Thursday, March 22, 2018

වර්ගවාදී කෝලාහල වල පසුබිම

මේක ගෙවීගිය  සති  කීපයේ (2018 මහනුවර  සිංහල  මුස්ලිම් ගැටුමේ) පසුබිම ගැන කෙටි සටහනක්. ෆේස්බුක්  එකෙ ලිව්වට බ්ලොග්  කලේ  ටිකකට  පස්සේ,  ඊට  එක  හේතුවක්  තමා  තත්වය  කොහෙට  හැරේද  කියා ඒ දවස්වල ෂුවර්  නැතිවීම.

ඇයි  මෙහෙම  වෙන්නේ?

1. වීදි ප්‍රචණ්ඩත්වය:

මම දකින ලෙස මූලික ගැටලුව මේක. වර්ගවාදී ගැටුම් කියල කිව්වට වර්ගවාදය ගැටුම් දක්වා යන්නේ වීදි ප්‍රචණ්ඩත්වය නිසා. රෝගය වීදි ප්‍රචණ්ඩත්වය, වර්ගවාදී ගැටුම් එහි සිම්ටම් එකක්, පොකට් ගහපු ගෙවල් කඩපු උන් අල්ලලා මැරෙනකම් ගහල පොලිසියට බාරදෙන තැන පවතින ප්‍රචණ්ඩත්වයේ අවුල ම තමා අනෙක් තැන්වලටත් යන්නේ. පොලිසිය සහ නීති පද්ධතිය ඒ ගැන තදින් ක්‍රියා නොකලා ම පස්සේ එය වර්ගවාදී ගැටුම් වලදීත් යොදා ගන්නවා.

මම හිතන්නේ ලංකාවේ පාරේ ඇවිදින බොහෝ මිනිස්සු සත්‍ය හෝ මවාගත් හේතුවක් මත ඒ පාරේම ඉන්න තව එකෙකුට ගහල මරන්න පුළුවන් හැකියාව තියෙන මිනිස්සු. මිනිස්සු එහෙම හිතන අය වෙන්නේ ඇයි කියල හිතුවොත් මේ ගැටලුවට මුල පෙනෙයි. මිනිස්සු නීති පොලිසි ගැන විස්වාස කරන්නේ නෑ, ප්‍රාථමික මට්ටමේ වෛරී හැගීම් නඩත්තු කරනවා. වීදි ප්‍රචණ්ඩත්වයේ මුල තියෙන්නේ එතන. 58, 83 ඇතුළු ලංකාවේ බොහෝ වර්ගවාදී ගැටුම් වලට ප්‍රධානම හේතුව වීදි ප්‍රචන්ඩත්වය

2. නූගත්කම/නොදැනුම/වැරදි දැනුම:

කිසිත් නොදන්නා කෙනෙකුට වඩා දෙයක් හරියට නොදන්නා කෙනෙක් භයානකයි. ලංකාවේ පවතින මූලික ගැටලුව දැනුම ගැන හරි කියවීමක් නැති කම. ඒ මතට අන්තර්ජාලය වගේ සීමා විරහිත මාධ්‍යයක් පතිත වුණාම මිනිස්සු මොන මොනවා කොහොම අවබෝධ කරගන්නවාද කියන එක හිතාගන්න බෑ. අනික දැන් පුවත්පත් වගේ මාධ්‍ය උනත් හෙවිල්ලක් නැතුව ගන්නේ ඒ අන්තර්ජාලෙන්. මෙන්න මෙහෙම වැරදි දැනුම එකතුවන්න හා සංසරණය කරන්න ලැබෙන අවකාශය සහ එය වටහා ගන්න තරම් අවබෝධ ශක්තිය අහිමි වීම තමා දෙවෙනි ප්‍රධාන හේතුව.

ලංකාව පාරම් බානවා අපි ඉහල සාක්ෂරතාවයක් සහිත රටක් කියල. හැබැයි ඒ ඉහල සාක්ෂරතාවය එන්නේ මිනිස්සු සබුද්ධික වෙලා ඉගෙනීම ලබාගෙන නෙවි. සුද්ද සහ දේශීය විද්වත් සමාජය හදල පස්සේ රජයෙන් පූර්ණ ලෙස නොමිලේ ලබාදුන් විශාල අධ්‍යාපන පද්ධතියක් තියෙන නිසා. මිනිස්සු ඒ අධ්‍යාපන පද්ධතිය දෙන සාක්ෂරතාවය දරන්න තරම් බුද්ධියෙන් මෝරා නෑ. බුද්ධිය මෝරා නැති සමාජයක සාක්ෂරතාවය ඉහල යාම එක අතකට අනතුරුදායක තත්වයක්. ඒ සමාජයට අන්තර්ජාල පහසුකමත් ආවාම ...

කෙසේ නමුත් මෙයට විසඳුම දැනුම හෝ දැනුම් මාධ්‍ය සීමා කිරීම නොවේ. එහෙම සීමා කිරීමක මුලින්ම සීමා වන්නේ නිවැරදි දැනුම මිස වැරදි දැනුම නොවේ. මෙයට විසඳුම ජනයාගේ කොමන් සෙන්ස් වැඩි දියුණු කිරීම පමණයි. ඒ සඳහා පදනම වෙන්න ඕනේ පවතින ආගමික වාර්ගික සංස්කෘතික පද්ධති. ඒ පද්ධති වලට ටීවී එකෙන් හූ කියල මිනිස්සු දැනුවත් කරන්න බෑ. ජනයා දැනුවත් කරන්න තාමත් තියෙන හොඳම මාධ්‍යය පන්සල් පල්ලි කෝවිල් තමා.

3.වර්ගවාදය:

ඔව් වර්ගවාදය තුනට දැම්මේ හිතා මතාම. මොකද පෙර කී කරනු දෙක වර්ගවාදයට වඩා වත්මන් අර්බුදයට හේතු වෙනවා. වර්ගවාදය රෝපණය වන්නේ ඒ හේතු දෙක විසින් ලේ හැලීම් සහ ගැටුම් වලට සමාජය දක්වන ප්‍රතිශක්තිය හීන කල පසුබිමක. මේ පසුබිමේ වර්ගවාදී වෙන්න එපා කිව්වට වැඩක් නෑ.

වර්ගවාදය කියන එක මම දකින්නේ රියක්ෂන් එකක් ලෙස. හැබැයි වර්ගවාදී කණ්ඩායම් රාශියක් ඉන්න නිසා එකිනෙකා ගේ ක්‍රියා, කල බවට සැක හිතන ක්‍රියා සහ නූගත් කම එක්ක මේ වර්ගවාද රියක්ෂන් එක අන්‍යොන්‍ය ලෙස වර්ධනය වෙනවා.

හැබැයි ලෝකේ බොහෝ තැන්වල වර්ගවාදී අදහස් හිත්වල කඩදාසි වල මිය ගියාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. වීදි ප්‍රචන්ඩත්වය ඒ වර්ගවාදී අදහස් වලට සරු බිමක් සපයනවා

උයාල වර්ගවාදී වෙන්න එපා ෆෙන්ස් කියල ලියල වැඩක් නෑ. වර්ගවාදී ක්‍රියාවලට බලපාන පසුබිම් සිද්ධි බාහිරයෙන් එන අන්තවාද , විවිධ දේශපාලන කල්ලි සහ විවිධ විකාර නීති පද්ධති ඉවත් වෙන්න ඕනේ සක්‍රිය සෙකුලර් තනි නීතියක් ලබාදෙන සුරක්ෂිතබව වර්ගවාද යටපත් වෙන්න හේතුවෙයි.

ඒ මිසක වර්ගවාදීන්ට කුණුහරුපෙන් බැන්න කියල උන්ගේ වර්ගවාදී සිත් නිවී පහන් වෙන්නේ නෑ.

4. පාර්ශ්වික මානවවාදය:

කට්ටියකට අනුව සුළු ජාතින් තොත්ත බබ්බු. තව කට්ටියකට අනුව සුළු ජාතීන්ට ප්‍රචණ්ඩව හැසිරෙන්න පරම අයිතියක් තියෙනවා. මේ මතවාද කියන්නේ බොහෝ දැන උගත් තමන් මානව ප්‍රේමින් ලෙස හඳුන්වන පිරිස්. එහෙත් මේ පිරිස් වක්‍රව කරන්නේ ඇවිලෙන ගින්නට පෙට්‍රල් දැමීමක්. මෙයාල ප්‍රධාන ප්‍රවාහය ග්‍රහනය කරගන්නේ නෑ. මෙයාල මහජාතිය තියා සුළු ජාතියටවත් ආමන්ත්‍රණය කරන්නේ නෑ. මෙයාල කරන්නේ උන් තවත් අවුලන එක. ප්‍රකෝප කරන එක.

මේ සෝ කෝල්ඩ් මානවවාදීන් කියන ආකාරයෙන් ම ඔවුන් කරන්නේ සිය කේන්තිය පිටට දැමීමක්. ඒ උදෙසා පාර්ශ්වීය ලෙස ප්‍රකෝපකාරී කතාවක් ලියනවා. උන්ගේ කේන්ති සහගත කතා ප්‍රශ්නය තවත් අවුලනවා.

අනික ඔවුන් මෙසේ කරන්නේ ගැටුම සමතයට පත්කරන අරමුණින් නොවේ. තම කේන්තිය පෙන්වීම, තමන් ලොකු මානවාවාදියෙක් කියා පෙන්වීම, තමන්ගේ පොරභාවය ප්‍රදර්ශනය කිරීම සහ දේශපාලන ඇරියස් ඇල්ලීම තමයි අරමුණු වන්නේ. මේම අර්බුදයේ භයානකම සහ දුෂ්ටම පාර්ශ්වය මොවුන්.

