Friday, August 3, 2012

Laugh with me: හිග්ස්‌ ඔබ හෙළයෙකු වී නම්

නදීෂා චන්ද්‍රසේන මට ලියන්නට යමක් දී ඇත. ඒ ඇයත් සමග සිතන්නට යාමෙනි. බොසෝනය නම් ඉතා කුඩා උප-පරමාණුක තරම් අංශුවක  පැවැත්ම ගැන පීටර්  හිග්ස් පලකළ මත සඳහා සාක්ෂි වසර  පනහකට  පසු සොයා ගැනීම   සම්බන්ධයෙනි.

මේ සටහනට බෙහෙවින් වැදගත් ඉහත නදීශාගේ ලියමන කියවන්නේ නම් මැනවි.

ඒ ඇයත් සමග සිතන්නටය. මේ මාත් සමග හිනැහෙන්නටය. නිකම් නොවේ හෙළයෙකු වීම ගැන සාඩම්බරයෙනි.

----------

හිග්ස්‌ ඔබ උපදින්නට තිබුනේ මේ පුණ්‍ය භූමියේය. එසේ නම් ඔබට අඩ සියවසක් චාටර් කන්නට සිදු නොවනු ඇත.

එහෙනම් අවශ්‍ය වනුයේ රන්දිව හෝ රිවිර වැනි පුවත්පතක් සමග සාකච්චාවක් පමණි [දිනමිණ රිසර්ච් බුලටිනය හරහා තරුරටා වලින් භූමිකම්පා ගැන පර්යේෂණ පත්‍රිකා පළකර රටම කම්පා කල භූ විද්‍යා මහැදුරන් උදාහරණයකි].

එහෙනම් අපේ මාධ්‍යවේදීන් බෝසෝනය මොන පාටයිද කියාත් පත්තර වලට ලියනු ඇත. රූපවාහිනියේ අගමැතිතුමා හෝ [බෝසෝනයේ අගය වැඩි නම්] ජනපතිතුමා සමග බෝසෝන අහුලන්නට හිග්ස්‌ මැතිතුමාට හැකි වන්නට ඉඩ තිබුණි.

හිග්ස්‌ අපේ නිසා බොසෝනය පවතින බව සියලු දෙනාම පිළිගන්නවාට කිසිම සැකයක් නැත. අනික් අතට
බෝසෝනය ප්‍රත්‍යක්ෂයෙන් බාර ගන්නට අපේ ජාතික චින්තනයට සුළු දෙයකි. අවශ්‍ය වන්නේ බෝසෝනය විසින් චතුස්කෝටික භාවය සම්පූර්ණ කිරීම පමණි. එනම් බෝසෝන ඇති බව, බෝසෝන නැති බව, බොසෝනය ඇති බව හා නැති බව, බෝසෝන ඇත්තෙත් නැති නැත්තෙත් නැති බව වේ.

බෝසෝන ගලවන්නට කවුරුන් හෝ හිග්ස්‌ ට සල්ලි ලබා දීමට ඉඩ තිබේ. වසර කීපයකින් හිග්ස්‌ සල්ලි වලට ගේම දුන්නා කියා ඔහුට නඩු යාමට සිදු වනු ඇත.

"
හිග්ස් මොළකාරයෙකු මිස කේන්තිකාරයෙකු නොවේ.විද්‍යාව විසින් ඉල්ලා සිටින සංයමය හිග්ස් ප්‍රගුණ කර ඇතැයි සිතමි.හදිස්සියට ආදරය කරන්නවත් පර්යේෂණ කරන්නවත් බැරිය." මෙසේ කියන්නී නදීෂා ය. 
හදිස්සියට ආදරය කරන්නවත් පර්යේෂණ කරන්නවත් බැරිය. එහෙත් පර්යේෂණ වල ප්‍රතිපල දාන්නට ලංකාවේ පුළුවන.

IEEE වාගේ එකක පර්යේෂණයක් පල කරන්නට කෙතරම් දුක් විඳිය යුතුද? එතුලින් පර්යේෂණ කෙතරම් යටපත් වේද? අපේ හෙළයා මෙම බරපතල කඩ ඉම ජයගත්තේ එබැවිනි.

අද විවි මහාචාර්ය වරුන් ඉතාමත් සංවේදී පර්යේෂණ ක්ෂණිකව පල කරන්නේ දිනමිණ රිසර්ච් බුලටිනයේය. [එසේ නොවන්නට කල්වෙලා ඇතුව භුමි කම්පා ගැන අනාවැකි පළකර ජනයා පාරට බස්සවන්නට හැකි නොවේ].

නව නිමැවුම් කරුවන්ගේ නිර්මාණ වල ශක්‍යතා අධ්‍යනය කරන්නේ මාධ්‍යවේදීන් විසිනි [එසේ නොවන්නට ජර්මන් ටෙක් එකෙන් හයිඩ්‍රජන් හොරකම් කර වතුරෙන් දුවන එන්ජිමක් හදාගත් කොලුවා තවමත් එතැනමය]

දෙයක් ප්‍රත්‍යක්ෂයෙන් විනා තාර්කික හෝ පර්යේෂණ ඔප්පු කිරීමකින් බාර නොගන්නා ලෙස ජාතික චින්තකයෝ බලකරති. යමක් ඔප්පු කරන්න හදනවා කියන්නේ සැක කටයුතු තත්වයකි. ඔප්පු කලේ නම් ෂුවර් බොරුවකි.

මේ ඔක්කොම වැඩ නොකරත් පර්යේෂණ ප්‍රතිපල ටක් ගාල අවුට් කරගන්නට ඕනේ නම් රිවිර හෝ රන්දිව වැනි පුවත් පතකින් පිළිවන. පර්යේෂණ ගැන අතිශයින් ලිබරල් අපි පර්යේෂණ පත්‍රිකා සම්බන්ධයෙන් වෙළඳපොල තරගයක් ඇති කර එතුලින් පත්‍රිකා පල කිරීම තවත් වේගවත් කර ඇත.

දේශයේ කොඳු නාරටිය වූ මාධ්‍යවේදියා ලන්ඩන් ඔලිම්පික් එකටත් යවන්නේ එබැවිනි. ක්‍රීඩකයින්ට වඩා මාධ්‍යවේදීන් ඉන්නා එකම "ක්‍රීඩා කණ්ඩායම" අපේ කණ්ඩායමයි.

"මෙන්න මේකයි ආශ්චර්ය කියන්නේ හසන්ත" ප්ලාස්ටික් වලින් සැදු බෝසෝනයක් අතින් ගෙන සූරියප්පෙරුම පඬිවරයා කියනු ඇත.

[ඔබේ ලිපිය මෙව්වා කලාට ලේඛිකාවනි සමා වනු මැන]

Saturday, July 14, 2012

ගෝල්ඩ් ෆිෂ් හෙවත් ලංකාවේ චන්ද දායකයා



ඉහත පින්තුරයේ පනින්නේ ශ්‍රී ලාංකික චන්ද දායකයෙකි. පිහිනන්නෝ ද ඔවුහු ම වෙති.

පින්තුරයේ ටැංකි දෙකක් තිබේ. එකක් එපා උනාම අනිකට පනින්න පුළුවන. ආපහු දවසක් මුල් එකට පනින්නට වනු ඇත. ගෝල්ඩ් ෆිෂ් ලා නිසා මතක නැහැනේ කොහොමත්. ලංකාවේ දේශපාලනයේ ඇත්තේ මාළු ටැංකි දෙකක් පමණි. ටැංකි දෙකේම ඇත්තේ එකම වතුරය. මදි උනාම එකකින් අනිකට හලා ගැනේ. ගස් නැත. වටේ පිහිනමින් ඉන්නට පුළුවන.

මෙහෙම කිව්වාම අපේ "ක්‍රම වෙනස් කරන" සෙට් එකට මාර ආතල් වනු ඇත. ඇත්තෙන්ම පින්තුරයේ නොපෙනන තරම් කුඩා ජෑම් බෝතලයක් ද තිබේ. ටැංකි අතර පනින ගෝල්ඩ් ෆිෂ් ලාට ක්‍රම වෙනසක් කර එම ජෑම් බෝතලයට පනින ලෙස ඉල්ලීමක් තිබේ. ඇත්තටම එය ක්‍රම වෙනසකි. හැබැයි පැනපු විට තේරුම යනු ඇත්තේ එම ජෑම් බෝතලයේ සීමා සහිත ඉඩේ ඉන්නට ගෝල්ඩ් ෆිශ්ලාට බැරි බවයි. ඊටත් එහා ගැටලුව නම් එහි වතුර නොමැති වීමයි. එවිට වතුර ලැබෙන තුරු වීදුරුව හෑරීමේ විප්ලවීය යුග මෙහෙවර පැවරෙන්නේද හුස්ම හිරවූ ගෝල්ඩ් ෆිෂ්ලා ට ය.

