Thursday, May 29, 2014

ජවිපෙ 88-89 භීෂණ සමයේ කල ඝාතන ගැන සමාව ගනියි

88-89 භීෂණ සමයේ සිද්ධ වූ ඝාතන 6000 කට ජවිපෙ විසින් සමාව ඉල්ලු බව පළවේ. හරියටම ප්‍රකාශය දුටුවේ නැති අතර එය කලේ ප්‍රසිද්ධ රූපවාහිනියේ  හෝ පුවත්පත් නිවේදනයක් ලෙසද නැතිනම් තමන්ගේ පුද්ගලික රැස්වීමකද කියා දන්නේ නැත. කිනම් පදනමක කල දෙයක් වුවත්, ජවිපෙ ඝාතන ගැන විවේචනය කල කෙනෙකු හැටියට මේ ගැන මගේ ප්‍රසාදය හිමිවේ. අඩුම වශයෙන් ජවිපෙ නායකයා පඩත්තල කමට ඒවා සාධාරණය නොකරන විචාර බුද්ධියෙන් එම කරුණු විමසා බලන කෙනෙකු ලෙස මෙයින් හඳුනා ගත හැකිය. ගොනාට අන්දාගත් ආගමික පාක්ෂිකයන් රන්චුවකගේ කල්ට් එකක් කියන තැනින් විතැන් වී ජාතික මට්ටමේ දේශපාලන පක්ෂයක් කියන දිහාවට එන ගමනට මේ විචාර බුද්ධිය වැදගත් වේ.

එහෙත් වඩාත් වැදගත් කාරණය 88-89 කල ඝාතන ගැන කරන සමාව ගැනීම නොවේ. ඇත්තෙන්ම එහෙම සමාව ගන්නා සම්ප්‍රදායක් ලංකාවේ තිබී නැත. [ඒ අනුව මෙය එවැනි දෙයක් දුටු පළමු අවස්තාව ලෙසද හැඳිනිය හැකිය]. එහෙත් වඩා වැදගත් වනුයේ එබඳු වනචාරි ක්‍රියා දෙසට යලිත් තල්ලු වී යාමට එරෙහිව තම සාමාජිකත්වය රිහැබිලිටෙට් කරවා ගැනීමයි. 88-89 සොරි කියා ලොක්කා කියද්දී වරෙවූ ධනපතියාගේ කැවුත්ත කන්න කියන පාක්ෂික ප්‍රජාවක් සිටීනම් ඒ සමාව ගැනීමේ පලක් නැත. 

මෑත අවධියේ බුකිය වැනි සීමා සහිත තෝරාගත් සාමාජික ප්‍රජාවක් අතර පවා මෙලෙස හැසිරුණු ජවිපෙ සාමාජිකයෝ උන්හ. එමෙන්ම 88-89 කමක් නැහැ කියා සාධාරණය නොකළ ජවිපෙ සාමාජිකයෙක් නැති තරම් ය. ආයිත් වරක් වුනත් රට හදන්න එහෙම සෙට් එකක් මරන්න අවශ්‍යයි කියා පොල්පොට් පාට් දැමූ අවස්ථා අනන්තවත් දුටුවෙමි.

88-89 ලිඳකට දැම්මා ඒ ලිඳෙන් ගොඩ එන්න ඒ විදිහේ වැඩ කරන්න ඕනේ කියන කතාව එසේ කියන ලද එක කතාවකි. මහවැලි ව්‍යාපාරය වගේ වැඩක් කරද්දී ගැඩවිල්ලු මැරෙන එකට කරන්න දෙයක් නැහැ කී මහතා ගැන මට තාම හිතා ගන්න බැරි අපිත් මොහොතකට හෝ ඔවුන්ට මානුෂිය පදනමක් තිබු බව සිතු බැවිනි [මේ උදාහරණයේ ලොකුම වරද නම් මහවැලිය හරවන්නේ හිතාමතා ගැඩවිල්ලු මරන්න නොවන මුත් ජවිපෙ තුවක්කු හැරුනේ ඒ මිනිසුන් හිතා මතාම මරන්න බවයි]. ඉතාම සුපිරිසිඳු සත්ගුණවත් ජවිපෙ සාමාජිකයෝ පවා තවම අවිගත් විප්ලව ගැන කියවති. ධනපති පන්තිය භෞතිකව මරා දමන හැටි ගැන කියවති. මේවා වෙනස් කිරීම සමාව ගන්නවාට වඩා බෙහෙවින් අසීරු නමුත් එතරම්ම වටියි.

කිනම් පසුබිමක වුවද සමාව ගැනීම ඉහලින්ම අගයන අතර, මේ වගේ පිරිසක් තුලින් කල්ට් එක වෙනුවට බුද්ධිමය ජාතික මට්ටමේ දේශපාලන පක්ෂයක් හදා ගන්නට අනුර කුමාර දිසානායක මහතාට [සහෝදරයට නොවේ] ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමු.

Sunday, March 30, 2014

පළාත් සබා චන්දයේ පසු විපරම

චන්දෙට පසු විපරමක් ලියන්න හිතුවත් මලාට එහෙම ෆීලින් එකක් එන්නේ නැත්තේ මේ චන්දය ආසූත ජලය වගේ තත්වයක් නිසාය. අනික සියලු දෙනා දිනන ලද තත්වයක් තුල තොපි ඔක්කොම පරාදයි කියන්නට හිතට මොකද්ද වගේය. මේ විශ්වය වාස්තවීක යතාර්ථයක් නොවන බවත් හැම එකාම දකින්නේ තමන්ගේ ලෝකයක් බවත් කී මහාචාර්ය නලින් ද සිල්වා මහතා ට ස්තූතිවන්ත වන්නට හැම එකාම චන්දය දිනන හැටි වැටහෙන නිසා ඒ ගැන මොකුත් ලියා ආතල් කඩන්නේ නැතිය.

ඒ අස්සේ චාමි සෑමයා ඌට ආවේනික යාවත්කාලින වීමේ දෝෂයක් නිසා අහන්නේ "කන් ගැට්ටට මොකද වුනේ" කියාය. කවුදෝ එකෙක් කන්ගට්ටා යනු කවුද කියා අසා ඇත. නොදන්නා කෙහෙම්මල් කියන්නේ කන්ගැට්ටා යනු සංකල්පයකි. ඇසිය යුත්තේ කන්ගැට්ටා යනු කුමක්ද යන්නයි.

මේ සටහනේ අරමුණ චාමියා දවන ඒ පැනයට පිළිතුරක් හොයන්නට නොවේ. චාමිලාට තියෙන විජාතික ප්‍රශ්න ගැන හොයන්නට අපිට වෙලාවක් නැත . මෙහි අරමුණ මේ සම්බන්ධයෙන් මා පත් වී ඇති අසරණ භාවය ගැන පොඩි පැහැදිලි කිරීමක් කිරීමට පමණි.

මට මතක කන්ගැට්ටා වැලිකඩ හිර ගෙදරදී වෙඩි කා මළ බවයි. මේ වෙඩිල්ල පූර්ණ ලෙස අහඹු ආකාරයෙන් අහඹු කැරලි මර්දන තුවක්කුවකින් පිට වූ අහඹු උන්ඩයකි. ඇත්තෙන්ම මේක උණ්ඩයක් වීමට ඇත්තේ කොන්ටම් සම්භාවිතාවයකි. සමහර සම්භාවිතා අනුව මේක වනාතේ කොලුවෙක් ගැසූ ටීක් බෝලයකි. ඒ කොලුවාට බෝලය අරගෙන දුන්නේ පළාත් සබා චන්දෙන් පැරදුනු වනාතේ සුනිල්ය.

මේවා ගැන කාටවත් චෝදනා නොකරමු. මේකලා හිරේ පැත්තක් අල්ලාගෙන ජෝගි නටද්දී මෙහෙම දේවල් සිද්ද වේ. එහෙත් ගැටලුව නම් මට මේ කතාව ෂුවර් නැත. එහෙම එකක් ඇත්තටම වුනාද නැතිනම් මවිසින් මවා ගත්තාද කියා ෂුවර් නැත.

මට මෙලෝ දෙයක් ෂුවර් නැත. මා පත් වී සිටින තත්වය ඇතිවන්නේ ඉන්ෆෝමේෂන් ඕව ෆලෝ නම් දියුණු දේශපාලන ක්‍රමවේදය නිසාවෙනි. ඉපැරණි න්‍යායක් වන ගොබෙල්ස් න්‍යාය ඉවත ලන දියුණු ශ්‍රී ලංකා රාජ්‍යය දැන් භාවිතා කරන්නේ මෙම ක්‍රමවේදයයි.

ගොබෙල්ස් කලේ එකම බොරුව දිගටම කීමයි. මෙය අසා හුන් ජර්මනියේ ප්‍රාථමික ජනතාව ඒවා පිලි ගත්තේ ලු. එහෙත් ඊ නිව්ස් කියවන සී නිවුස් එකේ කොමෙන්ට් දාන අපේ බුද්ධිමත් ජනතාව එහෙම අන්දන්න අමාරුය. ඒ නිසා අපෙ කට්ටිය කරන්නේ වෙනම දෙයකි.

ඔවුහු දිගින් දිගටම කතා මවති. එකම සිද්ධිය ගැන කතා හත අටක් මවති. ඒවා ගැන අපිට හිතාගන්න බැරි තරම් කාරනා ගොඩක් රිලීස් කරති. කාරණාවෙන් කාරනාවට ඒවා පරස්පර විරෝධී වේ. කතන්දර ඔක්කොම සුරංගනා කතා වගේය. ඒවා කෙලින්ම අපේ සුරංගනා කතා විඥානය හරහා ගොස් කුඩා කල සිට අප එකතු කල සුරන්ගනා කතා අස්සේ පැලපදියම් වේ. අන්තිමට අපිටත් පැටලේ. උදාහරණ යහමින් දිය හැකිය.

- කන්ගැට්ටා මලේ ගමරාල එක්ක දිවිය ලෝකේ යද්දී අලියාගේ දල දෙක ගන්න හරි බිල්ලක් හැටියට හරි ලොරි තට්ටුව කඩා වැටුන නිසා ද කියා ෂුවර් නැත.

- හසිත මඩවල මැරුණේ කකුළු මාළු අස්සේ මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කල කරබද්ජාන් නැවේ දෙවෙනි ඔෆිසරයා වෙඩි තියලද, ඒ වෙලාවේ කැප්ටන් හැඩොක් උන්නේ එක්ස්ටසි ගහලද කියා ෂුවර් නැත.

- හැන්සල් හා ග්රෙටල් කුඩු කන්ටේනරයේ හෙරොයින් අස්සේ දමාගෙන බෝල්ට් ඇණ ස්මගල් කරපු වෙලාවේ ළමයි දෙන්නව කන්න හදාපු හාමුදුරුවන්ට අපහාස කල අගමැතියා තාම ඉන්නවද කියා ෂුවර් නැත.

