිනකට පසු මන්ත්‍රීවරයා සමග සබඳතා පැවැත්වූ බව කියන ටෙලි නාට්‍ය නිළියක් අත් අඩංගුවට පත් වුණා. මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට භාවිතා කළ ගිනි අවිය ඇය සතු නීති විරෝධී අවියක්. තම ලොකු අම්මා සමග මෝටර් සයිකලයක නැගී පැමිණ මන්ත්‍රීවරයාට වෙඩි තැබූ බව ඇය පොලිසිය හමුවේ පවසා සිටියී. මේ සම්බන්ධයෙන් මෝටර් සයිකලය පැදවූ බව කියන හැත්තෑ දෙහැවිරිදි ඇගේ ලොකු අම්මාද පොලිස් අත් අඩංගුවට පත වුණා.

--- [බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්]

දැන් ඒ සැක කරුවන් සියලු දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසා සිටියේ කටු ගෙයි සිද්ධියටත් වඩා හොඳින් ඉතාම කෙටි කලකින් සැකකරුවන් මෙතරම් ප්‍රමාණයක් සොයා ගත් පළමු අවස්තාව මෙය බවයි.

[ඩිඩින් ඩිඩින් ක්‍රෑෂ් බ්‍රාස් ජරබරස් ඩිෂුම් ඩොන්]

ඩෙත් ඔෆ් අ කවුන්සිලර් ඔබ වෙත ගෙන ආවේ දියබරිස් පාවහන් අනුග්‍රහයෙන්. සැහැල්ලුයි සුමටයි දියබරිස්.

+++++++++++++++++ [ඊළඟ චැනලයට]

... ඇමති තුමා මේ දැන් අප හා සම්බන්ධ වෙනවා.

"දැන් බලන්න මේ සිද්ධියේදී පොලිසිය ක්‍රියා කළ ආකාරය. මම හිතන්නේ එකිනෙකා පරදවන සැකකරුවන් විශාල ගණනක් මේ අපරාධයට සම්බන්ධයි කියා අත් අඩංගුවට අරගෙන. මේක අපේ පොලිස් ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණයක්‌""""
"

"ඇමති තුමා කෙනෙකුට නිකමට හිතුනොත් එකම මිනි මැරුම බොහෝ දෙනෙකුට කරන්න බැහැ කියලා. මම කියන්නේ අද මේ රට තුල විවිධ කුමන්ත්‍රණ කාරීන් ඉන්නවා. එහෙම අයෙක් ඒ වගේ කතාවක් කිව්වොත්"

"අපිට ඒක ප්‍රශ්නයක් නොවේ. රටේ නීතියක් තියෙනවා. නීතිය යටතේ වරදක් කළා නම් ඒ හැමෝටම සමසේ දඬුවම් ලැබෙන්න ඕනේ. එහෙම පිරිසකට වෙනස් විදිහකට සැලකුවොත් මේ අයම කියයි අන්න ඇමති වරුන් හඳුනන නිසා කට්ටියක් බේරුවා කියලා. නැහැ. එක නඩුවක් නොවේ වෙන වෙනම නඩු අහලා හරි මේ අපරාධයට යුක්තිය අපි ඉෂ්ට කරනවා."

"ස්තුතියි ඔබ තුමාට"

+++++++++++++++++ 
[ඊළඟ චැනලයට]

"හසන්ත ... මම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නය ඉස්මතු කලාට. මේක බොහොම වටිනා දෙයක්.

බටහිර විද්‍යාවේ මහා බලකණු අද පිලිගන්නවා හසන්ත මේ විශ්වයට සමාන්තර තවත් විශ්ව බර ගානක් තියෙන බව. මේ හැම විශ්වයකම ඉන්නවා හසන්ත ඔබ අප වැනිම පිරිසක්. සමාන්තර විශ්වයක් කිව්වම බොහෝ දෙනෙකුට හිතෙයි මහා ලොකු විසාල දෙයක් මේක කොහොමද හැදුනේ කියලා. අද විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා මේ අති මහත් වූ සමාන්තර විශ්වය බිහිවෙන්නේ සමනලයෙක් තටු ගැහැව්වොත් කියලා. මේක හරිම පුදුමයක් හසන්ත. හරිම පුදුමයක්. 

අපි මේ ලෝකේ දිහා බලන්න ඕනේ මෙන්න මේ සමාන්තර විශ්ව තුලින්. දැන් අපේ මේ මන්ත්‍රී තුමාට වෙඩි තිබ්බ කියන සිද්ධිය ගත්තොත්; එකම මන්ත්‍රී තුමාට බොහෝ දෙනෙක් කොහොම වෙඩි තියන්නද කියලා කට්ටිය අහනවා. ඒක වෙන්නේ මෙන්න මේ සමාන්තර විශ්ව තුල.

හසන්ත මම ආඩම්බර වෙනවා මේක ප්‍රකාශ කරන්න ලැබීම ගැන. මොකද හසන්ත අද මේ සමාන්තර විශ්ව හැම එකකම වෙච්ච අපරාධයට වරද කාරයින් හොයා දඬුවම් කරන්නට සමත් වුන පළමු පොලිසිය තමයි අතිගරු ජනාධිපතිතුමා මෙහෙයවන ශ්‍රී ලංකා පොලිසිය. අපි හැමෝම ආඩම්බර වෙන්න ඕනේ හසන්ත. මුළු මිනිස් වර්ගයාම අපි ගැන ආඩම්බර වෙන්න ඕනේ මේ වෙලාවේ."

+++++++++++++++++ 
[ඊළඟ චැනලයට]

... සිල්වා මහාචාර්ය තුමා කරගෙන යන ප්‍රසිද්ධ අඳුනෙන්. 

ඉතින් ලයිව් ඇට් එයිට්‌ කට්ටිය ගියා එතුමගේ ප්‍රසිද්ධ අඳුන බලන්න.

