Friday, August 14, 2015

වණපල් මතුර රිමික්සුව

එකලැ එම දීපයෙහි රජ සබ වරණය උදෙසා අඬබෙර ගැසුම් නවත්නා  දින පැමිණියේ යැ. ජයන්තිය අතින් මැ සාදා දුන් බෙලිමල් බඳුනෙක රහ බලන මෙත්පල්හු විජරම් නිවස්නේ නෙක පැහැ විසිතුරු පුෂ්ප විකසිත පඳුරු අතෙර මද සක්මනෙක නියැලුණහ. එකෙණෙහි එක වරම මහා හඬින් ගෝරනාඩුවෙක් ඇසුණි.

"එම්බා නරය"

අනුන්ගේ පුරෝහිත කමින් රජකම් කලත් සකල ශ්‍රිලන්කාධීශ්වර වූ මෙත්පල්හු මේ ඇමතුමෙන් පුදුමයට පත් වැ වට පිට බැලූහ. මිනිස් පුලුටෙක් නැති.

"තොප කවුද?"

"තට මා කවරෙක්දැයි දැන ගැනුම පලෙක් නැති. මා කියන්නක් අසව. නැතහොත් මම තගේ හිස මෝරුන්ට කන්නට දමමි. සිරුර සූට් කේසයක දමා රථ නැවතුමේ තබමි"

පියස්ධිය ද විසුරුවා ලූ කලැ මේ නම් සැබෑම තර්ජනයෙකියි බියට පත් මෙත්පල්හු සැලෙන හඬින් තොපට අවැසි කුමෙක්දැයි විමසීය.

"තා නමට පමනෙක් නයුවෙකු වන සන්ධාන නම් පසෙක් වෙද ?"

"එසේ යැ"

"එහි ලෙහෙකම් කරන පෙම්ජයන්තයා නම් පුඟුලෙක් වෙද"

"එසේ යැ"

"තා වහා ඒ පෙම්ජයන්තයා ලෙහෙකමින් පහ කරව"

".... කෙ ... කෙසේ නම් එය කරම්ද? මා හට කුනුහබෙන් ඇසුමට වන හිටන් යැ"

"තා එසේ නොකලත් උහු තට තෙපලන්නේ කුනුහබෙක්මැයි නරය. තට හැව්ලොකයේ රිය අනතුරෙක් රිසි ද?"

"න් ... නැත නැත ස්වාමිනි. මම වහා එසේ කරමි. එ ද මා ඉනික්බිති ලෙහෙකමට ගන්නේ කවරෙක්ද?"

"වණපලයා ගනුව"

"මොකා... "

"වණපලයා බොල වණපලයා, විසුවා වණපලයා තට තාගේ කුමාර සමයේ කෙළිදෙළෙන් එකම කැබිනෙට්ටුවේ හුන් මිතුරු තෙම අමතක ද?"

"විසුවා වණපලයා. මා උන්නේ ඌ මියැදිලා කියා හිටන් යැ. මේකා තවමත් යෙහෙන් සිටීද?"

"කට කට නරය. තා ඌට කලින් මැ වාලුකා ගාමාගමනයට රිසි ද?"

"කමා කරනු මැන ස්වාමිනි. මම වහාම ඒ විසුවා වණපලයා ලෙහෙකමයා කරමි හිටන් යැ"

"කදිමයි නරය."

රුව නුදුටු මුත් මේ හඬ නම් යකෙක්ගේ මැ යි සිතා රක්තාක්ෂියා දුටු සේ බියට පත් මෙත්පල්හු වහා ශිරාලයා බණවා ලිපිය ලියා එය සන්ධාන පසටැ  යැවී යැ. එකෙනෙහිම මුළු දීපයේ මැ බයි දනෝ කැලැඹුමට ද ටොයි දනෝ ප්‍රීති ප්‍රමෝදයට ද පත්වැ මහත් කලබල ද සැණකෙළි ද කරන්නට වන්හ. ඒ මහා ගෝෂා මැද විජරම් නිවස්නෙහි මනාකොටැ වැඩුණු පුෂ්ප විකසිත පඳුරෙකින් මෑත් වැ පැමිණි විසුවා වණපලයානෝ මෙත්පලුන් දෑත් පටලාගෙනැ  පිය මිතුරු සම්භාෂණයෙන් උහු අමතන්නාහු

"මා පිය මිතුරු පස්වාන් දහසකටැ බුදුබව කපන ලද මෙත් පලුනි කිමැ  මට එන්නට කීවේ"

"මා මිතුරු වණපලෙනි, මා තව මැ  තට එන්නට කීවේ නැති. එ ද ශිරාලයා බනවා එසේ කීමට සිතා උන්නෙමි. තා කෙසේ නම් මගේ සිත කියවූයේද කියා නොම දනිමි හිටන් යැ"

"ඒ මන්ද එසේ කරන්නට උන්නේ?"

