Monday, February 27, 2012

මීයයි පූසයි

පූසෝ මීයන් අල්ලති. පූසෙක් හදන්නේ මී කරදරය නිසාවෙනි. මීයන් කරන්නේ එසේ මෙසේ කරදර නොවේ. උහු අපේ දේපොළ වනසති. අහර සොරකම් කර අපේ ආර්ථිකය කඩා ඉහිරවති. ගෙවැසියන් ලෙඩ කරති. මරා දමති.

එබැවින් අපි පූසෙකු හැදුවෙමු.

මීයෝ හැංඟෙන්නට දක්ෂයෝය. පෙනුමින් වැඩි වෙනසක් නැති ලෙහෙනුන් වැනි අනික සතුන් ද ඉස්සරහට දමා මීයෝ හැංගෙති. පූසා මීයන් අල්ලන්නේ ප්‍රාථමික තාක්ෂණික ක්‍රම උදව්වෙනි. මේ කතාවේ ඉන්න මීයන් කොපමණ දියුණු වීද යත් උගේ මර උගුල් වලට හසු වී මිය ගිය පූසන් ගණන අපමණය. එහෙයින් පූසාට මෙය ජීවිතයත් මරණයත් අතර සටනකි. දුටු තැන පහරදෙන්නට වූ නිසා පූසා මේ සටන තුල මීයන් කියා කෑ ලෙහෙනුන් යම් තරමක් සිටිති. එවැනි ලෙහෙනුන් මීයන් කියා කීමට පූසා ද, මියගිය හැම මීයාම ලෙහෙනෙක් කීමට මීයා ද පොර කන මේ තරගයේ, ඉන් ඔබ්බට සංඛ්‍යා ලේඛන නොමැත. 

උකුස්සා ට සියල්ල පෙනේ. උගේ තාක්ෂනය දියුනුය. එහෙත් ඌ අපට මීයන් අල්ලා දෙන්නට ප්‍රමාණවත් උදව් නොදුන්නේය. ඒ වෙනුවට ඌ මිය යන ලෙහෙනුන් ගණන් කරන්නට ඉහල අහසේ සිට උත්සාහ කළේය. අපි ඌට ගල් ගැහුවේ එනපොට හොඳ නැති නිසාය. අන්තිමට හරි ගණන් ඌට ද මිස් විය.

උකුස්සා අල්ලන්නේ ඌරු මීයන් ය. උගේ කූඩුව තියෙන ගස මුල හාරා අකල් බකල් කරන්නේ උන් බැවිනි. ඉහල අහසේ ඔටෝ පයිලට් දාගෙන නිදි වනින් ඉන්නා උකුස්සා විටින් විට පැමිණ ඌරු මීයන් මෙන්ම හාවන්, කටුස්සන්, පමණක් නොව ඌරන්, ඉත්තාවන්, බල්ලන්, කුකුලන් ද ඩැහැ ගෙන යයි. ඒ උන් අහර පිණිස ගන්නද නැතිනම් ඌරු මීයන් කියා රැවටී ද අපි නොදන්නෙමු. අල්ලන ඕනෑම සතෙක් කුදලා ගෙන යමින් ගමන "මේ ඌරු මීයෙක්" කියා ඌ මොර දෙයි. උකුස්සා ගේ සද්දේ සැරය. කවුරුත් හරස් ප්‍රශ්න නොකරති.

ගැටලුව තවත් දුරදිග යන්නේ අහල පහල ගෙවල් වල ඉන්න සමහරුන් මීයන්ට ආදරේ බැවිනි. අපේ ගේ වනසන මීයන්ට කන්න බොන්න දී හදා ගන්නේ ඔවුන් ය. මීයන්ට දාන කෑම ගන්නේ සල්ලි එකතු කරලාය. ඉතිරි සල්ලි උකුස්සන්ට කෑම ගන්න වියදම් කල බැවින්, මීයා උකුස්සා, මේ කට්ටිය ඇතුළු ඔක්කොම එක පැත්තක කියා ද අපට හිතේ. ඉහල අහසේ ඉන්න උකුස්සා මොන පැත්තක ද කියා කීමට සක්කරයටවත් නොහැක්කේ සක්කර වාස බවන ද ඊට පහල බැවිනි.