[ඔන් ලොකේෂන්
]

කථනය: මම දැන් ඉන්නේ ඒ නාථ දෙවියන්ගේ බලයෙන් කරගෙන යන අඳුන ළඟ. මෙතන සාමාන්‍ය සාත්තර පොලක් නොවේ. මෙතන සැරසිලි කරන්න ආවතේව කරන්න එන බොහෝ දෙනෙකුට ආචාර්ය උපාධියක්‌ වත් අඩුම ගානේ තියෙනවා. සාත්තරය කියන කාන්තාවත් උසස් අධ්‍යාපනය ලබපු කෙනෙක්.

රූපවාහිනී මාධ්‍යවේදී: "මම හිතන්නේ විශ්‍රාම ගියාට මහාචාර්ය තුමාට විවේකයක් නැහැ වගේ"

[එතුමා සිනාසෙයි]

කථනය: එහෙනම් අපි දැන් එ මොහොත සජීවීව ඔබට ලබා දෙන්නයි හදන්නේ.

රූපවාහිනී මාධ්‍යවේදී: "ඔබ තුමියට යමක් පෙනෙනවද?"

කාන්තාව: "ඔව් මට පෙනෙනවා ... නාථ දෙවියන් - අපේ සමයක් දෘෂ්ටික දෙවි හාමුදුරුවන් මට පෙන්නනවා... "

රූපවාහිනී මාධ්‍යවේදී: "මොනවාද ඔබට පෙනෙන්නේ?"

කාන්තාව: "එතුමා සමග කෙනෙක් ඉන්නවා"

රූපවාහිනී මාධ්‍යවේදී: "කවුරු වගේද පෙනෙන්නේ?"

කාන්තාව: "අර මියගිය මන්ත්‍රී තුමා. එතුමා මොනවාද කියනවා"

මහාචාර්ය තුමා [සිනාසෙමින්]: "කියන්න මොනවාද කියන්නේ එතුමා?"

කාන්තාව: "මාව මැරුවේ මම මයි කියනවා. මට කෙලින්ම වෙඩි තියාගන්න බය නිසා මම කට්ටියකට කොන්ත්‍රාත් දුන්නා. මාව මාරුවට පස්සේ ඒ දෙන්නත් දිවි නහ ගත්ත - එහෙම තමයි කියන්නේ'

මහාචාර්ය තුමා: "මේක අපේ බටහිර විද්‍යාව පස්සේ දුවන අයට විහිළුවක් වෙන්න පුළුවන් නිසා අපි ඔවුන්ගේ ක්‍රම වේදයකින් බලමු. සාමාන්‍යයෙන් බටහිර විද්‍යාව නිරීක්ෂණයක් බාර ගන්නේ එකම දත්තය කීප වතාවක් ලැබුනොත් පමණයි. ඔබ තුමිය තුන් පාරක් අහන්න එයාගෙන්"

[එතුමිය එම ප්‍රකාශයම තෙවතාවක් කරයි]

මහාචාර්ය තුමා: "හරි දැන් මේක ගැන මොකුත් කියන්න බැහැ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට වහල් කම කරන අනුකාරක සමාජ විකෘති ...."

කථනය: අපත් සමග මේ අවස්ථාවට සහබාගි වෙනවා පරීක්ෂණය කරගෙන යන පොලිස් කණ්ඩායම සමගින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා.

රූපවාහිනී මාධ්‍යවේදී: "මොකද්ද ඔබතුමාලගේ නිගමනය"

පොලිස් මාධ්‍ය ප්‍රකාශක: "ඉස්සර නම් අපි මේ වගේ සාධක ගැන සැලකිලිමත් වුණේ නැහැ. එත දැන් මේ මහාචාර්ය තුමා ඉදිරිපත් වෙලා අපට අපේම ක්‍රමයකින් මේ දේවල් හොයාගන්න පුළුවන් බව තේරුම් කර දුන්නා"

රූපවාහිනී මාධ්‍යවේදී: "එතකොට මිනීමැරුමට වෙන්නේ මොකද්ද?"

පොලිස් මාධ්‍ය ප්‍රකාශක: "ඇත්තෙන්ම මිනි මැරුමක් කිව්වට මේක සියදිවි නසා ගැනීමකම විශේෂ අවස්තාවක්. එතුමා විසින්ම කොන්ත්‍රාත් දීපු නිසාත්, ඝාතකයින් දෙදෙනාත් දිවි නහගත්තු නිසාත් මම හිතන්නේ මේ නඩුව තවත් ඉස්සරහට අරගෙන යන්නේ ඕනේ නැහැ. ඇත්තෙන්ම කියන්න ඕනේ මේ ගැන අපිට තනියම තීන්දුවක් ගන්න බැහැ. ලංකාවේ අපරාධ පරීක්ෂණ ගැන ඉහලින්ම ඉන්නේ පොලිස්පති තුමා. එතුමාගේ තීරණයකට ජනාධිපතිතුමාටවත් එරෙහි වෙන්න බැහැ. ඉතින් අපි එතුමාට මේ ගැන දැනුම් දීලා නඩුව සමතයකට පත් කරන්න කටයුතු කරනවා"

රූපවාහිනී මාධ්‍යවේදී: "ස්තුතියි"

[නැවත මැදිරියට]

මම හිතන්නේ කාටත් දැන් පැහැදිලියි මෙතන වෙලා තියෙන දේ.


අපොයි ඔව්. මේ ගැන අර අහිංසක ඇමතිතුමාට එල්ල කළ මඩ ප්‍රහාර ගැන ඒ අය දැන් පසු තැවෙනවා ඇති.

ලයිව් ඇට් එයිට්‌ මෙයින් අප සමාප්ත කරනවා. ඔබ සැමට සුබ අනාගතයක්.