- හිරුනිකාලයි තාත්තට හීයෙන් විද්ද තැන දිය කින්දුරියට රඟපෑවේ එයා ද එයාලයි අම්මාද කියා ෂුවර් නැත 

- ශිරානි බණ්ඩාරනායක නම් නපුරු මායාකාරිය ඉතිරිකිරීමේ බැංකුවේ සේප්පුවට ඉදලෙන් අනින කොට චන්දරසිරි බණ්ඩාර මහත්තයා මායා බලයෙන් එයාට විශ්වාසබන්ගයක් එව්වද කියා ෂුවර් නැත

- රතුපස්වල තිබ්බ පොකුණට මිනිස්සු වතුර බොන්න එනකොට එකා එකා කාපු රාක්ෂයට හොරෙන් වෙනිග්රෝස් රබර් නල වලින් වතුර බොන්න පුරුදු කරපු නායක හාමුදුරුවන් ඇත්තටම උන්නද කියා ෂුවර් නැත

ඔහොම ඔහොම බොහෝ දේ මට ෂුවර් නැත. මට මෙන්ම බොහෝ චන්දදායකයින්ටද එසේ ෂුවර් නැතුවා වන්නට පිළිවන. ඒ නිසාම එකක් ෂුවර් ය. ඊයේ තිබ්බ චන්දෙන් ආණ්ඩුවට තාමත් සීයට හැටක් විතර ලැබී තිබේ. ෂුවර් එපමණකි.

මේ අනුව බත්කන මිනිසුන් රටේ ඉන්නේ සීයට හතළිහයි කියන අයට ඒ හතළිහේ චන්දෙන් පත් වූ එකාලා මාස ගානක් තටම තටමා සිට එක පාරට ආණ්ඩුවට පැන්නම බත් එක්ක කන්න නොමිලේ පුන්නක්කු දෙන්නේ ආණ්ඩුවෙන්ද විපක්ෂයෙන්ද කියා ආයිමත් ෂුවර් නැත.

ලෝකය නිර්මාණය වන්නේ කතා වලිනි. මීට වඩා පැහැදිලි චන්ද පසු විපරමක් අවශ්‍යද?

ප.ලි. ආතල් කැඩුණු චන්ද දායකයෙකුගේ කරච්චල් කෙඳිරිලි වලට උත්තර දෙනු නොලබේ.

Monday, March 10, 2014

මැලේසියානු ගුවන් යානය ගැන පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා පොලිසියට

අතුරුදහන්  වූ  MH370 මැලේසියානු ගුවන් යානය ගැන පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා පොලිසියට දුන්නොත් මොකද වෙන්නේ කියලා මංජුල සමරසේකර මහතා ෆේස්බුක් එකේ අහලා තිබ්බා. දැන් මේක ලොව පුරා දශලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සිත් සතන් ශෝකයෙන් වෙලා ගත්ත මොහොතක් නේ. ඒ වගේ දුක්බර අවස්තාවක මොකුත් කියන ඒක හරි නැති හින්දයි මම කට පියාගෙන ඉන්න උත්සහ කළේ. ඒත් අපේ පොලිසියේ ඇතැම් ක්‍රියා ගැන හිතුවහම රටේ ජනතාවට ඊට වඩා දුක හිතෙන්න ඕනේ කියලත් මට හිතුනා.

ඔන්න ඔහොම දෙගිඩියාවක මේ ගැන හිතමින් ඉන්න අතරේ අතුරුදහන් වූ MH370 යානය ගැන පරීක්ෂණ කරන වගකීම අසල්වැසි රාජ්‍ය සියල්ල අසමත් වෙන කොට ශ්‍රී ලංකා පොලිසියටම ලැබිලා.

මේ ගැන ප්‍රකාශයක් කරන්න පොමා ප්‍රකාශක තුමා කල්පනා කළා. දැන් මේ පොමා තුමා නිදහස් ලේඛකයෙක් කියලා කියන උන්ට පිස්සු. [එතුමා තියා කේ කේ සර්ප කුමාර වැනි ලේඛනයේ පතාක යෝධයින් පවා ස්වාධීන ලේඛකයන් නොවේ. ඕකුන් ලියන්නේ ටෙම්ප්ලේට් වලට. සර්ප කුමාර නම් සයිමගේ ටෙම්ප්ලේට් කියලා ඒ වගේ වැදගත් පොත් කියවපු දැනුම් තේරුම් ඇති අය කියලා තිබ්බා]. පොමා ට ටෙම්ප්ලේට් හදන්නේ කවුද කියලා හරියටම දන්නේ නැහැ. ඒත් මෑතකදී වෙච්චි වැඩේ තමා පොමාට ටෙම්ප්ලේට් වැඩි වීම.

ඉතින් පොමා එලෝ මෙලෝ නැතුව ටෙම්ප්ලේට් පෙරලන්න ගත්තලු. ඔක්කොම එක ගානට පට්ට සිරා නිසාත්, ඔය ඕන එකක් ගැහුවත් ගින්දර වගේ මෙතෙක් වැඩ කළ නිසාත් පොරට එකක් තොර ගන්න මාර අමාරුලු. ඔන්න ඔහේ වෙන වැඩකුත් නැති එකේ පොමා ලිව්වලු එක එක ටෙම්ප්ලේට් වලට.

කන්ගැට්ටා ටෙම්ප්ලේට් එක
===================

පසුගිය සෙනසුරාදා සිට සොයා ගත නොහැකිව ඇති මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය සොරකම් කිරීමට සැකපිට ක්වාලාලම්පුර් ගුවන් තොටුපොළෙහි වඩු කාර්මිකයෙකු අත් අඩංගුවට ගෙන ඇත. මෙම වඩු කාර්මිකයා පෙර දින රාත්‍රියෙහි ධාවන පථය අසළ අල්මාරියක සඟවී සිට යානයේ රෝදවලට තොන්ඩුවක් දමා ඇති අතර පසුව ගුවන් ගත වූ යානය තම වත්තේ පුවක් ගසක බැඳ දමා තිබේ. යානය පසුව පහලට ඇද ගෙන පරණ යකඩ වලට විකිණු බවට සැක කෙරේ. ධාවන පථය අසළ තිබී එදින රාත්‍රියේ ඔහු භාවිතා කළ බීඩි .....


කුඩු කන්ටේනර් ටෙම්ප්ලේට් එක
=======================

මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය පැහැරගත් හෝ පුපුරුවා දැමූ සියලු දෙනාම අත් අඩංගුවට ගන්නට බලාපොරොත්තු වන්නෙමු. මෙම ක්‍රියාවට සම්බන්ධ කිසිවෙකුත් අගමැතිතුමා සමග සේවය නොකරන අතර ඒ සියලු දෙනා මාස කීපයකට පෙර ගුවන් යානා සොරකම් කිරීමට සැලසුම් කරන බව දැනගත් වහාම එතුමා සේවයෙන් ඉවත් කර තිබේ. හොර පාස්පෝට් මගින් ගමන් කළ දෙදෙනා එසේ සේවයෙන් ඉවත් කළ අය බව සැක කෙරෙන අතර ඒ දෙදෙනා අත් අඩංගුවට ගන්නට විශේෂ පොලිස් කණ්ඩායමක් වියට්නාමය අසළ මුහුදට යවා ....


මන්දනා ඉස්මයිල් ටෙම්ප්ලේට් එක
========================

සෙනසුරාදා මැලේසියාව ආසන්න ගුවනේදී සිදු වූ ගුවන් අනතුරට හේතුව මංකොල්ලයක් බව පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී තිබේ. පාරේ යන වාහන නවතා මගීන් මංකොල්ල කන ආකාරයට නියමුවා හා සේවක පිරිස බැඳ දමා මගීන් මංකොල්ල කෑමට උත්සහ ගනිද්දී මේ අනතුර සිදු විය. මෙම මංකොල්ල කරුවන් එදින රාත්‍රී 12.45 ට හමුදා සේවය හැරගොස් ඇත.


වනාතමුල්ල ටෙම්ප්ලේට් එක
====================

සෙනසුරාදා මැලේසියාවේ සිට චීනය කරා ගිය ගුවන් යානයක් අතුරුදහන් වී ඇති බව කියමින් කලහකාරී ලෙස හැසිරුණ එම ගුවන් යානයේ මගීන් ගේ ඥාතීන් ලෙස හඳුන්වා ගත් පිරිසක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය සැරසේ. මෙම පිරිස සම්බන්ධ දර්ශන ගුවන් තොටුපොළවල සී සී ටී වී වල සටහන් ව ඇති අතර .....


එතුමා තව ලියනවලු. මට කම්මැලියි ඕයි ඔක්කොම රිපෝට් කරන්න.

Friday, February 7, 2014

ගුරු ගෝල කතා - සාපරාධි ෆේස් බුක් එකවුන්ට්ස්

පාසල් දැරියකගේ ෆේස් බුක් එකවුන්ට් එකක් [සහ ප්‍රේම සම්බන්ධයක්] ගැන විදුහල්පතිවරයෙක් ප්‍රසිද්ධියේ කුණුහරුපෙන් බැනවැදුණු නිසා දැරිය සියදිවි නහගනී. අදාල විදුහල්පතිට කේලම පවසා ඇත්තේ ගුරුවරියකි. බොහෝ විට විදුහල්පති ගුරුවරිය කියූ දේ ඇසුවායින් එහාට මේ ගැන කිසිම පරීක්ෂණයක් කරන්නට නැතුවා වන්නට පිළිවන.

මේ අපට අසන්නට ලැබුණු කතාවයි. කතාවේ පසුබිමේ අප නොදන්නා දේවල් තිබිය හැකි නමුත් අදාළ ගුරුවරුන් දෙදෙනා බරපතල වරදක් කල බව නම් ස්ථිරය. විශේෂයෙන්ම විදුහල්පති ගුරු බකමූණා ගේ වනචාරී ක්‍රියාකලාපය කෙසේවත් සාධාරණ කල නොහැකිය. මේ කතාව අදාළ කෙල්ලගේ පිට දමා "අපේ අවලම් කම" හෙවත් අපේ කම කියා හිතාගෙන ඉන්න එකේ ජාමේ බේරාගන්නට මේ මොහොතේ එහි බහිරවයින් ක්‍රියාත්මක වන බව පෙනේ. 


පාසල් දැරියක් නිල ඇඳුම කොටට ඇඳපු නිසා ප්‍රසිද්ධියේ වාටි කපපු කතාව මතක ඇතැයි සිතමි. එදා එතන දේශපාලන මැරයෙකු වූ දැරියගේ පියා කලාක් මෙන් මේ මෝඩ පිනාව ඒ ස්ටේජ් එක උඩටම නංවා පොන්නයා කියා බනින්නට දැරියගේ පියා දේශපාලන මැරයෙක් නොවීම කනගාටුවට කරුණකි. මේ වගේ ගුරු බකමූණන් විසින් බිහි කරන සමාජය අර දේශපාලන මැරයා සේ වියයුතුය. නොගලපෙන අයට පැවැත්මක් නැත.

ප්‍රධාන මාතෘකාව ඔතනම තබා අතුරු මාතෘකා කතා කරමු. ප්‍රධාන මාතෘකාව [හෙවත් කාලකන්නි පිනාට දඬුවම් කිරීම] තාවකාලික වන අතර අතුරු කතා දීර්ඝ කාලිනය.