ඒ හැරෙන්නට විවිධ ජාතිවාදී තීන්ත කුප්පි ද තිබේ. තීන්ත මාළුන්ට විස නිසා ඒවාට පනින එවුන් විස වැදී දඟලති. මහා පාරේ ඩෙගා නටති. කිලෝ ග්‍රෑම් වලින් බර කිරන මේ යුගයේ ෂයිලොක් මෙන් මස් රාත්තල ම ඉල්ලති.

තවත් පිරිසක් සිටිති. ඔවුහු ගැඹුරු තියරියකින් තැනු සිහින් කේශික නල අල්ලා ගෙන නන් දොඩවති. තියරි ගැඹුර වැඩි වන තරමට නලයේ කේශික සිදුරේ විෂ්කම්භය කුඩා වේ. නලය සිහින් වන තරමට ඒවා කෑලි කැඩී අලුත් කේශික නල බිහිවේ. කිසිම මාලුවෙක් ඒ දිහාට නොපනිති. අප්පිරියාව පමණක් නොවේ.
සම්මන්ත්‍රණ හා පොත් හරහා තෙල් වෙළඳාම ලොරි ගානට කලත්, ගෝල්ඩ් ෆිෂ් කේශික නලයට පනින ආකාරය කාටවත් වැටහෙන ලෙසින් ඔවුන් විස්තර නොකරන බැවිනි. එම තෙල් වලින් කේශික නල පුරවා කැම්පස් වල පිටි පස්සේ අත දරුවන්ට පොවනු ලැබේ. ඇප බේරන්නට වත් එය මදිය.

කලින් කලට මාළුන්ට කෑමදාන අය බිහිවේ. තරු හතරේ කෙනෙක් වරක් කෑම දැම්මද දැන් තරුත් නැත. කෑමත් ඉවරය. හිස් පැකට්ටුව අතේ තියාගෙන ඔහු වටේ ඇවිදියි.

මේ සමග ලස්සන ස්ටේට්මන්ට් එකක් ඇත. ඒක මාර මෙව්වා කියා හැමෝම කියති. එහෙත් එහි පින්තුරයට කිසිම සම්බන්ධයක් නැත. මං හිතන්නේ ඒ බලයට එන්න ඉන්න පක්ෂයේ "මුදල් නොගෙවා හොරෙන් දැමු" දැන්වීමක් පමණි. ඕවා කියවන ගෝල්ඩ් ෆිෂ් ලා ටැංකි අතර පනිමින් කාලය ගෙවා දමනු ඇත.

කන්ක්ලුෂන් එකක්  නොමැත. හෙටත් අනිද්දාත් ඊට පසුවදාත් හිරු පායා බැස යනු ඇත.


[පින්තුරය දුන් දිල් ට ස්තුතියි]

Saturday, May 19, 2012

ඔක්සිජන් [තෙවර්ෂ පූර්ණ සමරුව]

තුන් වසරකට පෙර අප හුස්ම ගත්තේ අමාරුවෙනි. ඔක්සිජන් නොතිබුණි. නිතර හුස්ම හිරවීම සිදු විය. බාල මහලු බේදයකින් තොරව ජනයා මිය ගියහ.

ඔක්සිජන් ගෙනෙන ගමන එසේ මෙසේ එකක් නොවේ. නිර්භීත ජීවිත බොහෝ කැප කරන්නට සිදු විය. එසේ ජීවිත පූජා කලේ එකතැන් වුනේ අංග විකල වුනේ සිය කැමැත්තෙනි. අනික් එවුන්ගේ හෙට දවස වෙනුවෙනි. හුස්ම ගන්නට ඇති අයිතිය වෙනුවෙනි.

"හයියෝ ඔයා තාම ඔය පරණ කතාව ද කියන්නේ" වර්තමානය අසයී.

"මොනවාද ඔය තෙවසරකට පෙර ලැබුන මහා ලොකු බම්බුව?"

"දැන් මොකද්ද ඒ කාලේ තිබ්බ ප්‍රශ්නේ? අද මොනවාද ලැබිල තියෙන්නේ?"

වර්තමානය පහසුවෙන් අතීතය අමතක කරන්නෙකි. අනික් අතට හුස්ම ගැනීමේ නිදහස සිහි වන්නේ ඔක්සිජන් අහිමි වූ දිනයක පමණි.

මේ සටහන අර ශ්‍රේෂ්ට අමරණීය මිනිසුන් වෙනුවෙනි.

Thursday, March 22, 2012

සමත මණ්ඩල තරවටුවෙන් පසු...

දැන් සිද්ද වනුයේ තවත් අවලමේ යන පූසා නිතර සමත මණ්ඩල ගොඩනැගිල්ලේ රෑට පැහැරීම තුලින් එම අවලං කම වසා ගැනීමයි. අප ඇසුවොත් "නැහැ මම සමතයාට පාඩමක් උගන්නන්න යන්නේ" කියා තම ගමන තවත් සාධාරණ කරනු ඇත.

සමත මණ්ඩලය දඬුවම් දෙන්නේ එහි සාමාජික අපේ පවුලට මිස පූසාට හෙම නොවේ.

[පෙර කතාව: මීයයි පූසයි]

Monday, February 27, 2012

මීයයි පූසයි

පූසෝ මීයන් අල්ලති. පූසෙක් හදන්නේ මී කරදරය නිසාවෙනි. මීයන් කරන්නේ එසේ මෙසේ කරදර නොවේ. උහු අපේ දේපොළ වනසති. අහර සොරකම් කර අපේ ආර්ථිකය කඩා ඉහිරවති. ගෙවැසියන් ලෙඩ කරති. මරා දමති.

එබැවින් අපි පූසෙකු හැදුවෙමු.

මීයෝ හැංඟෙන්නට දක්ෂයෝය. පෙනුමින් වැඩි වෙනසක් නැති ලෙහෙනුන් වැනි අනික සතුන් ද ඉස්සරහට දමා මීයෝ හැංගෙති. පූසා මීයන් අල්ලන්නේ ප්‍රාථමික තාක්ෂණික ක්‍රම උදව්වෙනි. මේ කතාවේ ඉන්න මීයන් කොපමණ දියුණු වීද යත් උගේ මර උගුල් වලට හසු වී මිය ගිය පූසන් ගණන අපමණය. එහෙයින් පූසාට මෙය ජීවිතයත් මරණයත් අතර සටනකි. දුටු තැන පහරදෙන්නට වූ නිසා පූසා මේ සටන තුල මීයන් කියා කෑ ලෙහෙනුන් යම් තරමක් සිටිති. එවැනි ලෙහෙනුන් මීයන් කියා කීමට පූසා ද, මියගිය හැම මීයාම ලෙහෙනෙක් කීමට මීයා ද පොර කන මේ තරගයේ, ඉන් ඔබ්බට සංඛ්‍යා ලේඛන නොමැත. 

උකුස්සා ට සියල්ල පෙනේ. උගේ තාක්ෂනය දියුනුය. එහෙත් ඌ අපට මීයන් අල්ලා දෙන්නට ප්‍රමාණවත් උදව් නොදුන්නේය. ඒ වෙනුවට ඌ මිය යන ලෙහෙනුන් ගණන් කරන්නට ඉහල අහසේ සිට උත්සාහ කළේය. අපි ඌට ගල් ගැහුවේ එනපොට හොඳ නැති නිසාය. අන්තිමට හරි ගණන් ඌට ද මිස් විය.

උකුස්සා අල්ලන්නේ ඌරු මීයන් ය. උගේ කූඩුව තියෙන ගස මුල හාරා අකල් බකල් කරන්නේ උන් බැවිනි. ඉහල අහසේ ඔටෝ පයිලට් දාගෙන නිදි වනින් ඉන්නා උකුස්සා විටින් විට පැමිණ ඌරු මීයන් මෙන්ම හාවන්, කටුස්සන්, පමණක් නොව ඌරන්, ඉත්තාවන්, බල්ලන්, කුකුලන් ද ඩැහැ ගෙන යයි. ඒ උන් අහර පිණිස ගන්නද නැතිනම් ඌරු මීයන් කියා රැවටී ද අපි නොදන්නෙමු. අල්ලන ඕනෑම සතෙක් කුදලා ගෙන යමින් ගමන "මේ ඌරු මීයෙක්" කියා ඌ මොර දෙයි. උකුස්සා ගේ සද්දේ සැරය. කවුරුත් හරස් ප්‍රශ්න නොකරති.

ගැටලුව තවත් දුරදිග යන්නේ අහල පහල ගෙවල් වල ඉන්න සමහරුන් මීයන්ට ආදරේ බැවිනි. අපේ ගේ වනසන මීයන්ට කන්න බොන්න දී හදා ගන්නේ ඔවුන් ය. මීයන්ට දාන කෑම ගන්නේ සල්ලි එකතු කරලාය. ඉතිරි සල්ලි උකුස්සන්ට කෑම ගන්න වියදම් කල බැවින්, මීයා උකුස්සා, මේ කට්ටිය ඇතුළු ඔක්කොම එක පැත්තක කියා ද අපට හිතේ. ඉහල අහසේ ඉන්න උකුස්සා මොන පැත්තක ද කියා කීමට සක්කරයටවත් නොහැක්කේ සක්කර වාස බවන ද ඊට පහල බැවිනි.