එවිට මෙත්පලුන් සතර දෙසැ  බලා අත්ලෙන් කට වසාගෙන රහසින් තමන්ට වූ අකරතැබ්බය පැවසී යැ.

"ඉදින් ඒ නොදුටු යක්ෂයා මා මරන්නට පෙර මම තට ලෙහෙකම දුනිමි"

"නැත නැත මෙත්පලුනි ඒ යකෙකු නොවේ. මා දිසාපාමොක් සමයේ කෙළ පැමිණි එක් මතුරෙක් වෙයි. එම මතුර මා නමින් වණපල් මතුර ලෙස පකට යැ. ඒ මතුරට අනුවැ මා හට ලෙහෙකම දෙන්න කියූ ඒ යක් තෙම ද මා මැ වන්නෙමි" කී යැ

"බම්බුවක් වෙ ද වණය, දැන් සිරිලක් නිදහසේ මුළු මහත් උදහසම මා මත පතිත නොවන්නේද? තා මා ලූ අමාරුවෙක මහත හිටන්" යැයි උරණ වැ  පවසන මෙත්පල්හු වහා ඇණිබලිය අමතා කල යුතු දේ විමසී යැ.

සෝබිතයාගේ තැටියේ රොටි පුච්චා පුරුදු ඇණිබලිය මේ තැටියේද උණුහුම බලා "එසේනම් තා සිරිලක් නිදහසේ ලෙහෙකම් දරන අනුර පියදසුන් යහපුන් ද නෙරපා ඒ තැනට මා කීකරු දුමිඳුන් පත් කොට උන්ගේ උදහස ද චකබ්ලාස් කොරව" යැයි ඒ තැටියෙන්ද රොටියක් පුළුස්සා ගත්තා යැ.

එනයින් වණපල් මතුර රිමික්සුව නිමියේ යැ.

Thursday, August 6, 2015

ඒකීයභාවය සුරකිමින් ෆෙඩරල් බලය බෙදීමක්

[පෙර  සටහන:
මම ෆික්ස්ඩ්  ඒකීය හෝ  ෆෙඩරල් මොඩලයක් වෙනුවෙන්  පෙනී  සිටින්නෙක්  නොවෙමි. ඒ  දෙකෙහිම  ඇතැම්  ලක්ෂණ  වලට  ප්‍රිය  කරමි. එහෙත්  2015  අගෝස්තු  මහා  මැතිවරණයේ  වාසිය  ගන්නට ඒකීයභාවය  සුරකින  බවට  කියන  මේ  රජයේ  පට්ටපල්  බොරුව  ගැන  විවේචනයකි  මේ.  එසේම  සටකපට  රජයක්  වචනයක  එල්බගෙන  තීන්දු  කිරීමේ  මුග්ධ  භාවය  ද  විවේචනයට  ලක්විය  යුතුය]

ඒකීය/ෆෙඩරල් කතාබස් නැගලා යන කාලයකි. ෆේස් බුක් එකේ අපිට වර්ගවාදීන් කියූ, ෆෙඩරල් පැත්තට බර අජිත් පී පෙරේරලා එකසිය ගානට ඒකීය වී තිබේ. එජාපය ඒකීය භාවය තුල උපරිම බලය බෙදන බව කියයි. දෙමල සන්ධානයේ කොටසක් ෆෙඩරල් ඉල්ලන අතර ඉතිරි කොටස ඒ කෙහෙම්මල් නොව ප්‍රොජෙක්ට් එකේ ඉතිරි ටික හෙවත් ලාංකීය රජය දිගටම ජාත්‍යන්තරව අපහසුතාවයට පත්කර වෙනම රාජ්‍යය දිනා ගැනීම කරන ලෙස බල කරති. හෙළ උරුමය හා එජාපය මේ මොහොතේ ඒකීය කිව්වට උන් ඇතුළු යහපාලන කල්ලිය ඒකීය කියන වචනය සිරිසේනගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉවත් කල බවද කියවේ.


අද ඒකීය කියන වචනය විකුණන එජාප නායක කාරකාදීන් පමණක් නොව මුහුණු පොත් ප්‍රචාරකයින් පාක්ෂිකයන් පවා පුද්ගලිකව කැමති ෆෙඩරල් එකටය. එනයින් එජාපයේ ඒකීය වදන පක්ෂයේ බාහිරයේ සිටින සහ පාවෙන චන්ද දායක ප්‍රජාව ඉලක්ක කරගෙන බව පැහැදිලිය. අර කොළඹ පහ හයේ කෙල්ලන්ට රෙද්ද හැට්ට අන්දවා ෆුඩ් සිටිය ගමේ කමට අවුරුද්ද සමරන්නා සේ එජාපය අපිට ඒකීයවාදයක් විකුණයි.