Saturday, December 22, 2012

මායා වරුන්ට සුබ නව යුගයක්

වැඩියෙන් දියුණු යයි සම්මත ලෝකයක් දියුණු මෙවලම් ලෙස සම්මත අන්තර්ජාලය හරහා ප්‍රාථමික හා වනචාරි ලෙස ලෝක විනාශයක් ගැන බිය වෙද්දී, නිහඬව එහෙත් උත්කර්ෂයෙන් නව යුගයක් සමරන මායා වරුන්ට පුබ පැතුම්.

නව බක්ටුනයක [වසර 394 ක් විතර කාලයක්] උදාව විඳීමත් වරප්‍රසාදයක් වන අතර බක්ටුන දහතුනක් ගෙවා උදාවන නව යුගය අත්විඳින පළමු පිරිස ඔබයි.

ඔබට සුබ නව යුගයක් හා නව බක්ටුනයක්.

පසු සටහන:

මායාවරුන් අවශේෂ ලෝකයේ කොමඩි ජවනිකාව ගැන හිතන හැටිත් ඒ 


ගැන ඔවුන් කනගාටු වෙනහැටිත් මේ ලිපියෙන් කියවන්න.

ප.ලි.

එනිවේස් ඕක අපේ හෙළයෝ කල්තියා දැක්ක. ඔය 2012 වෙන සීන්ස් එකේ අපේ හෙළයෝ දැක්කේ අසූව අනූව දශක වල.

ඒ හෙළ පවුලක හෙළ කොල්ලෙක් තකහනියක් තඩි සංගීත මෙවලම්මක් හදාගෙන ලෝකෙටම ඇහෙන්න කිව්වා "මායාව මායාව ලොව රවටනා" කියල. එකෙක් ඇහුවේ නැහැ. පොර ඊට පස්සේ සිල්ලර කඩයක් දාගෙන නිකම් ඉන්න ඇති. මොකෝ ඇහුවේ නැහැ කියල පොරට මොකද? ආත්මා ලියනගේ ආයිත් සින්දු නොකිව්වේ ඕකයි. මුන්ට කියල වැඩක් නැහැ.

Wednesday, November 14, 2012

ඉල් මහේ මතක

[අසු නවය ගැන දැමු මුහුණු පොත් ප්‍රතිචාරයක් ඇසුරිනි]

අසූ අට - අසූ නවය සමය මුළු රටම පීඩා විඳි සමයකි.

සහෝදරත්වයේ තුවක්කුවට බියේ දහවල නිවෙස් තුල සැඟව උන්නෙමු. සමහරු බඩගින්නේ හිටි අතර නීති කඩකර බඩගිනි නිවන්නට ගිය උන් ගල් කටස් පහරට ලක්විය.

රාජ්‍ය නිල හා නොනිල හමුදා වලට බියේ රෑ නොනිදා හුන්නේමු. රාත්‍රිය දහවල තරම්වත් නිශ්චිත නොවුනි. මිනි මැරුනේ බේබද්දන් පාරේ ඇවිදින්නාක් මෙනි.

හුදෙක් නීතියක් කියා දෙයක් නොතිබි පූර්ණ අරාජික සමයකි.

කිනම් හෝ හේතුවකට පිරිසක් අවි බලය අතට ගෙන අවියෙන් දිනන්නට උත්සහ කරන විට අරාජික තත්වයක් උද්ගත වේ. 1971 හා 1987-89 දකුණේ ඇතිවූයේද, 80 මුල කාලයේ සිට 2009 දක්වා [වරින් වර ලද "පිට් ස්ටොප්" හැරුණු විට] උතුරේ ඇති වුයේද මේ තත්වයයි. එම පරිසරය තුල නීතිය අතුරුදහන් වූ විට, වනචාරි සමයක් ඇරඹේ. ආයුධය ආයුධයකින් විනා වෙනත් ආකාරයකින් පරාජය කල නොහැකි නිසා ආයුධයට හා එය දරන්නාට රිසි සේ ක්‍රියා කිරීමේ නිදහස ලැබේ. ලොව කිසිම යුද්ධයක් ජිනීවා සම්මුතියට අනුව සිදු නොවන්නේ එබැවිනි.

අප අත්දුටු 87-89 වැනිම තත්වයක් 2006-2009 උතුරේ ඇති වන්නට ඇත. ගල් කටස් එක්ක හැප්පෙන්න ඔතරම් මහන්සියක් ගන්න උනා නම් ස්ලින් ගුවන් යානා දක්වා ගිය සංවිධිත යුධ යන්ත්‍රයක් එක්ක හැප්පෙන්න තව මොනවා කරන්නට ඇතිද?

මේවා අස්සේ මිය ගිය දහස් ගණන් අහිංසකයින් ඇති. එහෙත් අවසානයේ කියන්නට ඇත්තේ පළමු වරදකරු නීතිය අතුරුදහන් කල කෙනා බවයි. නීතිය වෙනුවට ආයුධය සරණ ගිය ඔවුන් ලඟා කල ප්‍රතිපලය වනුයේ ඔවුන් නවතන්නට එවැනිම අවි බලයකට නිදහස ලබා දීමයි. අවියකට එරෙහි අවියක් යන පදනම තුල මේවා සිදුවීම පුදුමයට හේතු නොවේ.

කෙතරම් දූෂිත වුවද අප ජීවත්වන සමාජයේ සිවිල් නීති පද්ධතිය අප කෙතරම් ආරක්ෂා කරන්නේද යන්න මෙහි හරයයි. කිසියම් ගැටලුවක් ඇතොත් එය සිවිල් නීති පද්ධතියට එරෙහිව නොයා හැකි පමණින් එය තුල හිඳ විසඳා ගැනීම අවශ්‍යතාවයක් වන්නේ එබැවිනි.

සමාජය වෙනස් කරන්නට පෙර ලෝකාවබෝධය ලැබිය යුතුය. සමාජය වෙනස් විය යුත්තේ මිනිහෙකුට හෝ අවි දරන පිරිසකට ඕනේ දිහාවට නොවේ. තමන්ට මතය තාර්කික රාමුවකින් පෙරට ගෙන යා නොහැකි නම් එය අතහැර දැමිය යුතුයි. ලෝකය කොහොමත් අසාධාරණ ගොඩකි. එකෙකු එහි සාධාරණය කියා තනන්නේ වෙනකෙකුට අසාධාරණයක් ම පමණි.