දැන් අපේ පූසා මහ මීයන් මරා ඇත. වර්තමානයේ හෝ අනාගතයේ නැවත බිහි විය හැකි මී ගුල් හා රෝසපාට මී පැටවුන් ගැන පුංචි බියක් හැරෙන්නට අන් කිසිම මී අවුලක් නොපෙනේ. ලෙහෙනුන් වෙනුවෙන් යමක කල යුතු බව ඇත්ත නමුත් ලෙහෙනුන්ගේ අභිප්‍රායන්, ලෙහෙනුන්ගේ දැවෙන ප්‍රශ්න ගැන කියවීමක් ගන්නට බැරිය. මේ පැත්තේ ලෙහෙනුන් ගොලුවෝය. උන් වෙනුවෙන් හඬ නගන්නේ මීයන් හා මීයන් හදන කස්ටියයි.

හැමදාමත් ගෙදර බත්පත ගැන වලි දාන මද්දුම අයියා මීයන්ට සහය දෙන්නේ මීයා පීඩිතයා කියාය. තම බත් පංගුව හැරුණු විට අන් සියල්ලක්ම පීඩිතයා හා පීඩකයා යන ඇහින් දකින මද්දුම අයියා කැම්පස් ගොස් ගොම්පස් වූවෙකි. මීයන් වෙනුවෙන් සමුළු රැස් වනවිට මද්දුම අයියා ප්‍රීතියෙන් පිනා යයි. අම්මලා තාත්තලා නැති තැනක බලා අයියා "මීයාට ජය වේවා" කියා බෝඩ් දමයි. අම්මලා ඉන්න තැන්වල "කොහෙද මීයෝ ඉන්නේ. ලෙහෙනුන් ලක්ස ගානක් මරුවා මිසක්" වැනි කතාය. හරස් ප්‍රශ්න කලොත් "ලෙහෙනෙක් මීයෙක් වෙන්නේ අම්මලාගේ වරදින්. කිසිම මීයෙක් උපතින් මීයෙක් නොවේ" වැනි අපබ්‍රංශ කියයි. ලෙහෙනුන්ට දෙන යමක් මීයාටම දීපියෝ කියා ඔහු කියයි. මද්දුම අයියාට අනුව අප මී කරදරය ඉවසිය යුතු වේ. මහාමාරිය අපේ උරුමයකි. අල්මාරිය උගේ උරුමයකි. අපි ඔටුවෝය [මද්දුම අයියාට අනුව අපි කොහොමත් ඔටුවෝ ම වෙමු. සියලු කතා වල අවසාන නිගමනය එයයි].

සිද්ධිය දුරදිග ගියේ ලෙහෙනුන් මැරීමේ වරදට අපේ පූසාව සමත මණ්ඩලයට ඇන්න ගිය විටයි. පූසා මූලිකව අපේ ගෙදර වැඩිහිටි අය එකතු වී සමත මණ්ඩලයට මුහුණ දෙන්නට නියෝජිත පිරිසක් යැවුහ. සමත මණ්ඩලය මේ ගැන අවබෝධයකින් ඉන්නා නිසා ලොකු බියක් නැත. උකුස්සා ගේ බිල්ල තරමකට හෝ ලැබෙන නිසා ඌ අප පූසා කුදලා ගෙන යනු ඇතැයි සිතිය නොහේ. එහෙත් සමත මණ්ඩලයත් උකුස්සාත් ගැන අනාවැකි පල කිරීම අසීරු බැවින් මේ කතා බහ එන එක එතරම් හොඳ නැති දෙයක් බව දකින්නෙමු. මේ මල කරදරය ඉවර විය යුත්තක් මිස වසරක් පාසා කතා විය යුත්තක් නොවේ. සියල්ල අහවර කරන්නට  උකුස්සා ඉල්ලන තඩි බිල්ල දෙන්නට අපට වස්තුව නැත. අපේ වත්තේ තෙල් නැති බව උකුස්සා දනියි [තිබ්බා නම් ඌ මෙලහටත් මීයන් සමග සෙට් වී හාරා ගෙන ගොහිනි].

මෙතනින් කතාව නිමියේ නම් අපි දිවි හිමියෙන් පූසා රකින්නෙමු. එහෙත් ඒ එසේ නොවේ. පූසා මාර ඩයල් එකකි. මීයන් මැරූ පසු හැමදා උකටලීව නිදන හේ අපේ ඇස වසා කරුවලේ රති කෙළියට යයි. උගේ මල අදෝනාව අසා එපා වී ඇත.  පූසා ගේ ගැන්සියේ වල් පූසන් වත්ත පුරා පහරන මුත් මූ උන්ව එළවන්නේ නැත. හොරෙන් කුප්පමේනියා කුඩු කර විකුණන හොර පූසන් අපේ පූසා ගේ දකුණත් වමත් සව්වන් වී දෑලේ ගැවසෙති. ඒ මදිවට මීයන් මරා සවිමත් වූ හකුවලින් පූසා අප හපයි. ඌ කරන මගුලක් නැති මුත් ඌ වෙනුවෙන් දරන වියදම ඉතා වැඩිය. අප තවත් ආර්ථිකයෙන් පහල වැටෙමින් තිබේ. පූසා වදයක් වී වෙන පූසෙක් ගේන්නට බැලුවත් මේ පෙනෙන තෙක් මානෙක හරි හමන් පූස් පැටියෙක් නැත. එහෙත් වෙන ඕනෑම අංජ බජල් පූසෙක් ගෙන මේ පූසා එළවා දමන්නට වුවද සිත් වන තරමට පූසා අපට දාන බිල වැඩිය.

සමත මණ්ඩල රැස්වීම දා පූසා කරන්නේ අපූරු වැඩකි. පූසාගේ තල්ල පිරිමදින පොඩි එකා ගෙන්න ගෙන උගේ මොන්ටිසෝරියේ ක්ලාස් මේට් ලා සමග පූසා රැකීමේ මහා උද්ඝෝෂණයක් සංවිධානය කලේ පූසාමය. ඒ කිසිවෙකුත් හපන්නේ නැති බවත් වැඩේට අවශ්‍ය කළමනා සපයන බවත් ඌ පොරොන්දු වී ඇත. ලොකුම විහිළුව නම් උද්ඝෝෂණය ඇත්තේ සමත මණ්ඩලේ නොව අපේම සාලයේ බැවිනි. පොඩි එවුන්ගේ දඟ හැසිරීමෙන් විඳවන්න ඕනේ ද අපමයි. ලෙඩ වී ඉන්නා ආච්චිට හදිසියේ වැසිකිලියට යන්නට මේ කලබගෑනිය නිසා බැරිය. අම්මාට තාත්තාට වැඩට යන්න පරක්කු වේ. අනික මේක සමත මණ්ඩලයට හෝ උකුස්සා ට නොදැනේ. උහු සුපුරුදු පරිදි රැස්වීම් තැබීම හා කුදලාගෙන යාම නම් වූ තම ක්‍රියා වල යෙදෙති. සමහරවිට අපේ ගෙදර වෙන හතර විහිළු වලට පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇත.

අද රෑටත් වලත්තුවේ යන්නට පූසාට ඉඩ හසර ලැබෙන්නේ අම්මා හා තාත්තා මේ ළමා උද්ගෝෂණය ගැන මිස පූසාගේ වලත්තකම් ගැන නොහොයන බැවිනි.

සමත මණ්ඩලයට ගිය නියෝජිත පිරිසට සුබ පතන අතර මොන්ටිසෝරි මල්ලිලා ගැන දුක් වෙමු. අඩෝ ගෙරි පූසා ගෙදර මට්ටමින් බඩු පෙරලගන්නේ නැතිව තෝ අල්ලා ගන්නට දවසක් එනතුරු අප බලා සිටින බව දැනගෙන හිටු.

Saturday, February 11, 2012

ටිකෙන් ටික අනා ගන්නා ගයාන්

Daddy සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා ගයන ටිකෙන් ටික ගීතයේ බෞද්ධ සුබපැතුම් ගාථා භාවිතය ගැන සෑහෙන සංවාද හා විවාද ඇති වී තිබේ. පළමුවෙන්ම කියන්නට ඇත්තේ මේ ගීතය තුල භාවිතා වන ගාථා වෙනත් කළා නිර්මාණ තුල ඕනෑතරම් භාවිතා කර ඇති බවයි. මෙම අනිකුත් නිර්මාණ කල අය බෞද්ධයන් මෙන්ම අබෞද්ධයන් ද වේ. බෞද්ධ සුබපැතුම් ගාථා බෞද්ධ විවාහ තුල භාවිතාවන තරම නිසා කලා නිර්මාණ කරුවන් විවාහයක සංකේතාත්මක නියෝජනයක් ලෙස මේවා යොදා ගනිති. එවැනි රූප මාධ්‍යයක බෞද්ධ ගාථාවට පසු මධු සමයේ ප්‍රේමාලිංගන ජවනිකාවට යාම වුවද [මෙතෙක් වී නැතිනම්] ලෙහෙසියෙන්ම විය හැක්කකි. ගැටලුව ඇත්තේ ගාථාවේ පූජනීයත්වය ඉක්මවා එය එදිනෙදා දිවියේ කාර්යයන්ට යොදා ගැනීමයි. [දෙවනුව මෙම ගාථාව ධර්මය පැහැදිලි කරන පූජනීයත්වයකට වඩා පසුකාලීනව එදිනෙදා දිවිය සඳහා ලියවුනක් බවටද සමහරු මත පල කරති]. එය යොදා ගෙන ඇති තරමට ගයාන් කරන ක්‍රියාව පමණක් වෙනම වරදක් ලෙස සැලකිය නොහේ.