එජාප සැලසුම පැහැදිලිය. එදා සිරිසේනගේ ජයට දෙමල චන්ද අවශ්‍ය නිසා ඒකීය කපා දමන ලදී. අද ඔවුන්ට කොහොමත් දෙමළ චන්ද නොලැබෙන නිසා සිංහල චන්ද තර කරන්නට බොරුවට ඒකීය කෑල්ල දාගෙන සිටිති. ඒ අතර එජාප හිතවතා දෙමල සන්ධානය වෙනම ෆෙඩරල් සංකේතය යොදාගෙන දෙමල චන්ද එකතු කරයි. ජයග්‍රහණයෙන් පසු දවසක රජයක් පිහිටුවීමේ අවශ්‍යතාවයට මේ දෙගොල්ල එකට වාඩිවී කතා කරනු ඇත. එවැනි මොහොතක තීරක බලය දෙමල සන්ධානය සතුවන අතර මොකක් හෝ දීලා උගෙන් තම වැඩේ ශේප් එකේ කරගන්නා රනිල් එජාපය නියෝජනය කරනු ඇත.

මට තේරෙන හැටියට ඒකීය ලේබලය යටතේ ඕන දෙයක් දීලා දානු ඇත. ලේබල ගැන කියන්නේ නම්; 1977 ලංකාවේ තිබු සමාජවාදයට බර පාලනය හා සමාජවාදී කැරැල්ලක් ගැසූ ජවිපෙ රවටන්නට ලංකාවට සමාජවාදී ලේබලය එකතු කලේ එජාපෙ ජයවර්ධනයි. ඒ "සමාජවාදී" ලංකාව පාලනය කලේ ඔහුය. මෙවර ඒකීය භාවයත් ඒ ඉරණමට ලක්වනු ඇත.

වඩාත් වැදගත් කාරනාව නම් දෙමල බෙදුම්වාදයේ මූලික අවශ්‍යතා ඒකීය/ෆෙඩරල් විවාදයෙන් පිටස්තර බවයි. මේ ඒ සමහරකි.

1. දෙමල ජනයා ලංකාවේ ඉන්ඩීජිනස් වීම හෙවත් උතුරුනැගෙනහිර හෝම් ලෑන්ඩ් එකක් කිරීම.

2. සෙල්ෆ් ඩිටමිනේෂන් එකක් ලබාදීම හෙවත් ජනමත විචාරණයක් එම පලාත්වල පමණක් පවත්වා තීන්දු ගන්න ඉඩ දීම

3. දෙමල ජනය ලංකාවේ අමුතු සුවිශේෂී කට්ටියක් බව පිළිගැනීම [අනිත් අය එහෙම නැත]

4. උතුරු නැගෙනහිර එකතු කර ලංකාව තුල දෙමල රටක් නිර්මානය කිරීම

5. ඒ පලාත්වල ඉඩම් අයිතිය තමන්ට තබා ගන්නට සෙසු ජනයාට වාරණ නීති හැදීම

6. කුඩා මට්ටමින් පෙනෙන එහෙත් සීමා රහිත හමුදා පොලිස් බල ඇණි පවත්වා ගැනීම.

7. ශ්‍රීලංකා හමුදාවන් ප්‍රදේශ වලින් ඉවත් කරවීම.

මේ කිසිවක් කරන්නට ෆෙඩරල් වන්නට අවශ්‍ය නොවේ. මේ සියල්ල කිරීමට ඒකීය ලේබලය තුල ද පිළිවන. එමෙන්ම ඉන්දු ලංකා ගිවිසුම් කඩදාසියේ මේ බොහෝ දේ කිසිම ඒකීය/ෆෙඩරල් අර්බුදයකින් තොරව සිදුකර තිබුණි.

සරලව ගතහොත් දෙමල බෙදුම්වාදයේ ඉලක්ක වලට ඒකීය ද ෆෙඩරල් ද යන්න අවශේෂ කතාවකි. අප කතා කල යුත්තේ මේ කාරනා ගැන විනා ඒකීය/ෆෙඩරල් කෙහෙම්මලක් ගැන නොවේ.

ඒකීය රාජ්‍යයක් දෙකට බෙදා අවශ්‍යනම් දෙරටක් පවා හැදිය හැකිය. එජාප පෙර රජයේ විගඩම් එක්ක තව කලක් ගියේනම් වෙන්න තිබ්බේ එයයි. දැන් මේ නතර කරපු තැනින් "යාන්තම් පටන් ගත්තා පමණි".