දැන් අපේ පූසා මහ මීයන් මරා ඇත. වර්තමානයේ හෝ අනාගතයේ නැවත බිහි විය හැකි මී ගුල් හා රෝසපාට මී පැටවුන් ගැන පුංචි බියක් හැරෙන්නට අන් කිසිම මී අවුලක් නොපෙනේ. ලෙහෙනුන් වෙනුවෙන් යමක කල යුතු බව ඇත්ත නමුත් ලෙහෙනුන්ගේ අභිප්‍රායන්, ලෙහෙනුන්ගේ දැවෙන ප්‍රශ්න ගැන කියවීමක් ගන්නට බැරිය. මේ පැත්තේ ලෙහෙනුන් ගොලුවෝය. උන් වෙනුවෙන් හඬ නගන්නේ මීයන් හා මීයන් හදන කස්ටියයි.

හැමදාමත් ගෙදර බත්පත ගැන වලි දාන මද්දුම අයියා මීයන්ට සහය දෙන්නේ මීයා පීඩිතයා කියාය. තම බත් පංගුව හැරුණු විට අන් සියල්ලක්ම පීඩිතයා හා පීඩකයා යන ඇහින් දකින මද්දුම අයියා කැම්පස් ගොස් ගොම්පස් වූවෙකි. මීයන් වෙනුවෙන් සමුළු රැස් වනවිට මද්දුම අයියා ප්‍රීතියෙන් පිනා යයි. අම්මලා තාත්තලා නැති තැනක බලා අයියා "මීයාට ජය වේවා" කියා බෝඩ් දමයි. අම්මලා ඉන්න තැන්වල "කොහෙද මීයෝ ඉන්නේ. ලෙහෙනුන් ලක්ස ගානක් මරුවා මිසක්" වැනි කතාය. හරස් ප්‍රශ්න කලොත් "ලෙහෙනෙක් මීයෙක් වෙන්නේ අම්මලාගේ වරදින්. කිසිම මීයෙක් උපතින් මීයෙක් නොවේ" වැනි අපබ්‍රංශ කියයි. ලෙහෙනුන්ට දෙන යමක් මීයාටම දීපියෝ කියා ඔහු කියයි. මද්දුම අයියාට අනුව අප මී කරදරය ඉවසිය යුතු වේ. මහාමාරිය අපේ උරුමයකි. අල්මාරිය උගේ උරුමයකි. අපි ඔටුවෝය [මද්දුම අයියාට අනුව අපි කොහොමත් ඔටුවෝ ම වෙමු. සියලු කතා වල අවසාන නිගමනය එයයි].

සිද්ධිය දුරදිග ගියේ ලෙහෙනුන් මැරීමේ වරදට අපේ පූසාව සමත මණ්ඩලයට ඇන්න ගිය විටයි. පූසා මූලිකව අපේ ගෙදර වැඩිහිටි අය එකතු වී සමත මණ්ඩලයට මුහුණ දෙන්නට නියෝජිත පිරිසක් යැවුහ. සමත මණ්ඩලය මේ ගැන අවබෝධයකින් ඉන්නා නිසා ලොකු බියක් නැත. උකුස්සා ගේ බිල්ල තරමකට හෝ ලැබෙන නිසා ඌ අප පූසා කුදලා ගෙන යනු ඇතැයි සිතිය නොහේ. එහෙත් සමත මණ්ඩලයත් උකුස්සාත් ගැන අනාවැකි පල කිරීම අසීරු බැවින් මේ කතා බහ එන එක එතරම් හොඳ නැති දෙයක් බව දකින්නෙමු. මේ මල කරදරය ඉවර විය යුත්තක් මිස වසරක් පාසා කතා විය යුත්තක් නොවේ. සියල්ල අහවර කරන්නට  උකුස්සා ඉල්ලන තඩි බිල්ල දෙන්නට අපට වස්තුව නැත. අපේ වත්තේ තෙල් නැති බව උකුස්සා දනියි [තිබ්බා නම් ඌ මෙලහටත් මීයන් සමග සෙට් වී හාරා ගෙන ගොහිනි].