යම්කිසි පිරිසක් අවි අරගෙන එන්නේ මේන් ස්ට්‍රීම් එකේ පරාජිත මතවාදයක් නිසාවෙනි. මේන්  ස්ට්‍රීම් එකේ සාර්ථක මතවාද රාජ්‍ය බලයෙන් මර්ධනය කල නොහැක. එහි පරාජිත මතයක් කෙනෙක් අරගෙන යුද්ධ කරන්න ආවාට පස්සේ අවි බලය යොදා ගන්න එක හැරෙන්න විකල්පයක් නොමැත. දෙගොල්ලම කරන්නේ මිනි මරණ එකයි. එක පැත්තක් මැරුවේ නැතිනම් අනිත් පැත්තෙන් මරණ එක වැළකිය නොහේ. ඒ නිසා පළමු ඝාතකයා වැලකීම රටක හමුදාවක වගකීමක්.


ඒ නිසා ආයුධයක් ගෙන නීතිය අතුරුදහන් කරන්නා අදාළ නෛතික රික්තය තුල සිදුවන සියලු ක්‍රියා වලට මූලිකව වග කිව යුතු අතර, ඒ පාර්ශ්වය විශේෂයෙන්ම එහි නායකත්වය වනසා දැමීම අද්‍යතන මානව හැකියාවන් තුල කළහැකි එකම විසඳුමයි. 89 දීත් 2009 දීත් ඔප්පු වන එකම සත්‍යය එයයි.

ඉල් මහ සැමරිය යුතු මතකය එපමණකි.

ප.ලි. කැරලි මර්දනය යන ලේබලය යටතේ පාලක පක්ෂයක් කරන සියලු ක්‍රියා මින් සාධාරණීකරණය නොකරන්නෙමු. ක්‍රියාවේ බරපතලකම මත ඒවා ගැන පරික්ෂණ පැවැත්වීම හා වැරදිකරුවන්ට දඬුවම් දීම සිදුවිය යුතුය. එහෙත් නීතිය අතුරුදහන් කල එකාට අවනීතියේ වැරැද්ද ගැන චෝදනා කරමින් වසරක් ගානේ හඬා වැටෙන්නට අයිතියක් නැත.

Thursday, November 1, 2012

ආශ්චර්යක් නේද හසන්ත


හසන්ත මේ තමා අපේ ගම. ඒ ගම ඇතුලෙන් අපට මේ ඇහෙන්නේ අපේ කම. ඔය කොළඹ ඉඳං ගම ගැන නං දොඩවන මහත්තුරුන්ට මම කියන්නේ, බලාපල්ලා ගමට ගිහිල්ල. දැකගනිල්ලා අපේ ගමේ අසිරිය, සුන්දරත්වය. 

http://www.divaina.com/2012/11/01/news02.html
මෙන්න මේ අපේ ගම තමයි හසන්ත අද මේ දියසෙන් පරපුර මුල් බැහැ ගත්තු පදනම. මේ ගම නිසා තමයි හසන්ත කවදාවත් ඒක හොල්ලන්න බැරි. ආශ්චර්යක් නේද හසන්ත.

[මෙම පුවත අහඹු ලෙස තෝරා ගත්තකි. මගේ අරමුණ ගමට පාලමක් තනා දෙන්න නොවේ. මෙටෆෝර් පටලා නොගන්න]

Friday, August 3, 2012

Laugh with me: හිග්ස්‌ ඔබ හෙළයෙකු වී නම්

නදීෂා චන්ද්‍රසේන මට ලියන්නට යමක් දී ඇත. ඒ ඇයත් සමග සිතන්නට යාමෙනි. බොසෝනය නම් ඉතා කුඩා උප-පරමාණුක තරම් අංශුවක  පැවැත්ම ගැන පීටර්  හිග්ස් පලකළ මත සඳහා සාක්ෂි වසර  පනහකට  පසු සොයා ගැනීම   සම්බන්ධයෙනි.

මේ සටහනට බෙහෙවින් වැදගත් ඉහත නදීශාගේ ලියමන කියවන්නේ නම් මැනවි.

ඒ ඇයත් සමග සිතන්නටය. මේ මාත් සමග හිනැහෙන්නටය. නිකම් නොවේ හෙළයෙකු වීම ගැන සාඩම්බරයෙනි.

----------

හිග්ස්‌ ඔබ උපදින්නට තිබුනේ මේ පුණ්‍ය භූමියේය. එසේ නම් ඔබට අඩ සියවසක් චාටර් කන්නට සිදු නොවනු ඇත.

එහෙනම් අවශ්‍ය වනුයේ රන්දිව හෝ රිවිර වැනි පුවත්පතක් සමග සාකච්චාවක් පමණි [දිනමිණ රිසර්ච් බුලටිනය හරහා තරුරටා වලින් භූමිකම්පා ගැන පර්යේෂණ පත්‍රිකා පළකර රටම කම්පා කල භූ විද්‍යා මහැදුරන් උදාහරණයකි].

එහෙනම් අපේ මාධ්‍යවේදීන් බෝසෝනය මොන පාටයිද කියාත් පත්තර වලට ලියනු ඇත. රූපවාහිනියේ අගමැතිතුමා හෝ [බෝසෝනයේ අගය වැඩි නම්] ජනපතිතුමා සමග බෝසෝන අහුලන්නට හිග්ස්‌ මැතිතුමාට හැකි වන්නට ඉඩ තිබුණි.