එදිනෙදා දිවියේ දෙයක් නිර්මානයක යොදා ගැනීම වැරදි යයි කීම එතරම් නිවැරදි නොවේ. උදාහරණයකට සිරස ටෙලියක එන මේ ජවනිකාව [http://www.youtube.com/watch?v=9g1IU55k_JE&feature=player_embedded] බලන්න. ගාථාව සජ්ජායනා කර පිරිත් නූල් බැඳීම සුලභ දෙයකි. එමෙන්ම "නව පරපුරේ" කෙල්ලකට එය අමතක වීමත් එවිට මෙසේ ප්‍රතිචාර දැක්වීමත් සුලභ දෙයකි. මේ ජවනිකාව තාත්වික එකකි. එය ද අපහාසයක් කියා කෙනෙකුට කිව හැක [මා මෙය කොපිකල ගොසිප් සටහනේ එවැන්නක් කියවේ]. එමෙන්ම මේ ජවනිකාව ගාථාව බැරි "නව පරපුරේ" එවුන් උපහාසයට ලක්වන අතුල් පහරක් ලෙසද අර්ථ දැක්වීමට පිළිවන. සංකීර්ණ කලා නිර්මානයක විවිධ දෘෂ්ටි කෝණ මත මෙම ආගමික අපහාස චෝදනාව පදනම වන බවට උදාහරණයකි මෙය.


අපහාස යනු මේවා නොවේ. අපහාස අවශ්‍ය නම් දේව ධර්මය හා විද්‍යාව මිශ්‍රිත නියෝ-රිලිජන් එකක නයන හෙට්ටිආරච්චි බුදුන් වහන්සේ ඉලක්ක කරගෙන කරන ප්‍රහාරය බලන්න. රංග ඇතුළු පිරිස ඉස්ලාම ආගමට එල්ල කරන ප්‍රහාරය බලන්න. ජයමංගල ගාථ කෙලින්ම අපහාසයට ලක් කරන තථාගත කෝලම නාටකයට ඔබ මේ විරෝධය දක්වන්නේද? මෙම අවකාශයෙවත් ඒ ගැන යමක් ලියුවේ අඩුම තරමින් මා පමණි. නයන ට පිස්සු කියා, තථාගත කෝලම වැඩිය ජනප්‍රිය නැහැ කියා ඔහේ ඇස්දෙක පියා ගෙන ඉන්න අය මෙවැනි විවාදාත්මක සිද්ධියකදී නම් කෙලින්ම වීදි බසින්නට සූදානම්ය.


ඉන් ඔබ්බට ගොස් ගයාන්ගේ නිර්මාණය වෙනම සැලකුවොත්; ගයාන් විසින් අදාළ ගාථාව නිර්මාණයට කෘතිමව රිංගවා ඇති බවක් හැඟෙයි. අනික අතට එය සමග යන ප්‍රේමාලිංගනය කොහෙත්ම ඊට ගැලපෙන්නක් නොවේ. වෙනත් විදිහකින් කිව්වොත් මෙය හිතා මතාම එක්තරා ආන්දෝලනයක් ඇති කිරීම [හෝ අපහාසයක් කිරීම] යන අරමුණින් ඇතුළු කල කොටසක් කියන තර්කයේ යම් සාධාරණත්වයක් පෙනේ. දළදා ටී ෂර්ට් සිද්ධියේදී මා දුටුවේ එය අත්වැරදීමක් බවයි. එහෙත් මෙතන මේ සිද්ධිය අත්වැරදීමක් නොතේරුම් කමක් වන්නට ගයාන් තොත්ත බබෙක් නොවේ. නැවතත් කිව යුතු වන්නේ එය එක දෘෂ්ටි කෝණයක් පමණක් බවය. ගයාන් සහමුලින්ම අහිංසකයෙකු ලෙසද අපට ඇවැසි නම තර්ක කල හැක.


කෙසේ වෙතත් ගීතය හරහා බෞද්ධයින් අතර සිත් වේදනා ඇතිකර තිබේ. එය සිදු නොවිය යුත්තකි. ගාථාව බුද්ධ භාෂිතයක් ද නැද්ද යන්න අනවශ්‍ය තර්කයකි. අද එය පූජනීයව සලකන අතර එහි අව-භාවිතය [කියා සිතන කාරණය] පිරිසකට සිත් වේදනා ගෙන දී ඇත. ප්‍රකාශන නිදහස යනු අනිකාගේ සිත් වේදනා හිතා මතා ඇති කරන ව්‍යවස්ථාපිත බලයක් නොවේ. ප්‍රකාශන නිදහස අයිතියක් වන්නේ නම, ඒ ප්‍රකාශන තුල සමාජයේ කිසියම් පාර්ශ්වයකට වේදනා ගෙන නොදීමේ වගකීම ගැබ්ව ඇත. මෙහිදී ගයාන් එම වගකීම පහර හරින බව නම් පැහැදිලියි.


තවත් ප්‍රශ්නයක් වනුයේ ප්‍රකාශන නිදහස සපුරා සුරැකිය හැකිද යන්නයි. පූර්ණ ප්‍රකාශන නිදහස තුල අපහාසයට ද ඉඩ ඇත. හුදෙක් පුද්ගල රීතියක් ලෙස එය සියලු දෙනා රකිනු ඇතැයි සිතන්නට අපහසුයි. මගේ මතය නම් පූර්ණ ප්‍රකාශන නිදහසක්‌ පවත්වා ගත නොහැකි බවයි. උදාහරණයකට යුධ සමයේ සංවේදී පුවත් වාර්තාකරණය සඳහා පූර්ණ නිදහසක් නොදුනි. කිසියම් කෙනෙකුට පුද්ගලිකව වදින තරමේ අපහාස කිරීමට නිදහසක් දිය නොහැක. අනික් අතට රටක සාපරාධි අපහාස නිර්ණය වන්නේ පුද්ගලික නිර්මාණ කරුවන්ගේ දෘෂ්ටි කෝණයෙන් නොවේ. පොදු හා අයිහික වන එම නීතිය [ලංකාවේද එසේමය] මත පිහිටා නිර්මාණ කිරීමට ඔවුහු බැඳී සිටිති. රටේ නීතිය තුල කලාකරුවා දැක්කෙනු විනා, ඒ ඒ කලාකරුවාගේ පුද්ගලික චින්තන වපසරිය තුල රට හා එහි නීතිය දක්කන්නට ඉඩ දිය නොහැක. එතරම් නිරවද්‍ය වන්නට කලා කරුවා පරමාදර්ශී චරිතයක් නොවේ. නීතියට අනුගත වී වගකීමෙන් නිර්මාණ කල යුතු වන්නේ එබැවිනි.


[ඇතැම් අය හරියට තේරුම් නොගැනීම නිසා ඉදිරි පරිච්චේද කිහිපයක් වෙනස් කරන ලදී]
නෛතික පදනම මට නොවැටහුනද, මෙම ගීතය නීත්‍යානුකූලව වාරණය කලහොත් එහි වරදක් මට නොපෙනේ. ගීතය වාරණය කරන්න කියා මා කියනවා නොවේ. අනික් අතට ගීතය වාරණය කරන්නට කිනම් නෛතික රාමුවක් යොදා ගන්නේද යන්න පවා මට ගැටලුවකි. එහෙත් මා කියන්නේ මෙවැනි වාරණ මින් පෙර කර ඇති නිසා නීතිය එම පදනමින් වාරණය කරන්නේ නම්, මට එහි වරදක් නොපෙනෙන බවයි.

කොටින්ම ඕක වාරනය කලත් නැතත් මට ලොකු වෙනසක් නැහැ. හැබැයි මෙහි සදාචාරාත්මක වරදක් ඇති බව නම් මා දරන මතයක්.