මෙතනින් කතාව නිමියේ නම් අපි දිවි හිමියෙන් පූසා රකින්නෙමු. එහෙත් ඒ එසේ නොවේ. පූසා මාර ඩයල් එකකි. මීයන් මැරූ පසු හැමදා උකටලීව නිදන හේ අපේ ඇස වසා කරුවලේ රති කෙළියට යයි. උගේ මල අදෝනාව අසා එපා වී ඇත.  පූසා ගේ ගැන්සියේ වල් පූසන් වත්ත පුරා පහරන මුත් මූ උන්ව එළවන්නේ නැත. හොරෙන් කුප්පමේනියා කුඩු කර විකුණන හොර පූසන් අපේ පූසා ගේ දකුණත් වමත් සව්වන් වී දෑලේ ගැවසෙති. ඒ මදිවට මීයන් මරා සවිමත් වූ හකුවලින් පූසා අප හපයි. ඌ කරන මගුලක් නැති මුත් ඌ වෙනුවෙන් දරන වියදම ඉතා වැඩිය. අප තවත් ආර්ථිකයෙන් පහල වැටෙමින් තිබේ. පූසා වදයක් වී වෙන පූසෙක් ගේන්නට බැලුවත් මේ පෙනෙන තෙක් මානෙක හරි හමන් පූස් පැටියෙක් නැත. එහෙත් වෙන ඕනෑම අංජ බජල් පූසෙක් ගෙන මේ පූසා එළවා දමන්නට වුවද සිත් වන තරමට පූසා අපට දාන බිල වැඩිය.

සමත මණ්ඩල රැස්වීම දා පූසා කරන්නේ අපූරු වැඩකි. පූසාගේ තල්ල පිරිමදින පොඩි එකා ගෙන්න ගෙන උගේ මොන්ටිසෝරියේ ක්ලාස් මේට් ලා සමග පූසා රැකීමේ මහා උද්ඝෝෂණයක් සංවිධානය කලේ පූසාමය. ඒ කිසිවෙකුත් හපන්නේ නැති බවත් වැඩේට අවශ්‍ය කළමනා සපයන බවත් ඌ පොරොන්දු වී ඇත. ලොකුම විහිළුව නම් උද්ඝෝෂණය ඇත්තේ සමත මණ්ඩලේ නොව අපේම සාලයේ බැවිනි. පොඩි එවුන්ගේ දඟ හැසිරීමෙන් විඳවන්න ඕනේ ද අපමයි. ලෙඩ වී ඉන්නා ආච්චිට හදිසියේ වැසිකිලියට යන්නට මේ කලබගෑනිය නිසා බැරිය. අම්මාට තාත්තාට වැඩට යන්න පරක්කු වේ. අනික මේක සමත මණ්ඩලයට හෝ උකුස්සා ට නොදැනේ. උහු සුපුරුදු පරිදි රැස්වීම් තැබීම හා කුදලාගෙන යාම නම් වූ තම ක්‍රියා වල යෙදෙති. සමහරවිට අපේ ගෙදර වෙන හතර විහිළු වලට පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇත.

අද රෑටත් වලත්තුවේ යන්නට පූසාට ඉඩ හසර ලැබෙන්නේ අම්මා හා තාත්තා මේ ළමා උද්ගෝෂණය ගැන මිස පූසාගේ වලත්තකම් ගැන නොහොයන බැවිනි.

සමත මණ්ඩලයට ගිය නියෝජිත පිරිසට සුබ පතන අතර මොන්ටිසෝරි මල්ලිලා ගැන දුක් වෙමු. අඩෝ ගෙරි පූසා ගෙදර මට්ටමින් බඩු පෙරලගන්නේ නැතිව තෝ අල්ලා ගන්නට දවසක් එනතුරු අප බලා සිටින බව දැනගෙන හිටු.

18 comments:

  1. පූසාට මෙහෙම වීමට බලපෑ එකම හේතුව ගෙදර මීයන් නැතිවීමද යන්න ගැටලුවක් වන නමුත්, මීයන් සිටියානම් අනිත් කිසි ප්‍රශ්නයක් ප්‍රබලව මතුවෙන්නේ නැත. කලින් ගෙදරට ගෙනා පූසන් යලට මහට මීයෙක් ඇල්ලුවේ මේ ගැන දැන සිටි නිසා විය යුතුය.