හිග්ස්‌ අපේ නිසා බොසෝනය පවතින බව සියලු දෙනාම පිළිගන්නවාට කිසිම සැකයක් නැත. අනික් අතට
බෝසෝනය ප්‍රත්‍යක්ෂයෙන් බාර ගන්නට අපේ ජාතික චින්තනයට සුළු දෙයකි. අවශ්‍ය වන්නේ බෝසෝනය විසින් චතුස්කෝටික භාවය සම්පූර්ණ කිරීම පමණි. එනම් බෝසෝන ඇති බව, බෝසෝන නැති බව, බොසෝනය ඇති බව හා නැති බව, බෝසෝන ඇත්තෙත් නැති නැත්තෙත් නැති බව වේ.

බෝසෝන ගලවන්නට කවුරුන් හෝ හිග්ස්‌ ට සල්ලි ලබා දීමට ඉඩ තිබේ. වසර කීපයකින් හිග්ස්‌ සල්ලි වලට ගේම දුන්නා කියා ඔහුට නඩු යාමට සිදු වනු ඇත.

"
හිග්ස් මොළකාරයෙකු මිස කේන්තිකාරයෙකු නොවේ.විද්‍යාව විසින් ඉල්ලා සිටින සංයමය හිග්ස් ප්‍රගුණ කර ඇතැයි සිතමි.හදිස්සියට ආදරය කරන්නවත් පර්යේෂණ කරන්නවත් බැරිය." මෙසේ කියන්නී නදීෂා ය. 
හදිස්සියට ආදරය කරන්නවත් පර්යේෂණ කරන්නවත් බැරිය. එහෙත් පර්යේෂණ වල ප්‍රතිපල දාන්නට ලංකාවේ පුළුවන.

IEEE වාගේ එකක පර්යේෂණයක් පල කරන්නට කෙතරම් දුක් විඳිය යුතුද? එතුලින් පර්යේෂණ කෙතරම් යටපත් වේද? අපේ හෙළයා මෙම බරපතල කඩ ඉම ජයගත්තේ එබැවිනි.

අද විවි මහාචාර්ය වරුන් ඉතාමත් සංවේදී පර්යේෂණ ක්ෂණිකව පල කරන්නේ දිනමිණ රිසර්ච් බුලටිනයේය. [එසේ නොවන්නට කල්වෙලා ඇතුව භුමි කම්පා ගැන අනාවැකි පළකර ජනයා පාරට බස්සවන්නට හැකි නොවේ].

නව නිමැවුම් කරුවන්ගේ නිර්මාණ වල ශක්‍යතා අධ්‍යනය කරන්නේ මාධ්‍යවේදීන් විසිනි [එසේ නොවන්නට ජර්මන් ටෙක් එකෙන් හයිඩ්‍රජන් හොරකම් කර වතුරෙන් දුවන එන්ජිමක් හදාගත් කොලුවා තවමත් එතැනමය]

දෙයක් ප්‍රත්‍යක්ෂයෙන් විනා තාර්කික හෝ පර්යේෂණ ඔප්පු කිරීමකින් බාර නොගන්නා ලෙස ජාතික චින්තකයෝ බලකරති. යමක් ඔප්පු කරන්න හදනවා කියන්නේ සැක කටයුතු තත්වයකි. ඔප්පු කලේ නම් ෂුවර් බොරුවකි.

මේ ඔක්කොම වැඩ නොකරත් පර්යේෂණ ප්‍රතිපල ටක් ගාල අවුට් කරගන්නට ඕනේ නම් රිවිර හෝ රන්දිව වැනි පුවත් පතකින් පිළිවන. පර්යේෂණ ගැන අතිශයින් ලිබරල් අපි පර්යේෂණ පත්‍රිකා සම්බන්ධයෙන් වෙළඳපොල තරගයක් ඇති කර එතුලින් පත්‍රිකා පල කිරීම තවත් වේගවත් කර ඇත.

දේශයේ කොඳු නාරටිය වූ මාධ්‍යවේදියා ලන්ඩන් ඔලිම්පික් එකටත් යවන්නේ එබැවිනි. ක්‍රීඩකයින්ට වඩා මාධ්‍යවේදීන් ඉන්නා එකම "ක්‍රීඩා කණ්ඩායම" අපේ කණ්ඩායමයි.

"මෙන්න මේකයි ආශ්චර්ය කියන්නේ හසන්ත" ප්ලාස්ටික් වලින් සැදු බෝසෝනයක් අතින් ගෙන සූරියප්පෙරුම පඬිවරයා කියනු ඇත.

[ඔබේ ලිපිය මෙව්වා කලාට ලේඛිකාවනි සමා වනු මැන]

Saturday, July 14, 2012

ගෝල්ඩ් ෆිෂ් හෙවත් ලංකාවේ චන්ද දායකයා



ඉහත පින්තුරයේ පනින්නේ ශ්‍රී ලාංකික චන්ද දායකයෙකි. පිහිනන්නෝ ද ඔවුහු ම වෙති.

පින්තුරයේ ටැංකි දෙකක් තිබේ. එකක් එපා උනාම අනිකට පනින්න පුළුවන. ආපහු දවසක් මුල් එකට පනින්නට වනු ඇත. ගෝල්ඩ් ෆිෂ් ලා නිසා මතක නැහැනේ කොහොමත්. ලංකාවේ දේශපාලනයේ ඇත්තේ මාළු ටැංකි දෙකක් පමණි. ටැංකි දෙකේම ඇත්තේ එකම වතුරය. මදි උනාම එකකින් අනිකට හලා ගැනේ. ගස් නැත. වටේ පිහිනමින් ඉන්නට පුළුවන.