Tuesday, June 30, 2015

ගුප්ත බුවා - නොස්ටල්ජික කතාවක්

කාලය 1991 විය යුතුය. ඒ කැරැල්ල මර්දනය කල පසු එළඹෙන මස්තබාල්දු නිදහස භුක්ති විඳින සමයයි. ඒ කාලේ මොකුත් සිද්ධ වූයේ නැත. ගල්කටස් එකට ටයර් එකට ජීවිත බිලිදුන් යුගයේ මරණ බය හැමතැනම සැඟවී සිටි නමුත් හැමදාම කතාකරන්නට දේවල් තිබුණි. දකුණු පළාතේ ලේ වල ඇති විප්ලවය නිසා අපේ හිත්වල "විප්ලවීය බලාපොරොත්තු" තිබුණි [පහු කාලීනව එව්වා කඩල ගොටු ගහන්නට වික්කෙමු].

මේ සියල්ල කෙටි කාලයකින් සමාප්ත කොට මිනිසුන්ට නිදහසේ හුස්ම ගන්නට සහ අර විප්ලවීය බලාපොරොත්තු ඒ නිදහස් සුසුමක පාකර ඔහේ වැඩක් බලාගන්නට සිද්ද වුනු නිසා මේ කාලය මෙලෝ රහක් නැති විය. ඒ මදිවාට මට මාස කීපයක පාසල් නොයන සමයක් ද පැවතුනි.

විප්ලවයක්  පටලාගෙන මාතෘකාව අමතක විය. මේ කතාව විප්ලවයක් ගැන නොවේ. ඊට වඩා පොඩි සීන් එකකි.

ඔන්න ඔහොම මස්ත බාල්දු දවසක ගමේ බුවෙක් වෙනත් බුවෙක් සමග ගෙන්ගෙට යමින් සිටියේය. මේ ගමේ බුවා ඇත්තෙන්ම ගමෙන් කසාදයක් කරගත් ලුම්පන් කියන වචනයට බොහෝ සෙයින් ගැලපෙන වෙනත් නාගරික පැත්තක එකෙකි. එක්කෝ ගෑණි රට යවා යැපෙන එසේ නැතිනම් කඩේක රස්සාවට කියා ගොස් ගෙදර වගකීම් කට් කරන හවසට කාගෙන් හෝ බී තව කාට හෝ කෑගහන එකෙකි.

ඌත් සමග ආපු බුවා සතු ගුප්ත බල තිබුණු බව ගමේ බුවා කියයි. එසේ කී ගමන් අර ගුප්ත බුවා අමුතු පෙනුමක් ගෙන හුස්ම ඉහලට ගෙන ලාලිත්යයකින් සින්දුවක් කියයි. සින්දුවක් කිව්වට ගාතාවකි. ගාථාවක් කිව්වට මේ ලෝකයේ මෙලෝ බාසාවකින් තේරුමක් නැති එකකි. හරියට ලහිරුවාගේ රම්බරි එකේ වචන මික්ස් කර ගායනා කලානම් ඇතිවන තත්වයට නොදෙවෙනිය. කෙසේ වෙතත් පොරගේ ගාථාව තරමක් හිතට කාවදින ලෙස කීමට පොරට හැකිය. ඩිරෙක්ට් මාකටින් වල මූලික අවශ්‍යතාවයක් වන අවධානය ගැනීමට එය ප්‍රමාණවත් විය.

ගමේ බුවා ගුප්ත බුවා ගැන පම්පෝරි ගැසීය. "මෙයාට කොළඹ ගාල්ල බස් දෙකක් තියෙනවා. මේක මේ සේවයක් හැටියට කරන්නේ", "මෙයා ඇච් ඇස් සී එහෙමත් පාස්", "සෝමක්කලගේ ගෙදර අවුල බලා හිටිය වගේ කිව්වේ", "හාමුදුරුවොත් සාන්තියක් කරව ගත්ත". ඔය අතර ගුප්ත බුවා මතුරයි. එක එක විකාර ශබ්ද දමයි. හිටි ගමන් විවිධ අනාවැකි කියයි.

ඔහොමින් වැඩේ නැගලා යද්දී සැලකියයුතු ක්‍රවුඩ් එකක් වට විය. ඊට පස්සේ ගුප්ත බුවා පම්පෝරි ගැසීම ප්‍රකාශකගෙන් තමාට පවරා ගත්තේය. ගුප්ත බුවාට අනුව පොර ආත්ම කීයක්දෝ මන්දා සිට පේවුණු එකෙකි [එදා පොර ගමේ බුවා සමග සෙට් වීම පේවීමට බාධාවක් නැති වීම වෙනම එකකි] පොර ඒ සංසාර ගමනේ විවිධ උසස් තනතුරු දැරීය. දුටුගැමුණු රාජසබාවේ රාජපුරුශයෙකි [ඒ ටික කියද්දී පොඩ්ඩක් රාජපුරුෂ හැසිරීම කර පෙන්වයි]. තවත් කලෙක මොකෙද්දෝ මන්දා රජෙකි [එහෙම එකෙක් අප දන්නා ලංකා ඉතිහාසයේ සිට නැත], තවත් ඉහල තනතුරු හා ඉහල මානසික තත්ත්ව ලබා තිබේ [ඒවා රඟපා පෙන්වයි], කාලයක් සිරිපා අඩවියේ ලෙනක සුදු නයෙකි [බංකුව මත දගර ගැහෙන්නට හදයි]