5. වාරණය:
සමාජ මාධ්‍ය  වාරණය කරලා රටේ කෝලාහල නැති කරන්න බෑ. මාධ්‍ය නොවන තනි පුද්ගලික සන්නිවේදන ක්‍රම සක්‍රීයයි. අවශ්‍ය නම් එස් එම් එස් වගේ ක්‍රම වලින් ඊමේල් වලින් සංවිධානය වෙන්න පුළුවන්. ඒ ඔක්කොම නැති අවස්තාව සියල්ලට වඩා භයානකයි මොකද එතන සක්‍රිය වන්නේ කටකතා පමණයි.

එපමණක් නොවේ. වාරණය සමග කෝලාහල වලට පෙළඹෙන අයට හැගීමක් දෙනවා තත්වය මීට බරපතලයි ඒ නිසා තමා වහන්නේ කියල. ඒ නිසා වහල දැම්මම උන් තවත් වැඩියෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා, කල යුත්තේ පුවත් වේගවත්ව ජනයාට ලබාදීම. ඒ සඳහා මාධ්‍ය දැනුවත් කිරීම.

6. මිත්‍යා:

මේ සමග කතිකාවට ගන්නවා මම දැක්ක මිත්‍යා වාරණය කල යුතුයි කියල. මිත්‍යා කියන්නේ මොනවාද? මිත්‍යා තීන්දු කරන පද්ධතිය කුමක්ද? මිත්‍යා තීන්දු කරන්නේ ආණ්ඩුවෙන්ද? ආණ්ඩුවේ මතය නොවන සියල්ල මිත්‍යා කියල කිව්වොත් මොකද කියන්නේ? මේ වගේ නිසි අර්ථ දැක්වීමක් දෙන්න බැරි දේවල් වලට 
වාරණ ලයිසන්  ලබාදීම හරියට හිස් කොලේක අත්සන දාල දෙනවා වගේ වැඩක්.

මිත්‍යාවට එරෙහිව කියල ලංකාවේ කරන්නේ මිනිස්සුන්ට මැද ඇඟිල්ල පෙන්නලා රෙද්ද ඉස්සීම තමා. එව්වා නිසා වෙන්නේ මිනිස්සු තවත් විකර්ෂණය වීම පමණයි. අර යතා රූප කියල කොමිටලයක් ගියේ මං පොර සමාජ විරෝධීන්ට මිනිසුන්ට සරම උස්සන්න ග්‍රවුන්ඩ් එකක් හදාපු. ඔව්වයෙන් වෙන්නේ මිත්‍යාව පැතිරීම නැවතීම නෙවි මිත්‍යාවට ගොදුරු වෙච්ච එකා ප්‍රකෝප වීම.

Tuesday, March 20, 2018

ගැටී කතා [සාපරාධි ජූරි තීන්දුවක් ගැන මෙතෙක් හෙළි නොවූ අභිරහසක් සමග]

මේ සීන්ස් එක වෙද්දී මට වයස දහයක් දොළහක් වගේ. ඒ කාලේ මම නර්ඩ්වරයෙක් ලෙස අධ්‍යාපනය ගැනම කාලය යොදමින් ලොකු ඉස්කූල්ස් එකකට යන්න සිස්සත්තේ කොරගෙන යන කාලේ [මේක ලොකු ඉස්කූල්ස් ගැන නෙවි, ඒ වුනාට නෙවිත් නෙවි]

පොතේම ඇලිලා ඉන්න නිසා අම්මලා බලෙන්ම වගේ හන්දියට එලෙව්වා [ඔව් අපි එහෙමයි] කඩෙන් මොනවදෝ අරගෙන එන්න කියල. ඒ යද්දී මගේ හිතෙසිවන්ත කොමට අහල පහල ගෙවල් වල සමවයස් බුවාස් ලා කීපෙකුත් මාත් එක්ක ආවා. මුන් ඇත්තෙන්ම මගේ සපිරිවර ලෙස සලකන්නට ඕනා.

ඔය සන්දියේ ඒ හරියේ එක ගෙදරක පියා විදෙස ගත වූ බැවින් සහ ඒ නිසාම එයාලට සල්ලි තියෙන බැවින් ඒ ගෙදර "බබාලා" බලාගන්න දුර පලාතකින් "කොලුවෙක්" අරගෙන ඇවිත් තිබ්බ "සකලබුජන්" ධූරයට. දැන් මේ හරියට කොටු දාලා ඩිස්ක්ලේමර් දාන්න ඕනේ මේක නීති විරෝධියි, ඩෝන්ට් ට්‍රයි ඇට් හෝම් කියල. ඒ වුනාට ඉතින් එක්කගෙන ඇවිත් තිබ්බ. ඌ අපිට වඩා පොඩි ගානක් වැඩිමල් ඇති, ටිකක් උස මහත එකා. ඌ ගැන දැනගන්න ඌ ඉස්කොලේකටවත් ආවේ නැහැනේ. ඉතින් අපේ ගමේ ඉස්කූලියන්ස් වරු අතර ඌ ගැන තිබ්බේ හරියටම ඉහල ශික්ෂණයක් සහිත ඉස්කූලයක ඉස්කූලියන් කෙනෙක් එහෙම ශික්ෂණයක් නැති පාසලක අනන්‍යතා නාම රහිත එකෙක් ගැන තියෙන්නා වගේ පිටසක්වල ෆීලින් එකක්.

අපි කඩේට ගිහින් ආපහු එද්දී ඌවත් නෝනා කඩේ යවලා ඌ අපිට තරමක් පස්සෙන් එමින් උන්නේ. සාමාන්‍යයෙන් උගේ සමාජ තත්වය පහල වැටී තිබීමත් සමහරවිට ඌ අපේ ඔක්කොටම වඩා හයේ හතරිෂ් වීමත් නිසා අපේ එවුන් ගැන්සිය ඌට වීලු කොරන්න ගත්ත. මම සාමාන්‍යයෙන් එහෙම එව්වට සහබාගි වෙන්නේ නැහැ හැදියාවම නෙවි අනාගතේ දවසක මුන් ටික නැතිව ඌව තනියම මගදී හමුවීමේ සම්බාවිතාවය ඔලුවේ කොනක කීක් ගාන නිසා. හැබැයි මට ගටක් තිබ්බේ නැහැ මුන්ට එපා කියන්නත්. මම ඉතින් මේක ඉග්නෝ කරලා මුනුත් එක්ක ආවා. මුන් එන්න එන්නම ඌට නොහොබිනා දේවල් කිව්වා. උගේ නික්නේම් සියල්ල ද වැඩකාරයා කියන පහත්කුල වදනද තව කුණු හබ්බද ඌට දෙසන්න ගත්ත.

අර කොලුවට කියන්න දෙයක් තිබ්බේ නැහැ. ඌ සියල්ල ඉවසා දරා ඉඳලා එක මොහොතක පාරේ තිබ්බ ජම්බෝලයක් විතර සයිස් ගල් ගෙඩියකින් අපිට ගැහුවා. ඇත්තෙන්ම ඒක ලොකු ගලක් නිසා ආවේ බම්ප් වෙවී. ඒක අපේ එකෙකුගේ පිටේ හැපුණා. ඒ වෙද්දී සැහෙන ස්ලෝ වෙලා තිබ්බේ හැබැයි ඒත් ඌ වැටුනා.

මේ දක්වා සිද්ධිය ඉග්නෝ කළ වැඩිහිටියන් වහාම පොලිසිය බවට පත් වුනා. ඒ සමගම ගල් පාර කාපු එකාගේ අම්මා ආඩපාලි කියාන ආවා. කොලුවගේ නෝන ඇන්ටිත් දුවගෙන ආවා.

කොලුවා විත්තිය වශයෙන් දිගටම කිව්වේ අපේ ගැන්සිය ඌට කියූ අසමජ්ජාති කතා. ඌ වේදනාවෙන් හඬමින් දිගටම එව්වා කිව්වා. මගේ පිරිවර ක්ෂණික බෝධි වෘක්ෂ වී ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. පාරේ කිසිවෙක් මේක නෝටිස් කරලත් නැහැ.

අවසානේ වුණේ කොලුවාගේ නෝනා ඇන්ටි තීන්දුව දෙන්න ජූරිය වශයෙන් මාව පත්කිරීමයි. ඒකට හේතුවක් තිබ්බ. මොකද අපි ඒ කාලේ මැච් බලන්න ගියේ ඔය ගෙදරට [ගමටම ටීවී ඕනෙනම් දෙකක් තියෙන්න ඇති] ඒ අවස්ථාවල කීකරුව අහිංසකව ඉන්න මම වගේ හොඳ දරුවෙක් රිලයබල් කියල ඒ ඇන්ටි හිතුවා. ඉතින් ඒ නිසා කෙලින්ම කිව්වේ "පුතා කියන්න මෙයාට අරගොල්ලෝ නරක කතා කිව්වද කියල"

නෝනාවරුනි මහත්වරුනි, ගැට්ටක සාමාජිකයෙක් වීමේ අර්බුදය පටන් ගත්තේ ඔතනින්. මම මුලුහිතින්ම කොලුවා ගැන දුක් වුනා. මගේ ගැට්ටේ උන්ගේ අමන ක්‍රියා මට කොහෙත්ම එකඟ විය නොහැකි බවත් තේරුනා. හැබැයි උන් මගේ ගැට්ට. උන් ආවේ මම නිසා, මාත් එක්ක. මගේ සපිරිවර. ඉතින් මම කොහොමද කියන්නේ ඔව් ඇන්ටි මුන් මග දිගටම "නරක කතා" තමා කිව්වේ කියල. මම "නැහැ" කිව්වා.