ලංකාවේ මෙවැනි අපැහැදිලි වාරණ වලට ඉතිහාසයක් ඇත. ඉරාජ් ගේ ගීයක් හුදෙක් ආගමික ස්තෝත්‍රයක් පසුබිමින් ඇසුණු නිසා තහනම් විය. ක්‍රිකට් ක්‍රීඩා කරන රටවලට අපහාස වන පරිදි ලහිරු කල ගීතය [හුදෙක් විහිළුවක් බව පෙනී පෙනීත්] නිල නොවන සේ වාරණය කරන ලදී. වැදගත්ම වාරණයක් වනුයේ කතෝලික සභාවේ ඉල්ලීම මත කල ඩා වින්සි කෝඩ් වාරණයයි. මේ කිසිවක් අක්ෂරය වාරණය මෙන් තේරුම ගතහැකි නෛතික පදනමකින් කල ඒවා නොවේ [අක්ෂරය ලිංගිකත්වය මත කතා නොකළ යුත්තක් ලෙස
නිරවුල්ව වාරණය කරන ලදී]

මේ අතර
ඩා වින්සි කෝඩ් වාරණය ලංකාවේ අයිහික නොවන තත්ත්ව මත ඇති සුළු ආගමික මස් රාත්තල් සම්ප්‍රදාය මත කල වාරණයකි. ලංකාව හැර මෙය වාරණය කල අනෙක් රට අප වැනිම තත්වයක් ඇති ලෙබනනය පමණි. එම කතාව තුල ජේසු තුමන් ගැන මතු කරන අදහස් විවිධ විද්‍යාර්ථින් මෙන්ම අතීතයේ හුන් විවිධ පඬිවරුන් අඩුම තරමින් තම පුද්ගලික මට්ටමින් හෝ පිළිගෙන හුන් ඒවා වේ. මෙම කරුණු මත කල කලා නිර්මාණයක් ආගමට අපහාසයක් කියා වාරණය කරවා ගත්තේ කතෝලික සභාවයි.

මෙහි වැදගත් කරුණ වනුයේ ගයාන් ගේ ආගමද කතෝලික වීමයි. එමෙන්ම මෙම ගීතය වෙනුවෙන් පෙනී සිටින සමහරුන් කතෝලිකයන් වීමයි. ඩා වින්සි කෝඩ් වාරණයේදී බොහෝ බෞද්ධයෝ ඊට එකඟ වූහ. එහෙත් මෙහි සාධාරණ අනික් පැත්ත නොපෙනේ. මෙම ගීතය වෙනුවෙන් පෙනී සිටින කතෝලිකයන්, හෙට දින ඔවුන්ගේ ආගම සම්බන්ධ මෙවැනිම "නිදහස් ප්‍රකාශනයක්" සිදු කල විට එය ද බාර ගන්න සූදානම් විය යුතුය. "නිදහස" නතර කල යුතු වන්නේ ඔබේම නාසයේ පමණක් හැරමිට්ට වැදුනොත් නොවේ, වෙනත් ඕනෑම නාසයකට ද එය වලංගු විය යුතුවේ.



මෙම ගීතය වෙනුවෙන් සිංහල රාවය වඳුරු හමුදාව කුලප්පු වී ඇත. මෙහිදී අගය කලයුතු ක්‍රියාව කල එකම පුද්ගලයා ඕමල්පේ සෝභිත හිමියන් පමණි. සිද්ධිය රටේ නීතිය තුල විසඳා ගන්නවා විනා එය පදනම කරගෙන පාරතොටේ ජෝගි නැටීම සුදුසු නැත. රටකට නීතියක් තිබේ. එම පදනමින් මෙය නෛතිකව අභියෝගයකට ලක් කිරීම කාගේවත් විහිළුවකට හේතුවක් නොවේ. එය ඉතාම නිවැරදි පිළිවෙතයි. හැබැයි මෙය නීතිය තුල වරදක් නොවන්නේ නම් එය උපේක්ෂාවෙන් බාර ගන්නා වගකීමද ඒ හිමියන් ඇතුළු පිරිස සතු වේ. නඩුව පැරදුනොත් පාරට බහින එක නම් නොහොබියි.


හැමදාමත් වෛර පිරිමහින ඊ නිව්ස් කාලකන්නින් මෙතැනදී ඕමල්පේ හිමියන්ගෙන් වාඩුව ගන්නේ යුධ සමයේ ඔවුන්ගේ සිහින ව්‍යාපාරය වූ කොටි සංවිධානයට එරෙහිව මෙම හිමියන් ඇතුළු පිරිස කල ක්‍රියාවලටයි. කොටියා වැනසූ පසු යක්ශාවෙශයෙන් වෛරී පුවත් දමන ඊ නිව්ස් කල්ලියට Daddy සංගීත කණ්ඩායම, ගයාන් පෙරේරා හෝ සංගීතය ගැන ඇති අහවල් කෙමනක් නැත. නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ද ඔවුන්ට මහින්දට එරෙහිව ඔසවන අවියක් පමණි.


කතාව මැක්කා දෙසට හැරෙන්නේ මෙන්න මේ "සුළු ජාතික අයිතිය" ගැන නහින්න හදන පිරිස නිසාවෙනි. මෙම ගීයෙන් සුළු ජාතියකට වැදුනේ නම් ඔවුන් අල්ල ගන්නේ කසයේ අනික් කෙළවරයි. අලි පැටවුන්ට වද දී පෙරහරට ක්‍රෑෂ් කෝස් කරන විට නද දෙන මේ අවිහිංසාවේ කටවල් හින්දු  කෝවිලක දෙවියෙකු නමින් දස වද විඳිමින් මියයන සතෙකු හමුවේ සුරකින්නේ එම සුළු ජාතියට සතුන් මැරීමට ඇති අයිතිය යි. සුළු ජාතික "අභිමතාර්ථ" ගැන සිතිය යුතුනම් මහා ජාතියටත් එවැනි දේ ඇති බවත් මුග්ධ ලෙස [ගයාන් කරන්නාක් මෙන්] ඒවා රිදවීම වැරදි බවත් පිළිගත යුතුය. සුළු හෝ මහා ජාතියට උඩින එක නීතියකින් සියල්ල තීන්දු වන බව පිළිගත යුතු වේ.


දීර්ඝ ලෙස කතා කලේ මෙහි අංගෝපාංග රාශියක් ඇති බැවිනි. කෙටියෙන් කිවහොත් පැහැදිලිවම කලා නිර්මානයක විය යුත්ත සිදු වී නැත. එහෙත් බෞද්ධයින් ඉල්ලන මට්ටමේ සීමා කිරීමක් කුමන පදනමක කරන්නේ ද යන්න මට නොවැටහේ. අයිතිය සමග එන වගකීම ගැන ගයාන් මීට වඩා සිතුවා නම් මෙවැන්නක් නොවනු ඇත. හුදෙක් අපහාසයට හෝ නිර්මාණය ප්‍රචලිත කිරීමට ඔහු මෙය කලේ නම්, එය දීර්ඝ කාලීනව තමන්ට කර ගන්නා අවාසියක් බව ඔහුට තේරුම යනු ඇත. නීතියට ඉඩ දීම හා ඊට අවමන් නොකිරීම කාගේත් වගකීමයි.

Friday, October 21, 2011

උපක්‍රමික යටත් වීම

ඒ වන විට යුද්ධය උපරිමයේ තිබිණ. යුද්ධය සියලු විනාශකාරී සීමාවන් ඉක්මවා ගොසිනි. දැවැන්ත ජීවිත විනාශයක් සිදුව තිබේ. මේ ජීවිත විනාශයට වග කිව යුතු නායකයෝ නිරුපද්‍රිතව සැඟවී හුන්හ.

ඕනෑම දෙයකට ඇත්තේ සීමිත කාලයකි. සැඟවී සිටීමටත් එසේමය. විජයග්‍රාහී හමුදා සැඟවුම් ස්ථාන ආසන්නයටම පැමිණ ඇත. නායකයින්ට සාමය මතක් වූයේ අනුන් මත මෙතක් කල් හෙලූ මරණයේ චායාව තමන් මත ම වැටෙන විටයි.

ඔවුන් එලියට ආවේ සැඟවී සිටියොත් කොහොමත් මරණය නියත බැවිනි. ඔවුන් යටත් වන්නට හිතුවේ ඒ තුලින් ජීවිතය ගෙන නැවත දිනයක මේ සටන අරඹන්නටයි. ඔවුන් හුන්නේ නිරායුධවයි.

විජයග්‍රාහී හමුදා ඔවුන් මරා දැමූහ.

"මේ ඝාතන යුධ අපරාධයන්ද?"

අපි ඇමරිකාව යුරෝපය කැනඩාව ඔස්ට්‍රේලියාව ඇතුළු විනිශ්චය මණ්ඩලයෙන් ඇසුවෙමු.

"නැහැ මේවා සාධාරණ ඝාතන. කොහොමත් ඔවුන් මිනි මරුවන්. ඔවුන් දහස් ගණනක් මරලයි ඉන්නේ. ඉතින් මේ ඝාතනය සාධාරණයි. අපි ගඩාෆි ඝාතනය යුධ අපරාධයක් ලෙස දකින්නේ නැහැ"

විනිශ්චය මණ්ඩලය පැවසීය.

"ගඩාෆි?"

අපි විපිළිසර වීමු.