පැය බාගයක් පමණ තිස්සේ ගිය මේ නාටකය හෙවත් වෙළඳ දැන්වීම මස්තබාල්දු දවස රසවත් කළේය. වචන මතක නැතත් චිත්ත රූප සමග පොරගේ ගාථාව වගේ එකක් මට තාමත් ඇසෙයි. කෙසේ වෙතත් කොලු කෙල්ලන්ට සොමියක් දෙනවාට එහා යමක් සිදු නොවීය. කොටින්ම මුන් දෙන්නට එදා නොමිලේ රා බෝතලයක් වත් ලැබුණා යයි නොසිතමි.

ටික වෙලාවකින් ගුප්ත බුවා ගමේ බුවා සමග බස් හෝල්ට් එක දිහාවට ඇදෙනු දකින්න ලැබුණි.

කතාව් ලිව්වේ පරණ සීන් බෙදා ගන්න ආතල් එකටය. එහෙත් ඊට පාදක වූයේ වසර විසිදාහක  ආත්මභාවයන්  ගැන  මතක  ලංකාවේ  රජවරු  ඇමතිවරු  වෙලා උන්නු බව  කියන ගුප්ත  බුවෙක්  ගැන  ලියැවුණු මෙන්න මේ "පුවත" යි.


අදට වඩා ලෝකාවබෝධයෙන් දුර්වල එදා ලංකාවේ මිත්‍යා ඇදහිලි වලට ප්‍රකට පෙදෙසක ගමක පෙර කී ගුප්ත බුවාට ලැබුනේ විසුළු සහගත රිසෙප්ෂන් එකක් වුවත් දැන් එහෙම නැත. දැන් ඒ පොරවල් ඉන්නේ ගොසිප් සයිට් වලය. හෙට අනිද්දා මේ යකා ඊගාව දොලුකන්දයා වුනත් පුදුමයට හේතුවක් නැත.

කෙතරම් නව තාක්ෂනයන් සමාජගත වුවත් අවබෝධය හා බුද්ධිය අතින් ලංකාව ආපසු යන බවට කදිම සාධකයකි.

Monday, June 22, 2015

එරන්ද කුමාරප්පෙරුම - මිතුරෙකුගේ කලා නිර්මාණ ගැන ඇගයුමක්

එරන්ද කුමාරප්පෙරුම මා හඳුනන්නේ කලකට පෙර සිට ය. මගේ විශ්ව විද්‍යාල සමය හා ඔහුගේ පාසල් අවසාන සමය වූ ඒ කාලයේ අපි හොඳ මිතුරෝ වීමු. වෙනස් ක්ෂේත්‍ර දෙකක් ඔස්සේ උගත් අපි, ඒ ක්ෂේත්‍ර වල වෘත්තීන් වලට යොමු වූයෙමු. දශකයකට වැඩි  කලකට  පසු එරන්ද මට මුණ ගැසෙනුයේ සපුරා වෙනස් සන්දර්භයකදීය.

එරන්ද දැන් චිත්‍ර ශිල්පියෙකි. සම්මාන/ජයග්‍රහණ ලද්දෙකි. එරන්දගේ චිත්‍ර තුලින් සුවිසල් භාවාත්මක කතිකාවක් නිහඬව කළ එළි දැක්වේ. වැදගත් ම කාරණාව ඒවා පළ කෙරෙනුයේ කඩදාසියක් මත නොවීම නිසාය. එරන්ද චිත්‍ර 
පළ කිරීම ආරම්භ කළේ ටී ෂර්ට් වලය.



ඔහුගේ චිත්‍ර බොහෝ විට ඉස්මතු කරනුයේ සමාජය තුල කලක පටන් පැවත ගෙන ආ සාමාජිය සිහි සටහන් විශේෂයකි [social memoirs]. විටෙක මීට දශකයකට පෙර මිනිසුන් සුලබව සහභාගී වූ ක්‍රියාකාරකමක්, තවත් විටෙක නගරයක සුවිශේෂි කෙළවරක්, එසේත් නැතිනම් බොහෝ දෙනෙකුට අතීතයේ මතකයක් අවදි කරවන කිසියම් හැගීම් ප්‍රකාශනයක් ඒ චිත්‍ර අතර සොයා ගත හැක. බොහෝ චිත්‍ර වල සියුම්ව ඉරි අතර සඟවන වැදගත් සලකුණු වේ. තමන්ට ඉස්මතු කිරීමට අවැසි කතිකාව සංකේතාත්මක සටහන් කීපයක රඳවන්නට ඔහු සමත් වී තිබේ.