- ලංකාවේ බොහෝ දෙනෙකු ෆේස් බුක් යනු කවරක්දැයි නොදනිති. කෙල්ලට අම්බානට අප්සෙට් ගිය බවක් පෙනෙන්නේ තමන් නොදැමූ පින්තුර වලට‍ බැනුම් අහන්නට වීමයි [ලිපියේ එහෙම කියා ඇත]. එය සාධාරණ කනගාටුවකි. වරදකට දඬුවම් කරන්නා වරදෙහි ස්වභාවය ගැන දැනසිටිය යුතුය. මේක මේ වගේ සිද්ධි බොහොමයකට හේතු විය හැකිය. ගුරුවරුන්ට හමුදා පුහුණුව දීමට වඩා ගුරුවරුන්ට බේසික් අයි ටී යුසේජ් ගැන කියාදීම කාලින මාතෘකාවකි.


- ලංකාවේ පාසල් ළමයින් අතර හුවමාරුවෙන ෆෝන් එක හා අන්තර්ජාල ක්‍රියාකාරකම් ගැන පාසල් ගුරුන් දක්වන්නේ පුදුම අවුලකි. ෆෝන් එකක හුටප්පරෙකට කොළඹ පාසලක ගුරුවරුන්  කෙල්ලක් බියගන්වා ඇය පාසලේදීම ගෙල වැල දා ගත් කතාවක් මීට පෙර අසන්නට ලැබුණි. මීට හේතුව සරල වනචාරි කමයි. හැටේ දශකයේ දරුවන් බයිසිකල් පදින විට දෙමව්පියන් එය නසරානි වැඩක් සේ සලකා දඬුවම් කල බව අසා තිබේ. හෙන ඉස්සර කාලේ සුද්දගේ රේල් පාරේ කෝච්චි දුවන විට ඒවා මහා නරක දේවල් කියා බිය වී ගම්වැසියන් වන වැදුණු බවද අසාතිබේ. තමන් ඉන්නා යුගයට මේ යල්පැනගිය ගුරුන් යාවත්කාලින කිරීම දෙවන කාරණයයි.

- දරුවන්ට ප්‍රසිද්ධියේ දඬුවම් කිරීමේ වරද අපි කුරුණෑගල දිහාවේ නිල ඇඳුමේ වාටි කපාපු කේස් එක වෙලාවේ ද කතා කළෙමු. නැවත ඉස්මතු කරන්නට ඇත්තේ මේ වනචාරි දඬුවම් ක්‍රමයට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමින් පිළියම් යෙදිය යුතු බවයි.

- ගුරාගේ හැසිරීමෙහි දක්නට ඇත්තේ සමාජ විරෝධි මානසික ආතතියකින් පෙලෙන මනුස්සයෙකුගේ හැසිරීමකි. මෙහෙම වීමට මිනිසුන්ට සැහෙන හේතු ඇත. ලංකාවේ පාසල් වල තමන්ගේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න නිසා ලමයින්ගෙන් පලිගහන සහ ඇතැම්විට බීමත්ව පැමිණෙන ගුරුහු සිටිති. මෙය තවත් ගැටලුවකි.

- සිසුවියගේ ලිපිය කියවූ විට එහි මූලික කරුණු දෙකක් පෙනුනි. පලමු වන්න නම් හොඳ ළමයා කියන අයිඩලය මේ දරුවන්ගේ සිත් වලට කෙතරම් නරක බලපෑමක් කරන බවයි. අයිඩියලිස්ටික් රාමුවක් දරුවන්ට බලෙන් එබ්බීමෙන් එම රාමුවෙන් අපගමනය වන තැනදී දරුවා මානසික ආතතියකට ලක්වේ. සිද්ධිය තුල එහෙම ගතියක් මට පෙනේ.

- දෙවැන්න නම් පාසල් මව කියන මල කෝලම මේ ළමයින්ට කෙතරම් බලපාන බවයි. ලංකාවේ සියලු පාසල් තමන් පාසල් මවක් ලෙස දරුවන්ගේ සිතට කාවද්දයි. එම හරහා බාහිර ක්‍රියාකාරකම් වලට හැකිතාක් පිරිස අද්දවා ගනියි. මේ දැරියත් එවන්නියකි. එහෙම කෙනෙකුට පාසල තුල මෙවැනි කෙනෙහිල්ලක් සිදුවීම දරාගන්නට අමාරුය. මේ වගේ කෙනෙහිලි අප බොහෝ දෙනෙකුට සිදු වුවද මෙතරම් මානසිකව නොවැටෙන්නේ අම්මා පටලාගෙන නැති නිසාවෙනි. පාසලට ගරු කිරීම හා බැඳීමක් තිබීම යහපත් වන නමුත් පාසලේ කෙහෙම්මල් වලින් දිවි නහ ගන්නට උවමනා නැත.

- අනික් වැදගත් කාරණය නම් ගැහැණු දරුවන් මල් මෙන් හදන කාලය අහවර කලයුතු බවයි. වේසි කිව්වම පරවෙන සුමට මල් වෙනුවට පල පොන්නයෝ යන්න කියා අනිත් පැත්තට කියන රළු පරළු කෙල්ලන් අවශ්‍යය. මෙතනත් අපි ඉන්නේ අතීත යුගයක සිරවෙලාය. වර්තමාන ලෝකයේ ඔය මල් ප්‍රභේද වලට අවශ්‍ය පාරිසරික තත්වයන් නොමැත. පාරේ යනකොට වේසි කියා කියන එක බොහෝ විට හෙට දිනයේ සාමාන්‍ය දෙයක් වනු ඇත.

Friday, January 17, 2014

මේවා මෙසේ සිදු වුනි නම් .....

[මෙහි සඳහන් කිසිදු කතාවක් ඉතිහාස කතන්දරයක් නොවන බව කරුණාවෙන් සලකන්න]

----------------

සොඳුරු පාටලී පුත්‍ර නගරයයි. නිග්‍රෝධ සාමනේර හිමියෝ ශාන්ත ගමනින් වඩිති. එක්තරා දෛවෝපගත හමුවීමක් සිදුවීමට නියමිතව තිබේ. සකල දිග භාරත දේශයම තමන්ගේ අණසකට නතු කල අශෝක නම් මහාධිරාජයා එහිමියන් දැක පැහැදී දම් අසා තෙරුවන් සරණ යාමට නියමිතව තිබේ.

එහෙත් එය එසේ නොවිණි. කෙතරම් පරාද වුවද ලෙහෙසියෙන් යටත් නොවූ කාලිංග දේශ වාසීහු අධිරාජයාට එරෙහිව බිහිසුණු කැරැල්ලක් ආරම්භ කළහ. යුධයෙන් කලකිරී හුන්නද තම මර්මස්ථාන බිඳලමින් සතුරා තම සෙන්පතියන් මරා දමනු දුටු මහාධිරාජයාට තවත් නම් ඉවසිය නොහැකි විය. සියල්ල පසෙක තබා අධිරාජයා යුධ බිමට වන්නේය.

නිග්‍රෝධ සාමණේර හිමියන්ට අශෝක අධිරාජයා මුණ නොගැසිනි. මෞර්ය අධිරාජ්‍යයට බුදු දහම අහිමි විය. තව තවත් යුධයට ම වන් අධිරාජයා චීනයෙන්ද බුරුමයෙන්ද පර්සියාවෙන්ද කොටස් අල්ලා ගෙන යුධයෙහි ම ඇලී ගැලී මළේය.

----------------

පොන්ටියස් පිලාත් නඩුකාර අසුනේය. නාසරතයේ ජේසු තුමා විත්ති කූඩුවේය. පෙරදා විඳි අනේකවිධ වධයෙන් ලේ ගලන තුවාල සහිතව වේදනාභරිතව උන වහන්සේ වැඩ සිටිති. ජේසු ව කුරුසියේ තබා ඇණ ගසන ලෙස බලකරන යුදෙව් පූජකයෝ ගිනි ගන්නා දෑසින් බලා සිටිති. තවත් දෛවෝපගත නඩු තීන්දුවක් දීමට නියමිතය.

එහෙත් පොන්ටියස් පිලාත් තවම තීන්දුව දුන්නේ නැත. මේ මිනිසා කල වරදක් ඔහුට නොපෙනේ. දහදුක් විඳ වේදනාවෙන් ඉන්න අහිංසක මිනිසා මරන්නට ඔහුට සිත් නොදේ. ඔහුට එය කරන්නට සිදු වන්නේ ජුදා දේශයේ පූජක රැළ බල කරන නිසාය. සමහර විට එහෙම නොකලොත් කැරැල්ලක් ඇති විය හැකිය.

පොන්ටියස් පිළාත් අනාගතය අනුමාන කරයි. මෙතන මොනවා උනත් ජුදා දේශයේ කැරැල්ල නොවැලැක්විය හැක්කකි. යුරෝපයම හොල්ලා සුළු ආසියාවට පැමිණි රෝම අධිරාජ්‍යයට බලපෑම් කරන්නට මේ පූජකයින් කවුද? පිළාත් නැවත මාලිගය තුලට යයි. "ජුදාවේ කැරැල්ල වලක්වන්නට අමාරුයි. වහාම හමුදා තර ක‍රන්න" හදිසි පණිවුඩයක් රහසේම රෝමය කරා යැවේ. ජේසුගේ නඩුව කල් යයි. ඊට සති කීපයකට පසු අමතර සේනා ලැබුණු වහාම ජේසු තුමා නිදහස් කෙරේ. බරබ්බස් නම් පල් හොරා ගොල්ගොතාවේ කුරුසියක මරා දැමුණි.

යේසුස් වහන්සේ එයින් පසුවද ජනයාට දේශනා පවත්වමින් චිරාත් කලක් ජීවත් වූහ. ජීවිත පූජාව හරහා ක්‍රිස්තියානිය ට රෝමය තුල ලැබුණු ප්‍රචාරය නොලැබුණි. මින් සියවස් කීපයකට පසු කොන්ස්ටන්ටයින් අධිරාජයා තීරණාත්මක සටනකට වන් කළ එහි තීරණයට බලපාන තරම් සෙනගක් ක්‍රිස්තියානියට උන්නේ නැත. කොන්ස්ටන්ටයින් උඩ බැලුවිට කුරුසාකාර වලාකුලකින් හිරු වැසෙනු දැක්කේ ද නැත. රෝම අධිරාජ්‍යය ක්‍රිස්තියානිය රාජ්‍ය ආගම කලේද නැත.

----------------

යත්රීබ් හෙවත් පසුව මදීනා අල් නබි ලෙස නම් ලබන්නට නියමිත නුවරයි. මොහොමඩ් නබි තුමාගේ සම්ප්‍රාප්තිය සිදුවන මොහොතයි. නගරයේ පාලකයින් අතර අසමගිතා සහ ගැටුම නිසාවෙන් නගර ජනයාගේ සහයෝගය ඔහුට ලැබීමට නියමිතය.

එහෙත් කිසියම් අසාමාන්‍ය හේතුවකට නගර පාලකයෝ එකමුතු වූහ. නබි තුමාට බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් එල්ල විය. මක්කම් වැසියෝ දිගින් දිගටම පරාජය ලැබූහ. අවසානයේ මොහොමඩ් නබි තුමාට මක්කමත් අතහැර සටනින් පසු බසින්නට සිදු විය. අරාබි කාන්තාරයේ කෙළවරක කුඩා ගෝත්‍රයක් ලෙස පැවතීමට නිදහස ලැබුණද, කවදාවත් ඔවුන් ට ප්‍රධාන නගරයක් නතු නොවීය.