"මොන ගඩාෆි ද? අපි මේ අහන්නේ අහිංසක පොඩි එවුන් බිල්ලට දීලා ජීවිත දහස් ගණනින් මරලා, අන්තිමට හමුදාව තම එලි පත්තට ආවාම යටත් වෙන්න ආවා කියා ඔබ කියන දෙමල ඊලාම් කොටි නායකයින් ගැන"

තිරය වැසින.

ඉංග්‍රීසි පරිවර්තනය:

http://srilankadefenceforum.blogspot.com/2011/10/tactical-surrender.html

http://defenceanalytics.blogspot.com/2011/10/tactical-surrender.html


Wednesday, October 5, 2011

කෝපොරේට් ජාතකය


ළඟ ළඟම දිව එන, පියවරක් වැරදුනොත් මා සපාකන, රෞද්‍ර ව්‍යාඝ්‍ර තෙම ප්‍රොජෙක්ට් සුපවයිසරයාණෝය. මා පය පැකිලෙනු දැක මේඝ ගර්ජනාවෙන් සකල සක්වලම කළඹමින් එක්වනින් මා ගිල දමන්නට එන්නේ මැනේජර තුමා වේ. තොප තොපේ උන් කා ගනිය, මට ද කටුවක් ඉතිරි කරව යනාදියෙන් මැදහත්ව සිතා පසෙක බලා සිටිනුයේ ක්ලයන්ට උතුමාණෝය.

මේ සියලු මහේශාක්‍යයින් ඉදිරියේ දෑත් දෙපා සිර වී උකටලීව බලා සිටින්නා එම්ප්ලෝයී වන මම්ම වෙමි.

Friday, September 30, 2011

Adoption instead of Abortion - Part II

Adoption instead of Abortion කියා වතාවක් සටහනක් ලිව්වේ නූපන් දරුවන් ඉන්නන් වගේ කපලා අයින් කරන මානසිකත්වයත්, හදා ගන්න බැරි දරුවන්ගේ බර ඒ අසරණ අම්මලා මතම තියලා තද කරන මානසිකත්වයත් දැකලා ඇතිවුන වේදනාවට. එහෙම බරක් වෙන දරුවන් ව දරුවන් නැති අයට පවරා දෙන නීතිගත ක්‍රමවේදයක් තිබේ නම් කියා ලියුවේ මේ ප්‍රශ්නයේ සියලු පාර්ශ්ව වලට යහපතක් වෙන හොඳම විදිහ මේකයි කියා මට සිතුනු බැවින්.

ඔන්න ඔය අතරේ අපේ පොඩිත්ති ගේ උපන් දිනයත් ආවා. උපන් දිනේ අපේ වැඩිහිටි අමුත්තන් සමග ගෙදරදී සමරන එකේ හරයක් නැති නිසා අපි හිතුවා එයාගේ වයසේ බබාලා ඉන්න ළමා නිවාසෙක මේ මොහොත සමරන්න. මේ සටහන ඒ ගැන නොවේ [මං ගෙදර දොරේ විස්තර ලියන කෙනෙක් නොවේ].

සටහන ඒ තැන ගැනයි.

විවිධ පුද්ගලිකත්වයන් වලට බලපාන නිසා තැන නම් කරන්නේ නැහැ. අවශ්‍යතාවයක් ඇතැයි කියා හිතුනොත් පස්සේ හෙළි කරන්නම්.

සැමරුම ගැන සාකච්චා කරන්න ගිය වෙලාවේ මා දුටුවා මෙතන බිත්තියේ ගහලා තිබ්බ බෝඩ් එකක් Adoption for Abortion කියලා. ඔය ගැනම බ්ලොග් සටහනක් ලියූ නිසා මා ඒ ගැන සැලකිලිමත් වුනා. පස්සේ බලන කොට මෙතන ඉන්නවා ප්‍රෙග්නන්ට් අම්මලා ගොඩක්. පුංචි ලාබාල කෙල්ලන්. මේ අය කරන්නේ සරල දෙයක්. තමන්ට හදා ගන්න බැරි දරුවන් පිළිසිඳ ගත් මවුවරුන්ට මේ අය රැකවරණය දෙනවා. ඒ දරුවන් ලබා ගන්න කැමති අයට ලිස්ට් එකකට ඇතුළු වෙන්න පුළුවන් ආයතනයට ස්වේච්චාවෙන් නීතිමය උපදෙස් දෙන අය මේ දරු හුවමාරුව නීතිමය ලෙසින් කර දෙනවා.

අහපු ගමන සැක පහල වෙනවා ඇති දරුවන් විකුනනවාද කියා. පිටරට වල අයත් ගන්න නිසා ඒ බය දෙගුණ වෙනවා. එම ගැටලුව මගේ සටහනේත් ලිව්වා. එදාත් හිතට ආවා. හැබැයි මේ ගැන හොයන ආයතන ඉන්න නිසාත් මෙම ආයතනය ප්‍රසිද්ධ හා ලාභ නොලබන ආයතනයක් නිසාත් තරමක විශ්වාසයක් ඇති වෙනවා. මේ කතාවේ දී ඔය අවදානම් වතුරට බහින්නේ නැතුව දැනෙන මෙහෙයක් කරන්න කොහොමත් බැහැ.

කොහොම හරි මේක ශ්‍රේෂ්ට දෙයක්. මේ දරුවන් වදන අම්මලා ඒ දරුවන් ගේ පුංචිම කාලේ කිරි එහෙමත් දීලා ලු බාර දෙන්නේ. හැඟීම් බර ඇති. එහෙත් මේ අමානුෂික කතාවේ මීට වඩා මානුෂික නැවතුමක් තිබේ ද? ගබ්සා කිරීම, දරුවන් උපතේදී මැරීම හෝ මග දමා යාම යන මුහුණු තුනේ යක්ෂයා ට වඩා මේක ඉතාමත් ශ්‍රේෂ්ට දෙයක්. හදිස්සියට කුලප්පුවට උපත් පාලනයක් - කොටින්ම කොන්ඩම් එකක් - ගන්නේ නැතුව ආදරේ ප්‍රැක්ටිකල් කරන මිනිස් වෙස් ගත් වල් හරකුන් හා හරකියන් ඉන්න තාක් කල් මීට වඩා වෙන කරන්න දෙයක් නැහැ [බටහිර වගේ නොවේ, අපේ රටේ වැඩිපුර ගබ්සා අවිවාහක පිළිසිඳ ගැනීම්].

මා දුටු මේ ආයතනය බොහොම තද ආගමික නීති අනුව යන ආගමික ආයතනයක්. එහෙත් ඔවුන් දරුවන් දෙන්නේ වදන අම්මා හා හදන මව් පියන් ආගම ගැන එකඟ වන්නේ නම් පමණයි.

අංග විකල දරුවන්? ඒ අයව ආයතනය බලා ගන්නේ කවුරුත් ගන්නේ නැති නිසා වෙන්න ඇති. සාධාරනයිනේ. කවුරුත් මිනිස්සු නේ. ඒත් ඒ දරුවන් ඔවුන් හැකි පමණ ඉහළින් ම බලා ගන්නවා.

ළමා නිවාසය තුල අඩුපාඩු ඕන තරම් ඇති. එහෙත් සියල්ල සැලකු විට මේ අය කරන දේ ගැන මට ඉහල ප්‍රසාදයක් තියෙන්නේ.  අනාගමිකයෙකු වූ පමණින්, තවත් ආගමක් වගේ ලෝකේ ඉන්න වෙනත් අනාගමිකයන් අනුව යමින්, ඔන්න ඔහේ කළලය කපලා දාන්න කියා කියන්න මට බැහැ. අන්තවාදී ආගමිකයන් වන මේ ආයතනය සමග මා මෙතැනදී එකඟයි. තියරි දාහකට වඩා එක ප්‍රායෝගික සැලසුමක් වටින බවයි මට හිතෙන්නේ.

හැකි වුනොත් නැවත මේ අය ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගොල්ලන් ඉල්ලා හිටියේ තෑගී එපා හැකි වෙලාවක නැවත ඇවිත් ඒ දරුවන් එක්ක මොහොතක් බෙදා ගන්න කියලා. ඒ වෙනුවෙන් මොනවා හරි කරන්න හිතා ගෙනයි අපි ඉන්නේ.

[ලියන්න හිතා ගෙන උන්නු දෙයක් මුහුණු පොත් සටහනක් තුලින් අවුස්සා දුන් රවිෂ තිලකවර්ධනට ස්තුතිය]

Monday, June 20, 2011

පිස්සු කතාවක් නොවේ

"කන්ද පටන් ගන්න තැනට එනකොට මට පෙනුනේ මේක නගින්න නම් බැහැ කියලයි. ලංකා සිතියමකින් කියනවා නම් මෙතන හරියටම නුවර හා නුවර එලිය අතර තැනක්. අපි දින දෙක තුනක දුම්රිය ගමනකින් පස්සේ මෙතනට ආවේ. මග දිගටම සොඳුරු සිරිය. ඒ ඔක්කොම පරාදයි කන්ද දැක්කම. ඇරිසෝනාවේ පින්තුරවල දැකලා තියෙන මොනොලිත් කිහිපයක් එක එක උඩ තිබ්බ වගේ.  කිහිපයක් කිව්වද කොච්චරක් ද දන්නේ නැහැ. කෙළවරක් පෙන්නේ නැහැ උඩ වළාකුල් වලින් ඔබ්බට නොපෙනී යනවා. මේ මොනොලිත් වල බඳ දිගේ විටක එළියෙන් හා වරෙක ඇතුලින් කැපු පඩි දිගේ තමයි ඉහලට යන්නේ. සමහර තැන්වල කළුගල හාරා තැනූ ගිමන් හල්.

