Tuesday, March 20, 2018

ගැටී කතා [සාපරාධි ජූරි තීන්දුවක් ගැන මෙතෙක් හෙළි නොවූ අභිරහසක් සමග]

මේ සීන්ස් එක වෙද්දී මට වයස දහයක් දොළහක් වගේ. ඒ කාලේ මම නර්ඩ්වරයෙක් ලෙස අධ්‍යාපනය ගැනම කාලය යොදමින් ලොකු ඉස්කූල්ස් එකකට යන්න සිස්සත්තේ කොරගෙන යන කාලේ [මේක ලොකු ඉස්කූල්ස් ගැන නෙවි, ඒ වුනාට නෙවිත් නෙවි]

පොතේම ඇලිලා ඉන්න නිසා අම්මලා බලෙන්ම වගේ හන්දියට එලෙව්වා [ඔව් අපි එහෙමයි] කඩෙන් මොනවදෝ අරගෙන එන්න කියල. ඒ යද්දී මගේ හිතෙසිවන්ත කොමට අහල පහල ගෙවල් වල සමවයස් බුවාස් ලා කීපෙකුත් මාත් එක්ක ආවා. මුන් ඇත්තෙන්ම මගේ සපිරිවර ලෙස සලකන්නට ඕනා.

ඔය සන්දියේ ඒ හරියේ එක ගෙදරක පියා විදෙස ගත වූ බැවින් සහ ඒ නිසාම එයාලට සල්ලි තියෙන බැවින් ඒ ගෙදර "බබාලා" බලාගන්න දුර පලාතකින් "කොලුවෙක්" අරගෙන ඇවිත් තිබ්බ "සකලබුජන්" ධූරයට. දැන් මේ හරියට කොටු දාලා ඩිස්ක්ලේමර් දාන්න ඕනේ මේක නීති විරෝධියි, ඩෝන්ට් ට්‍රයි ඇට් හෝම් කියල. ඒ වුනාට ඉතින් එක්කගෙන ඇවිත් තිබ්බ. ඌ අපිට වඩා පොඩි ගානක් වැඩිමල් ඇති, ටිකක් උස මහත එකා. ඌ ගැන දැනගන්න ඌ ඉස්කොලේකටවත් ආවේ නැහැනේ. ඉතින් අපේ ගමේ ඉස්කූලියන්ස් වරු අතර ඌ ගැන තිබ්බේ හරියටම ඉහල ශික්ෂණයක් සහිත ඉස්කූලයක ඉස්කූලියන් කෙනෙක් එහෙම ශික්ෂණයක් නැති පාසලක අනන්‍යතා නාම රහිත එකෙක් ගැන තියෙන්නා වගේ පිටසක්වල ෆීලින් එකක්.

අපි කඩේට ගිහින් ආපහු එද්දී ඌවත් නෝනා කඩේ යවලා ඌ අපිට තරමක් පස්සෙන් එමින් උන්නේ. සාමාන්‍යයෙන් උගේ සමාජ තත්වය පහල වැටී තිබීමත් සමහරවිට ඌ අපේ ඔක්කොටම වඩා හයේ හතරිෂ් වීමත් නිසා අපේ එවුන් ගැන්සිය ඌට වීලු කොරන්න ගත්ත. මම සාමාන්‍යයෙන් එහෙම එව්වට සහබාගි වෙන්නේ නැහැ හැදියාවම නෙවි අනාගතේ දවසක මුන් ටික නැතිව ඌව තනියම මගදී හමුවීමේ සම්බාවිතාවය ඔලුවේ කොනක කීක් ගාන නිසා. හැබැයි මට ගටක් තිබ්බේ නැහැ මුන්ට එපා කියන්නත්. මම අර වික්ටර් බැන්ද සීන් එක වගේ මේක ඉග්නෝ කරලා මුනුත් එක්ක ආවා. මුන් එන්න එන්නම ඌට නොහොබිනා දේවල් කිව්වා. උගේ නික්නේම් සියල්ල ද වැඩකාරයා කියන පහත්කුල වදනද තව කුණු හබ්බද ඌට දෙසන්න ගත්ත.