මේ සිදුවීම නිසාවෙන් එතුමාගේ අනුගාමික ප්‍රජාවට මදීනාවක් හෝ මදීනාව පදනම්ව ලෝකයේ බිහිවූ විශාලම ආගමික රාජ්‍යයන් වන රශිදුන් උමායඩ් හා අබාසිඩ් කාලිෆේට් බිහි කරන්නට අවකාශ නොලැබේ. අරාබිය ඉස්ලාමය වැළඳ ගැනීම තබා ඒ ගැන දන්නේද බොහොම ටිකකි.

----------------

දිල්ලිය ගිනි ගනී. නගරය වටලා හුන් මොංගල් හමුදා නගර ප්‍රාකාරවල දුර්වල තැනකින් නගරයට ඇතුළු වී ඇත. කවදාවත් මොන්ගලයින්ට නොවැටෙන්න නියමිතව හුන් භාරතයේ මුර කපොල්ල කිසියම් හේතුවක් නිසා බිඳ වැටී තිබේ. ඉතිහාසයේ උන් කෲරතම ආක්‍රමණිකයෝ දිල්ලිය වනසා එහි හුන් ගැහැණුන් වහල් කමට විකුණා පිරිමි දරුවන් සිය හමුදාවට කොල්ල කාගෙන සියලු වැඩිහිටි පිරිමින් පෙති ගසා දමන ලදී.

දිල්ලිය තුලින් පටන් ගත් සමූල ඝාතන ගංගා නදිය ඔස්සේද සින්ද් නදිය ඔස්සේද පසුව ඩෙකාන් සානුව ඔස්සේ ද විහිදී ඉන්දියාව රුධිර ගංගාවක් බවට හරවන ලදී. නගර වූ තැන්හි සති ගණන් දැවුණු මහා ගිනි පමණක් ඉතිරි විය. ශිෂ්ටාචාර වූ කිසිවක් ඉතිරි වූයේ නැත. වේද ග්‍රන්ථ ද මහා භාරතය ද රාමායනය ද ඉපැරණි ඉන්දියාව සතු සියලු දැනුමද ඒ ගින්නේ ම අළු වී ගියේය. සියවස් ගණනකින් නැවත අළු ගසා නැගිටින කුඩා ඉන්දියානු ජන ප්‍රජාව හින්දු ආගම ගැන අබමල් රොනක කාරනාවක් දැන උන්නේ නැත.

----------------

මේවා මෙසේ සිදු වුනි නම් .....

අද බෞද්ධ ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු ආගමික වියරුවකින් තැන තැන අමන ක්‍රියා කෝලහාල ත්‍රස්ත ප්‍රහාර හා යුධ සටන් කරන්නට යමක් ඉතිරි වන්නේ නැත. කිසියම් දෙවියෙකුට රාජ්‍ය තනන්නට හෝ ඒ දෙවියා වෙනුවට වෙනත් දෙවියෙකුට ඒ රාජ්‍ය කොල්ල කන්නට හෝ දේවාලයක බිම්කඩක් වෙනුවෙන් ගම්මාන ගිනි තියන්නට හෝ ධර්මයක් උදෙසා රාජ්‍ය පිහිටුවන්නට අනික් ආගමිකයන් සමග ගහ මරා ගන්නට කාටවත් අවශ්‍ය නොවේ. මුදල් දී අනෙකාගේ ආගමික පොත් හා ප්‍රතිමා ගිනි තබා තමන්ගේ ගුබ්බෑයමට මිනිසුන් වද්දා ගන්නට හෝ, එවැනි ගුබ්බෑයම් ගිනි තබා තමන්ද ඊට නොදෙවෙනි බව කියන්නට අවශ්‍ය නැත. කන්දකට ගලකට ආගම් කීපයක ආගමික අගයක් ලබා දී ඒ වෙනුවෙන් ප්‍රතිවාදියා මරාගෙන යුධ වදින්නට අවශ්‍ය වන්නේ නැත.

එසේ නම් බුදුදහම, ක්‍රිස්තියානිය, ඉස්ලාමය හා හින්දු ආගම ගැන කතා කරන්නේ එක්කෝ පුරා විද්‍යාඥයින් හා ඉතිහාසඥයින්ය. නො එසේ නම් ප්‍රාදේශීය දර්ශනවාද විශ්වාස හා ඇදහිලි ගැන පර්යේෂණය කරන විද්වතුන්ය.

ලෝකය සුන්දර වනු ඇතැයි ඔබට සිතෙනු ඇත.

එහෙත් ඔබ වැරදිය.

ඒවා නොතිබ්බේ නම් වෙනත් කාගේ හෝ කතාවකට, මතවාදයකට, පොතකට, ජීවිත පූජාවකට, තරු පොකුරකට, දේශගුණ වෙනසකට, කන්දකට මුහුදකට හෝ වෙනත් කිසියම් දෙයකට මෙලෙසින්ම ගැලී අගක් මුලක් නැතිව, අපේ එක හරි ඩෝ, තොගේ එක බොරු ඩෝ, මේක අපේ එකේ බිම ඩෝ, කියාගෙන ලෝකයේ විවිධ බසින් කෑ ගසන පෙනුමෙන් වෙනස් එහෙත් අත්‍යන්තයෙන් ම සමාන වූ මානව ප්‍රජාවක් දැකිය හැකි වනු ඇත. ආගමික නායකයා හිස ගැසුම් කෑ දවසට දරුවන්ගේ මුහුණු කපනවා වෙනුවට අහස රතුපාට වන අවුරෝරා කාලයට එයම කරනු ඇත. අර ආගම් වැනිම වූ වෙනත් ආගම් වෙනුවෙන් එලෙසින්ම ගහ මරා ගනිමින් නිල් පාට බෝලය මෙලෙසින්ම පෙරළෙනු ඇත.

කරන්නට දෙයක් නැත. බලු වලිගේ ඇද තීන්දු වන්නේ දැමූ උණ පුරුකේ වක්‍රතාවය මත නොවේ.

Saturday, April 20, 2013

බොස්ටන් ත්‍රස්ත සැකකරුවන් ගැනයි

බොස්ටන් බෝම්බයෙන් අහිංසක දරුවන් ඇතුළු අසරණ මිනිසුන් මියයන විට අපි කනගාටු වූයෙමු. වරදක් නොකළ මිනිසුන් මරාදමන ජනනාශක බෝම්බයක් කිසිම ආකාරයකින් සාධාරණය කල නොහැක. ඇමරිකාව ලෝකයේ වෙනත් රටවල කරන යුද්ධ ගැන සඳහන් කිරීම තුලින් මෙම බෝම්බය සාධාරණය කල නොහැක.

එහෙත් ඇමරිකාව බෝම්බය පිපිරූ බව කියන ත්‍රස්ත "සැකකරුවන්" පස්සේ එලවන විට අපිට මේ ටික නොකියාම බැරිය.

- මේ පුද්ගලයින් හුදෙක් සැකකරුවන් පමණි. රිසි පරිදි මාධ්‍ය වසා මරා දැමීමට ඔබට නොහැක.

- ත්‍රස්ත සටන් ඇවිලෙන ප්‍රදේශ වලින් මාධ්‍යවේදීන් පිටමන් කිරීම වහා නැවතිය යුතු වේ.

- ඔවුන් සන්නද්ධ ව හිටිය ද ඔවුන් ඉතිරි ජන ජීවිත වලට තර්ජනයක් වුවද මරා දැමීමට ඔබට නොහැක. ඒ ඔවුන් ත්‍රස්තවාදීන් නිසාවෙනි. උන්ට විශේෂ ආරක්ෂාවක් දිය යුතුය.

- ඔබ ඔවුන් සම්බන්ධයෙන් ජිනීවා ඇතුළු සියලුම සම්මුතීන් අනුගමනය කල යුතු වේ.

- ඔවුන් සුදු කොඩි රැගෙන විත් වෙඩි තබා පලා යන්නේ නම්, ඔබ ඊට ඉඩ දිය යුතු වේ.

- මෙම පුද්ගලයින් දෙදෙනාට බාරවීමට ජාත්‍යන්තර මට්ටමින් සහය දිය යුතුය. මේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට රාජ්‍ය නොවන සංවිධාන වන ජාත්‍යන්තර ඉස්ලාම සංගම්, හා අල් කයීඩාවට මූල ධර්ම සහය සපයන පිරිස් වලට ඉඩ දිය යුතුවේ.

- මෙම දෙදෙනාට අවැසි නම් මධ්‍යස්ත රටක් හෝ ඇෆ්ගනිස්තානය, ඉරාකය සිරියාව වැනි අරාජික කලාපයකට පලා යාමට නිදහස  දිය යුතුවේ.

- මෙසේ නොකරන්නේ නම් ඇමරිකා එක්සත් ජනපදය ජිනීවා හි පැවතෙන මීළඟ මානව හිමිකම් සැසියේදී චෝදනාවලට ලක්වන බව කරුණාවෙන් සලකන්න.

[ඉහත මගේ කතා අතාත්විකයි කියා මෙහි කොමෙන්ට් කරන අය දැන ගත යුතු වන්නේ මේවා ත්‍රස්තවාදය මර්දනය කිරීමට අපට ලබාදුන් ඇමරිකානු උපදෙස් ම බවයි]

Saturday, March 16, 2013

සිරිලක ඇසි දිසි

[කතාව පුරා දිගටම සිදු වූ බාධා කිරීම් නිසා අදහස හරියට ඒත්තු නොයන බැවින් මෙය තේරුම් ගන්නට කෙස් පලාගෙන මහන්සි නොවන්න. සමහර විට අයි ටී එන් එකේ යන සංවාද බැලීමෙන් බුද්ධිය මේරු අයට මේවා වැටහෙනු ඇත]

"සිරිලක ඇසි දිසි 
සරසවි කෙම් බිම...." ඩොල්කි පියා ගැන්ග්නම් ගානට පටන් ගත්තා.

"කෑවා කෑවා" හසියා තමන්ටම මතුරා ගත්තා. 

"දොරින් දොරට ..."

"නවත්තපිය යකෝ... ඔව් මේ ඔබ එකතු වන්නේ දොර මඩ ලා ගැනීමට" හසියා කොමෙන්ට්‍රිය දෙන්නේ හන්දියේ සැට් වෙච්ච ගැන්සියට. මැම්බර් උත්තමයාගේ සුවාදීන ස්ටෝර්ස් එකේ කඩ ලෑලි පලු දෙකේම ඇරලා මහප්‍රාණ මාත්තුරු හතර දෙනෙක් ඉන්නවා පැදුරු කඩමාල්ලේ හෝයි ගාලා එරමිනියා ගොතාන. හසියාත් පොඩි බංකුවක් ඇදගෙන 'මයික්' ටයිසන්ගෙන් ගෙනාපු මයික් එකෙන් ජනතාව අමතන්නේ.