මගේ ජූරි තීරණයෙන් වරදකාරයා වෙච්ච ඒ කොලුවා ටික දිනකින්ම උගේ ගමට එළවා දැම්ම බව මට ආරංචි වුනා. ඊට පස්සේ හැමෝම සන්තෝසෙන් ජීවත් වුනා.

කොලුවා ඇරෙන්න. ඇත්තෙන්ම ඒක මම දන්නේ නැහැ, ඒ වුනාට මම එහෙම හිතුවා. ඌ උගේ තාත්තාගෙන් රීප්ප පටි පාරවල් කාල බඩගින්නේ ඉන්න හැටි මගේ හිතේ අවුරුදු ගානක් වද දුන්නු ප්‍රශ්නයක්.

ඔකේ ගැටලුව තියන්නේ මම ගැට්ටක උන්නු එකේ. ගැටී කියන්නේ සංකල්පීය කුට්ටි. දැන් මේ සෙට් එක මගේ පිරිවර වීම සංකල්පීයයි. කෙනෙක් අහවලියන් කෙනෙක් වීමත් සංකල්පීයයි. ගැට්ට ගැන්සිය පාසල ජාතිය ආගම වගේ එව්වා පවතින්නේ නැහැ. මිනිස්සු නිර්මාණය කරනවා. පාසල කියන්නේ බිල්ඩින් ගුරුවරු සිසුන් උපකරණ වගේ ද්‍රව්‍යමය දෙයක් නෙවි. එව්වා සියල්ල බාහිර ලෙසයි සම්බන්ධ වන්නේ පාසල තියෙන්නේ හාට් එකේ තනිකර සංකල්පීයව. සියලු ගැටී එහෙමයි.

මම දැන් කියන්නේ මම සියලු ගැටී ප්‍රහීන කළ උදාන පාටය නොවේ. අපි හැමෝම මොකක් හෝ ගැට්ටක් ගහගන්නවා. මම සැලකුවත් ලංකාව කියන ගැට්ටත් ක්‍රිකට් ටීම් එක කියන ගැට්ටත් එහෙමයි. හැබැයි අපි අපිවත් විවේචනයට ඇතුළු කරලා කතා කලොත්, ඔය ඕනේ ගැට්ටක ඉන්නකොට හැසිරෙන්න වෙන්නේ මම ජූරිය ලෙස දුන්නු ඒ අමන කෲර තීන්දුව වගේ තමා.

ඔය ගැටී  වාදේ  ලංකාවේ  ලේ  වලම තියෙන  එකක්.

තව සීන්  එකක්  කිව්වොත්; ඉස්සර මම කාලයක් ගෙදර සිට කොළඹ ඔෆිස් ට්‍රැවල් කළා. ඒ කාලේ නැග්ගේ හයට ඉස්ටෙසමට එන ස්ලෝ කෝච්චියේ. ඔකේ ඉන්න බුවාලා හතට එන එක්ස්ප්‍රස් එකත් එක්ක අමු තරහයි. මොකද සමහර දාට හතේ එක ස්ලෝ එක ඕවටේක් කරනවා. ඒ නිසා හයේ එකේ එවුන් පතන්නේ හත කැඩිය කියලා.

ඊට පස්සේ බෝඩිමක් හොයාගෙන මම සඳුදට එද්දී ආවේ හතේ එකේ. ඒ කාලේ දැනගත්ත පරිදි හතේ එකේ එවුන් හයේ එකත් එක්ක තරහයි. උන් පතන්නේ හය කැඩිය කියල.

ඕවටේකින් දෙකෙන්ම වෙනවා අරු මූව නැවත මූ අරුව. ඒ හැම විටම ඉස්සර වෙන එකාගේ උන් අනික් උන්ට හූ කියනවා.

ඒකත් කමක් නැහැ කියමුකෝ. එකම පලාතක නිසා සෝෂල් ලයිෆ් එකේදී උන් මුණ ගැහෙනවා. අන්න ඒ හමුවීම් වලදී හයේ ගැට්ට හා හතේ ගැට්ට ඉන්නේ වෙනම. අනිත් ගැට්ට සමග ෆිට් වීම ඉතාම නොහොබිනා දෙයක් ලෙස සැලකෙනවා.

මේ අවුරුදු තිහ   හතළිහේ එවුන් ඕයි. පිස්සු ලෝකයක්.

නිකන් ලිව්වේ ... ඒත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දවස්සල මොකද්දෝ ටෙලි නාට්ටි දෙකක් අල්ලාගෙන කට්ටිය නටන නාඩගමක් අළලා දැම්ම කියල. 

Saturday, March 17, 2018

ගැහැණු ළමයි කතාවේ කුසුම් නොදුටු විශ්ව ගම්මානය

මේ  ෆේස්බුක්  මිතුරියකගේ  පිටුවෙන්  උස්සන  පින්තුරයක්.  ස්තුතිය  රාධා  ලියනගේ  ඔබට.



පොත කියවා නැති නිසා මේක පොතේ කොටසක් දැයි ටක්කෙට දන්නේ නෑ. එහෙම නොවුනත් මට කියන්න ඕනේ දෙයට බාධාවක් නෑ.

මේක 1960-1990යුගය ගැන කියවීමක්. ලංකාව සහ විශ්ව ගම්මානය ගැන එක්තරා යුගයක ශේෂ වූ කතාවක්.

මෙහි පර්ස්පෙක්ටිව් එක පමණක් සළකා සරළ ලෙස කැඩුවොත් 60 දශකය කියන්නේ විශ්ව ගම්මානේ නැති කාලේ ලංකාව ඔහේ කාත් කවුරුත් නැතුව කාත් කවුරුත් නොදැන ජීවත් වෙච්ච දශකයක්. 70 දශකය කියන්නේ ලෝකය ක්‍රමයෙන් සම්බන්ධකම් හදාගෙන ඒ විශ්ව ගම්මානේ හදාගෙන එන කොට ලංකාවේ අම්ම බය වෙලා ගේට්ටුව ලොක් කරලා දොර ජනෙල් වහල ළමයි ටිකත් තුරුල් කරගෙන ගේ ඇතුලේ බඩගින්නේ ලැගපු කාලයක්. 80 දශකය කියන්නේ අම්ම ගෙයි දොර ලොක් කල නිසා ලොක් එක කඩල ඒ මදිවට දොරත් කඩල ඒත් මදිව ගේත් කඩල කුලෑටි ලාංකිකයා අමු නිරුවතින් ඉසට හෙවනකුත් නැතුව ලෝකෙට නිරාවරනය කරාපු කාලයක්.

දැන් මේ කාලය තුල ලංකාවට එළියෙන් සිංගප්පුරුව ස්වෙට් හවුස් දාල ධනවාදේ අන්ත නරක ක්‍රමේට හැදුනා. චීනය වහල් කඳවුරු දාල සංස්කෘතික විප්ලවේ කරලා ඊට පස්සේ විශේෂ ආර්ථික කලාප දාගෙන එක්තරා කොමිනිස්ට් රාමුවකින් ඇවිත් ධනවාදය එක්ක මුහු වෙලා හැදුනා. කොරියාව සාම්ප්‍රදායික බර කාර්මික රාමුවෙන් තායිවානය ලුහු කර්මාන්ත වලින්.

ඔය මුළු කාලෙම ලංකාව ගෙව්වේ එකම මෝඩ කුණු මුල්ලක. සිම්ප්ලි ලෝකය එක්ක අනුගත නොවෙන කුණු මුල්ලක.

ඉතින් ලංකාවේ බොහෝ කුසුම් ලට ඉස්කෝලේ ඉගෙන ගන්න තිබ්බේ ආට්ස් විතරයි. ඊට පස්සේ යන්න තිබ්බේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාල විතරයි,. ඊට පස්සේ ආණ්ඩුවේ රස්සාවක් නොලැබෙන්න ඉතිරි වෙලා තිබ්බේ වහබොන්න විතරයි.

ආ තව එකක් තිබ්බ. ඒ තමා මාක්ස්වාදී දේශපාලනය. ඒ හරහා එක්කෝ පොෂ් වාම ක්‍රියාකාරියෙක් වෙන්න. නෙවිනම් ජවිපෙ එක්ක විප්ලව කරන්න. මේ සටහනේ අපි දකින්නේ ජවිපෙ තිඹිරිගෙය. ජවිපෙ බිහි වූ සත්‍ය හේතු. එකල සමාජය තුල තිබ්බ විකාරය.

78 ගේ කඩා දැම්මම මිනිස්සු යුද්ද දෙකකත් පැටලුනත් 90 දශකේ වෙද්දී ලෝකේ තිබ්බ දේවල් ලංකාවට ආවා. ලංකාව විශ්ව ගම්මානේ මොන කුණු මුල්ලක් වුනත් ගමේ තැපැල් කන්තෝරුවෙන් ලියුම් ටික බෙදෙන නිසා ගමේ කඩපිලෙන් කන්සියුමර් ප්‍රොඩක්ට්ස් ගෙදරට ලැබෙන නිසා මිනිස්සු වෙනස් වුනා. අද වෙද්දී ළමයෙක් ආට්ස් ම කරන්න ඕනේ නෑ. කැම්පස් ම යන්න ඕනේ නෑ. ආණ්ඩුවේ රස්සාවක් ම කරන්න ඕනේ නෑ.