අර කොලුවට කියන්න දෙයක් තිබ්බේ නැහැ. ඌ සියල්ල ඉවසා දරා ඉඳලා එක මොහොතක පාරේ තිබ්බ ජම්බෝලයක් විතර සයිස් ගල් ගෙඩියකින් අපිට ගැහුවා. ඇත්තෙන්ම ඒක ලොකු ගලක් නිසා ආවේ බම්ප් වෙවී. ඒක අපේ එකෙකුගේ පිටේ හැපුණා. ඒ වෙද්දී සැහෙන ස්ලෝ වෙලා තිබ්බේ හැබැයි ඒත් ඌ වැටුනා.

මේ දක්වා සිද්ධිය ඉග්නෝ කළ වැඩිහිටියන් වහාම පොලිසිය බවට පත් වුනා. ඒ සමගම ගල් පාර කාපු එකාගේ අම්මා ආඩපාලි කියාන ආවා. කොලුවගේ නෝන ඇන්ටිත් දුවගෙන ආවා.

කොලුවා විත්තිය වශයෙන් දිගටම කිව්වේ අපේ ගැන්සිය ඌට කියූ අසමජ්ජාති කතා. ඌ වේදනාවෙන් හඬමින් දිගටම එව්වා කිව්වා. මගේ පිරිවර ක්ෂණික බෝධි වෘක්ෂ වී ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. පාරේ කිසිවෙක් මේක නෝටිස් කරලත් නැහැ.

අවසානේ වුණේ කොලුවාගේ නෝනා ඇන්ටි තීන්දුව දෙන්න ජූරිය වශයෙන් මාව පත්කිරීමයි. ඒකට හේතුවක් තිබ්බ. මොකද අපි ඒ කාලේ මැච් බලන්න ගියේ ඔය ගෙදරට [ගමටම ටීවී ඕනෙනම් දෙකක් තියෙන්න ඇති] ඒ අවස්ථාවල කීකරුව අහිංසකව ඉන්න මම වගේ හොඳ දරුවෙක් රිලයබල් කියල ඒ ඇන්ටි හිතුවා. ඉතින් ඒ නිසා කෙලින්ම කිව්වේ "පුතා කියන්න මෙයාට අරගොල්ලෝ නරක කතා කිව්වද කියල"

නෝනාවරුනි මහත්වරුනි, ගැට්ටක සාමාජිකයෙක් වීමේ අර්බුදය පටන් ගත්තේ ඔතනින්. මම මුලුහිතින්ම කොලුවා ගැන දුක් වුනා. මගේ ගැට්ටේ උන්ගේ අමන ක්‍රියා මට කොහෙත්ම එකඟ විය නොහැකි බවත් තේරුනා. හැබැයි උන් මගේ ගැට්ට. උන් ආවේ මම නිසා, මාත් එක්ක. මගේ සපිරිවර. ඉතින් මම කොහොමද කියන්නේ ඔව් ඇන්ටි මුන් මග දිගටම "නරක කතා" තමා කිව්වේ කියල. මම "නැහැ" කිව්වා.

මගේ ජූරි තීරණයෙන් වරදකාරයා වෙච්ච ඒ කොලුවා ටික දිනකින්ම උගේ ගමට එළවා දැම්ම බව මට ආරංචි වුනා. ඊට පස්සේ හැමෝම සන්තෝසෙන් ජීවත් වුනා.

කොලුවා ඇරෙන්න. ඇත්තෙන්ම ඒක මම දන්නේ නැහැ, ඒ වුනාට මම එහෙම හිතුවා. ඌ උගේ තාත්තාගෙන් රීප්ප පටි පාරවල් කාල බඩගින්නේ ඉන්න හැටි මගේ හිතේ අවුරුදු ගානක් වද දුන්නු ප්‍රශ්නයක්.

ඔකේ ගැටලුව තියන්නේ මම ගැට්ටක උන්නු එකේ. ගැටී කියන්නේ සංකල්පීය කුට්ටි. දැන් මේ සෙට් එක මගේ පිරිවර වීම සංකල්පීයයි. කෙනෙක් අහවලියන් කෙනෙක් වීමත් සංකල්පීයයි. ගැට්ට ගැන්සිය පාසල ජාතිය ආගම වගේ එව්වා පවතින්නේ නැහැ. මිනිස්සු නිර්මාණය කරනවා. පාසල කියන්නේ බිල්ඩින් ගුරුවරු සිසුන් උපකරණ වගේ ද්‍රව්‍යමය දෙයක් නෙවි. එව්වා සියල්ල බාහිර ලෙසයි සම්බන්ධ වන්නේ පාසල තියෙන්නේ හාට් එකේ තනිකර සංකල්පීයව. සියලු ගැටී එහෙමයි.