මෙහෙම කිව්වාම අපේ "ක්‍රම වෙනස් කරන" සෙට් එකට මාර ආතල් වනු ඇත. ඇත්තෙන්ම පින්තුරයේ නොපෙනන තරම් කුඩා ජෑම් බෝතලයක් ද තිබේ. ටැංකි අතර පනින ගෝල්ඩ් ෆිෂ් ලාට ක්‍රම වෙනසක් කර එම ජෑම් බෝතලයට පනින ලෙස ඉල්ලීමක් තිබේ. ඇත්තටම එය ක්‍රම වෙනසකි. හැබැයි පැනපු විට තේරුම යනු ඇත්තේ එම ජෑම් බෝතලයේ සීමා සහිත ඉඩේ ඉන්නට ගෝල්ඩ් ෆිශ්ලාට බැරි බවයි. ඊටත් එහා ගැටලුව නම් එහි වතුර නොමැති වීමයි. එවිට වතුර ලැබෙන තුරු වීදුරුව හෑරීමේ විප්ලවීය යුග මෙහෙවර පැවරෙන්නේද හුස්ම හිරවූ ගෝල්ඩ් ෆිෂ්ලා ට ය.

ඒ හැරෙන්නට විවිධ ජාතිවාදී තීන්ත කුප්පි ද තිබේ. තීන්ත මාළුන්ට විස නිසා ඒවාට පනින එවුන් විස වැදී දඟලති. මහා පාරේ ඩෙගා නටති. කිලෝ ග්‍රෑම් වලින් බර කිරන මේ යුගයේ ෂයිලොක් මෙන් මස් රාත්තල ම ඉල්ලති.

තවත් පිරිසක් සිටිති. ඔවුහු ගැඹුරු තියරියකින් තැනු සිහින් කේශික නල අල්ලා ගෙන නන් දොඩවති. තියරි ගැඹුර වැඩි වන තරමට නලයේ කේශික සිදුරේ විෂ්කම්භය කුඩා වේ. නලය සිහින් වන තරමට ඒවා කෑලි කැඩී අලුත් කේශික නල බිහිවේ. කිසිම මාලුවෙක් ඒ දිහාට නොපනිති. අප්පිරියාව පමණක් නොවේ.
සම්මන්ත්‍රණ හා පොත් හරහා තෙල් වෙළඳාම ලොරි ගානට කලත්, ගෝල්ඩ් ෆිෂ් කේශික නලයට පනින ආකාරය කාටවත් වැටහෙන ලෙසින් ඔවුන් විස්තර නොකරන බැවිනි. එම තෙල් වලින් කේශික නල පුරවා කැම්පස් වල පිටි පස්සේ අත දරුවන්ට පොවනු ලැබේ. ඇප බේරන්නට වත් එය මදිය.

කලින් කලට මාළුන්ට කෑමදාන අය බිහිවේ. තරු හතරේ කෙනෙක් වරක් කෑම දැම්මද දැන් තරුත් නැත. කෑමත් ඉවරය. හිස් පැකට්ටුව අතේ තියාගෙන ඔහු වටේ ඇවිදියි.

මේ සමග ලස්සන ස්ටේට්මන්ට් එකක් ඇත. ඒක මාර මෙව්වා කියා හැමෝම කියති. එහෙත් එහි පින්තුරයට කිසිම සම්බන්ධයක් නැත. මං හිතන්නේ ඒ බලයට එන්න ඉන්න පක්ෂයේ "මුදල් නොගෙවා හොරෙන් දැමු" දැන්වීමක් පමණි. ඕවා කියවන ගෝල්ඩ් ෆිෂ් ලා ටැංකි අතර පනිමින් කාලය ගෙවා දමනු ඇත.

කන්ක්ලුෂන් එකක්  නොමැත. හෙටත් අනිද්දාත් ඊට පසුවදාත් හිරු පායා බැස යනු ඇත.


[පින්තුරය දුන් දිල් ට ස්තුතියි]

Saturday, May 19, 2012

ඔක්සිජන් [තෙවර්ෂ පූර්ණ සමරුව]

තුන් වසරකට පෙර අප හුස්ම ගත්තේ අමාරුවෙනි. ඔක්සිජන් නොතිබුණි. නිතර හුස්ම හිරවීම සිදු විය. බාල මහලු බේදයකින් තොරව ජනයා මිය ගියහ.

ඔක්සිජන් ගෙනෙන ගමන එසේ මෙසේ එකක් නොවේ. නිර්භීත ජීවිත බොහෝ කැප කරන්නට සිදු විය. එසේ ජීවිත පූජා කලේ එකතැන් වුනේ අංග විකල වුනේ සිය කැමැත්තෙනි. අනික් එවුන්ගේ හෙට දවස වෙනුවෙනි. හුස්ම ගන්නට ඇති අයිතිය වෙනුවෙනි.

"හයියෝ ඔයා තාම ඔය පරණ කතාව ද කියන්නේ" වර්තමානය අසයී.

"මොනවාද ඔය තෙවසරකට පෙර ලැබුන මහා ලොකු බම්බුව?"

"දැන් මොකද්ද ඒ කාලේ තිබ්බ ප්‍රශ්නේ? අද මොනවාද ලැබිල තියෙන්නේ?"

වර්තමානය පහසුවෙන් අතීතය අමතක කරන්නෙකි. අනික් අතට හුස්ම ගැනීමේ නිදහස සිහි වන්නේ ඔක්සිජන් අහිමි වූ දිනයක පමණි.

මේ සටහන අර ශ්‍රේෂ්ට අමරණීය මිනිසුන් වෙනුවෙනි.

Thursday, March 22, 2012

සමත මණ්ඩල තරවටුවෙන් පසු...

දැන් සිද්ද වනුයේ තවත් අවලමේ යන පූසා නිතර සමත මණ්ඩල ගොඩනැගිල්ලේ රෑට පැහැරීම තුලින් එම අවලං කම වසා ගැනීමයි. අප ඇසුවොත් "නැහැ මම සමතයාට පාඩමක් උගන්නන්න යන්නේ" කියා තම ගමන තවත් සාධාරණ කරනු ඇත.

සමත මණ්ඩලය දඬුවම් දෙන්නේ එහි සාමාජික අපේ පවුලට මිස පූසාට හෙම නොවේ.