අද වෙද්දී කියල ලෙහෙසියක් වෙලා නෑ. ඉස්සරටත් වඩා අමාරුයි. එහෙම වෙන්නත් ඕනේ මොකද වැඩිවන ජනගහනය එක්ක ජීවිතේ අමාරු තමා වෙන්නේ. හැබැයි එදා තිබ්බ ඒකාකාරී විකල්ප රහිත ජීවිතය අද නෑ. අද මිනිසුන්ට මහන්සි වුනොත් කරන්න දේවල් තියෙනවා.

කවුරුත් අපිට කොරල දීල නෙවි. අපි අපිට කොරගෙනත් නෙවි. නිකම්ම නිකම් වෙච්ච වෙනසක්. විශ්ව ගම්මානේ නිසා.

හැබැයි අදටත් විශ්ව ගම්මානේ ලියුම් බෙදන්නේ රටේ කොටසකට විතරයි. එහි කන්සියුමර් ප්‍රොඩක්ට්ස් වලට ඇක්සස් තියෙන්නේ කොටසකට විතරයි. එනයින් විශ්ව ගම්මානෙට සෙට් වෙන්නේ රටෙන් කෑල්ලක් විතරයි. අන්න ඒ කෑල්ලෙන් එපිටහ රටේ ඉතිරියේ තාමත් ඉස්කෝලේ ඉගෙන ගන්න ඇත්තේ ආට්ස් විතරයි. ඊට පස්සේ යන්න ඇත්තේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාල විතරයි,. ඊට පස්සේ ආණ්ඩුවේ රස්සාවක් නොලැබෙන්න ඉතිරි වෙලා තියෙන්නේ වහබොන්න විතරයි. නෙවී නම් ජේ වී පී කරන්න.

විශ්ව ගම්මානේ ජීවිතේ වටිනාකම එය ලෙහෙසි නිසා නොවේ, එය ඔබට සපයන දහසකුත් එකක් විකල්ප නිසා. දහසක් අවස්ථා නිසා, සිම්ප්ලි ඒකෙ අස්සේ අනාත වෙන්නේ නැති නිසා. ගැහැණු ළමයි කතාවේ කුසුම් ගේ මේ ජීවිත අබග්ගය තුල ඇයට අවශ්‍ය ජීවිතේ ලෙහෙසි කරදීම නොවේ ජීවිතේ අවකාශයන් විකල්පයන් අවස්තාවන් හැකිතාක් විවර කරදීම.

Saturday, January 27, 2018

පෙර පාසල් සහ බස් හෙවත් රාජ්‍ය යාමනයේ මුග්ධ භාවිතා

පෙර පාසල් කියන්නේ මට ටිකක් සමීප සබ්ජෙක්ට් එකකි. ඒ නිසා මේ ගැන ගණන් ඉලක්කම් සමග කතා කල හැකිය. සිඩ්නි නගරයේ පෙරපාසල් පවත්වාගෙන යන්නේ දිනකට එක්තරා මුදලක් දරුවෙකුගෙන් අය කිරීමෙනි. මව පියා දෙදෙනාටම රස්සා නොකර ඉන්න බැරි ගානට දුවන නගරයක් නිසා ඉතාම කුඩා අවධියේ සිටම ළමයින් ඉන්නේ මේ පෙරපාසල් වලය. ඒ නිසාම ඒවායේ තත්වය උසස් ලෙස පවත්වා ගන්නට අවැසි ය. තද යාමන නීති පද්ධතියක් මෙන්ම රජයෙන් ඒ සඳහා විශාල මුදලක් ද වැයවන්නේ එබැවිනි. මුදල ගෙවන්නේ පෙරපාසල් බිලෙන් කොටසක් ලෙස මව්පියන්ටයි.

රජය විසින් ද පෙරපාසල් පවත්වාගෙන යයි, ඒවායේ මිල ගණන් ස්ථාවර ඉලක්කමක පවතී. එහෙත් පුද්ගලික අංශයට වෙනත් පෙර පාසල් පවත්වා ගන්නට බාධාවක් නැත. එසේම ඒවායේ මිල ගණන් අඩු හෝ වැඩි කරන්නට ද බාධාවක් නැත. එසේම ඒවායේ ලබාදෙන දේවල් වල නීතිමය සීමා ඇත්තේ පහල අන්තයට පමණි. අඩුම තරම ලෙස හඳුනා ගන්න කිසියම් සේවා මට්ටමක් ලබාදීම අනිවාර්ය වේ. ඊට වැඩියෙන් දෙන ඒවා ගැන ඇත්තේ දරුවන්ගේ ආරක්ෂාව යහපත ආදිය සම්බන්ධ සීමිත කොමන් සෙන්ස් නීති පමණි [උදාහරණයකට පෙර පාසලක සත්වෝද්යානයක් හදන්න හෝ බාර් එකක් දාන්න බැරිය]

පුද්ගලික අංශයේ පෙර පාසල් වලට ආදායම වැඩි කරගැනීමට අවශ්‍යය. රිසි සේ මිල ඉහල දැමිය නොහැක්කේ රජයෙන් එක්තරා මිලකට සේවා සපයන නිසාය. ඒ නිසා ඒ ගණන දෙපැත්තේ එක්තරා මට්ටමක් තුල රැඳෙන්නට ඔවුන්ට සිදුවේ. මේ නිසා පුද්ගලික අංශය එක්කෝ සේවාව කුණු කොල්ලයට දී දරුවන් ගණන වැඩි කරගන්නට බලති. එහිද ප්‍රායෝගික සීමා ඇත. එක ගානකට වඩා අඩුවෙන් බිස්නස් එක වයබල් නැත. ආණ්ඩුව ඉන්නේ ඒ ගණන ආසන්නයේමය.

අනෙක් ක්‍රමය නම් වැඩිපුර ෆීචර්ස් දීමයි. ඒ අනුව එක්කෝ වැඩි ෆීචර්ස් මගින් වැඩි දරුවන් පිරිසක් එකතු කරගන්නට හෝ වැඩි ෆීචර්ස් වෙනුවෙන් වැඩිමිලක් අයකරන්නට පිළිවන.

මේ අනුව මා දන්නා එක පෙර පාසලක් යෝගා, සංගීතය, විවිධ භාෂා, ලෙගෝ [බිල්ඩින් බ්ලොක්ස්] ආදී පහසුකම් සපයා දිනක මිලට 30% පමණ එකතු කරන්නට පවා පෙළඹුණි. මෙහි සාර්ථකත්වය තවම නොදන්නා නමුත් මේ ගැන මාධ්‍ය හරහා ලොකු හා හෝවක් ඇතිවිය.

සමහර මාධ්‍ය වෙදිනියකට අනුව සමහර දරුවන්ට බේසික් දේවල් ලැබෙද්දී මේ දරුවන්ට අසාමාන්‍ය දේවල් ලබා දීම වරදකි. එහෙත් මේවා පාලනය කරන හෝ ඉවත් කරන නීති වැටුණේ නැත. මේ වෙනස්කම් කොහෙන් හෝ ඇතුළු වීම වැදගත් ය. මේම ව්‍යාපාර සැලසුම සාර්ථක වුවහොත් බොහෝ දෙනෙකු මේ පහසුකම් කොපි කරනු ඇත. ඒ අනුව කාට හෝ නැති නිසා හැමෝටම නැති කිරීම වෙනුවට, කාට හෝ ලැබීම නිසා හැමෝටම හෝ වැඩි පිරිසකට අනාගතේ ලැබෙන තත්වයක් නිර්මාණය වේ. දියුණුව කියන්නේ එහෙම එකකි. අර මාධ්‍යවේදිනිය නෙගටිව් තින්කර් කෙනෙක් ලෙස එදාම නම් කරන්නට අනෙක් අය ඉදිරිපත් විය.

අප රාජ්‍ය යාමනය අගයන්නේ රාජ්‍ය යාමනය සහ සම්මත මිලට දෙන රාජ්‍ය අංශයේ සීමිත සේවාව නැතිනම් පෙර පාසල් ඉතාම අප්‍රසන්න කොලිටියක් නැති අධි මිල ස්ථාන වන නිසාය. එහෙත් ඒ මූලික සේවාව සහ යාමනයෙන් එහාට රජය අවශ්‍ය නැත. ඒ මත නිදහස් වෙළඳපොල නිර්මාණය විය යුතුය. ඒ මත වැඩියෙන් සේවා සපයා වැඩියෙන් කස්ටමර්ලා අද්දා ගන්න හෝ වැඩි මිලක් අය කරන්න නිදහස දිය යුතුය.

සටහන ලිව්වේ ලංකාවේ පුද්ගලික දුරගමන් බසයක් නොමිලේ වයිෆයි සහ ශීතකරණ සේවා ලබා දීමට එරෙහිව උසාවි නියෝගයකින් ඒවා ඉවත් කරවීම අළලා ය [
සමහරවිට රියල්  සිද්ධිය වෙන එකක්  වෙන්නට  ඉඩ ඇති මුත් දැනට  දන්නේ  එහෙමය].   

මේක බස් එකක පොඩි සීන් එකක් වුනත් මේ රාජ්‍ය යාමනය වැරදි ලෙස යොදා ගන්නා අවස්ථාවකට කදිම උදාහරණයකි. රජය කල යුතුව තිබ්බේ බසයක වයි ෆයි හෝ ශීතකරණ පවතීනම් ඒවා පවත්වාගතයුතු ආකාරය නීතිගත කිරීම මිස එකතැන පල්වෙන අනික් ඒවායේ පහල තත්වයට මේ සේවාව බලෙන් ඇද දැමීම නොවේ.