    මේ ගැටලු ඇතිවීමට හේතුව වන මීයන් නැතිවීම යන කාරණයට සමාන කතාවක් මම තවත් තැනක දුටිමි.
    http://hippiesjournal.blogspot.com/2012/02/saga-of-caped-crusader.html

    ReplyDelete
    Replies
    1. මීයන් නැති කල පූසෝ මැටි වෙති.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඔය අතරේ පූසාව රැක ගැනීම යුතුකමක් කොට සලකන එවුවෝද සිටිති. එවුන් දෙස බලා මීයන්ට සපොට් කරන උන්ද.. පූසා එළවාගතහොත් ගෙදර සිටි ලොං හැළුන බලුමාල්ලාට තැනක් දිය හැකියැයි සිතා බලුමාල්ලා වටා රැස්ව සිටිනා උන්ද අරකී පූසා රැක ගැනීමටත් ඌ වෙනුවෙන් කතා කරන උන්ටත් ගොරවති..බැන වදිති.

    එහෙත් කලින් වතාවක් බලුමාල්ලාට ගේ බාර දී මීයන් විසින් ගෙදර උන්ගේ පශ්චාත් භාගයටද හිරිහැර කර ගිය අයුරු පූසාගේ පාර්ශවයේ උන්ට තවමත් මතක ඇත. කලක් යද්දී බලුමාල්ලාගේ පෙර ක්‍රියාකලාපය අමතක වූවායැයි සිතා බලුමාල්ලාගේ මයිල් පුම්බා ඌ කේසර සිංහයකු කොට පූසා සමග සටනට එවන්නට දත කෑවද ඒ පරඩැල් බලුමාල්ලාගේ හැළුන ලොං අතරින් පතර ඉතිරිව ඇති ලොං ගස් දෙක තුන පුම්බාගත් කල මතුවන්නේ විසුළු පෙනුමක් මිස අභිමානවත් ගතියක් නොවන බැවින් නිවසේ අභීමානය රැක ගැනීම යුතුකම සේ සලකන උන් තවමත් රටේ අඩුවක් නැතිව සිටිති..

    තව ලියන්නට දේ ඇති මුත් අනුප්‍රාප්තිකයා ආ නිසා මා දැන් ගෙදර යා යුතුය..බොහෝම හොඳ ලිපියක් සුජීව...

    ReplyDelete
    Replies
    1. අනුප්‍රාප්තිකයෙක් සිටීම ඉතා හොඳය.ඔහු ආ පසු ඉඩ දී ගෙදර යාම ඊටත් වඩා හොඳය.

      Delete
    2. මාරේ;

      ලොන්හැලුණු බලුරාල කල වැද්දා වැනි විවිධ සතුන් ගැන ලියන්නට කරුණු තිබුනද මෙය හුදෙක් ඉතාම කෙටි අදහසක්. හැබැයි ගෙදර මිනිසුන්ට පූසා දිගටම ගේම දුන්නොත් ආයිත් බල්ලා රජ වෙන එක වලකන්න බැහැ නේද? පූස් කක්කිත් නාන්න හැකි සීමාවක් තියෙනවානේ.

      Delete
  4. මේකට කියන්නෙ මොනවද කියලා සෑහෙන්න කල්පනා කලා...මොනවත් හිතට එන්නෙ නෑ.....
    ආ හරි...අපි ඔටුවොනෙ...

    ReplyDelete
    Replies
    1. [[අනුප්‍රාප්තිකයෙක් සිටීම ඉතා හොඳය.ඔහු ආ පසු ඉඩ දී ගෙදර යාම ඊටත් වඩා හොඳය.]]

      ඔය ටිකම මදැයි. මේකනේ අපිට අද නැත්තේ. මේ ප්‍රශ්නේ නේන්නම් මී පූස් කතාවේ තියන ලොකුම වොරිය.

      Delete
  5. අමුතුම විදියක කතාවක්. හදවතින්ම ලියලා තියනවා පේනවා. මේ වගේ කතා ලියන වෙන කෙනෙකුත් මතක් උනා.

