පූසෝ මීයන් අල්ලති. පූසෙක් හදන්නේ මී කරදරය නිසාවෙනි. මීයන් කරන්නේ එසේ මෙසේ කරදර නොවේ. උහු අපේ දේපොළ වනසති. අහර සොරකම් කර අපේ ආර්ථිකය කඩා ඉහිරවති. ගෙවැසියන් ලෙඩ කරති. මරා දමති.
එබැවින් අපි පූසෙකු හැදුවෙමු.
මීයෝ හැංඟෙන්නට දක්ෂයෝය. පෙනුමින් වැඩි වෙනසක් නැති ලෙහෙනුන් වැනි අනික සතුන් ද ඉස්සරහට දමා මීයෝ හැංගෙති. පූසා මීයන් අල්ලන්නේ ප්‍රාථමික තාක්ෂණික ක්‍රම උදව්වෙනි. මේ කතාවේ ඉන්න මීයන් කොපමණ දියුණු වීද යත් උගේ මර උගුල් වලට හසු වී මිය ගිය පූසන් ගණන අපමණය. එහෙයින් පූසාට මෙය ජීවිතයත් මරණයත් අතර සටනකි. දුටු තැන පහරදෙන්නට වූ නිසා පූසා මේ සටන තුල මීයන් කියා කෑ ලෙහෙනුන් යම් තරමක් සිටිති. එවැනි ලෙහෙනුන් මීයන් කියා කීමට පූසා ද, මියගිය හැම මීයාම ලෙහෙනෙක් කීමට මීයා ද පොර කන මේ තරගයේ, ඉන් ඔබ්බට සංඛ්‍යා ලේඛන නොමැත.
උකුස්සා ට සියල්ල පෙනේ. උගේ තාක්ෂනය දියුනුය. එහෙත් ඌ අපට මීයන් අල්ලා දෙන්නට ප්‍රමාණවත් උදව් නොදුන්නේය. ඒ වෙනුවට ඌ මිය යන ලෙහෙනුන් ගණන් කරන්නට ඉහල අහසේ සිට උත්සාහ කළේය. අපි ඌට ගල් ගැහුවේ එනපොට හොඳ නැති නිසාය. අන්තිමට හරි ගණන් ඌට ද මිස් විය.
උකුස්සා අල්ලන්නේ ඌරු මීයන් ය. උගේ කූඩුව තියෙන ගස මුල හාරා අකල් බකල් කරන්නේ උන් බැවිනි. ඉහල අහසේ ඔටෝ පයිලට් දාගෙන නිදි වනින් ඉන්නා උකුස්සා විටින් විට පැමිණ ඌරු මීයන් මෙන්ම හාවන්, කටුස්සන්, පමණක් නොව ඌරන්, ඉත්තාවන්, බල්ලන්, කුකුලන් ද ඩැහැ ගෙන යයි. ඒ උන් අහර පිණිස ගන්නද නැතිනම් ඌරු මීයන් කියා රැවටී ද අපි නොදන්නෙමු. අල්ලන ඕනෑම සතෙක් කුදලා ගෙන යමින් ගමන "මේ ඌරු මීයෙක්" කියා ඌ මොර දෙයි. උකුස්සා ගේ සද්දේ සැරය. කවුරුත් හරස් ප්‍රශ්න නොකරති.
ගැටලුව තවත් දුරදිග යන්නේ අහල පහල ගෙවල් වල ඉන්න සමහරුන් මීයන්ට ආදරේ බැවිනි. අපේ ගේ වනසන මීයන්ට කන්න බොන්න දී හදා ගන්නේ ඔවුන් ය. මීයන්ට දාන කෑම ගන්නේ සල්ලි එකතු කරලාය. ඉතිරි සල්ලි උකුස්සන්ට කෑම ගන්න වියදම් කල බැවින්, මීයා උකුස්සා, මේ කට්ටිය ඇතුළු ඔක්කොම එක පැත්තක කියා ද අපට හිතේ. ඉහල අහසේ ඉන්න උකුස්සා මොන පැත්තක ද කියා කීමට සක්කරයටවත් නොහැක්කේ සක්කර වාස බවන ද ඊට පහල බැවිනි.