බයෙන් බයෙන් අපි වලාකුළු පසාරු කරගෙන ඇදුනා. හිත කිරි ගැහෙන සොඳුරු බියකරු හැඟුම් අතරේ පාවෙන්න ගත්තා. ඉවරයක්‌ නැති කන්දක්. මනසේ ගැඹුරුම තැන් දක්වා විහිදුනු කිති කැවීමක්. කියන්න වචන නැහැ කියන්නේ ඇත්තටම නැති නිසා.

අන්තිමේදී මේ මහා උස කන්දේ උඩ මුදුනක් නොවේ තිබ්බේ. මහා ගල් තලාවක යටටයි අපි ආවේ. කන්ද කණුවක් වගේ ඇවිත් ගල් තලාවට සෙට් වෙනවා. ගල් තලාව මේ කණුව උඩම රැඳිලා තියේද නැත්නම් සයිඩ් එකෙන් සපෝර්ට් වෙනවද කියලා පේන්නැති තරම් මිදුම. ඒ සිතල මතක් වෙන කොට දැනුත් ඇඟ කිලිපොලා යනවා.  ගල්  තලාව විදගෙන උඩට ඇදෙන සිරස් උමගක් තුලින් පඩි පේලියක්. අපි නැගගෙන ගියා.

අපි කිව්වට කියන්න අමතක උනා. ඉස්කෝලේ සෙට් එකේ කිහිප දෙනෙක්, කැම්පස් ගජයෙක් හා ඔෆිස් එකේ බුවාලා කිහිපයක්.
 

උමග කෙළවර උනේ ගල්තලාව මත තියෙන පුංචි ටවුමක. අපි නිකම් අර "යට බිම් හරස් මග" කියන පාරේ තියෙන [බොරැල්ලේ තියෙන්නේ] පඩි පේලි වගේ තැනකින් බස් හෝල්ට් එකකට තමයි මතු උනේ. ඇත්තටම මේ අර ගල් තලාවද කියලා නිච්චියක් නැහැ. හාත්පස සිසාරා කෙළවරක් නැති කඳු ගැට. සමහර විට උඩට යන්න යන්න අර ගල් තලාව  මහා ලොකු තැනක් වෙන්න ඇති කෙළවර නොපෙනෙන. 

දියතලාව කියලා බෝඩ් ගහපු බස් එකක් සිතල හුළං අවුස්සගෙන අප පහු කරන් ගියා.
 

අපි එතනින් තේ බිලා පාරේ බස් එකකට නැග්ගේ ආපහු කොළඹ එන්න."
------------------
"මං වාඩිවෙලා හිටියේ ඇන්ඩීස් මුදුනක. කෙලින්ම පල්ලෙහාට ගහක් කොලක් නැති වැලි තලාව. ඈතින් කිලෝමීටර ගණනක පහලින් පුංචි නිල් පටියක් වගේ මහා මුහුද. මෙච්චර උඩට වැලි කොහෙන්ද?
 

අපි විතරක් නොවෙයි මෙන්න හෙන සෙට් එකක් ඇවිත්. ඔක්කොම ඉස්සරහට නොයා දුර තියෙන මුහුද දිහා බලන් ඉන්නවා. මගේ සංචාරක හිතට ඉන්න බැහැ මෙහෙම. මං ගියා ඉස්සරහට. කට්ටිය කිව්වා එපා එපා කියලා. මුන්ට පිස්සු. මුහුද හත් ගව්වක් තියන් ස්විමිං සූට් එකට බැහැලද කොහෙද.
 

එක පාරටම ඈත තියෙන නිල් පටිය මහත් වෙන්න ගත්ත. ටිකකින් මහා හඬකුත් එන්න ගත්ත. මට හිතා ගන්න බැරුව තක්බීර් වෙලා ඉන්න අතරේ පැසිෆික් සාගරෙන් එන මහා ජල කඳ වැලි තලාව කලම්බා ගෙන කිලෝ මීටර ගානක් උස ඇන්ඩීස් බෑවුම දිගේ ඇවිත් මාවත් නාව ගෙන රැල්ල බිඳිලා ආපහු ගියා. පුරුවේ වාසනාවට එදා බේරුනේ.
 

සුනාමි කියන වචනේ මට එදා මතක් උනේ නැහැ. ඇත්තටම මේක සුනාමියකුත් නොවේ. මේ ඒ පැත්තේ රැල්ල ගහන හැටිලු."
-------------------
"ඔය කෑගල්ල මතුගම හොරණ කළුතර නගර අතර මැද්දේ තියෙන මහා කැලෑවකට මා නිතර යනවා. කළුතර පැත්තෙන් පටන් ගත්තොත් දවස් ගානක් නගින්න පුළුවන් කන්දක් තියෙන්නේ. මේකේ විවිධ ඇඩ්වෙන්චර් කරලා තියෙනෙවා. මෙතන තියෙනවා කඳු මුදුනක් සිරිපාදේ වගේ කිහිප ගුණයක් උස. එතෙන්ට මුළු ලංකාවම පේනවලු. ඒත් අත පය වෙවුලා සිහි මුර්ජා නොවී ඕක බලන්න බැරිලු.
 

කීප දොහක් මෙහෙ ගියත් මට බැරි උනා මෙතෙන්ට නගින්න. එක දවසක් හිත හයිය අරන් මං ගියා. මං එදා දැකපු දේ කියන්න මට වචන නැහැ. විනාඩියක පමණ අනන්ත ආශ්වාදයකින් පස්සේ මාව වැටෙනවා වගේ මතකයි. සිහිය අසිහිය අතරේ මගේ සගයා මාව වත්තම් කර ගන්න හැටි දැක්ක."
-------------------
"මං වැඩ කලේ පාසලක පාට් ටයිම් මාර්ගෝපදේෂකයෙකු හැටියට. අපි ගියේ ඇන්ටික් මාලිගාවක් බලන්න.  ළමයි ටිකත් එක්ක ඇතුලට ගිහින් අපි මුලින්ම ගිය බේස්මන්ට් එහෙමත් නැත්නම් පොලොව යට තට්ටුව බලන්න.
 

පඩි බහින තැනම තිබ්බ ඔරලෝසුවක්. මොකද්දෝ කටු සුත්තරයකින් වෙලාව හා දිනය ඔක්කොම සටහන් වෙන. මාලිගාවේ උපදේශක කෙළී මේ ඔරලෝසුව ගැන කිව්වා. වෙලාව දුවන්නේ නැහැලු ඔන්න ඔය තියෙන විදිහටම නැවතිලාලු.
 

මං හොඳට බැලුවා.  අඩේ අද දවසනේ තියෙන්නේ. ඒක සෙට් උනේ කොහොමද? මට මගේ ඔරලෝසුව බැලුනා. මගේ ඔරලෝසුවේ තප්පර කට්ට හෙමි හෙමින් ඇන්ටික් ඔරලෝසුවේ සෙට් වෙච්ච තැනට එනවා. මිනිත්තු කට්ට දැනටම සෙට්. පැය කට්ටත් සෙට්. මේ ඇන්ටික් ඔරලෝසුවේ නතර වෙච්ච දිනය හා වෙලාව තමයි මේ එළඹෙන්නේ. මොකක්??
 

ඒ කියන්නේ?? මේක ටයිමර් එකක් ද? අහවල් දෙයකට හදපු ටයිමර් එකක්ද?
 

තප්පර කට්ට සෙට් උනා. දඩාස් ගාල දොරවල් ටික වැහිලා ගියෙත් විදුලි බලය ඇන හිට තිත්ත පල් කලුවරකින් අප වසා ගත්තෙත් එකම වෙලාවේ..."
-------------------
"කැම්පස් එකේ පේමන්ට් එකක් රෙපෙයාර් කරන බුවාලා ඇවිත් දැන් ටික දවසක්. මං පොරවල් එක්ක ෆිට් උනේ නිකම් කුතුහලයට. යාලු කමට තමයි එකෙක් අර පොලොව තලන ගිඩි ගිඩි මැෂිම දුන්නේ. මං ඒක අරගෙන පේමන්ට් එකේ පස් තට්ටුව තලාගෙන ගියා. මේවා මාර ආතල් වැඩ.
 

වයර් කොනක් බිම වැටිලා තියෙනවා දුටුවේ මට කරන්ට් වැදෙන්න තප්පරෙකට කලින්. මාව විසි වුනා. නිකම් නොවෙයි අහසට. විසි වෙලා මං පාවෙන්න ගත්ත. මං වගේම පොරක් බිම වැටිලා හිටියා. මගේ අලුත් යාළුවන් වූ පේමන්ට් හදන සෙට් ඒක ඌව වටකරගෙන.
 