ඔස්ට්‍රේලියාව සහ ලංකාව විශාල රාජ්‍ය අංශ සහිත සුබසාධක රාජ්‍ය දෙකකි. එකක් දියුණුව දෙසටත් අනික පරිහානිය දෙසටත් යන්නේ භාවිතාවේ වෙනස නිසාය.

Saturday, January 13, 2018

සිංගප්පුරු කතන්දර - 1 කොටස

සිංගප්පූරුව වකිමි හත්සිය ගානක ජනගහනය මිලියන දහයක් පමණ වන ඉන්දුනීසියා සහ මැලේසියා රටවලින් වටවූ දූපතකි. ලෝක සිතියමක් ගෙන එකවරක් බලා මේ දූපත දැකගන්න බැරිය. විශාලත්වය අඩු කමත් වඩා පැහැදිලි වෙනත් දූපත් මැද අහුමුල්ලක් වීමත් නිසාවෙනි.

ලෝක සිතියමක් අතට ගෙන බලන ඕනෑම කෙනෙකුට නොවරදි පෙනෙන ඉන්දීය සාගරයේ මැද වගේ පිහිටි සිගප්පුරුව වගේ සිය ගුණයක් පමණ විශාල දෙගුණයක් පමණ මිනිසුන් සිටින පැහැදිලි දූපතක් ඇත. අනාදිමත් කලෙක සිට ලෝ වැසි බොහෝ ජනයා විවිධ නම් වලින් ඒ දූපත හඳුනා ගත්තේ ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙන කාටත් එය වැදගත් සන්ධිස්ථානයක් බැවිනි. ටොලමි ගේ මුල් සිතියම් වල එය ඉන්දියාව තරම්ම ලොකුවට සටහන් වූයේ එහි ස්තානිය වැදගත්කම ටොලමිගේ යුගයේ උන්ට දැනෙන ආකාරය නිසාය. අන්න ඒ දූපත ශ්‍රී ලංකාව බව මේ ඇපල් හෙල්ප් ලයින් එකට දැන්විය යුතුවේ.

Image may contain: text

ලංකාව සංවර්ධනය කිරීමට දේශීය ස්ව්‍යන්පෝෂිත කෘෂි කොමියුනිස්ට් ලිබටේරියන් ජර්මන් රුසියන් ඇමරිකන් බ්‍රිතාන්‍ය ආදී විවිධ සුරංගනා කතා දේශනා කරන උදවියට අප කියා සිටි එකම දෙයනම්, වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස සිංගප්පුරුව ගිය දුරෙන් 1/10 යාමට මුළු ලංකාවම නොව එහි එක නගරයක් සූදානම් කරන්නේ නම් සංවර්ධනය යනු නොවැලැක්විය හැක්කක් බවයි. ඒ කතාවට සාක්ෂියක් ලෙස මේ පින්තුරය ලබා දිය හැකිය. 2018 [හෝ 2017] දවසක කෙනෙක් මෙසේ විමසන තැනට අප අපව පත්කර ගත්තේ මන්දැයි විමසන තැන ඒ සංවර්ධන කතාව බේස් කල යුතුය.

Friday, December 29, 2017

ලංකාවේ විශ්ව විද්‍යාල වලට සිසුන් තෝරන ක්‍රමවේදය හද්දා මෝඩ ගණිතමය මිස්ටේක් එකකි

මේ බ්ලොග් සටහනේ මම වෙනස් දේවල් දෙකක් කියවන්නාගෙන් බලාපොරොත්තු වෙනවා

එකක් තමා මේ ලියන කරුණු වැරදිනම් ඒවා නිවැරදි කරන්න. දෙවනුව ඔබට හැකිතාක් මීට ප්‍රචාරය ලබා දෙන්න. මා දන්නා තරමින් මේක හරි ගස්සන්න පුළුවන් වැරැද්දක්.

මාතෘකාව වනුයේ ලංකාවේ උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා දෙන ආකාරය. මගේ මේ ගැන අත්දැකීම් පරණ සහ අසම්පූර්ණ නිසා වරදින්න පුළුවන්. හැබැයි මේ තමා මා දන්නා තරමින් උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා දෙන ආකාරය.

1. 40% පමණ ජාතික මට්ටමේ මෙරිට් ලිස්ට් එකකින්.

2. 5% පමණ විවිධ බාහිර ප්‍රමුඛතා

3. ඉතිරි 55% ඒ ඒ දිස්තිරික්කයේ මුළු ජනගහන අනුපාතය අනුව බෙදෙන කෝටාවකින්.

මෙතැනදී මම ෆෝකස් කරන්නේ අංක තුන හෙවත් ජන අනුපාතය මත කරන තේරීම ගැන. ඒ ඒ දිස්ත්රීක්කේ කටෝෆ් මාක් කියල එකක් එන්නේ මේ ස්ථරයෙන්.

දිස්ත්‍රික් ජන අනුපාතවලට විවි ප්‍රවේශ අවස්ථා දෙන්න තීරණය කල එක හේතුවක් වනුයේ අධ්‍යාපන අවස්ථා සෑම දිස්ත්‍රික්කයකම සමාන නොවීම. ඒ නිසා රටටම එකම කටෝෆ් එකක් දැම්මොත් පහසුකම් අඩු පළාත් වලට ලොකු ගැටලුවක් වෙනවා. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගය සහ ජාතික පාසල් සංකල්ප තියෙන නිසා විෂමතා වැඩි වෙනවා. ඒ නිසා වෙනස් කටෝෆ් කීපයක් දිගටම තියාගන්න වෙන බව ගැන විවාදයක් නෑ.

හැබැයි දැනට අපි මේකේ අසාමාන්‍යතාවයක් දකිනවා, එනම් කොළඹ මහනුවර වැනි දිස්ත්‍රික්ක කීපයක සිසුන්ට දරාගන්න බැරි තරම් අමාරු කටෝෆ් එකක් ලැබෙන්නේ. මේ නිසා ඒ දිස්ත්‍රීක්ක වල ඉහල ප්‍රතිපල ගත්ත සිසුන්ටත් රජයේ විවි අවස්ථා අහිමි වෙනවා. මේක ලොකු ගැටලුවක්. අපි උත්සහ කරන්නේ ඊට හේතු සහ හැකි තරමින් විසඳුම් ගැන කතා කරන්න.

ඇයි මේ සමහර දිස්ත්‍රික්ක වල කටෝෆ් අසාමාන්‍ය ලෙස ඉහල යන්නේ?

1. පළවෙනි හේතුව නම් පුදුමාකාර එකක්. එය තමා මේ කරන ගණනය ගණිතමය ලෙස වැරදි නිසා. දිස්ත්‍රික්කයක පාසල් වල සිසුන් ඒ දිස්ත්‍රික්කයේ ජන කෝටාවෙන් යවන එක නිවැරදි වන්නේ ඒ ඒ දිස්ත්‍රික්ක වල සිසුන් ඒ දිස්ත්‍රික්කයෙන් පිට පාසලකට නොයන තාක් පමණයි. හැබැයි යම් සිසුවෙක් තමන්ගේ දිස්ත්‍රික්කේ නැතුව වෙන දිස්ත්රික්කෙක පාසලක ඉගෙන ගතහොත් ඒ සිසුවාගේ සහ පවුලේ ජනගහන ඉලක්කම පිරෙන්නේ එක දිස්ත්‍රික්කයක වුනාට එයා පාවිච්චි කරන්නේ වෙන දිස්ත්රීක්කයක කෝටාව.

මේකට උදාහරණයක් තමා කළුතර ගම්පහ දිස්ත්‍රික්ක දෙකේ කටෝෆ් අඩු වෙලා කොළඹ ඉහල යාම. කළුතර ගම්පහ දෙකෙන් සැලකියයුතු   සිසුන් ප්‍රමාණයක් උසස් පෙළ කරන්නේ කොළඹ දිස්ත්රීක්කේ. ඒ දරුවන් සහ ඔවුන්ගේ පවුල් වල ජන සංඛ්‍යා  කළුතර හෝ ගම්පහ කෝටා ඉහල දැම්මට ඔවුන් විවි යන්නේ කොළඹ කෝටාවෙන්. කොළඹ කටෝෆ් වැඩිවෙන්න ප්‍රධාන හේතුවක් මේක.

මේ වැඩේ වැරදියි, අසාධාරණයි නෙවි ගණිතමය ලෙස ම වැරදියි. මම හිතන්නේ විවි ප්‍රවේශය සම්බන්ධයෙන් කල යුතුම සහ ලෙහෙසියෙන් කල හැකි වෙනස්කමක් වන්නේ මේ වැරැද්ද හදන එක.

කොහොමද මේක වෙන්න ඕනේ? විවි ප්‍රවේශයට අදාළ මුළු කුලකය කවුද? උසස් පෙළ ලියන ළමයි. එහෙමනම් අනුපාත හදන්න ඕනේ ඒ ඒ දිස්ත්රීක්කෙන් උසස් පෙළ අයදුම් කල සිසු ගණන් වලින්. මුළු නියැදිය යම් ගණනක් නම් ඒ අනුපාතයට අපි අවස්ථා බෙදනවා. එතකොට ඒ නියැදියෙන් වඩාත් නිරවද්‍ය උප නියැදි තේරෙන්න පුළුවන්. උසස් පෙළ සිසුන් ගණනේ අනුපාතයට අවස්ථා බෙදලා කෝටා හැදුවනම් තමා නිවැරදි. එහෙම කලොත් ඔය අසාමාන්‍ය ලෙස වැඩි කටෝෆ් තියෙන දිස්ත්‍රීක්ක වල කටෝෆ් අඩුවෙනවා.