මේ වසර විස්සකට පමණ පෙර ඔහු සිටින ඕස්ට්‍රේලියාවේ මිනිසුන් බොහෝ දෙනෙකු ප්‍රියකළ ප්‍රචලිත වාහනයකි. එකල සුලබ වූ මෙම වාහනය බොහෝ දෙනෙකුට අතීත මතක සිහි ගන්වයි.



මේ සිඩ්නි නගරයේ කෙලවරකි. බොහෝ සිත්තරුන් ලොකුවට අඳින පාලම ඔහු මෙහි සඟවා තිබේ.



පැටළුණු ඉරි ගොඩක ගැඹුරු අදහසක් - Hunger.






කළා  නිර්මාණ  ඇගයීමට  ශාස්ත්‍රීය  හැකියාවක් නැති  මගේ  වචන  හරඹ  පසෙක  ලා  අපි  එරන්දගේ  තෙලි   තුඩට  කතා  කරන්නට  ඉඩ  දෙමු.













ටී ෂර්ට් නිර්මාණයෙන් ඔබ්බට යන ඔහු වෙනත් නිර්මාණ අවකාශවලට අවතීර්ණ වී ඇත. රාමුකළ  චිත්‍ර, වෘත්තීය චායාරූප කරණය, වීඩියෝ කරණය හා ගීත වලට රූප රචනය ඉන් සමහරකි.

මේ අමරදේවයන්ගේ නවතම ගීයකට ඔහු විසින් කල රූප රචනයයි.

ඉරි සටහන් ඉක්මවන වර්ණ පදාස වලින් කල අදහස් දැක්වීම් කීපයක් එකතු කරන්නේ එරන්ද එක ශෛලියක සිරගත නොවන්නෙකු බවට සාධකයක් වශයෙනි. මේවා උපුටා ගන්නේ ඔහුගේ නිර්මාණ  එළි   දක්වන  වත්පොත් පිටුවෙනි.












කාර්යබහුල වෘත්තිය ජීවිතයක් සහිත වුවද නිර්මාණකරණයේ යෙදෙන්නට හා නිර්මාණ වෙළඳපොළට එකතු කරන්නට ඔහුගේම සමාගමක් පිහිටුවා ගෙන තිබේ. මේ එහි වත්පොත් දිගුවයි.

එමෙන්ම  නිර්මාණකරුවෙකු  ලෙස  https://www.facebook.com/erandak හරහා  ඔහු  රසිකයන්  හට  දැකබලාගත  හැකිය.

එරන්දගේ යුටියුබ් ෆීඩ් පහත දැක්වේ.
www.youtube.com/nugadesigns
www.youtube.com/erandak


ඔහුගේ සියලු නිර්මාණ තුල ඇත්තේ සිතුවම් හරහා ඔහු දකින ලෝකයයි. ටී ෂර්ට් එකකින් වීඩියෝ එකකින් එලියට එන්නේ ඔහුගේ තෙලි තුඩෙක ඇඳෙන කටු සටහනකි. ඒ කටු සටහන් වල පිළිවෙලක් නැති ඉරි කීපයක ස්වරූපයෙන්  අමුතු කතන්දරයක් මවන්නට ඔහු සමත් වේ. ඒ තුලින්  ඔහුටම  ආවේනික දර්ශනයක්  නිහඬව  ඔහු  ඉදිරිපත්  කරයි.


තමන්ගේ ම කලාවක් පටන් ගෙන සියුම් හා සුන්දර නිර්මාණ හිතට කා වදින මාතෘකා හරහා ඉදිරිපත් කරන එරන්දට සුබ පතමු.

Monday, May 18, 2015

මෙය යුද්ධයේ සමාප්තිය ගැන සැමරුමක් නොවේ

මෙය යුද්ධයේ සමාප්තිය ගැන සැමරුමක් නොවේ. මෙසේ කියද්දී එන මූලිකම ගැටලුව නම් මොන යුද්ධයද කියන එක.

ආක්‍රමණික ප්‍රංශ හමුදාව පරදවා මෙක්සිකෝ හමුදා දිනලා තියෙන්නේ මැයි මාසෙක. ඇන්සැක් හමුදාව ක්රීටයේදී දින්නලු වැදගත් සටනක් දෙවෙනි ලෝක යුද්ධයට. ඔහොම ලෝකේ පුරා ආගත නාගත යුද්ධ වෙලා තිබ්බට මැයි මාසයේ අපේ ජීවිත වලට බලපාන යුද්ධයක් වෙලා කියලා අපිට මතක නැහැ.