"දැන් අද අපිත් එක්ක සැට් වෙලා ඉන්නේ අහල ගං හතේ එක එක එව්වයේ කප් ගහපු, සිදාදියේ තව ලොකුවයින් පදවි නම්බු නාම ගත්තු කැලණියේ ඉස්කෝලේ ගල් ගහලා පන්නපු හිටපු විදුහල් පති සිල්වා මහතා..."

"මම විදුහල් පති  ත් නොවේ, කපුත් නැහැ, නම්බුත් නැහැ"

"හරි අහල ගං හතේ එක එක එව්වයේ කප් ගහපු නැති, සිදාදියේ තව ලොකුවයින් පදවි නම්බු නාම ගත්තු නැති කැලණියේ ඉස්කෝලේ ගල් ගහලා පන්නපු නැති හිටපු නැති  විදුහල් පති සිල්වා මහතා..."

"හප්පා චතුර් කෝටිකේ... මෙව්වා මෙහෙම කියා දෙන්න බැහැ යකෝ"

"ඒ වගේම මම හිතන්නේ අමුතුවෙන් මේ හන්දියේ ගැන්සියට මෝස්‌තර දාන්න ඕනේ නැහැ කීර්තිමත් විද්‍යාදර ..."

"ආයිබෝවන්ඩ"

"... කාලෝ අයන්තේ මහා ඇදුරා නිතර තොවිල් නටන කෙනෙක්, නිතර අපිත් එක්ක මේ හන්දියේ බහින කෙනෙක්"

"තව පාරක් ආයිබෝවන්ඩ"

"අද සිල්වා මහත්තයා...

"මම මහත්තයෙකුත් නෙවෙයි යකෝ'

"... එන ගමන මගින් අහුලාගෙන ආපු කවුද මේ...නමත් මතක නැහැ... කවුද මේ ... "

"නිම්සිරි"

"ආ අපේ නිම්සිරි මල්ලි මේකා නම් අහවල් මගුලකට ගෙනාවද මන්දා සිල්වා අයියට හූමිටි තියන්න වෙන්ට ඇති"

"මම කොහොමද යකෝ තොගේ අයියා වෙන්නේ?"

"සිල්වා 'මොකාට' හරි හූමිටි තියන්න කියා නිවැරදි කර ගන්න සහෝදර වරුනි"

"අඩෝ ගෙරියා තෝ මොකද මට විතරක් 'මොකාට' කියල තුනේ කොලේට දාන්නේ?"

"ඉතින් ඔබතුමා මට චාන්ස් එකක් දුන්නයි වෙන විදිහකට"

"මම තුමෙකුත් නොවෙයි. කැතයි ඕයි, තමුසේ මේ එකෙක්ටවත් ඔහොම කිව්වේ නැහැ. මට තමයි ගේමට එන්නේ. අල්ලලා අරිනවා තොගේ ... [නිවසේ බලධාරියා කපා දමන ලදී]"

"ඔව් නැවතත් ඔබ අප සමග"

[පසුබිමින්] "නැහැ මං කියන්නේ ගේම නම් ගේම මූ මට එන්නත් කියලා ..."

"අවසාන වශයෙන් අපි එකතු කර ගන්නවා හරිශ්චන්ද්‍ර.... හනේ බුදු මහත්තයෝ අපේ පරණ හරිශ්චන්ද්‍ර අයියා, ගහක් ගලක් වගේ හිටිය මගෙ දෙයියා... හපොයි මට වාවන්නේ නැහැ... ආයි ඉතින් කවදා එන්නද?... හලේ මට දුකයි... තෝ ද හරිශ්චන්ද්‍ර ... තෝ කොහෙද නරියෝ අර උත්තමයා වගේ වෙන්නේ? තෝ හිතුවද තෝත් ඒ ගානේ කියලා?'

"ඉහි ඉහි"

"ඉහි ඉහි"

"ඔව් [ඉහි ඉහි] අපි මේ අලුත් හරිශ්චන්ද්‍ර ගම්බාරේ එකතු කරගන්නවා, නිතර මනෝ පාර ගහගෙන ඉන්න ඩයල් එකක්"

"ගුඩ් ඊව්නින් වේවා"

"එහෙනම් පට්ටාන් ගනිමු ඔබේ ඇසි දිසි ජල සන්නිය දොර මඩ ලා ගැනීම"

"අද පට්ට සීන් එකක් තමයි සෙට් එක අදින්නේ. මේක අපි නිතර වටේ ගියත් පුංචි තට්ටුවක් දැම්ම මිස හරියට බැහැපු සීන් එකක් නොවේ. මේ නිසාම ..."

"අඩෝ තෝම කියවන්නේ මටත් කියන්න දීපිය"

"මටත්"

"මටත්'

"... මේ නිසාම අපේ සෙට් එකට මෙව්වා බැරිය නිකම් සීනි බෝල විතරය කියා සමහරු හිතුව නම් උන්ගේ මෑණියන් සිහි කරනවා. අද මේ ටොපික් එක අඟල් හයක් බස්සලා මිසක් නවත්තන්නේ නැහැ ඔන්න..."

"... අපි තමයි මේ හන්දියේ, වත්තේ එකාලා කන බොන අහවල් එක පහ කොරන ක්‍රමවේද හදන්නේ. අපියි මේකේ හැම එකාටම හිතන්න උගන්නන්නේ. ඉතින් අපි හිතුවා මේක තමා ගේමක් නැති ටොපික් එක කියලා. මොකද ඔය හැම එකාම තක්කු මුක්කු වෙලා ඉන්න නිසා ..."

"... මේක අද කියා දුන්න ගමන් හෙට ඉඳලා උඹලයි සිතීම අම්බානට මෙව්වා වෙනවා. මේක අහගෙන ඉඳලා පාස් පේපර් දෙකක් විතර කරාම ගොඩම තමා..."

"... මේකයි සීන් එක. දැන් ඔය වීරසේකර රාලාමිලයි ගේ පිටිපස්සේ තියෙනවා ..."

"තියෙනවා කියලා එකක් නැහැ යකෝ"

"වීරසේකර රාලාමිලයි ගේ පිටිපස්සේ නැහැ ...."

"නැහැ කියලා එකකුත් තියෙන්න බැහැ. අය්යෝ මේක තේරෙන්නේ නැද්ද?"

"... පස් කන්දක්. මනක්කන්ද කියලා. මේක කවුරුත් දන්නා එකක්."

"දැනුම කියන්නේ අමු ප්‍රෝඩාවක්"

"ඉන්න ඉන්න සිල්වා. තමුසේ පනින්න එපා. අද මේක දෙකෙන් එකක් ක්ලෝස් වෙද්දී ඔය දැනුම තමා කීතු කීතු ඉරෙන්නේ..."

"... ඉතින් අද අපේ ඇසි දිසි ජල සන්නිය යොමු වන්නේ මේ කවුරුත් දන්නා මනක්කන්ද ගැන කතා කරන්න"

"මුලින්ම මම කැමතියි අපේ කාලෝ අයන්තේ මහා ඇදුරා ගෙන් මේ සීන් එකට එන්ටර් වෙන්න. මහා ඇදුරාණෙනි, දැන් මම කිව්වා කවුරුත් දන්නවා කියලා මේ මනක්කන්ද ගැන. මොනවාද මේ මිනිස්සු දන්නේ. මනක්කන්ද කියන්නේ කන්දක්ද? නැතිනම් ගල් පස් වැලි වතුර ගොඩක්ද? මොන රෙද්දක්ද ඕයි මේ මහා ලොකු දැනුම?'

"හසියා... අපි මේක.... මෙහෙම බලමු. දැන් ඔතන මොකද්ද තියෙන්නේ? කන්දක්. කවුරුත් ... හිතන් ඉන්නේ ... කන්දක් කියලා.... ඒත් මොකද්ද මේ ... ... කන්ද. තනිකර ... පස් ... ගොඩක්. ඔකේ ... මොකුත් ...මදයක් නැහැ. පසුයි ... ගලුයි ..."

"හයියෝ කාලෝ කාලෝ මම තමුසෙට කීපාරක්‌ මෙහෙම සෙට් වෙද්දී කිව්වද මේ කතාව. ඔහොම තියෙන මොකුත් නැහැ. නැති මොකුත් තියෙනවා. තියෙනවා කිව්වට නැහැ. නැහැ කියන එකයි තියෙන්නේ. තියෙන එක නැති උනාම, නැති එක තියෙන එකත් නැති වෙන නිසා තියෙන එක තියෙන කොට..."

"අඩෝ සිල්වා තෝ අපේ කාලෝ අයන්තේ මහා ඇදුරාට කතා කරන්න දීපිය හරිය?"

"හසියා තෝ මටමයි කෙලින්න එන්නේ, හෙට බලාගම්මු පරිසදේ
 ලඟදි. කාලෝ අයන්තේ තොට යකෝ මම ඇක්සයිස් පොත් තුනක්, පිටු එකසිය හැටේ එස් පී සී එව්වා තුනක් පිරෙන්න ලියලා දුන්න. තෝ කොහෙද ඉතින්, මගෙ අදහස් කඩල ගොටු ගහන්න දුන්න නේ"

"නැහැ... සිල්වා... මම ... දුන්නේ ... හිස් ... කොළ ටික ... විතරයි"

"පල ඩො යන්න. මම ඊයේ ගත්තම කඩල ගොට්ටක් එකේ කොලේ මාතෘකාව මගෙ ලෝකය"

"ඔබේ ලෝකේ ... එහෙම වුනාට ... මගෙ ලෝකේ ... එහෙම නොවේ"

"හරි හරි දැන් ඇති. කාලෝ කට වහ ගන්නවා. මම අනිත් පැත්තේ ඉන්න සිල්වාට දෙන්නයි යන්නේ මයික් එක"

"අඩෝ පෝලිමේ ඉන්නේ මූයි මායි. මූ නම් හූමිටියට ආපු නිසා ඔහේ හිටපුවාවේ. ඒත් මම පට්ට ජෙනුයින්. උඹ පේලි පැන්නා"

"මේකේ පේලි මගෙයි හරිය. මේ හසියා දන්නවා පේලි කොටු පනින හැටි අගේට. සිල්වා තමුසේ කියන්නේ මේක අපේ වත්තේ එකාලාට එදා ඉඳලා කරගෙන ආපු ආවේනික විදිහට විසඳා ගන්න ඕනේ කියලා. මොකද්ද මේ වත්තේ උන්ගේ අවබෝධය. මොකද්ද මේ මනක්කන්ද? මොකද්ද මේ දැනුම? අපේ වතු චින්තනයෙන් පහදා දුන්නොත්"

"අඩෝ මේ මම සිංහල බහුද්දය හරිය. සිංහල බහුද්ද එක තමා මගෙ එකත්. බුදු හාමුදුරුවෝ කිව්වත් එක වෙනස් වෙන්නේ නැහැ"

"බුදු ... හාමුදුරුවෝ ... කිව්වත්? ජේසු ... ස්වාමි ... දරුවනේ !!!"

"ඔව් ඩො. බුදු හාමුදුරුවෝ කිව්ව එකම තමයි සිංහල බහුද්ද කියන්නේ, එහෙම කිව්වේ බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාද්දී කියලා අපිට සිංහල බහුද්දයා කියා දුන්නේ."