    මීයොත් එක්ක්ද පූසොත් එක්කද වැඩියෙම තරහා? :D

    ReplyDelete
    Replies
    1. පූසා හදන්නේ ගෙදර කස්ටියයි. මීයෝ හැදෙන්නේ අහල පහල කසල ගොඩවලින් සප්ලයි ලැබෙන නිසාවෙනි. හරි නම් පූසා වටිනා සතෙකි. කක්කි ගා ගන්න තුරු පමණි.

      Delete
  6. පූසන් යැයි සිතා හොර පාරෙන් ගෙට රිංගා ගත් කලවැද්දන්ට කන්න බොන්න දීලා හදාගන්නකොට අපි ඔහොම වෙයි කියලා කිව්වා නේද? මේකෙන් ගැලවෙන ක්‍රම දෙකක් මම කියලා දෙන්නම්.

    ඉස්සෙල්ලම බලන්න කලවැද්දෝ ගේ ඇතුලට මංමුලාවැල් ගෙනල්ලා දාලද කියලා. මංමුලාවැල් අඳුනගන්න හරි ලේසියි. මදු වැල් වගේමයි හැබැයි පත්‍ර නිල්පාටයි. මල කුරහන් මලේ පාටට සමානයි. සාමාන්‍යයෙන් කලවැද්දෝ මේවා ගෙදර රූපවාහිනිය පිටිපස්සේ වගේම පරණ පත්තර අස්සෙත් හංගලා තියනවා. හොයලා බලලා හම්බවුනොත් විසිකරලා දාන්න. කලවැද්දො ගෙයි ඉන්නකං උං සැරින් සැරේ මේවා ගෙනත් දායි. ඒ නිසා නිතරම සෙවිල්ලෙන් ඉන්නත් වෙනවා.

    මංමුලා වැල් හම්බවුනේ නැත්තම් මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා බලන්න. http://en.wikipedia.org/wiki/Presbyopia

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් පූසාට ගේම දෙන්න කියා දුන්නට ඔහෙලා ඒ අස්සේ මීයෝ බෝ වෙන එකට සහය දෙනවා නේ. මීයන්ට ගුල් හදා ගන්න දෙනවා. අල්මාරිය මීයාටම දී මහාමාරිය හදා ගෙන ඉන්න කියා අපිට ටී වී එකේ කලකට පෙර කිව්වේ ඔයාලා කට්ටිය නේද? එතනයි අවුල.

      පූසා තාවකාලික කුඩා ප්‍රශ්නයක්. මීයෝ ඊට වඩා බරපතලයි.

      ඒ නිසා පූසා හදන එක මීයන්ගෙන් ස්වායත්තව හිතන්න අමාරුයි.

      Delete
  7. කලවැද්දන්ට විරුද්ධ වෙන හැමෝම මීයන්ට සපෝට් කියලා හිතන්න එපා. ඒක ඔහෙලට වෙච්ච ලොකු වැරැද්දක්. මංමුලාවැල් පෑගුනාම ඔයවගේ සම්බන්ධයක් නැති දේවල් අතර සම්බන්ධකම් පේන්න පටන්ගන්නවා. තාමත් ඔයා හිතාගෙන ඉන්නේ ඒ පූසෙක් කියලා නේද? ලොකුම මංමුලාව ඒකයි. කලවැද්දන් එලවා නියම පූසෙක් ගෙදරට ගෙනල්ලා මී කරදරයත් කලවැදි සවුදමත් සදහටම තුරන් කරගැනීමට ශක්තිය, ධෛර්‍යය, නැණණුවණ හා එඩිතරකම පහලවේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. තමුන්නැහේ ඇනෝ ආවාම වෙන ඒක අවුලක් ඕක. අහක යන බුලට් වැදීම. පුරස්න සමුහය "වියුක්තව" ගත්තොත්.

      - කලවැද්දාට/පූසාට විරුද්ධ එකාලා ඔක්කොම මීයට සපෝර්ට් නොකරති. හපොයි මීයා බාවන්න අපට සහය දුන් සෙට් එකකුත් ඉන්නේ ඇන්ටි පූස් හටනේ. මමත් ඩිංග ඩිංග ඇවිත් මේ වෙනකොට නම් පූසාට එරෙහි පැත්තේ ඉන්නේ.