මම දැන් කියන්නේ මම සියලු ගැටී ප්‍රහීන කළ උදාන පාටය නොවේ. අපි හැමෝම මොකක් හෝ ගැට්ටක් ගහගන්නවා. මම සැලකුවත් ලංකාව කියන ගැට්ටත් ක්‍රිකට් ටීම් එක කියන ගැට්ටත් එහෙමයි. හැබැයි අපි අපිවත් විවේචනයට ඇතුළු කරලා කතා කලොත්, ඔය ඕනේ ගැට්ටක ඉන්නකොට හැසිරෙන්න වෙන්නේ මම ජූරිය ලෙස දුන්නු ඒ අමන කෲර තීන්දුව වගේ තමා.

ඔය ගැටී  වාදේ  ලංකාවේ  ලේ  වලම තියෙන  එකක්.

තව සීන්  එකක්  කිව්වොත්; ඉස්සර මම කාලයක් ගෙදර සිට කොළඹ ඔෆිස් ට්‍රැවල් කළා. ඒ කාලේ නැග්ගේ හයට ඉස්ටෙසමට එන ස්ලෝ කෝච්චියේ. ඔකේ ඉන්න බුවාලා හතට එන එක්ස්ප්‍රස් එකත් එක්ක අමු තරහයි. මොකද සමහර දාට හතේ එක ස්ලෝ එක ඕවටේක් කරනවා. ඒ නිසා හයේ එකේ එවුන් පතන්නේ හත කැඩිය කියලා.

ඊට පස්සේ බෝඩිමක් හොයාගෙන මම සඳුදට එද්දී ආවේ හතේ එකේ. ඒ කාලේ දැනගත්ත පරිදි හතේ එකේ එවුන් හයේ එකත් එක්ක තරහයි. උන් පතන්නේ හය කැඩිය කියල.

ඕවටේකින් දෙකෙන්ම වෙනවා අරු මූව නැවත මූ අරුව. ඒ හැම විටම ඉස්සර වෙන එකාගේ උන් අනික් උන්ට හූ කියනවා.

ඒකත් කමක් නැහැ කියමුකෝ. එකම පලාතක නිසා සෝෂල් ලයිෆ් එකේදී උන් මුණ ගැහෙනවා. අන්න ඒ හමුවීම් වලදී හයේ ගැට්ට හා හතේ ගැට්ට ඉන්නේ වෙනම. අනිත් ගැට්ට සමග ෆිට් වීම ඉතාම නොහොබිනා දෙයක් ලෙස සැලකෙනවා.

මේ අවුරුදු තිහ   හතළිහේ එවුන් ඕයි. පිස්සු ලෝකයක්.

නිකන් ලිව්වේ ... ඒත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දවස්සල මොකද්දෝ ටෙලි නාට්ටි දෙකක් අල්ලාගෙන කට්ටිය නටන නාඩගමක් අළලා දැම්ම කියල. 

3 comments:

  1. ඔය නාට්ටි දෙකෙං එකක්කත් බලලා නැති නිසා ඒ ගැට්ටනං දෙයියනේ කියල නෑ.. ඒ උනාට සකලබුජං ගැන කියනවානං මේ දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලාත් අපේ උන්දැට මං දොස් කියුවා දහම් පාසැල් උස්සවේට සකලබුජං සිංදුවට නැටුමක් දැම්මයි කියල .. ඒක පැහැදිලි කල්ල දුන්නටවත් නැටුං පුරුදු කරන ගුරුවරු කැමති නැල්ලු ඒ අයිටම් එක අයිං කරන්න.. ඒ මොන ජාතියේ ගැට්ටක් ද මංදා..

    ReplyDelete
  2. මටත් එපා උනා අප්පා අර රජබුරි සීන් එකෙං

    ReplyDelete