මේක කරන්න බැරි එකක් නෙවි. වැඩියෙන් වියදමක් යන එකකුත් නෙවි. සිම්පල් ගණිත ගැටලුවක් පමණයි ඒකත් කරන්න කිසිම අමාරුවක් නෑ.

මේක කියවන හැමෝගෙන්ම තදින්ම ඉල්ලා සිටිනවා මේ සරළ වෙනස වත් කරගන්න උත්සහ කරන්න කියල. මොකද මේක අසාධාරණයක් දේශපාලන මතයක් නෙවි. මැතමැටිකලි කරන වරදක්.

2. දැන් මේ දිස්ත්‍රීක් පදනම භාවිතයේදී කරන උපකල්පනයක් තමා දිස්ත්රීක්කයක පාසල් ඔක්කොම එකම ගානේ ඇති වෙනත් දිස්ත්රීක්කයක ඒවා අනිකට වඩා එක පිටින් වෙනස් කියල. ඉස්සර එහෙම ඇති.  දැන් ඕනෙම දිස්ත්රීක්කෙක ඉතා හොඳ පාසල් රාශියක් තියෙනවා. ඒ වගේම කාලයක් මේ සිස්ටම් එක දුවලා ඉතාම අවුල් ජරා පාසල් පවා හැම දිස්ත්රීක්කෙම තියෙනවා. කොළඹ දිස්ත්රීක්කෙම තියෙන සැහෙන ප්‍රමාණයක් පාසල් ගන්නම දෙයක් නෑ. තව දුරටත් මේ දිස්ත්‍රීක් මත තීන්දු වෙන ක්‍රමය තාර්කික ද? මම හිතන්නේ දිස්ත්රීක්කේ වෙනුවට වෙන වෙනම පාසල් තමා සැලකෙන්න ඕනේ. පාසල් වල තත්වය බලල තමා කටෝෆ් එන්න ඕනේ. පාසලෙන් පාසලට වෙනස් කටෝෆ්.

3. එහෙම පාසලින් පාසලට බලන්න අමාරු නිසා පාසල් 
කැටගරි කීපෙකට ක්ලස්ටර්   කරන්න පුලුවන්. වාර්ෂිකව පාසල් වල තත්වයන් සලකා ඒවා විවිධ කැටගරි වලට වර්ගීකරණය කරනවා. කැමති කැටගරි ගණනක් තියා ගන්න පුළුවන්. ඒ ඒ කැටගරි වල උසස් පෙළ කරන මුළු සිසු ගණන් බලල ඒ අනුපාතයට කැටගරි අතර විවි ප්‍රවේශ තීන්දු කල හැකියි. දැන් තියෙන විදිහමයි. හැබැයි දිස්ත්‍රික්ක වෙනුවට රටේම පාසල් අතර හැදෙන කැටගරි . ඒ ඒ කැටගරියේ සිසු අයදුම්කරුවන් ගණනේ අනුපාතයට ඒ කැටගරියට ලැබෙන විවි කෝටා එක තීන්දු වෙනවා. මේක තමා පාසල් අතර අසාධාරණය අඩුකරන්න තියෙන හොඳම විදිහ. මේක කෙරුනොත් ජනප්‍රිය පාසල් වලටම රිංගන ලෙඩෙත් තරමක් සුව වෙන්න පුළුවන්. මොකද එතරම් හොඳ නැති පාසලක උසස් පෙළ කටෝෆ් එක එතරම් වැඩි නෑ.

--------------


ඔය තමා දැනට පවතින සිස්ටම් එක එහෙමම තියෙද්දී ඉලක්කම් එක්ක සෙල්ලම් කරන අමාත්‍යංශ  වල නෝනා මහත්තුරුන්ගේ ගණන් හදන ක්‍රම පමණක් වෙනස් කරලා වඩාත් නිරවද්‍ය සහ සාධාරණ ක්‍රමවේදයක් හදන ක්‍රම.

උසස් පෙළ පවත්වන  හැටි හොඳද? විවි අධ්‍යාපනය නිකම් දෙන්න ඕනෙද? විවි ප්‍රවේශය මිස් වෙන සිසුන්ට වෙන්නේ මොකද්ද? ඔය වගේ බරපතල ප්‍රශ්න කතාවෙන් අහක දැම්ම.

මේ ටිකවත් කෙරුනොත් ලොකු දෙයක්.

ප.ලි. කියවනමිනිස්සු  පළවෙනි පොයින්ට්  එක  බලල  අහනවා  මේක  මෙච්චර ගොන්  වෙන්න පුළුවන්ද  ඔහේට වයර්  මාරු  වෙලාද  කියල.  ඒ  සන්වාදය  අතරෙ  කස්සප  ගම්ලත්  මහතා  මෙන්න මෙහෙම  ශාක්ශි  සහිතවම  ඔප්පු  කරනවා  ඒක  එච්චරම  ගොන්  තමා  කියල.  මේ  යු  ජී සී  එකේ  හැන්ඩ්බුක්  එකෙන් කියල  එතුමා කියන්නෙ. ස්තුතියි කස්සප

Image may contain: text

Wednesday, December 13, 2017

ට්‍රෙස්පාසරයා නොදුම්රියේ හැපී මිය යයි [චායාරූප රහිතයි]

පසුගිය සඳුදා උදෑසන හයහමාරට පමණ නොදුම්රිය [විදුලි කෝච්චි දුම් දමන්නේ නැත] මගට වන් ට්‍රෙස්පාසරයා නොදුම්රියේ හැපී මළේය. ඒ අප සිටින ස්ථානයට නැවතුම්පොළ කීපයක් නගරය දිහාට වන්නටයි.

උදෑසන ගෙවී යත්ම ඔෆිස් යන්නට ගිය පරක්කු ජනතාව වන අපිට සේවකයෙකු පවසා සිටියේ මාරාන්තික අනතුරක් නිසා සියලු නොදුම්රිය ප්‍රමාද වී ඇති බවයි. ස්ටේෂන් කීපයක් කොටමින් ගොස් වෙනදාට වඩා පරක්කු වී ඔෆිස් යාගත හැකිවිය.

නොදුම්රිය කොටන අතර සුහුරු බණුවෙන් අන්තර්ජාලය පිරික්සූ විට ට්‍රෙස්පාසරයා නොදුම්රියේ හැපී මිය ගිය බවක් කියා තිබුණි. දහවලේ කෑම වෙලාවේ නැවත පිරික්සූ මුත් ඊට එහා මොකුත් තිබ්බේ නැත. රාත්‍රියේ ගෙදර පැමිණ කියවූ විට ට්‍රෙස්පාසරයා නිසා පොලිසිය ක්‍රයිම් සීන් එකක් මාක් කර ඒ මාර්ග වල නොදුම්රිය ධාවනය පැය කීපයකට අඩාල කල බවත්, අපේ නොදුම්රිය සේවා මාර්ග භාවිතාවේ කටෝෆ් එකට ඇවිත් නිසා උදේ පරක්කුව හවසටත් බලපාන බවත් රාත්‍රිය වනතුරු සියලු නොදුම්රිය ප්‍රමාද වූ බවත් දකින්න ලැබුණි.

දැන් මේ සිදුවීම වී දින දෙකක් ගෙවුණු මුත් තාමත් අන්තර්ජාලයේ මේ ගැන ඇත්තේ එපමණකි.

ඇත්තෙන්ම මේ ට්‍රෙස්පාසරයා මොකෙක්ද? ගැහැණියෙක් ද පිරිමියෙක්ද පිටසක්වල ජීවියෙක්ද? කිසිවක් සොයාගත නොහැක. ඌ දුම්රියේ හැපුණා ද පැන්නා ද අපි දන්නේ නැත. දුම්රිය මාර්ග බාහිරයට සීල් තබා ඇති නිසා මහාමාර්ග ගේට්ටු වෙනුවට බයිපාස් ඇති නිසා [බටහිර සිඩ්නි වල මා තවම දැක ඇත්තේ එකම එක රේල් ගේට්ටුවක් පමණි] නිකම් අහම්බෙන් වූවක් නම් නොවේ. මේ ගැහැනියක් නම් දරුවෙකු සමග ජීවන බර දරන්නට බැරුව පැන්නාද? කොලුවෙක් නම් වලත්ත කමට අකුරු පේන්ට් කරන්න ගොහින් හැපුනාද මේ කිසිවක් කොහෙවත් නැත.

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ මේවා දෙන්න ඕනේ නැද්ද?

පොලිසිය සහ මාර්ග සේවකයින් එතනට ගිය වෙලාවේ ගත්තු ෆොටෝවක් නිවුසියක හෝ ගොසිපයක නැත. මේවා ලීක් කිරීමේ වගකීම පොලිසිය සහ සේවකයින් සපුරා පැහැර හැරියාද? මිනිය අස් කරන්නට පෙර ඔලුව කඳින් වෙන්වූ ඒ ත්‍රාසය හා ශෝකය මුසු පින්තුරය මාධ්‍ය වලට ගන්න දෙන්න බැරිද? ඒ මොහොතේ අසල මගක ගිය එකෙකුට ෆෝන් එකකින් මේවා ෆොටෝ ගන්නට බැරිවීද ? මගීන් නොදුම්රිය පොලේ සිට තම ජීවිත පරදුවට තබා එතනට ඇවිද ගොස් මේ අනුවේදනීය මොහොත චායාරූප ගත නොකළේද? මාර්ගයේ ආරක්ෂාවට හෝ ගෙදරක ඇති සී සී ටී වී පටයක මේ අනතුර සටහන් වී නැද්ද? කළු අළු පසුබිමේ අපැහැදිලි ට්‍රෙස්පාසරයා රාමු අඩු නිසා ටික් ටික් ගා පැන පැන යන නොදුම්රිය ටොක් ටොක් ගාගෙන පනිමින් එන ඒ දෙන්න හැපෙන දඩස් ගා වැටෙන සීන්ස් පෙන්නන්න බැරිද?