"සුවර් ද?"

"බුදු හාමුදුරුවෝ කිව්වා කියල ෂුවර් මොකද බුදු හාමුදුරුවෝ කිව්ව එකමනේ සිංහල බහුද්දයා කියන්නේ. එහෙම කිව්වෙත් බුදු හාමුදුරුවෝ. එහෙම කිව්ව බව කිව්වේ සිංහල බහුද්දයා"

"ඔහේ රවුමේ යනවනේ සිල්වා."

"අඩෝ ... තෝ මටමයි ගේම කෝල් කරන්නේ. තොගෙ ...  [නිවසේ බලධාරියා කපා දමන ලදී]"

"හරි අපට පැහැදිලියි සිල්වා ඔහේගේ මනක්කන්ද ගැනත් ඒ සම්බන්ධ දැනුම ගැනත් තියෙන අදහස"

"කොහේ පැහැදිලි වෙන්නද යකෝ. තෝ මෙතන මට කියන්න දුන්නද? මගෙ යකා අවුස්සලා මාව පීලි පන්නලා."

"හරි අපිට පැහැදිලියි"

"පැහැදිලි වෙන්න මොකුත් කිව්වද?"

"එළකිරි උඹට ඇති සිල්වා. නිම්සිරි මල්ලි. උඹ කියාපන්, සිල්වාට හූ මිට්ට ගහන ටික ඇරෙන්න මොනවාද උඹට කියන්න තියෙන්නේ"

"සිල්වා අයියා හරි කියන එක තමයි."

"තව පැහැදිලි කලොත්"

"තව පැහැදිලි කලත් මට තේරෙන්නේ සිල්වා අයියා හරි කියලා තමයි. ඒ කාලේ අපිව දන ගස්සලා ඔව්වා කියලා දුන්නේ. හය හතර නොතේරෙන කාලේ මේකා වේවැලත් අරගෙන කැම්පස් ආපු බබ්බුන්ට ඔව්වා පපු කවුත්තට බැස්සුවේ ඒ වගේ විනයකින්. මෙතන තොපිට නැහැ ඒ විනය. තොපි එනවා හරස් ප්‍රශ්න අහන්න"

"හරි ඒ ඇති. පැහැදිලියි. ගම්බාරේ කියන්න මයේ අම්මා. මොකද්ද මේ මනක්කන්ද ගැන දන්නේ. මොකද්ද මේ දැනුම"

"හසියා බ්‍රදර් මම මනක්කන්ද දන්නේ නැහැ"

"අර වීරසේකර රාලාමිලයි ගේ පිටිපස්සේ තියෙන. යකෝ අපේ පොඩි එකත් දන්නවා"

"මම ඔය කන්ද දන්නේ නැහැ. මොකද මම ඒ කාලේ මොන හත්තිලව්වක්වත් දන්නේ නැතුව ඉන්න කොට මට එක පාරටම බුද්ධිය පහල වුනේ ග්‍රීසියේ ඔලිම්පස් කන්ද ළඟ. මම දන්නේ එක විතරයි"

"අන්න අන්න ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි පර වේ---ගෙ පුතා. බටහිරයා හිටු තෝ උල හිටුවන්ට"

"දැන් ... මේ ... කන්ද ... කොහේ ... තිබ්බම ... මොකද? අපි .. කතා කරන්නේ ....කන්දක් ... කියන එක ගැන... අපි ... දන්නා දේ. ඔලිම්පස් උනත්, ... වීරසේකරගේ කන්ද උනත් - ඔය ... 'වීරන් සේකරම් කන්දන් මනක්කන්දන්' කියලා ... ගාතාවකුත් තියෙන්නේ - මේ කන්ද ...කොහේ තිබ්බත් ... එකම දේ නේ... බටහිර උනාම... මොකද ... පෙරදිග ... උනාම මොකද?"

"එතනයි අවූල. කාලෝ අයන්තේ, උඹට මේක තේරෙන්නේ නැහැ. ඔය ග්‍රීක කන්දේ පස් ස්තර තනිකරම අපේ කන්දට වඩා වෙනස්. මෙතනින් තමා වෙනස එන්නේ. කියෝපන්  අර නිල් පිටකවරේ අපේ ප්‍රවාද කියලා මම ලියලා දුන්නු ඇක්සයිස් පොත. ඕකේ තියෙනවා ෆුල් සිද්ධිය. කොහෙද තෝ ඒකත් දෙන්නැති කඩල ගොට්ටට. ෂික් අපරාදේ මම සයින් කොරලත් එක්ක දුන්නේ"

"ඔව් සිල්වයියා හරි. මෙතන දැවැන්ත අර්බුධයක් තියෙන්නේ මේ කන්ද බටහිර ද නැගෙන හිරද තියෙන්නේ කියන එක උඩ. කොටින්ම ඒකම විතරයි මෙතන එකම අවුල. මොකද ඔය කන්ද හදන්න පස් ගෙනිච්චේත් අපේ කඳුවලින්"

"නිම්සිරි... ඉතින්.... මොකද? පස් නම් පස්... කන්දට ... කොහෙන් ගෙනිච්චත්.. එකයි"

"අන්න මල්ලි උඹ අනා ගන්න තැන. ඔය පස් අරගෙන ගිහින් දානකොට උන්ට දිරවගන්න බැරි එව්වා හලනවා. එතකොට අපේ පස් වලින් හදන්නේ උන්ගේ ජාතියේ කන්දක්'

"හරි ... මේ ... රසල් පප්පා ... බලන්න කියන දේ. ජාති ... හතරක් තියෙනවා...."

"උඹ තාම ඉන්නේ පරණ කාලේ අන්කල්. උඹට වයස කීයද? ඒ කාලෙම මොලේ... නැහැ නැහැ මනස - මම සිංහල බහුද්දයා අර වචනේ වැරදිලා කියවුනේ - වර්ධනය වෙලා ඉස් කට්ට පිරෙන්න. ආයිත් දෙයක් ඉගෙන ගෙන නැහැ."

"ඔහොම ඉන්න නරඹන්නෙක් නැගිට්ටා. හරි ජයරත්න අයියේ කතා කරන්න"

"මම හරි ආඩම්බර වෙනවා අපේ මේ මහා පඬිවරුන් හතරක් ..."

"මම පඬිවරයෙක් නොවේ"

"... එක්ක කතා කරන්න ලැබිච්ච එක ගැන. මම අද එද්දී අමරාවතී ඇහුවා ජයේ කොහෙද යන්නේ කියලා. මම කිව්වා මම යන්නේ ලෝකේ ඉන්න වැදගත් ම මිනිස්සු පිරිසක් ලඟට කියල. අමරාවතිට මාර ජෙල. ඕකි අද ඉන්නේ මම ගෙදර ..."

"අහන්න ජයරත්න අයියේ ප්‍රශ්නය"

"... එනකම්. මොකද මම යන එන තැන් හොයනවා කුසුමත් එක්ක සීන් එක මාට්ටු උන කාලේ පටන් ..."

"ප්‍රශ්නය මොකද්ද?"

"... ප්‍රශ්නයක් නැහැ මල්ලි. ඔහොමම සීන් එක කරගෙන යන්න අපිටත් මාර මෙව්වෙක උඹලා මෙහෙම කතා කරද්දී. එච්චරයි'

"හරි. එහෙනම් ආයිමත් කතාවට ආවොත්"

"හසියා මෙව්වා මෙහෙම කරන්න බැහැ. අපිට විනාඩි දහයකින් මේක පැහැදිලි කරන්න බැහැ"

"හරි සිල්වා විනාඩි දොළහ ගානේ මම ඔහෙට දෙන්නේ. ඒ නිසා වෙලාව ඇති කියා හිතනවා"

"මම එන්නේ නැහැ මේකට ආයිත්"

"ඉතින් ඇයි එහෙම කියන්නේ? මම කැමතියි මේ සිල්වා කියන එකට. මම කැමතියි මේ අදහස් වලට. මගෙ කිසිම අමනාපයක් නැහැ සිල්වත් එක්ක. තෝ අහු වෙන්න එපා පාරේදී ඒක වෙනම දෙයක්"

"තෝත් අහුවෙන්න එපා පරිසදේ හරියේ"

"මම කැමතියි මේ සිල්වාගේ කතා අපේ අතිගරු අති උත්තම මැම්බරයාණන් වහන්සේ ගේ ශ්‍රී කර්ණයෙන් ශ්‍රවණය කරලා ...."

"අනේ පල ඩො. ඕකා දන්නා රෙද්දක් නැහැ. ඌට මෙව්වා තේරෙන්නේ නැහැ. තොටත් තේරෙන්නේ නැහැ. මුන් තුන්දෙනාටත් තේරෙන්නේ නැහැ. මේ නිම්සිරියත් හා හූ ගාන්නේ තේරිලා නොවෙයි පාඩම් කරගෙන. ඕක තේරෙන්නේ මට විතරයි"

"... එතුමාණෝ ශ්‍රවණය කරලා මේ සිල්වාගේ මතය අපේ වත්තෙන් උකහා ගෙන අපේ මේ පළාතේ දියුණුවට යොදනවනම්. මොකද  අපේ අතිගරු අති උත්තම මැම්බරයාණන් වහන්සේ මේ දක්වා හැමදේම කලේ අපේ යහපත වෙනුවෙන්. උන් වහන්සේගේ .... [හැමදාම අහන නිසා ලේඛකයා විසින්ම කපා දමන ලදී]"

"ඔව් ඔබ නැවතත් ඉන්නේ ඒ ඇසි දිසි ජල සන්නියේ. මම හිතන්නේ අපේ සංවාදශීලී ජල සන්නිය ඉවර කරන්න කාලය හරි"

"කෝ තෝ මට අපේ වතු චින්තනය කියන්න දුන්නද? බජාර් ඒක හිතයි මම මේක දන්නේ නැහැ කියලා. යකෝ මම අවුරුදු විසි හයක් වැඩ කලේ මේ වතු චින්තනෙන්"

"හරි හරි කාලය ඉවරයි. ඕනෙනං ලබන සතියේ සෙට් වෙමු"

"එහෙම බැහැ මල්ලි. මගෙ බල්ලවත් ආයිත් එන්නේ නැහැ."

[කාලෝ යමක් කිව්වත් එය නොතේරේ]

"අනේ පල ඩො යන්න. තෝ මගෙ පොත් කියෝපිය. මම එව්වයේ ඔව්ව කියලා තියෙන්නේ. කොහෙද තෝ කියවන්නේ මලක් ගහල වෙන්නැති. මෙලෝ දානයක් තේරිලා නැහැ."