පවන් රොදක පිහාටුවක සැහැල්ලුව මට දැනුනා. ඔන්න ඔහේ ඕන "එකක්" ප්‍රීති වෙසක් කියන පරම සන්තුට්ටියෙන් හිත කියන තඩි පෙනහල්ලේ කවදාවත් නොපිරුණු ප්‍රත්‍යන්ත ගර්ත පවා පිරි ගියා. යට ඉන්න එවුන් මා ගැන දුක් වෙන හැටි, මා මැරිලා කියලා අර මං වගේ අනික් බුවා ව රෙද්දකින් වහන හැටි මා දුටුවා. දුකක් හිතුනෙත් නැහැ. නිරාමිස ප්‍රීතියකින් පිරුණු හිතකට දුකක් දැනෙන්නේ කොහොමද?"
-------------------
 

මේ වගේ කතා තව තියෙනවා ගෝනි ගණන්...

ඔය මෙච්චර වෙලා කියෙව්වේ පිස්සු කතා නොවේ. මේක ලියන්න දිරි ලැබුන නලිනි ලියපු මා බාල කාලේ වගේ නොන්සේන්ස් වර්ගයේ  කතාත් නොවේ.
 

මේ මා බොහෝ දිනවල රැයේ දකින සිහින.
 

මේ ගැන ලියන්න ගියොත් වෙනම බ්ලොගක් ලියන්න පුළුවන්. හැබැයි මං කවදාවත් මෙහෙම දෙයක් පබ්ලිෂ් කරන්න හිතුවේ නැහැ. මං හිතුවේ මේක පට්ට ප්‍රයිවෙට් මැටර් එකක් කියලා. ඒත් තව ජිවත් වෙන්න තියෙන කාලය බොහෝ විට හිටිය කාලය තරම් නොවන නිසාත්, මේ වගේ සංවාදයකට සුදුසු පිරිසක් හා වටා පිටාවක් තියෙන නිසාත් මේ "කාටවත් නොකියූ" කතාව කියන්න මට හිතුනා. සංවාදයට මිස නිර්මාණ කරණයට නොවේ මේක ලිව්වේ. ඒකයි මගේ කෙටිකථා බ්ලොග් එකේ නොදා මෙතන දැම්මේ.
 

මට තියෙන්නේ මාර ලෙඩක්. සාමාන්‍ය විදිහට පැය හය හතක් නිදා ගත්ත හැම රැයකම හීන තුන හතරක් පේනවා. අඩු ගානේ ඒ තරම මතක හිටිනවා. සියයට අනුවක් සංචාරක සිහින. හැබැයි මාර වෙරයටි එකක් තියෙන්නේ.
 

උදාහරණයක් හැටියට ඒ කාලේ මා වැඩිය ගණන් ගත්තේ නැති භාතිය සන්තුෂ් දෙන්න හදපු පට්ට ම සින්දුවක් ගියා හීනෙන් ට්‍රිප් එකක් යනකොට වාහනේ. වින්දනය උපරිමයි ඇහැරෙන කොට ඒක අමතක වෙලා. පොරවල් තවම නැහැ ඒ සින්දුව දැම්මේ.
 

මං එකම ලස්සන හීනෙ නැවත නැවත දැක තියෙනවා. ඒ වගේම ට්‍රයි කරලා බලලත් තියෙනවා. හීනෙන් චිත්‍රපටියක් [කතාව තිර රචනය අධ්‍යක්ෂණය ඔක්කොම මගේ හිත ඇතුලේ] බැලුවා. නවකතාවක වස්තු විෂය දුටුවා [ලිව්වේ නම් නැහැ]. පහත පද පේලිය ලිව්වේ පාඩම් කර කර ඉඳලා එතනම නින්ද ගිය දවසක පාන්දර තුන විතර වෙද්දී හීනෙන් තොල් මැතිරූ ගීයකින්. නැගිට්ට ගමන හුස්මට ලිව්වා. නැත්නම් ඒකත් මට නැතිවෙනවා.
    "ඉරගල කන්දෙන්  ඉරමල වැටිලා
    ගොම්මන් කළුවර මිදුලට ඇවිදින්
    රුක් ඇත්තන මල් සුවඳ ගෙනාවට
    නුඹේ සුවඳ මට ඊට වැඩියි..."


මට කියලා "බූල් බල්ලෙක්" නොහිටි මේ කාලේ ඔව්ව ඉතින් හීනෙන් හිතුනොත් තමයි. හිතට ආපු පෙම්බර සිතුවිල්ල මුළුමනින් ම ගීතයක් කළා. මෙන්න මං ඒක වෙන තැනක පල කළා සම්පුර්නයෙන් ම.


මට පිස්සුද? ඔහොම නෙවෙයි මට හිතුනේ. මට ලෙඩක් ද? අම්මා සාත්තර අහන වෙලාවක [මං ගැන ඔය සාත්තර අහන්න එපා කියලා කියන්න ගටක් නොතිබි පාසල් වයසේදී] ඔය කතාව ඇහුවම කිව්වා මට දේව වරමක් ලැබිල තියෙනවා කියලා සිහින දකින්න. මං ඉතින් පොඩ්ඩක් "විජ්ජා සම්පන්න" ව හිතුවම මට හිතුනේ මොලේ සිග්නල් ජෙනරටරේ ඕෆ් වෙන්නැති කමක් වගේ ආබාධයක් දෝ කියලා. මං සැක කළා බ්‍රේන් ටියුමර් කියන ඇඟ වෙවුලා යන රාක්ෂයා ව. කැම්පස් හෙල්ත් සෙන්ටරේ ඩොකා ගෙන් ඇහුවම පොර හිනා වෙලා කිව්වා එහෙම එකක් තියෙනවා නම් මිට වඩා හොඳ ක්‍රමයකට මට තේරෙයි කියලා. අහලා දශක එකහමාරක් ගියා, ඒත් එහෙම නොතේරුන නිසා අඩු ගානේ මූ හරී හිත හොඳ රාක්ෂයෙක් නේ කියලයි මං හිත හදා ගෙන ඉන්නේ.

හීන ගැන විවිධ මත තියේ. සමහරු කියන්නේ මට හීනෙන් සිද්ධ උන වැටෙන බියවන සිද්ධි වෙන්නේ අපේ ඇස්ට්‍රල් බොඩිය සිරුරෙන් එලියට ගිහින් ඇතුළු වෙන කොට ලු. මට ඉතින් ඔය වගේ කරුණු රහිත විශ්වාස ගැන විශ්වාසයක් නැහැනේ. එතකොට තව කියන්නේ නින්දේ ස්ටේජ් අතර මාරුවෙන කොට [වාහනේ ගියර් වගේ] ඔහොම වෙනවා කියලා.

අපි රෑට හීන බර ගානක් දකින නමුත් මතකයේ සැකැස්ම අනුව ලු එව්වා මතක හිටින්නේ. මගේ මතකය පින්තුර ගොඩක්. ඒක සමහර විට හරී ඇති. බාහිර සංවේදන ඉන්ද්‍රිය වල සම්බන්ධතාවයක් නැති නිසා හීනයක් බලන්න යන්නේ තප්පර කිහිපයයි කියන්නේ. හයි ස්පීඩ් ඩේටා ෆ්ලෝ එකක්. නෝ පෙරිෆරල් බොටල් නෙක්ස් ලු.

මෙව්වා ඇනලයිස් කරන්න ගියානම් හීන විශ්ලේෂකයෝ කොර වෙනවා. අනේ හැබැයි මගේ සත්‍ය ජිවිතයේ මේ සිහින වලට සම්බන්ධ මොකුත් වෙලා නැහැ. මේවා අහිංසක "සිහින" විතරයි. සැබෑ වෙන්න බැරි.

මොකා මොනවා කිව්වත් මේක මාර ෆන් වැඩක්. සිහින වල වින්දනය සැබෑව වගේ සිය දහස් ගුණයක්. මං හිතන්නේ මොලේ තියෙන සමහර නියුරෝන උද්දීපනය කරන්න ඇස කන නාසය වගේ පෙරිෆරල් වලින් බැහැ. හිතේම පහල වන මේ හීන හිත පතුලටම වදිනවද කොහෙද?

මං මේ හීන වලට මාර ආදරෙයි. සමහර විට මගේ ලොකුම විනෝදාංශය මේක වෙන්නැති. මේ වචන වලින් ඔබ දැක්කට මට දැනෙන හැඟීම් මිට වඩා හරී වෙනස්. ඒත් මට "කියන්න වචන නැහැ". හරී දුකයි ජිවිතේ බෙදා ගන්න මගේ හිත ලඟම ඉන්න අනික් හිත එක්කවත් මේක බෙදා ගන්න බැරි එක ගැන. 

මට නම් හිතෙන්නේ සාත්තර ඇන්ටි හරී. මේක නම් දේව වරමක් තමයි.