Monday, June 29, 2026

රට ගිය ඇත්තන්ගේ ක්‍රීඩා ආක්‍රමණය

සංක්‍රමණික ලාංකීය පවුලක දැරියක් වන ටියානා සුමනසේකර කියන්නෙ ඇමරිකාවේ ජිම්නාස්ටික් ක්‍රීඩාවෙ උපරිම තලයේ ඉන්න ක්‍රීඩිකාවක්. එහෙත් ඇයට ඔලිම්පික් තරගවලට සහබාගි වෙන්න බෑ මොකද ලෝකෙ ඉදිරියෙන්ම ඉන්න ජිම්නාස්ටික් පිළක් නිසා කණ්ඩායමට තේරෙන් නෑ තරගය නිසා. ටියානාගේ ශ්‍රී ලාංකික සම්භවය භාවිතා කර ඇය ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්න තීරණය කරනවා.
 

මීට කළින් ලාන්කීය සම්භවය තියෙන විදෙස්ගත අය ලංකාව නියෝජනය කර තියෙනවා. උදාහරණයකට පිහිණුම් ඉසව්වෙන් ඉදිරිපත් වූ මයුමි රහීම් හා අබේසිංහ සොයුරන් ගන්න පුලුවන්. මයුමිගේ පවුලනම් සමහරවිට ලාංකීය පුරවැසි පවුලක් වෲත්තිය හේතුමත රටින් ගිහින් ඉන්නව වෙන්න පුලුවන් ඒත් අබේසිංහ පවුලනම් ඇමරිකාවට සංක්‍රමණය වූ අය.
 

ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වූ ජාතික ක්‍රිකට් ක්‍රීඩක ටී එම් දිල්ශාන් ගේ දුව ලිමන්සා ලංකාවේ 19 පහළ කණ්ඩායම නියෝජනය කරනවා වගේම මේ වනවිට කණ්ඩායමේ තීරණාත්මක භුමිකාවක් කරනවා. දැනට යන ඉන්දීය සංචාරයේ නම් ඇය මේ දක්වා ෆේල් ඒත් ඊට කලින් ගිය ඔස්ට්‍රෙලියා සංචාරයේ ඇය තමා තරගාවලියේ දක්ශතම ක්‍රීඩිකාව.
 

ලංකාව කිසිම නියෝජනයක් නොදක්වන අසුන් මත යාමේ ඉසව් වලට කැමත්තක් පෙන්වන ලන්කාවෙන් දරුකමට අරගෙන ගිය තරුණියක් වන මැතිල්ඩා තම උප්පත්ති අයිතිය මත අදාළ ඉසව්වට ලංකාව නියෝජනය කළා.
 

ලෝකෙන්ම අවලංගු වෙලා දෙසිය ගණන් රෑන්ක් වලට වැටිලා උන්න පාපන්දු පිළ නගා හිටවන්න ලාංකීය සම්භවය ඇති විදෙස්ගත ලීග ක්‍රීඩා කරන අය හොයල ඔවුන්ට ඉන්විටේශන් යවලා ගෙන්නාගත්තෙ ලංකාවෙ පාපන්දු බලධාරින්. දැන් මම හිතන්නෙ ලංකාවෙ හැදුන වැඩුන අය ටීම් එකේ ඉන්නෙ දෙක තුනයි. ඒ එක්කම රටේ පාපන්දු රෑන්කින් එක එකසිය අසූගානට ගේන්න ඔවුන් සමත් වෙනවා. ලෝකකුසලාන වලට ටීම් තෝරන්න තියෙන ආසියානු කුසලානෙ අවසන් වටයට තෝරන්න තියන ආසියානු පූර්ව තරග වටයට කබල් ම ටීම් තෝරන්න තියන ප්ලේ ඕෆ් මට්ටමේ තරග දෙකවත් දිනාගන්න බැරුව උන්න ලංකව යන්තම් පූර්ව වටය වෙනකම් ලංකාව ගෙනියන්න ඔවුන් සමත් වුනා. ඒවටයේදි තුර්ක්මේන්ස්තානය පරදවල තරමක විප්ලවයක් කළා ඉදිරියේදි ඉන් එහා මට්ටමකට යන සළකුණු පෙන්වමින්.
 

ලංකාව වගේම ක්‍රීඩාවෙන් කොන් වී ඇති කුඩා අප්‍රිකානු දූපත් රාජ්‍යයක් වන කාබෝවර්ඩේ (කේප්වර්ඩේ) මේ වැඩේම කරලා යවපු රටගිය ඇත්තන්ගේ පාපන්දු පිල ලෝක කුසලාන ගෲප් එකේ දෙවෙනිතැනට ඇවිත් නොකවුට් වටයට යනව දැන්.
 