දෙදිනක් ගියද තවමත් ට්‍රෙස්පාසරයා ගේ නිවසට කිසිවෙක් ගොස් නැත. ප්‍රේමයේ විරහයෙන් විබාගේ අබාගෙන් ඔහු හෝ ඇය තැවුණු හැටි ගැන අපිට පිටු එකාමාරක කඳුළු කතාවක් නැත. අම්මා බෝම දුකෙන් ඉන්න ෆොටෝවක් නැත. ට්‍රේස්පාසරයාට ද අම්මෙක් ඇතිවා විය යුතුය. ඒ අම්මා ට සෙලිබ්‍රිටියක් වෙන්නට අයිතියක් නැද්ද? රාත්‍රී රූපවාහිනියේ මේ පවුලේ කඳුළු කතාව ගැන "විශේෂාංගයක්" පුරා සතියක් හැමදාම නොයන්නේ ඇයි? ඔලු කට්ට කුඩු වෙච්ච පුළුන් දමා වෙළුම්පටි දැමු ට්‍රෙස්පාසරයාගේ මෘත දේහය වළලා පණුවන් දමන තුරුත් රූපවාහිනියේ පෙන්වන්නේ නැත්තේ ඇයි? අර වෙන්ට්වර්ත්විල් ඇක්සිඩන්ට් එකේ ෆොටෝ මෙන්න අපෙන් විතරයි කියා මගේ ෆේස්බුක් වෝල් එකේ ලින්ක් ප්ලීස් වැටෙන්නේ නැත්තේ ඇයි?

දෙන්නට කිසිම පින්තුරයක් නැතිනම් යහතින් ඉන්න එකෙකුගේ හෝ පින්තුරයක් ෆෙස්බුකියෙන් උස්සා නොදුම්රියක පින්තුරයක් සමග ඇල ඉරකින් වෙන්වන සේ පාස්පෝට් සයිස් එකක් හදා එය පත්තර හෙඩිම අයිනෙන් එල්ලන්නේ නැත්තේ ඇයි?

මේ කිසිවක් නැත.

මේවා ජනයාට අකැප ද? ඔස්ට්‍රේලියාවේ උන්නත් අපේ හදවත් උණු වන්නේ නැද්ද? ඒ උණුවන හදවත් වලට අනේ අපොයි කියවෙන අතර දැන්වීම් පටි වල වටිනාකම් ඉහල යන්නේ නැද්ද? විකුණන්න ඇති මගුලකුත් නැති රටේ ඔහොමවත් ඔන්ටප්රිනර්ශිප් නැද්ද? සිරාවටම මේ මළ මිනියට කිසිම වටිනාකමක් නැද්ද?

මා උපන් ලංකාවේ නම් ජීවතුන් තර සිටිනා කාලයට වඩා වටිනාකමක් මේ ට්‍රේස්පාසරයාට දෙන්නට අපේ පොලිසිය මාධ්‍ය ගොසිප් ඒ හැමටම සහය දෙන ජනයා පෙළඹෙනවා නොඅනුමානය.

ප්‍රවුඩ් මි. සෑඩ් මි.

Sunday, December 10, 2017

දෙමල බෙදුම්වාදය කුඩු පට්ටම් කරන විග්නේස්වරන් මහතා

සිංහල සහ දෙමල වාර්ගිකයන්ගේ/ජාතීන්ගේ අතීතය ගැන විග්නේස්වරන් මතය වඩාත් සවිස්තරව කියවෙන දෙවැනි ලිපියක් ඒ මහතා පළකර තිබේ.

දුටුවනින් ප්‍රශ්න කලයුතු කාරණා කීපයක් දකින්න ලැබෙන අතර එහි සමහර දත්ත පවතින දැනුම තුල නිරවද්‍ය වන බවක් නොපෙනේ. එහෙත් ඒ ගැන සංවාදය කරන වගකීම සහ වෘත්තීය නිපුනතාවය හිමිවනුයේ විෂය ප්‍රාමානිකයන්ට නිසා ඒ ගැන වැඩිපුර ලියන්නේ නැත.

විග්නේස්වරන් නගන පහත තර්ක සලකන්න.

1. විජය කෙනෙකු ලංකාවට ආ බවට ඉන්දීය මූලාශ්‍ර නැත. ඒ නිසා එය තනිකර වංශකතා කරු ගේ නිර්මාණයකි [මෙය විවාදාත්මක එහෙත් සපුරා අහක දැමිය නොහැකි කතාවකි]

2. විජය හෝ වෙනත් කාට හෝ බිරියන් ගෙනාවේ මදුරා පුරයෙන් හෙවත් පාන්ද්‍ය දේශයෙන් නිසා ඔවුනුත් අර්ධ දමිළ වේ [මෙය සිංහල වංශකතා අනුව ද එසේමය]

3. විජයාගමනයට පෙර පටන් ලංකාවේ පැවති ශිෂ්ටාචාරය දකුණු ඉන්දීය කලාපයේ හෙවත් අනාර්ය ශිෂ්ටාචාරයකි [තාර්කිකව නිරවද්‍ය ලෙස සැලකිය හැකිය]

4. දේවානම් පියතිස්ස සහ පූර්වජයෝ දමිළ බස කතා කළෝය [කිසිම තාර්කික පදනමක් නැත. ඒ කාලවල සෙල්ලිපි ලියවී ඇත්තේ දෙමලෙන් නොවේ. එහෙත් තර්කයේ පහසුවට එය එසේම යයි සිතමු]

5. සිංහල බස බිහිවන්නේ දෙවානම්පියතිස්සට සියවස් අටකට හෝ දුටුගැමුණු ට සියවස් හයකට පසුය. ඒ අනුව මේ රජුන් ද දමිළ බෞද්ධයෝ ය [සිංහල බස එහි පූර්ව අවස්ථා එක්ක දක්වන සම්බන්ධය දමිලයෙන් පිටස්තරය. එහෙත් තර්කයේ පහසුවට එය එසේම යයි සිතමු]

6. අනුරාධපුරයේ දමිළ රජුන් දමිලයින් ලෙස සැලකුවද සිංහල රජුන් සිංහල ලෙස වංශකතා වල සලකා නැත [මගේ කෙටි දැනුමෙන් මෙය නිරවද්‍ය නොවේ. සිංහල කියන යෙදුම විජයාදී පරපුරට යෙදෙන බව මගේ මතකයයි. එහෙත් මෙවරත් තර්කයේ පහසුවට එය එසේම යයි සිතමු]

තර්කයේ පහසුවට ඒ මහතා කියන කතාව නිවැරදිය කියා සලකමු. එපමණකින් ම පවා දමිළ බෙදුම්වාදයේ ඉතා වැදගත් තර්කයක් බිඳ වැටේ.

ඔහුට අනුව ලංකාවේ රාජ්‍ය කල මිනිසුන් දමිළ බස කතා කල මිනිසුන් පිරිසකි. විජය නම් කෙනෙක් පැමිණි නැති අතර අනාදිමත් කලෙක සිට දකුණු ඉන්දීය ශිෂ්ටාචාර සලකුණු සමග ඔවුහු ජීවත් වූහ, පසුව අශෝකගෙන් බුදුදහම සහ පාලි බස ඔවුන්ට දායාද විය. පසුව ඒ පාළි බස දමිළ බස සමග මිශ්‍ර කොට සිංහල බවට හරවන ලද්දෝය. එදා පටන් අද දක්වා සිංහල කියන්නේ ඒ ප්‍රජාවටයි. මේ මගේ මතයක් නොව විග්නේස්වරන් කියන මතයයි.

විග්නේස්වරන් මේ හරහා වැදගත් කාරනාවක් පිලි ගනියි. එනම් කිනම් බසක් කියෙව්වත් කිනම් සංස්කෘතික ලක්ෂණ දරුවත් සින්හල නම් ප්‍රජාව එදාපටන් ලංකාවේ හිටි අය බවයි. ඔවුන් රටේම පැතිරී හුන් බවයි. අනුරාධපුර අගනුවර ඔවුන්ගේ රාජ්‍ය කාල අමුතුවෙන් සිංහල ලෙස ලියා නැතිමුත් දමිළ රාජ්‍ය කාල එසේ ලිවීමෙන් ඒ දෙවැන්නා ගේ බාහිර භාවය සනිටුහන් වේ. ලෝකයේ වෙනත් බොහෝ ජාතින් මෙන්ම සිංහල ප්‍රජාවත් උතුරු දකුණු ඉන්දියා දේශ සහ දූපතේ පාරම්පරික ජනයාගේ මිශ්‍රණ විය හැකිය. පාන්ද්‍ය සම්බන්ධය ඒ නිසා අමුත්තක් නොවේ. ඒ සියලු සම්බන්ධ වලින් බිහිවූ එක ප්‍රජාවක් ඒ මුළු කාලයේම සිය අනන්‍යතාවය බිහිකරගත් බව පමණක් වැදගත් කාරණයකි. මොන බසක් කතා කලාද මොන සංස්කෘතියකින් පටන් ගත්ත ද යන්න අදාළ නැත.