[පෙර කතාව: මීයයි පූසයි]

Monday, February 27, 2012

මීයයි පූසයි

පූසෝ මීයන් අල්ලති. පූසෙක් හදන්නේ මී කරදරය නිසාවෙනි. මීයන් කරන්නේ එසේ මෙසේ කරදර නොවේ. උහු අපේ දේපොළ වනසති. අහර සොරකම් කර අපේ ආර්ථිකය කඩා ඉහිරවති. ගෙවැසියන් ලෙඩ කරති. මරා දමති.

එබැවින් අපි පූසෙකු හැදුවෙමු.

මීයෝ හැංඟෙන්නට දක්ෂයෝය. පෙනුමින් වැඩි වෙනසක් නැති ලෙහෙනුන් වැනි අනික සතුන් ද ඉස්සරහට දමා මීයෝ හැංගෙති. පූසා මීයන් අල්ලන්නේ ප්‍රාථමික තාක්ෂණික ක්‍රම උදව්වෙනි. මේ කතාවේ ඉන්න මීයන් කොපමණ දියුණු වීද යත් උගේ මර උගුල් වලට හසු වී මිය ගිය පූසන් ගණන අපමණය. එහෙයින් පූසාට මෙය ජීවිතයත් මරණයත් අතර සටනකි. දුටු තැන පහරදෙන්නට වූ නිසා පූසා මේ සටන තුල මීයන් කියා කෑ ලෙහෙනුන් යම් තරමක් සිටිති. එවැනි ලෙහෙනුන් මීයන් කියා කීමට පූසා ද, මියගිය හැම මීයාම ලෙහෙනෙක් කීමට මීයා ද පොර කන මේ තරගයේ, ඉන් ඔබ්බට සංඛ්‍යා ලේඛන නොමැත. 

උකුස්සා ට සියල්ල පෙනේ. උගේ තාක්ෂනය දියුනුය. එහෙත් ඌ අපට මීයන් අල්ලා දෙන්නට ප්‍රමාණවත් උදව් නොදුන්නේය. ඒ වෙනුවට ඌ මිය යන ලෙහෙනුන් ගණන් කරන්නට ඉහල අහසේ සිට උත්සාහ කළේය. අපි ඌට ගල් ගැහුවේ එනපොට හොඳ නැති නිසාය. අන්තිමට හරි ගණන් ඌට ද මිස් විය.

උකුස්සා අල්ලන්නේ ඌරු මීයන් ය. උගේ කූඩුව තියෙන ගස මුල හාරා අකල් බකල් කරන්නේ උන් බැවිනි. ඉහල අහසේ ඔටෝ පයිලට් දාගෙන නිදි වනින් ඉන්නා උකුස්සා විටින් විට පැමිණ ඌරු මීයන් මෙන්ම හාවන්, කටුස්සන්, පමණක් නොව ඌරන්, ඉත්තාවන්, බල්ලන්, කුකුලන් ද ඩැහැ ගෙන යයි. ඒ උන් අහර පිණිස ගන්නද නැතිනම් ඌරු මීයන් කියා රැවටී ද අපි නොදන්නෙමු. අල්ලන ඕනෑම සතෙක් කුදලා ගෙන යමින් ගමන "මේ ඌරු මීයෙක්" කියා ඌ මොර දෙයි. උකුස්සා ගේ සද්දේ සැරය. කවුරුත් හරස් ප්‍රශ්න නොකරති.

ගැටලුව තවත් දුරදිග යන්නේ අහල පහල ගෙවල් වල ඉන්න සමහරුන් මීයන්ට ආදරේ බැවිනි. අපේ ගේ වනසන මීයන්ට කන්න බොන්න දී හදා ගන්නේ ඔවුන් ය. මීයන්ට දාන කෑම ගන්නේ සල්ලි එකතු කරලාය. ඉතිරි සල්ලි උකුස්සන්ට කෑම ගන්න වියදම් කල බැවින්, මීයා උකුස්සා, මේ කට්ටිය ඇතුළු ඔක්කොම එක පැත්තක කියා ද අපට හිතේ. ඉහල අහසේ ඉන්න උකුස්සා මොන පැත්තක ද කියා කීමට සක්කරයටවත් නොහැක්කේ සක්කර වාස බවන ද ඊට පහල බැවිනි.

දැන් අපේ පූසා මහ මීයන් මරා ඇත. වර්තමානයේ හෝ අනාගතයේ නැවත බිහි විය හැකි මී ගුල් හා රෝසපාට මී පැටවුන් ගැන පුංචි බියක් හැරෙන්නට අන් කිසිම මී අවුලක් නොපෙනේ. ලෙහෙනුන් වෙනුවෙන් යමක කල යුතු බව ඇත්ත නමුත් ලෙහෙනුන්ගේ අභිප්‍රායන්, ලෙහෙනුන්ගේ දැවෙන ප්‍රශ්න ගැන කියවීමක් ගන්නට බැරිය. මේ පැත්තේ ලෙහෙනුන් ගොලුවෝය. උන් වෙනුවෙන් හඬ නගන්නේ මීයන් හා මීයන් හදන කස්ටියයි.

හැමදාමත් ගෙදර බත්පත ගැන වලි දාන මද්දුම අයියා මීයන්ට සහය දෙන්නේ මීයා පීඩිතයා කියාය. තම බත් පංගුව හැරුණු විට අන් සියල්ලක්ම පීඩිතයා හා පීඩකයා යන ඇහින් දකින මද්දුම අයියා කැම්පස් ගොස් ගොම්පස් වූවෙකි. මීයන් වෙනුවෙන් සමුළු රැස් වනවිට මද්දුම අයියා ප්‍රීතියෙන් පිනා යයි. අම්මලා තාත්තලා නැති තැනක බලා අයියා "මීයාට ජය වේවා" කියා බෝඩ් දමයි. අම්මලා ඉන්න තැන්වල "කොහෙද මීයෝ ඉන්නේ. ලෙහෙනුන් ලක්ස ගානක් මරුවා මිසක්" වැනි කතාය. හරස් ප්‍රශ්න කලොත් "ලෙහෙනෙක් මීයෙක් වෙන්නේ අම්මලාගේ වරදින්. කිසිම මීයෙක් උපතින් මීයෙක් නොවේ" වැනි අපබ්‍රංශ කියයි. ලෙහෙනුන්ට දෙන යමක් මීයාටම දීපියෝ කියා ඔහු කියයි. මද්දුම අයියාට අනුව අප මී කරදරය ඉවසිය යුතු වේ. මහාමාරිය අපේ උරුමයකි. අල්මාරිය උගේ උරුමයකි. අපි ඔටුවෝය [මද්දුම අයියාට අනුව අපි කොහොමත් ඔටුවෝ ම වෙමු. සියලු කතා වල අවසාන නිගමනය එයයි].