"අපේ ... අතිගරු ...  වැදගත්, මහා ... දැනුමැති සිල්වා මැතිතුමා ... ඔබට ... බොහොම ගෞරවයෙන් කියන්නේ ... ඔබ ලියලා තියෙන ... පොත්වල ... මොකුත් නොලියපු කොලත් .. තිබ්බා, යමක් ලියලා තියෙන කොලත් .. තිබ්බා. ඇත්තෙන්ම ... ඒ කොළ වලින් ... යමක් ලියලා තියෙන ... කොලවල ... ගන්න දෙයක් නැහැ, ... ගන්න යමක් තියෙන ... කොළ වල ... මොකුත් ලියලා නැහැ. මොකද ... මම ... කඩල කාරයාට දීලා ... යමක් ගත්තේ ... ඒ ... හිස් කොළ ටිකයි"

"අඩෝ .... තෝ හිතන්නේ මම ඔටුවා. මම දෙයක් ලියලාම නැහැ. මම තොට අභියෝග කරනවා වර පුලුවන්නම් හෙට පරිසදේ හරියට තොගෙ කකුල් කඩන්න. හරි එහෙම නෙවෙයි, වරෙන් ප්‍රසිද්ධියේ මෙතනට ඔප්පු කරලා පෙන්නන්න මම ලිව්ව කොලවලිනුත් හිස් කොළ වගේම කඩල ගොටු ගහන්න පුළුවන් කියලා"

"ඇත්තෙන්ම ඔබ දෙපල ඒ සංවාදය කරනවා නම්, මම කැමතියි කඩේ ආයිත් අරින්න"

[ෆෝන් එක අරගෙන]

"ගුණසිරි අයියේ, මුන් දෙන්නා ආයිත් සෙට් වෙන්න යන්නේ. හෙටත් මෙතන සෙට් වෙන උන්ට බඩු ටික විකුණා ගන්න අයියට පුළුවන්"

"අපේ සංවාදශීලී ජල සන්නිය මෙතනින් සමාප්තයි. ඔබට සුබ රාත්‍රියක්"

"සිරිලක ඇසි දිසි
සරසවි කෙම් බිම...." ඩොල්කි පියා තනියම ගසනු පෙනේ.

Tuesday, February 19, 2013

මහා සිංහලේ වංස කතාවට පූර්විකාවක්


මහා සිංහලේ වංශ කතාවේ අලුත් වර්ෂන් එකක් ඇවිත් ලු. වාසනාවකට තවම මට ඒක බලන්න වෙලා නැහැ. ඒත් පෙනෙන තරමට පරණ එකේ අවුල් ඊටත් එහාට තියෙන වැඩ සටහනක් බවයි තේරෙන්නේ. හැම දේම කපලා කොටලා විකුණන කාලෙක ඉතිහාසය වික්කම මොකද? අවාසනාවකට ඒක හිතන තරම් සිම්පල් නැහැ. ලංකාවේ ඉතිහාසය කියන විෂය වටේ සමහරු හිතෙන මවා ගෙන ඉන්න සේරම මිත්‍යා ගොඩ නැගෙන්නේ මේ ආකාරයට. ඒකෙ බලපෑම ලංකාවේ විවිධ අන්තවාදීන්ගෙන් මනාව තේරුම් ගන්න පුළුවන්.

මහා සිංහලේ වංශ කතාව ඉතිහාසයට දක්වන සම්බන්ධය සිරස සුපර් ස්ටාර් ශාස්ත්‍රීය සංගීතයට දක්වන සම්බන්ධය වගේ. ඒකෙ කියන කාරනා අරගෙන "සත්‍ය දැනුම" සොයා ගන්න එක අවුලක් නැහැ. මොකද මේවා කවුරු හෝ ඉස්මතු කරන්න එපයි. හැබැයි ඒකෙ කියන ඒවා තමයි හරි කියන මතයට එන්න එපා. උදාහරනෙකට "ඈත රන් විමන් තුලින්" ගීය ගයන්නේ අජිත් බණ්ඩාර නෙවෙයි.

ඔය වැඩසටහනේ ඉස්සර හිටියා පාර්ශ්ව තුනක්.

1. මෙලෝ හත්තිලව්වක් හරියට නොදන්නා හැම හත්තිලව්වම බාගෙට දන්නා මාධ්‍ය බකමුනෙක් [ඌට පුළුවන් රඟපාන්න විතරයි]. මේ මිනිහගෙන් ඉතිහාසය ඉගෙන ගන්න එක, ටුවරිස්ට් බීච් එකක ගයිඩ් කොල්ලෙක් කැම්පස් එකක ඉංග්‍රීසි උගන්නනවා වගේ.

2. කට විතරක් තියෙන බක පණ්ඩිතයින්. මේ අය "බොහෝ ඇසු පිරු" අය උනාට ඇසු පිරු දේවල් ව්‍යක්තව ගලපන්න අවශ්‍ය දැනුම හා පරිචය නැහැ. මේ අය විද්‍යාර්ථින් වුනේ හාන්සි පුටු වල. මේ අය කරන්නේ ඉතිහාසයේ සාමාන්‍ය සිද්ධි වලට ලුණු තුනපහ දාලා බයිට් හැදීම.

3. ඉතාම වියපත් පන නැති සැබෑ ඉතිහාසඥයෙක් [වැඩිම උනොත් ගෙන්නන්නේ එකයි මේ වර්ගයෙන්]. අර කට බරි සෙට් එක මේ මිනිහව බිත්තියට තියලා අහනවා "අඩෝ ක්‍රීටය ජනාවාස කලේ අපේ නාගදීපේ උන්නු නාගයෝ නේද? කියාපිය ඔව් කියලා, නැතිනම් තොගේ ඔලු කටු කුඩු කරනවා" කියලා. මේක නිකම් ලංකාවේ පොලිසියේ අත් අඩංගුවේ දුන්නු විත්ති ප්‍රකාශයක් වගේ. 

ඉතිහාසය කියන්නේ අම්බානට සංකීර්ණ ඩල් සබ්ජෙක්ට් එකක්. ඒකෙ සම්මත ක්‍රමවේද, නිගමන පිළිගන්නා ආකාර, කාරනා ගලපන හැටි හරිම අවිනිශ්චිතයි. ඒක එක රැයකින් එළිකරන්න බැහැ. කාලයක් එක එක අතට පැද්දීලාත් එක මතයකට එන්න බැහැ. ඒක මහා චාටර් දෙයක් බහුතර ජනයාට. ඒ ඉතිහාසයේ හැටි.

ඒත් ඒක එහෙම වෙන්න ඕනේ. ඉතිහාසය කපලා ලුණු තුන පහ දාලා, බයිට් වලට බැදලා සැශේ පැකට් ගහලා දෙන්න බැහැ සතියකට පාරක් ජනයාට ආතල් ගන්න. එහෙම හැදෙන්නේ ඉතිහාසය [history] වෙනුවට මාධ්‍ය බකමුනෙක් ගේ කතාව [his story] අදහ ගත්තු පිරිසක්. බොහො විට මේ පිරිස තමා විවිධ අන්තවාදී රැළි වල පෙරමුණේම ඉන්නේ.

ඔන්න මගේ ගානේ මහා සිංහලේ වංස කතාවට පූර්විකාවක්. එන්ජෝයි ඈ.

Sunday, January 6, 2013

ඩෙත් ඔෆ් අ කවුන්සිලර්

අනාගතයේ දවසක රූපවාහිනියේ චැනල් මාරු කරමින් සිටියෙමි.

+++++++++++++++++

මීළඟට අපේ "ඩෙත් ඔෆ් අ කවුන්සිලර්" විශේෂාංගය.


[ඩිඩින් ඩිඩින් ක්‍රෑෂ් බ්‍රාස් ජරබරස් ඩිෂුම් ඩොන්]

ඩෙත් ඔෆ් අ කවුන්සිලර් ඔබ වෙත ගෙන එන්නේ දියබරිස් පාවහන් අනුග්‍රහයෙන්. සැහැල්ලුයි සුමටයි දියබරිස්.

කැලණියේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය ප්‍රාදේශීය මන්ත්‍රීවරයා සම්බන්ධ සිද්ධිය තවම හෙළි කර ගෙන නැහැ. මෙන්න මීට පෙර සිදුවීම් පෙළ ගැස්ම.

මීට දෙසතියකට පෙර කැලණියේ ප්‍රාදේශීය මන්ත්‍රී වරයෙකු නාඳුනන තුවක්කු කරුවෙකු විසින් ඝාතනය කරන ලදී.

මෙම පරීක්ෂණය සිදු කරන පොලිස් කණ්ඩායම ඝාතනයෙන් දෙදිනකට පසු මෝටර් සයිකලයක් සමග පික් පොකට් කරුවන් දෙදෙනෙකු ලෙස ප්‍රකට පිත්තලයා සහ කුපාඩියා අත්අඩංගුවට ගත්තා. පිත්තලයා විසින් කරන පාපොච්චාරනයකදී හෙළි වූයේ අදාළ මන්ත්‍රී වරයා විසින් ග්‍රාමීය ප්‍රදේශයක බස් ධාවනය වැඩි කිරීමෙන් බස්වල සෙනග අඩුවීම නිසා තමන්ට වුනු පාඩුව පිරිමහ ගන්නට මෙම ඝාතනය කල බව.

හරියටම ඉන් දෙදිනකට පසු මන්ත්‍රීවරයා සමග සබඳතා පැවැත්වූ බව කියන ටෙලි නාට්‍ය නිළියක් අත් අඩංගුවට පත් වුණා. මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට භාවිතා කළ ගිනි අවිය ඇය සතු නීති විරෝධී අවියක්. තම ලොකු අම්මා සමග මෝටර් සයිකලයක නැගී පැමිණ මන්ත්‍රීවරයාට වෙඩි තැබූ බව ඇය පොලිසිය හමුවේ පවසා සිටියී. මේ සම්බන්ධයෙන් මෝටර් සයිකලය පැදවූ බව කියන හැත්තෑ දෙහැවිරිදි ඇගේ ලොකු අම්මාද පොලිස් අත් අඩංගුවට පත වුණා.

--- [බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්]

දැන් ඒ සැක කරුවන් සියලු දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසා සිටියේ කටු ගෙයි සිද්ධියටත් වඩා හොඳින් ඉතාම කෙටි කලකින් සැකකරුවන් මෙතරම් ප්‍රමාණයක් සොයා ගත් පළමු අවස්තාව මෙය බවයි.

[ඩිඩින් ඩිඩින් ක්‍රෑෂ් බ්‍රාස් ජරබරස් ඩිෂුම් ඩොන්]

ඩෙත් ඔෆ් අ කවුන්සිලර් ඔබ වෙත ගෙන ආවේ දියබරිස් පාවහන් අනුග්‍රහයෙන්. සැහැල්ලුයි සුමටයි දියබරිස්.

+++++++++++++++++ [ඊළඟ චැනලයට]

... ඇමති තුමා මේ දැන් අප හා සම්බන්ධ වෙනවා.