මේ සියල්ල අනුව සිංහල නමින් දැන් හැඳින්වෙන ප්‍රජාව මිස ඇතැම් බෙදුම්වාදීන් කියන්නාක් මේන් දමිළ ප්‍රජාව ලංකාවේ අනාදිමත් කලෙක සිට පාලනය ගෙනගිය ස්වදේශික මුල් පදිංචි කාර ඉන්ඩිජිනස් හෝම්ලෑන්ඩ් එකක හිමිකරුවන් නොවේ, අදාළ අර්ථදැක්වීම හිමිවන්නේ දේවානම් පියතිස්ස දුටුගැමුණු ආදීන්ගෙන් පැවතෙන ප්‍රජාවට බව විග්නේස්වරන් කතාවෙන් ගම්‍ය වේ.

ප්‍රජාවෝ කාලය තුල බස සංස්කෘතිය ක්‍රමිකව වෙනස් කරති. ඒවා ගැන විග්නේස්වරන් හරි හෝ වැරදි විය හැකිය. දෙමල බසට වඩා අතීත පැවැත්මක් දිනා සිංහලය ලෝක වාර්තාවක් කරන්නට කාටවත් ඇම්මක් ඇති බවක් නොපෙනේ.

එහෙත් විග්නේස්වරන් අතින් දෙමල බෙදුම්වාදයේ එක සුරංගනා කතාවක් මනාකොට බිඳ වැටෙන බව පමණක් අපි දකින්නෙමු.

Saturday, December 9, 2017

ගීසා හි පිරමීඩයේ ප්‍රවේගය ආලෝකයේ අක්ශාන්ශයට සමානද?

අපි මිත් බස්ටර සේවා සපයන්නේ නෑ. ලෝක ගෝලේ ලස්සන වන්නේ සුට්ටක් මෝඩ සුට්ටක් ලස්සන කෙල්ලන් සොරි කතන්දර නිසා කියා හිතනවා. විවිධ මිත්‍යා නැත්නම් මේක මාර පාලු ලෝකයක්. ඒ වුනාට ඉඳහිට අපිට රිදෙනකම් ඇනෙනකම් පෙනෙන බූත කතා දැක්කම එකක් දෙකක් එක්ක ගණුදෙණු කරන්න හිතෙනවා. ඒ එහෙම එකක්. ඔය පහල තියෙන්නේ සීන්ස් එක.




මට වගේ ඔබටත් මේක දැකලම එපාවෙලා ඇති. මේ හදන්නේ ඔය කුනුහරුපේ දිග පළල හොයන්න. අවසානේ තීන්දු නෑ. වී රිපෝට් යූ සපෝට්.

ඉස්සරින්ම කතාව ඇත්තද? අක්ෂාංශය [ආසන්නව] හරි. ආලෝකයේ රික්තය තුල ප්‍රවේගය [හෙවත් අයින්ස්ටයින් භෞතික විද්‍යා සංකල්ප වල පවතින ප්‍රවේගයේ උපරිමය] නිවැරදියි.

1. ඉස්සරින්ම සරල සාමාන්‍ය  දැනුම. ඔය දෙකේ ඒකක දෙකක්. ඒකක වෙනස් වුනාම [ඒකක කියන්නේ මිනිස් අර්ථ දැක්වීම් නිසා] වටිනාකම් හි තේරුමක් නෑ.

2. මීටරය අර්ථ දැක්වෙන්නේ පිරමීඩයට පස්සේ නිසා මේක සත්‍ය නම් සලකන්න වෙන්නේ කාලය ඔස්සේ ඉදිරියේ වෙන්න තියෙන දෙයක් එක්ක අතීතේ දෙයක් පෑහීමක් කියල. එනම් ගීසාවේ  පිරමීඩ්  එක  හදන්න  පොලොව  සකසන එකා  තව  අවුරුදු  දාස්  ගානකින් මිනිස්සු  මීටරය  අර්ථදක්වාගෙන  අක්ෂාංශ  අර්ථදක්වාගෙන  ආවාම  මෙන්න  මෙතන  අක්ශාන්ශේ  අර  ආලෝකයේ  රික්තයේ  ප්‍රවේගය  එක්ක  ගානට  සෙට්  වේවා  කියල  කොරල  තියෙන්නේ. 

3. අක්ශාන්ශයක් කිමි 111 වෙනවා. ආසන්නව 100 කියල හිතුවොත්. 29.9792458 කියන එක සෙන්ටිමීටරේට තමා ගණනය වන්නේ. ගීසා පිරමීඩය මීටර දෙසිය ගානක්. ඉලක්කම හරිම උනත් ගීසා පිරමීඩයේ සයිස් එකත් එක්ක ලියන්න වෙන්නේ 29.978, 29.979 හෝ 29.98 වගේ ගානක් පමණයි. ඉතිරි ටික ඕනේ හැටියට ලියා ගන්න පුළුවන්. ඔය ටික අතරේ ඔක්කොම වැඩි ප්රෙසිෂන් අගයන් තියෙන්නේ පිරමීඩය තුල.

ඒ අනුව ආලෝකයේ රික්තයේ ප්‍රවේගය හෙවත් උපරිම ප්‍රවෙගයේ තත් ට මීටර් අගය මිලියන දහයෙන් බෙදා ලැබෙන අගය අක්ශාන්ශයක් කියා සැලකුවොත් එය ගීසා පිරමීඩයේ ඇතුලේ තියෙන එවැනි අක්ෂාංශ අගයන් 20000 න් එකක්.

ඔන්න ඕක හරි. වට් එවර් ඉට් මීන්ස්.

දැන්  අහවල්  බක්කද  ඕකෙන්  වෙනවා  කියන්නේ?

රාජාලියා සහ දෙවියන්ගේ නගරය

එක නගරයකි. රාජාලි කුරුල්ලෝ දෙදෙනෙකි. එක පොතක කොපි තුනකි.

ඒ දෙවියන්ගේ නගරයයි. දෙවියන් තැනු බව කියන නගරයයි. සාමයේ නගරයයි. සාමයක් කවදාවත් නොමැති නගරයයි. දෙවියන් යයි කියා මිනිසුන් තැනූ පුරෝගාමී නගරයයි.

තෝරාගත් ප්‍රජාව දෙවියන්ගේ නගරය තැනූහ. දෙවියන් ඒ නගරය තැනු බවට ඇදහූහ. දෙවියන්ගේ පළමු පොත ලියුහ.
දෙවියන්ගේ නගරයට මදක් ඔබ්බෙන් පහල වූ දෙවියන්ගේ පුත්‍රයා බව පැවසී මිනිසෙක් දෙවියන්ගේ පොත කොපි කර වෙනස් කළේය.

එක් රාජාලි කුරුල්ලෙක් දෙවියන්ගේ නගරය වැනසීය. බාල මහලු ගැහැණු පිරිමි සියල්ලෝ ම භක්ෂණය කළේය. මළ කඳන් වලින් පිරී ගිය දෙවියන්ගේ නගරයේ වෘක කැනහිල් ආදී වන සත්හු පිරී ගත්හ. දෙවියන්ගේ දෙවොල් බිඳ ලූහ. දෙවියන්ගේ පොත් ගින්නෙහි ලූහ.

සාමයේ දහම පහල විය. දෙවියන්ගේ පොත නැවත වරක් වෙනස්කම් සහිතව කොපි කෙරුණි. තෝරාගත් ප්‍රජාවෙන් මුක්ත වූ දෙවියන්ගේ නගරයේ සාමයේ දහම අදහන්නෝ එක්රැස් වූහ. සාමයේ නාමයෙන් යුදයේම යෙදුණහ.
බොහෝ කල් ගතවිය.

අනෙක් රාජාලි කුරුල්ලා පහල වී තිබුණි. ඌ දෙවියන්ගේ එක පොතක එල්බගෙන තිබුණි. තෝරාගත් ප්‍රජාවේ එකෙක් රාජාලි කූඩුවේ ම බිජු ලා තිබුණි.

අද දෙවියන්ගේ නගරයේ ඉන්නේ සාමයේ දහම වෙනුවෙන් යුද කරන්නෝය. තෝරාගත් ප්‍රජාව වෙනත් තැනක් තෝරාගෙන ඇත. ඒ සියල්ල නොසලකා රාජාලි කුරුල්ලා නැවතත් දෙවියන්ගේ නගරය තෝරාගත් ප්‍රජාවට පවරන්නට තීරණය කර තිබේ.

අනුන්ගේ දේවල් වල හොට පටළා එපා වී හුන් රාජාලියා තවත්නම් අනුන්ගේ දේවල් වල හොට නොදාන බවට පොරොන්දුවක් දී තිබුණි. එය ද බිඳ දමා මේ සා සුවිසල් හොට දැමීමක් කරන්නේ රාජාලියා දෙවියන්ගේ එක පොත් කොපියකට දක්වන අසීමිත අන්ධ භක්තිය නිසාද නොවේනම් තම කූඩුවේ ම බිජුලන තෝරාගත් ප්‍රජාවේ එකා ගේ බලපෑමෙන් ද කියා නොදනිමි.

එහෙත් එකක් පැහැදිලිය. සාමයේ දහම තව තවත් යුද වදින තෝරාගත් ප්‍රජාව තව තවත් මිනි මරණ මිය යන හෙට දවසකට කාලය පැමිණ තිබේ. රාජාලි හොට  දැමීම්  වලින්  තුවාල  කරගන්නේ  උන්  ය.

පරණ කතා