සිද්ධිය දුරදිග ගියේ ලෙහෙනුන් මැරීමේ වරදට අපේ පූසාව සමත මණ්ඩලයට ඇන්න ගිය විටයි. පූසා මූලිකව අපේ ගෙදර වැඩිහිටි අය එකතු වී සමත මණ්ඩලයට මුහුණ දෙන්නට නියෝජිත පිරිසක් යැවුහ. සමත මණ්ඩලය මේ ගැන අවබෝධයකින් ඉන්නා නිසා ලොකු බියක් නැත. උකුස්සා ගේ බිල්ල තරමකට හෝ ලැබෙන නිසා ඌ අප පූසා කුදලා ගෙන යනු ඇතැයි සිතිය නොහේ. එහෙත් සමත මණ්ඩලයත් උකුස්සාත් ගැන අනාවැකි පල කිරීම අසීරු බැවින් මේ කතා බහ එන එක එතරම් හොඳ නැති දෙයක් බව දකින්නෙමු. මේ මල කරදරය ඉවර විය යුත්තක් මිස වසරක් පාසා කතා විය යුත්තක් නොවේ. සියල්ල අහවර කරන්නට  උකුස්සා ඉල්ලන තඩි බිල්ල දෙන්නට අපට වස්තුව නැත. අපේ වත්තේ තෙල් නැති බව උකුස්සා දනියි [තිබ්බා නම් ඌ මෙලහටත් මීයන් සමග සෙට් වී හාරා ගෙන ගොහිනි].

මෙතනින් කතාව නිමියේ නම් අපි දිවි හිමියෙන් පූසා රකින්නෙමු. එහෙත් ඒ එසේ නොවේ. පූසා මාර ඩයල් එකකි. මීයන් මැරූ පසු හැමදා උකටලීව නිදන හේ අපේ ඇස වසා කරුවලේ රති කෙළියට යයි. උගේ මල අදෝනාව අසා එපා වී ඇත.  පූසා ගේ ගැන්සියේ වල් පූසන් වත්ත පුරා පහරන මුත් මූ උන්ව එළවන්නේ නැත. හොරෙන් කුප්පමේනියා කුඩු කර විකුණන හොර පූසන් අපේ පූසා ගේ දකුණත් වමත් සව්වන් වී දෑලේ ගැවසෙති. ඒ මදිවට මීයන් මරා සවිමත් වූ හකුවලින් පූසා අප හපයි. ඌ කරන මගුලක් නැති මුත් ඌ වෙනුවෙන් දරන වියදම ඉතා වැඩිය. අප තවත් ආර්ථිකයෙන් පහල වැටෙමින් තිබේ. පූසා වදයක් වී වෙන පූසෙක් ගේන්නට බැලුවත් මේ පෙනෙන තෙක් මානෙක හරි හමන් පූස් පැටියෙක් නැත. එහෙත් වෙන ඕනෑම අංජ බජල් පූසෙක් ගෙන මේ පූසා එළවා දමන්නට වුවද සිත් වන තරමට පූසා අපට දාන බිල වැඩිය.

සමත මණ්ඩල රැස්වීම දා පූසා කරන්නේ අපූරු වැඩකි. පූසාගේ තල්ල පිරිමදින පොඩි එකා ගෙන්න ගෙන උගේ මොන්ටිසෝරියේ ක්ලාස් මේට් ලා සමග පූසා රැකීමේ මහා උද්ඝෝෂණයක් සංවිධානය කලේ පූසාමය. ඒ කිසිවෙකුත් හපන්නේ නැති බවත් වැඩේට අවශ්‍ය කළමනා සපයන බවත් ඌ පොරොන්දු වී ඇත. ලොකුම විහිළුව නම් උද්ඝෝෂණය ඇත්තේ සමත මණ්ඩලේ නොව අපේම සාලයේ බැවිනි. පොඩි එවුන්ගේ දඟ හැසිරීමෙන් විඳවන්න ඕනේ ද අපමයි. ලෙඩ වී ඉන්නා ආච්චිට හදිසියේ වැසිකිලියට යන්නට මේ කලබගෑනිය නිසා බැරිය. අම්මාට තාත්තාට වැඩට යන්න පරක්කු වේ. අනික මේක සමත මණ්ඩලයට හෝ උකුස්සා ට නොදැනේ. උහු සුපුරුදු පරිදි රැස්වීම් තැබීම හා කුදලාගෙන යාම නම් වූ තම ක්‍රියා වල යෙදෙති. සමහරවිට අපේ ගෙදර වෙන හතර විහිළු වලට පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇත.

අද රෑටත් වලත්තුවේ යන්නට පූසාට ඉඩ හසර ලැබෙන්නේ අම්මා හා තාත්තා මේ ළමා උද්ගෝෂණය ගැන මිස පූසාගේ වලත්තකම් ගැන නොහොයන බැවිනි.

සමත මණ්ඩලයට ගිය නියෝජිත පිරිසට සුබ පතන අතර මොන්ටිසෝරි මල්ලිලා ගැන දුක් වෙමු. අඩෝ ගෙරි පූසා ගෙදර මට්ටමින් බඩු පෙරලගන්නේ නැතිව තෝ අල්ලා ගන්නට දවසක් එනතුරු අප බලා සිටින බව දැනගෙන හිටු.