ඔය මුලු ස්ටෝරියේම පේන දේනම් එන්න එන්නම ලෝකයේ ආර්තික හා මේන්ස්ට්‍රීම් ගත වීමේ නොහැකියා සහ විශමතා අර්බුදය ක්‍රීඩාව තුල උසස් පහත් කුල භේදයක් හදාගෙන යන බවයි. එන්න එන්න වැඩිවන ක්‍රීඩාවට අවශ්‍ය පිරිවැය දරන්න අසමත්වන සහ මේන්ස්ට්‍රීම් ලෝකයේ සම්මුතිගත දේවල් දැනුම පුහුණුව පහසුකම් ඩොමෙස්ටික්/ෆ්‍රැන්චයිස් ලීග ආදිය අහිමි පසල් දනව් රටවල් ක්‍රීඩාවෙන් අවලංගු වෙලා යනවා. මාලු දැල් කාලෙට දැල් ගොතලා ගාමන්ට් වල වැඩ කරල මිඩ්ල් ඊස්ට් මෙහෙකාරකමේ ගිහින් පින් චාන්සෙකක් තිබ්බොත් යන්තම් ත්‍රිවිධ හමුදාවට බදවාගෙන ජීවිතේ ගතකරන දූපතෙ පාට් ටයිම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ ලෝක මට්ටමේ සුපිරි පහසුකම් තියෙන ස්පොන්සර්ශිප් තියෙන ෆුල්ටයිම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්වන දස්කම් වලට එන්න අමාරුයි. ආවත් ඒ ආපු අයටත් අවසාන මට්ටම ලබාගන්න ඒ කිව්ව පහසුකම් අවශ්‍යයි. සුසන්තිකා යුපුන් තරුශි ආදින් රටෙන් එලියට යවල තියෙන්නෙ ඒ නිසානෙ.
 

වෙනේකක් තියා එදාපටන් රටේ තිබ්බ ක්‍රිකට් ක්‍රීඩාවත් කොමාශලයිස් වුනාට පස්සෙ අද ලංකාව වලපල්ලට යන මූලික හේතුවක් වන්නෙ හරිහමන් ෆ්‍රැන්චයිස් ලීග වලට සහබාගි වෙන්න රටේ උන්ට බැරිකම. මේකෙ පලය පේනවා ඒ වගෙ ලීග වලින්ම හැදෙන ඇෆ්ඝනිස්තානය නේපාලය ඇමරිකාව වගෙ රටවල අය කාන්තා ක්‍රීඩාව නම් ස්කොට්ලන්තය නෙදර්ලන්තය අයර්ලන්තය වගෙ එන්ගලන්ත ලීගවලින් පුහුණුව ලබන කෙල්ලන් ඉන්න රටවල් එක්ක බලද්දි අපේ දක්ශතා එන්න එන්නම පහලට යන ආකාරය දැක්කම.
 

මේ තත්වය යටතෙ ලංකාවට සිද්ද වෙනවා තමන්ගේ රටේ ක්‍රීඩාවේ රිසල්ට් එක වැඩි කරගන්න තමන්ට ආකර්ශනය කළ හැකි අය ගෙන්නාගන්න. මේක ඒ අය ඉල්ලීමක් කරල එන්නත් කලින් ලන්කාවෙන්ම ඉල්ලල ගෙන්න ගන්න වෙන තැනට ඇවිත් තියෙන්නෙ.
 

මේ වැඩේ හොර වැඩක්ද?
 

නෑ. මේ සියලු දෙනා එන්නෙ නිසි ලීගල් ග්‍රවුන්ඩ්ස් එක්ක. බොහෝ ක්‍රිඩා වලට උප්පත්ති අයිතිය ම ඇති. එහෙමත් නැති නම් මව්පියන් ඒ රටවල උපන් අය වීම මත ගන්න ඩුවල් සිටිසන්ශිප්ස්. කෝමත් රටක අවුරුදු කීපයක් හිටියම ඒ රටේ සිටිසන් නොවුණත් ඒ රටට සෙල්ලම් කල හැකියි. අසනීපෙන් ඉන්න තමන්ගෙ මාමා බලන්න සංචාරක වීසා දාල ඔස්ට්‍රෙලියා ආපු ඉන්දියාවෙ නිකිල් චෞදරි කෝවිඩ් නිසා ඔස්ට්‍රෙලියාවෙ හිර වෙනවා. ඒ වෙනකොට පන්ජාබ් වලට ගහල අයිපීඑල් යන්න හිතා උන්න ඔහුට පුලුවන් වෙනව බ්‍රිස්බේන් කල්බ් වලට ගහන්න සහ අවසානෙ බිග්බැශ් ලීග් එකට එන්න. අද ඔහු ඔස්ට්‍රෙලියාවට ක්‍රීඩා කරනවා, තාමත් ඉන්නෙ ටෙම්පරි වීස එකකින්.
 