දැන් අපේ පූසා මහ මීයන් මරා ඇත. වර්තමානයේ හෝ අනාගතයේ නැවත බිහි විය හැකි මී ගුල් හා රෝසපාට මී පැටවුන් ගැන පුංචි බියක් හැරෙන්නට අන් කිසිම මී අවුලක් නොපෙනේ. ලෙහෙනුන් වෙනුවෙන් යමක කල යුතු බව ඇත්ත නමුත් ලෙහෙනුන්ගේ අභිප්‍රායන්, ලෙහෙනුන්ගේ දැවෙන ප්‍රශ්න ගැන කියවීමක් ගන්නට බැරිය. මේ පැත්තේ ලෙහෙනුන් ගොලුවෝය. උන් වෙනුවෙන් හඬ නගන්නේ මීයන් හා මීයන් හදන කස්ටියයි.
හැමදාමත් ගෙදර බත්පත ගැන වලි දාන මද්දුම අයියා මීයන්ට සහය දෙන්නේ මීයා පීඩිතයා කියාය. තම බත් පංගුව හැරුණු විට අන් සියල්ලක්ම පීඩිතයා හා පීඩකයා යන ඇහින් දකින මද්දුම අයියා කැම්පස් ගොස් ගොම්පස් වූවෙකි. මීයන් වෙනුවෙන් සමුළු රැස් වනවිට මද්දුම අයියා ප්‍රීතියෙන් පිනා යයි. අම්මලා තාත්තලා නැති තැනක බලා අයියා "මීයාට ජය වේවා" කියා බෝඩ් දමයි. අම්මලා ඉන්න තැන්වල "කොහෙද මීයෝ ඉන්නේ. ලෙහෙනුන් ලක්ස ගානක් මරුවා මිසක්" වැනි කතාය. හරස් ප්‍රශ්න කලොත් "ලෙහෙනෙක් මීයෙක් වෙන්නේ අම්මලාගේ වරදින්. කිසිම මීයෙක් උපතින් මීයෙක් නොවේ" වැනි අපබ්‍රංශ කියයි. ලෙහෙනුන්ට දෙන යමක් මීයාටම දීපියෝ කියා ඔහු කියයි. මද්දුම අයියාට අනුව අප මී කරදරය ඉවසිය යුතු වේ. මහාමාරිය අපේ උරුමයකි. අල්මාරිය උගේ උරුමයකි. අපි ඔටුවෝය [මද්දුම අයියාට අනුව අපි කොහොමත් ඔටුවෝ ම වෙමු. සියලු කතා වල අවසාන නිගමනය එයයි].
සිද්ධිය දුරදිග ගියේ ලෙහෙනුන් මැරීමේ වරදට අපේ පූසාව සමත මණ්ඩලයට ඇන්න ගිය විටයි. පූසා මූලිකව අපේ ගෙදර වැඩිහිටි අය එකතු වී සමත මණ්ඩලයට මුහුණ දෙන්නට නියෝජිත පිරිසක් යැවුහ. සමත මණ්ඩලය මේ ගැන අවබෝධයකින් ඉන්නා නිසා ලොකු බියක් නැත. උකුස්සා ගේ බිල්ල තරමකට හෝ ලැබෙන නිසා ඌ අප පූසා කුදලා ගෙන යනු ඇතැයි සිතිය නොහේ. එහෙත් සමත මණ්ඩලයත් උකුස්සාත් ගැන අනාවැකි පල කිරීම අසීරු බැවින් මේ කතා බහ එන එක එතරම් හොඳ නැති දෙයක් බව දකින්නෙමු. මේ මල කරදරය ඉවර විය යුත්තක් මිස වසරක් පාසා කතා විය යුත්තක් නොවේ. සියල්ල අහවර කරන්නට උකුස්සා ඉල්ලන තඩි බිල්ල දෙන්නට අපට වස්තුව නැත. අපේ වත්තේ තෙල් නැති බව උකුස්සා දනියි [තිබ්බා නම් ඌ මෙලහටත් මීයන් සමග සෙට් වී හාරා ගෙන ගොහිනි].