"දැන් බලන්න මේ සිද්ධියේදී පොලිසිය ක්‍රියා කළ ආකාරය. මම හිතන්නේ එකිනෙකා පරදවන සැකකරුවන් විශාල ගණනක් මේ අපරාධයට සම්බන්ධයි කියා අත් අඩංගුවට අරගෙන. මේක අපේ පොලිස් ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණයක්‌""""
"

"ඇමති තුමා කෙනෙකුට නිකමට හිතුනොත් එකම මිනි මැරුම බොහෝ දෙනෙකුට කරන්න බැහැ කියලා. මම කියන්නේ අද මේ රට තුල විවිධ කුමන්ත්‍රණ කාරීන් ඉන්නවා. එහෙම අයෙක් ඒ වගේ කතාවක් කිව්වොත්"

"අපිට ඒක ප්‍රශ්නයක් නොවේ. රටේ නීතියක් තියෙනවා. නීතිය යටතේ වරදක් කළා නම් ඒ හැමෝටම සමසේ දඬුවම් ලැබෙන්න ඕනේ. එහෙම පිරිසකට වෙනස් විදිහකට සැලකුවොත් මේ අයම කියයි අන්න ඇමති වරුන් හඳුනන නිසා කට්ටියක් බේරුවා කියලා. නැහැ. එක නඩුවක් නොවේ වෙන වෙනම නඩු අහලා හරි මේ අපරාධයට යුක්තිය අපි ඉෂ්ට කරනවා."

"ස්තුතියි ඔබ තුමාට"

+++++++++++++++++ 
[ඊළඟ චැනලයට]

"හසන්ත ... මම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නය ඉස්මතු කලාට. මේක බොහොම වටිනා දෙයක්.

බටහිර විද්‍යාවේ මහා බලකණු අද පිලිගන්නවා හසන්ත මේ විශ්වයට සමාන්තර තවත් විශ්ව බර ගානක් තියෙන බව. මේ හැම විශ්වයකම ඉන්නවා හසන්ත ඔබ අප වැනිම පිරිසක්. සමාන්තර විශ්වයක් කිව්වම බොහෝ දෙනෙකුට හිතෙයි මහා ලොකු විසාල දෙයක් මේක කොහොමද හැදුනේ කියලා. අද විද්‍යාඥයින් හොයාගෙන තියෙනවා මේ අති මහත් වූ සමාන්තර විශ්වය බිහිවෙන්නේ සමනලයෙක් තටු ගැහැව්වොත් කියලා. මේක හරිම පුදුමයක් හසන්ත. හරිම පුදුමයක්. 

අපි මේ ලෝකේ දිහා බලන්න ඕනේ මෙන්න මේ සමාන්තර විශ්ව තුලින්. දැන් අපේ මේ මන්ත්‍රී තුමාට වෙඩි තිබ්බ කියන සිද්ධිය ගත්තොත්; එකම මන්ත්‍රී තුමාට බොහෝ දෙනෙක් කොහොම වෙඩි තියන්නද කියලා කට්ටිය අහනවා. ඒක වෙන්නේ මෙන්න මේ සමාන්තර විශ්ව තුල.

හසන්ත මම ආඩම්බර වෙනවා මේක ප්‍රකාශ කරන්න ලැබීම ගැන. මොකද හසන්ත අද මේ සමාන්තර විශ්ව හැම එකකම වෙච්ච අපරාධයට වරද කාරයින් හොයා දඬුවම් කරන්නට සමත් වුන පළමු පොලිසිය තමයි අතිගරු ජනාධිපතිතුමා මෙහෙයවන ශ්‍රී ලංකා පොලිසිය. අපි හැමෝම ආඩම්බර වෙන්න ඕනේ හසන්ත. මුළු මිනිස් වර්ගයාම අපි ගැන ආඩම්බර වෙන්න ඕනේ මේ වෙලාවේ."

+++++++++++++++++ 
[ඊළඟ චැනලයට]

... සිල්වා මහාචාර්ය තුමා කරගෙන යන ප්‍රසිද්ධ අඳුනෙන්. 

ඉතින් ලයිව් ඇට් එයිට්‌ කට්ටිය ගියා එතුමගේ ප්‍රසිද්ධ අඳුන බලන්න.

[ඔන් ලොකේෂන්
]

කථනය: මම දැන් ඉන්නේ ඒ නාථ දෙවියන්ගේ බලයෙන් කරගෙන යන අඳුන ළඟ. මෙතන සාමාන්‍ය සාත්තර පොලක් නොවේ. මෙතන සැරසිලි කරන්න ආවතේව කරන්න එන බොහෝ දෙනෙකුට ආචාර්ය උපාධියක්‌ වත් අඩුම ගානේ තියෙනවා. සාත්තරය කියන කාන්තාවත් උසස් අධ්‍යාපනය ලබපු කෙනෙක්.

රූපවාහිනී මාධ්‍යවේදී: "මම හිතන්නේ විශ්‍රාම ගියාට මහාචාර්ය තුමාට විවේකයක් නැහැ වගේ"

[එතුමා සිනාසෙයි]

කථනය: එහෙනම් අපි දැන් එ මොහොත සජීවීව ඔබට ලබා දෙන්නයි හදන්නේ.

රූපවාහිනී මාධ්‍යවේදී: "ඔබ තුමියට යමක් පෙනෙනවද?"

කාන්තාව: "ඔව් මට පෙනෙනවා ... නාථ දෙවියන් - අපේ සමයක් දෘෂ්ටික දෙවි හාමුදුරුවන් මට පෙන්නනවා... "

රූපවාහිනී මාධ්‍යවේදී: "මොනවාද ඔබට පෙනෙන්නේ?"

කාන්තාව: "එතුමා සමග කෙනෙක් ඉන්නවා"

රූපවාහිනී මාධ්‍යවේදී: "කවුරු වගේද පෙනෙන්නේ?"

කාන්තාව: "අර මියගිය මන්ත්‍රී තුමා. එතුමා මොනවාද කියනවා"

මහාචාර්ය තුමා [සිනාසෙමින්]: "කියන්න මොනවාද කියන්නේ එතුමා?"

කාන්තාව: "මාව මැරුවේ මම මයි කියනවා. මට කෙලින්ම වෙඩි තියාගන්න බය නිසා මම කට්ටියකට කොන්ත්‍රාත් දුන්නා. මාව මාරුවට පස්සේ ඒ දෙන්නත් දිවි නහ ගත්ත - එහෙම තමයි කියන්නේ'

මහාචාර්ය තුමා: "මේක අපේ බටහිර විද්‍යාව පස්සේ දුවන අයට විහිළුවක් වෙන්න පුළුවන් නිසා අපි ඔවුන්ගේ ක්‍රම වේදයකින් බලමු. සාමාන්‍යයෙන් බටහිර විද්‍යාව නිරීක්ෂණයක් බාර ගන්නේ එකම දත්තය කීප වතාවක් ලැබුනොත් පමණයි. ඔබ තුමිය තුන් පාරක් අහන්න එයාගෙන්"

[එතුමිය එම ප්‍රකාශයම තෙවතාවක් කරයි]

මහාචාර්ය තුමා: "හරි දැන් මේක ගැන මොකුත් කියන්න බැහැ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට වහල් කම කරන අනුකාරක සමාජ විකෘති ...."

කථනය: අපත් සමග මේ අවස්ථාවට සහබාගි වෙනවා පරීක්ෂණය කරගෙන යන පොලිස් කණ්ඩායම සමගින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා.

රූපවාහිනී මාධ්‍යවේදී: "මොකද්ද ඔබතුමාලගේ නිගමනය"

පොලිස් මාධ්‍ය ප්‍රකාශක: "ඉස්සර නම් අපි මේ වගේ සාධක ගැන සැලකිලිමත් වුණේ නැහැ. එත දැන් මේ මහාචාර්ය තුමා ඉදිරිපත් වෙලා අපට අපේම ක්‍රමයකින් මේ දේවල් හොයාගන්න පුළුවන් බව තේරුම් කර දුන්නා"

රූපවාහිනී මාධ්‍යවේදී: "එතකොට මිනීමැරුමට වෙන්නේ මොකද්ද?"

පොලිස් මාධ්‍ය ප්‍රකාශක: "ඇත්තෙන්ම මිනි මැරුමක් කිව්වට මේක සියදිවි නසා ගැනීමකම විශේෂ අවස්තාවක්. එතුමා විසින්ම කොන්ත්‍රාත් දීපු නිසාත්, ඝාතකයින් දෙදෙනාත් දිවි නහගත්තු නිසාත් මම හිතන්නේ මේ නඩුව තවත් ඉස්සරහට අරගෙන යන්නේ ඕනේ නැහැ. ඇත්තෙන්ම කියන්න ඕනේ මේ ගැන අපිට තනියම තීන්දුවක් ගන්න බැහැ. ලංකාවේ අපරාධ පරීක්ෂණ ගැන ඉහලින්ම ඉන්නේ පොලිස්පති තුමා. එතුමාගේ තීරණයකට ජනාධිපතිතුමාටවත් එරෙහි වෙන්න බැහැ. ඉතින් අපි එතුමාට මේ ගැන දැනුම් දීලා නඩුව සමතයකට පත් කරන්න කටයුතු කරනවා"

රූපවාහිනී මාධ්‍යවේදී: "ස්තුතියි"

[නැවත මැදිරියට]

මම හිතන්නේ කාටත් දැන් පැහැදිලියි මෙතන වෙලා තියෙන දේ.


අපොයි ඔව්. මේ ගැන අර අහිංසක ඇමතිතුමාට එල්ල කළ මඩ ප්‍රහාර ගැන ඒ අය දැන් පසු තැවෙනවා ඇති.

ලයිව් ඇට් එයිට්‌ මෙයින් අප සමාප්ත කරනවා. ඔබ සැමට සුබ අනාගතයක්.

Saturday, December 22, 2012

මායා වරුන්ට සුබ නව යුගයක්

වැඩියෙන් දියුණු යයි සම්මත ලෝකයක් දියුණු මෙවලම් ලෙස සම්මත අන්තර්ජාලය හරහා ප්‍රාථමික හා වනචාරි ලෙස ලෝක විනාශයක් ගැන බිය වෙද්දී, නිහඬව එහෙත් උත්කර්ෂයෙන් නව යුගයක් සමරන මායා වරුන්ට පුබ පැතුම්.

නව බක්ටුනයක [වසර 394 ක් විතර කාලයක්] උදාව විඳීමත් වරප්‍රසාදයක් වන අතර බක්ටුන දහතුනක් ගෙවා උදාවන නව යුගය අත්විඳින පළමු පිරිස ඔබයි.

ඔබට සුබ නව යුගයක් හා නව බක්ටුනයක්.

පසු සටහන:

මායාවරුන් අවශේෂ ලෝකයේ කොමඩි ජවනිකාව ගැන හිතන හැටිත් ඒ 


ගැන ඔවුන් කනගාටු වෙනහැටිත් මේ ලිපියෙන් කියවන්න.

ප.ලි.

එනිවේස් ඕක අපේ හෙළයෝ කල්තියා දැක්ක. ඔය 2012 වෙන සීන්ස් එකේ අපේ හෙළයෝ දැක්කේ අසූව අනූව දශක වල.

ඒ හෙළ පවුලක හෙළ කොල්ලෙක් තකහනියක් තඩි සංගීත මෙවලම්මක් හදාගෙන ලෝකෙටම ඇහෙන්න කිව්වා "මායාව මායාව ලොව රවටනා" කියල. එකෙක් ඇහුවේ නැහැ. පොර ඊට පස්සේ සිල්ලර කඩයක් දාගෙන නිකම් ඉන්න ඇති. මොකෝ ඇහුවේ නැහැ කියල පොරට මොකද? ආත්මා ලියනගේ ආයිත් සින්දු නොකිව්වේ ඕකයි. මුන්ට කියල වැඩක් නැහැ.