      - හැබැයි කලවද්ද/පූසාට විරුද්ධ බව පෙන්නමින් මීයාට සපෝර්ට් කල බර පිරිසක් උන්නා.

      - මේකා කලවැද්දෙක් ද පූසෙක් ද කියන ඒක "කියවන්නාගේ දෘෂ්ටි කෝණයක්" මිස "වාස්තවික යතාර්ථයක්" නොවේ. ඒ නිසා උගේ ජෛව සම්භවය ගැන මෙවැනි හුදු උදාහරනයක ඔබ හා පැටලීම පලක් ඇති වැඩක් නොවේ. ඒ කිව්වේ ඔයාට ඕනෙනං "කලා" කියන්න මම "කිටී" කියන්නම්.

      - තමන් විසින් කලවැද්දා කියා ගත් සතෙකුද බලෙන් කුදලාන ගොස් අයතා පරිදි සූ එකේ කූඩුවක දමා ඇත. යන එන අය නිතර ෆොටෝ ගන්නා එකෙකි. ඒ නිසා ලේබකයා හෙවත් මමතුමා නම් ඔය සත්ව මෙටපෝරුව වෙන අයට දෙන්නට අකමත්තෙමිය. ඒ කියන්නේ පූස් වරිගයා හෝ මේ ඉන්න හිපාටුවා සිරා කියා නොවේ. අපට රැවටෙනවා නම් පූසේකුටමත් රැවටිය හැක.

      - හැබැයි මොකා වුනත් මීයා වඳ කල හැකි වූයේ මේ ඉන්න සතාට පමණි. ඒ නිසා ඌ ගෙන ඒම නිවැරදි බව දැඩි වගකීම්නේ කියන්නට හැක. මීයා අංක ඒකෙ ප්‍රශ්නයයි.

      - අපි මදුවැල් සමග කවදාවත් ගනුදෙනු නොකරමු. මී හටන සිටු රිපෝර්ට් හා බෝගල සවුන්දිරිස් [අන්තිම ටෙලිය] හැරණු විට අපි සැළලිහිණියා එක්ක මෙව්වා නොකළෙමු/නොකරන්නමු. අපේ පෙනීමේ අවුලකුත් නැත.

      - නියම පූසෙක් හද්ද මායිමක නැත. පුරස්නය ඇත්තේ එතනයි. ඕන තරම් නාම යෝජනා වුනත් ඥාව් කිව හැකි එකෙක් පෙනෙන්නට නැත.

      - ඔබව කවුද යන්න හෙළි නොකර ඇනෝ ආ විට මේ ගැන කතා කිරීම අපහසුයි. ප්‍රී ජජ් කරනවා විනා වෙන මොනවා කරන්නද? ෂමා වේවා.

      Delete
  8. නියම පූසෙක් ගෙදරට ගෙනඒමේ ප්‍රථම පියවර වන්නේ කලවැද්දාට කලවැද්දා යැයි බයනැතිව කෙලින්ම ඇමතීමයි. එසේ කලවිට කිටී, පූසී ආදී සුරතල් නාමවලට පුරුදුවී තමා කලවැද්දෙක් බව අමතකවී තමා පූසෙක් යැයි සිතාගෙන සිටින කලවැද්දාට තමා කවුදැයි නිවැරදි වැ‍ටහීමක් ලැබෙනු ඇත. ඥාව් කිව හැකි පූසෙක් හතර මානයක නැති බව බාගෙට සැබැවකි. මී සටනට පෙර ගෙදර සිටි මීයන් අල්ලන්න බැරි වයසක පූසියගේ අවසන් කාලයේ අප සිතා සිටියේත් ඥාව් කිවහැකි පූසන් හිඟ බවයි. නමුත් මී සටන අතරතුර සැබෑ පූසන්, කලවැද්දන්, හෝතඹුවන් පමණක් නොව ඌරන් පවා හරි හරියට ඥාව් ගෑ සැටි මතකද. සැබෑව නම් ඤාව් කිව හැකි පූසන් සිටියත් කලවැද්දන් එලවන්ට අප සූදානම් නොවෙනතාක් කල් උන් ඤාව් නොගාන බවයි.

    ReplyDelete
    Replies
    1. එලවමු බොස්. මම හිතන්නේ කාලේ හරි.

      Delete