ලංකාවේ ත්‍රස්තවාදයත් සම්පුර්ණයෙන්ම පරාජය කලේ මොලයේ බලයෙන් සාකච්චා මෙසයකදී කියලයි කියන්නේ. ඒකෙන් සීයෙට පනහක් සැටලයිට් මැඩම් ඉවර කලාලු නේ. දැන් ඒ සමාප්තිය ගැන සමරන්න එයා ඒක කලේ කවද්ද කොහොමද සටන් බිමේද සාකච්චා මෙසේද දාම් බෝඩ් එකේද කියල කවුරුත් දන්නේ නැහැ.

ඉතින් මූලිකම ප්‍රශ්නේ සමරන්න සමාප්ත වෙච්ච යුද්ධයක් නැති එක.

දැන් සමහරු කියන්නේ එයාලා සමරන්නේ යුද්ධයේ සමාප්තිය කියලා නේ. අපි නොදැන මෙහෙම යුද්ධයක් තිබ්බත් එහි සමාප්තිය පවා සමරන්න හොඳ නැහැ.

මොකද ඔය යුද්ධ කියන්නේ බොහොම නරක එව්වා නේ. ඉතින් එව්වා ගැන කතාකරන්න හොඳ නැහැ මොකද අපේ හිත් මල් වගේ නිසා. යුද්ධ ගැන කතාකරලා ඒවා කිලිටි කරගන්න නරකයි. අපි කරන්නේ අරගල නේ. අරගල කියන්නේ හොඳ එව්වා. යුද්ධ නරක එව්වා. අරගලයක් යුද්ධයක් දක්වා ඇදෙනවා නම් රටක හමුදාවේ වගකීම එවෙලේම යටත් වීම.

ඉතින් යුද්ධ කියන්නේ හොඳ දේවල් නොවේ. ඒ නිසා යුද්ධයේ සමාප්තියවත් සමරන්න හොඳ නැහැ.

යුද්ධයක සමරන්න අවශ්‍ය ඒ වෙනුවෙන් ජීවිත පුද දුන් අංග විකල වුනු හමුදා සෙබළුන් හා ඔවුන් නිසා දුක් වින්ද පවුල්වල මිනිස්සු කියලත් කියනවා. හැබැයි ඉතින් ඔය හමුදාව කියන්නේ කවුද අමු මිනීමරුවෝ නේ. උන් ඔහේ ඉවක් බවක් නැතුව මරාගෙන යන එවුන්. උන් මැරෙන්නේ උන්ගේ ඕලමොට්ටලකමට අනික නොමැරී අපි වගේ ඉන්න උන්ට වත්කමක් නැති කමට. ඇයි උන්ට අපි වගේ අහින්සාවාදයෙන් ජීවත් වෙන්න බැරි. සල්ලි නැත්නම් කුලී වැඩක් හරි කරගෙන.

ඉන්නම අමාරුනම් අපි වගේ මයිග්රේට් කරන්න බැරි. මොකද ඔය යුද්ධ වෙන තැන්වල හිටියමයි ඔව්වට අහුවෙන්නේ. අපි වගේ මයිග්රේට් කලානම් අහින්සාවාදයෙන් දෙන්න තිබ්බ රඹටි හැලෙන්න.

උන්  මැරුම් කන්නේ අපි  වෙනුවෙන්  නොවෙයි. උන් මිනි මරන්නේ අපි වෙනුවෙන් නොවෙයි. උන් අතින් මියයන අය අපිව මරන්න එන අය නෙවෙයි. අපි කොහොමත් යෙහෙන් වැජඹෙන මිනිස්සු. අහින්සාවාදයෙන්. මයිග්රේට් කරලා. අරුන් මිනි මරුවෝ. අපි සමරන්න නොවේ ලජ්ජා වෙන්න ඕනෙ ඕකුන් ගැන.

උන්ගේ අතින් මැරුණු මිනිස්සු උඹලට අමතකද? කොටි සංවිධානය කිව්වට පර්සියන් පූසෝ. ඒ අය සමහර විට එහා පැත්තේ කවුරුහරි කියපු බහට රැවටිලා ආයුධ ගත්ත තමයි. ඒත් එයාලා හරිම සුන්දර මිනිස්සු. තමන්ගේ "රට" වෙනුවෙන් ජීවිත පූජාකළ. උඹලට සමරන්නම කෙනෙක් නැතිනම් ඒ කොටි මහවිරුවන් සමරපල්ලකෝ. ඇත්තෙන්ම එයාලව සමරන්න දවසක් අවශ්‍යයි නේද?

දැන් මෙතන පරස්පරයක් පේන බව අපි දන්නවා. සැමරුමක් එපා කියල පටන්ගෙන සැමරුමකින් කතාව ඉවර කරන එක. එහෙම තමයි ගැඹුරු දේශපාලන කතා. පරස්පර එක්ක යන දේශපාලනය ගැඹුරුයි. බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. කොටින්ම කියන අපිටත් තේරෙන්නේ නැහැ. හැබැයි අපි කියනවා.