මෙහෙම කරල දිනන එක සදාචාර සම්පන්නද?
 

මේක සදාචාර විරෝධි නම් ලෝකෙ දුප්පත් රටවල දක්ශ ක්‍රීඩකයින් සංක්‍රමණ හරහා බාගන්න ධනවත් රටවල් ඊටත් සදාචාර විරෝධියි නෙ. එංගලන්තෙ ක්‍රිකට් ටීම් එක යැපෙන්නෙම මව් පිය උප්පත්ති අයිතින් එක්ක එහෙට යන කොල්ටැක් ක්‍රීඩකයින්ගෙන්, දකුණු අප්‍රිකා හා සිම්බාබ්වේ වලින්. යුරෝපා රටවල් ධාවන රන් පදක්කම් ගන්නෙ අප්‍රිකාවෙන් ගෙන්නගත්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන්.
 

එහෙම නෙවි ලන්කාවෙ අයට අසාධාරණයක් වෙන්නෙ නැද්ද?
 

සම්පූර්ණයෙන්ම නෑ කියන්න බෑ. මොකද ලංකාවෙ පාපන්දු පිළ වගෙ එකක් ගත්තොත් රටේ උපන්න උන් දශක ගාණක් ඔය ප්ලේ ඕෆ් දෙක ගහල පැරදිලා ආවනෙ. දැන් උන්ට ඒ චාන්සෙකත් නෑ. හැබැයි ක්‍රීඩාව කියන්නෙම අදක්ශයින්ට අවස්තා අහිමි වෙන එකක්. රටක් උත්සහ කරන්නෙ තමන්ට අල්ල ගන්න පුලුවන් සීමාවේ ඉන්න කවුරු හෝ හොදම අය එකතු කරගන්න. මෙතන කූට ව්‍යාපාර හිතවත්කම් වෙන්නෙ නැත්නම්, රටේ සහබාගිත්වය වෙනුවෙන් ලැබෙන වයිල්ඩ් කාඩ් අවස්තා කොල්ල කන්නෙ නැති අවම පරිසාධන සුදුසුකම් සපුරන අයට ලෝක මට්ටමේ තරග වලට යන්න දුන්න කියල ලොකු අසාධාරනයක් මට පේන්නෙ නෑ. අඩුම ගානෙ ඒකෙන් ජාතික මට්ටමෙ තරගකාරිත්වය වැඩි වෙනවා. එස්ටැබ්ලිශ් වුන ලන්කාවෙ ඉන්න ක්‍රීඩකයන්ටත් පුලුවන් රට ගිය ඇත්තන් එක්ක තරග කරලා තම තත්වය උසස් කරගන්න.
 

ඒ වුනාට ඒ රටවල තියෙන පහසුකම් එක්ක පුහුණු වෙලා ඇවිත් ලංකාවෙ අවස්තාව ගන්න එක හරිද?
 

මම හිතන්නෙ මේකම තමා සීන් එක, එනම් ලංකාවට එෆර්ඩ් කරගන්න බැරි පහසුකම් හා පුහුණු කරුවන්ගෙ සේවය ලංකාව නියෝජනය කරන අයට ලබාගන්න අවස්තාව දීමක්. මේකමනෙ සුසන්තිකා කිව්වෙ එයාට ලංකාවෙ ඉදල ඔලිම්පික් මෙඩල් ගන්න බෑ ඒ නිසා අමරිකාවෙ වසර දෙකක්ද කොහෙද පුහුණු වන්නෙ. ලන්කාවෙ වියදමින් යුපුන් සහ තව ක්‍රීඩිකාවක් ඉතාලියට හා ජපානයට යවන්නෙත් ඒකනෙ. තරුශිට ස්පෝට්ස් ස්කොල් එකක් ලබාගන්න කට්ටියම වෙහෙසුනෙත් ඒකනෙ. ලංකාවෙ ක්‍රීඩකයින්ට තව තවත් ඒ අවස්තාව ලබාදෙනන් පුලුවන්නම් හොදයි. ඒත් අවස්තා සීමිතයි. එහෙම වෙලාවට වෙන රටවල ඉන්න අය තමන් උපයාගත් අවස්තා යොදාගෙන ලංකාව නියෝජනය කිරීමේ අවුල මොකද්ද?

ඔය එන අය එන්නෙ රටට ආදරේට කියලද හිතන්නෙ?