මෙතනින් කතාව නිමියේ නම් අපි දිවි හිමියෙන් පූසා රකින්නෙමු. එහෙත් ඒ එසේ නොවේ. පූසා මාර ඩයල් එකකි. මීයන් මැරූ පසු හැමදා උකටලීව නිදන හේ අපේ ඇස වසා කරුවලේ රති කෙළියට යයි. උගේ මල අදෝනාව අසා එපා වී ඇත. පූසා ගේ ගැන්සියේ වල් පූසන් වත්ත පුරා පහරන මුත් මූ උන්ව එළවන්නේ නැත. හොරෙන් කුප්පමේනියා කුඩු කර විකුණන හොර පූසන් අපේ පූසා ගේ දකුණත් වමත් සව්වන් වී දෑලේ ගැවසෙති. ඒ මදිවට මීයන් මරා සවිමත් වූ හකුවලින් පූසා අප හපයි. ඌ කරන මගුලක් නැති මුත් ඌ වෙනුවෙන් දරන වියදම ඉතා වැඩිය. අප තවත් ආර්ථිකයෙන් පහල වැටෙමින් තිබේ. පූසා වදයක් වී වෙන පූසෙක් ගේන්නට බැලුවත් මේ පෙනෙන තෙක් මානෙක හරි හමන් පූස් පැටියෙක් නැත. එහෙත් වෙන ඕනෑම අංජ බජල් පූසෙක් ගෙන මේ පූසා එළවා දමන්නට වුවද සිත් වන තරමට පූසා අපට දාන බිල වැඩිය.
සමත මණ්ඩල රැස්වීම දා පූසා කරන්නේ අපූරු වැඩකි. පූසාගේ තල්ල පිරිමදින පොඩි එකා ගෙන්න ගෙන උගේ මොන්ටිසෝරියේ ක්ලාස් මේට් ලා සමග පූසා රැකීමේ මහා උද්ඝෝෂණයක් සංවිධානය කලේ පූසාමය. ඒ කිසිවෙකුත් හපන්නේ නැති බවත් වැඩේට අවශ්‍ය කළමනා සපයන බවත් ඌ පොරොන්දු වී ඇත. ලොකුම විහිළුව නම් උද්ඝෝෂණය ඇත්තේ සමත මණ්ඩලේ නොව අපේම සාලයේ බැවිනි. පොඩි එවුන්ගේ දඟ හැසිරීමෙන් විඳවන්න ඕනේ ද අපමයි. ලෙඩ වී ඉන්නා ආච්චිට හදිසියේ වැසිකිලියට යන්නට මේ කලබගෑනිය නිසා බැරිය. අම්මාට තාත්තාට වැඩට යන්න පරක්කු වේ. අනික මේක සමත මණ්ඩලයට හෝ උකුස්සා ට නොදැනේ. උහු සුපුරුදු පරිදි රැස්වීම් තැබීම හා කුදලාගෙන යාම නම් වූ තම ක්‍රියා වල යෙදෙති. සමහරවිට අපේ ගෙදර වෙන හතර විහිළු වලට පස්ස පැත්තෙන් හිනා වෙනවා ඇත.
අද රෑටත් වලත්තුවේ යන්නට පූසාට ඉඩ හසර ලැබෙන්නේ අම්මා හා තාත්තා මේ ළමා උද්ගෝෂණය ගැන මිස පූසාගේ වලත්තකම් ගැන නොහොයන බැවිනි.
සමත මණ්ඩලයට ගිය නියෝජිත පිරිසට සුබ පතන අතර මොන්ටිසෝරි මල්ලිලා ගැන දුක් වෙමු. අඩෝ ගෙරි පූසා ගෙදර මට්ටමින් බඩු පෙරලගන්නේ නැතිව තෝ අල්ලා ගන්නට දවසක් එනතුරු අප බලා සිටින බව දැනගෙන හිටු.