නෑ. බොහෝ විට නෑ. ඔවුන්ගෙ මුල්ම අරමුණ තමන්ට මෙඩල් එකකට යන්න තියෙන අවස්තාවක් භාවිත කිරීම. ටියානානම් ඒක එහෙමම කියනවා. හැබැයි යම් ආකාරයකින් ලංකාව නියෝජනය කිරිම තේරීමක් කරන ඒක ගෞරවයක් වෙන අයත් ඉන්න පුලුවන්. දිල්ශාන් නිසා ලිමන්සාට ලන්කාවේ වැදගත්කමක් තියෙනවා. ඇයට ඔස්ට්‍රෙලියාව නියෝජනය කරන හැකියා මට්ටමක් තියෙනවා (ඒක ඔස්ට්‍රෙලියාව එක්ක සෙල්ලම් කරලම ඔප්පුවෙලා තියෙනවා) ඒ වගේම ලන්කාව නියෝජනය කළ නිසා ඒ අවස්තාව අහිමි වෙනවා කූලින් ඕෆ් පීරියඩ් එකකට. එන අයටත් ඒ වගෙ කොස්ට් එකක් තියෙනව. ලන්කාවට සෙල්ලම් කරල එක පාරට ආපහු යන්න බැරි. ඒ නිසා එන අය එන්නෙ තනිකර ආත්මාර්තයට මයි කියන්න බෑ. හැබැයි ක්‍රීඩාව කියන්නෙ ඊගෝව ආත්මාර්තය උත්කර්ශවත් වෙන තැනක් නිසා කොහෙත්ම ඒකෙ වරදකුත් නෑ. එන හේතුව මොකක් වුනත් එන එක ලන්කාවටත් වාසියක්. රටේ උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රට වෙනුවෙන් සෙල්ලම් කරන්නෙ රටට පරම ආදරෙන් පරාර්තකාමීව කියල හිතා ඉන්න එකත් ලාංකීය ප්‍රකට මිත්‍යා ගණයට අයිතියි. ක්‍රීඩාව නිසර්ගයෙන්ම ආත්මාර්තය හා ඊගෝව සම්බන්ද දෙයක්.

එහෙම නෙවි මේ ලංකාවේ මහජන මුදල් කොල්ල කාල පිටරටවල ඉන්න උන්ට සෙල්ලම් කරන්න ලැබෙන අවස්තාවක් නේද?

ලංකාවෙ බොහෝදෙනෙක් හිතා ඉන්නෙ ක්‍රීඩා පවතින්නෙ ආන්ඩුවෙ සල්ලිවලින් ආන්ඩු පාලනය යටතෙ කියල. ඔය ක්‍රිකට් ආයතනය සම්බන්ද කතාවලත් අපි ඕක දකිනවා. ඒත් ක්‍රීඩා වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය වැය කරන්නෙ සුලු මුදලක්. ක්‍රීඩකයින් තම පුද්ගලික මුදලින්, ස්පොන්සර්ස් ලගෙන් (ලන්කාවෙ ක්‍රීඩාවේ ප්‍රධානම ස්පොන්සර් වන ත්‍රිවිධ හමුදව හරහා රටේ දුප්පත් ක්‍රීඩකයින්ටනම් රජය ලොකු වියදමක් දරනවා ස්පොන්සර් ලෙස) ඇඩ්වටයිසින් වලින් එහෙම. මේ ක්‍ර්‍ර්‍රීඩකයන් වෙනුවෙන් රජය වියඩම් කරන්න ඕනෙ නෑ එයාල දැනටත් ක්‍රීඩාව තුල තම වියදම් සපුරාගෙන ඉන්නෙ.

නෑ මන් කීයන්නෙ ඇයි අපි මේ අයට එන්න දෙන්නෙ, යන්න ගියානම් ඇයි උන් ආපහු මෙහෙ රින්ගන්නෙ?

මිනිස්සු මේකත් තේරුම් ගන්නෙ වරද්දලා. ඉස්සරින්ම දැන් ඔය "යන්න ගියා" කියන එකත් ඩිෆයින් කරන්න ලේසි නෑ. යුපුන් වගේ කෙනෙක් යන්න ගිහින්ද? ඔහු කලයක් ඉන්නෙ ඉතාලියෙ. ශෙහාන් ජයසූරිය යන්න ගිහින්ද? දෙවනුව, මේ බොහො දෙනෙක් බලෙන් ඇවිට් තමන්ගේ අයිතිය ඉල්ලනව නෙවි ලංකාව සිය කැමැත්තෙන් ඒ අයට එන්න දෙනවා. එහෙම බැලුවම යන්න ගිය සමහරුන්ට පාඩුවෙ ඉන්න නොදී ගෙන්නගන්නෙ ලංකාවෙන්මයි. ලංකාවට ඕනෙම වෙලාවක ප්‍රතිපත්තිමය තීන්දුවකට එන්න පුලුවන් නියෝජනය කරන්නෙ කවුද කියන එකට. එහෙම කලොත් මේ අයට මූලික මානව අයිතින් වගෙ එව්ව කියන්න බෑ. ක්‍රීඩාවේ නියෝජන නීති ලිහිල් වගේම රට රටවලට පහසුවෙන් වෙනස් කළහැකියි