ඉවර කරනවා කිව්වට ඉවර කරන්න තව දේවල් තියෙනවා. දැන් මේ පරස්පර අස්සේ හිරවෙලා කෙස්ස කඩාගෙන කල්පනා කරන තත්වෙට එනවනම් මෙහෙමත් කීවහැකිනේ. ඔය සමරනවා කියන එකට විවිධ ආස්ථාන තියෙන්න පුළුවන්. කැමතිවෙන්න පුළුවන් අකමැතිවෙන්න පුළුවන්, ඉන් බිට්වීන් හෝ ඉන්ඩිෆරන්ට් වෙන්න පුළුවන්. සමහරු හිටගෙන වෙන්න පුළුවන්, සමහරු ඉඳගෙන වෙන්න පුළුවන්. සමහරු පෙරලීගෙන, තව සමහරු බඩගාගෙන. ඔච්චරද? නැහැ. තව සමහරු තනි කකුලෙන් හිටගෙන සමහරු ඔලුවෙනුත් හිටගෙන. දැන් මේ ඕනෑම විදියකට ඉන්න තියෙන එක නිදහසක් නේ. ඉතින් කට්ටිය එහෙම ඉන්නවා.

එච්චරයි. එක්සයිටින් අවසානයක් නැහැ. දැන් ඔහොම කිව්වම කිසිම දෙයක් අමුතුවෙන් කියවෙනවද? නැහැ. හැබැයි ඒ නොකියවීම තුල කොච්චර දේවල් කියවෙනවද? මෙන්න මේ හරිය ගුප්තයි. අපි ආසයි ගුප්ත වෙන්න.

එක්සයිටින් මදිනම් අපි දානවා ඔලුවෙන් හිටගන්න එක අනිත් ඒවාට වඩා අමාරු නිසා අපි කැටගරිකලි ඒ වගේ අමාරු දේවල් වලට පොඩි අත්පොලසන් නාදයක් දෙන බව. දැන් ශේප්.

දැන් මොකද්ද මේ සමරන්නේ එතකොට. අපි නම් සමරන්නේ මෙන්න මේක. මේක ලිව්වේ ප්‍රවීන මාධ්‍යවේදී මානි මහත්තයා. මේක ඒ මහත්තයා ලීවේ 2009 මැයි මාසේ දවසක. මානි මහත්තයා මේක ලියල මේ වෙද්දී වසර හයක් ගෙවිලා. අපි සමරන්නේ අන්න ඒක.
දැන් දැන් විසිගණන් වල කොල්ලන්ටත් හතලිස් ඇඳිරිය බව ඔප්පුවෙන නිසා මේක දානවා තඩි ඉමේජ් එකක් ලෙස.  [ඉමේජ්  එක  හොරෙන් ඉස්සුවේ  ලක්ෂාන්  වික්‍රම  මහත්තයගෙන්  නිසා  එයාටත්  පොඩි  ස්තුතියක්  එක්ක]. 

පොඩි අවුලකට තියෙන්නේ ප්‍රවීන මාධ්‍යවේදී මානි මහතාට ජන හද ගැහෙන රාවය ඇහෙන්නේ හොරට වීම. අවුරුදු විසිපහේ ගේම හයෙන් ඉවර කල ප්‍රෞඩ සමාජයක් අපි.






ප.ලි: මේ  ගැන  ෆේස්බුක්   කතා බහත්  එකතු කරලා  පොඩි  නෝට්  එකක්  ලියන්නේ  කීප  දෙනෙක් ප්‍රශ්න කල නිසා. මෙම පොස්ටුවේ  විවේචනයට ලක්වෙන  පිරිස  මාර  ආකර්ශනීය  හොඳ  කතා  කියන  නිසා සමහරු  ආසයිලු  එයාලට. ඇයි  අහනවා  අපි  මෙහෙම  කියන්නේ.

මේ කතාවට දිග ඉතිහාසයක් තියෙනවා. හුදෙක්  කටවචනයේ  ආකර්ෂණයට  රැවටෙන  එක  ඒ  ඒ  අයගේ  වැඩක්.  හැබැයි  මේ පිරිස්  දශක  ගානක  දේශපාලන ඉතිහාසයක  තමන්ගේ  යටි  අරමුණු  වෙනුවෙන්  විවිධාකාරයෙන්  කැපවුණු  අය.  2001  කාලේ  ටීවී  එකේ  ඇවිදින්  දෙමලාගේ  හමුදාවට මිනි  මරන්න  ඇති  අයිතිය  ගැන පෙනී  උන්නු  අය. 
කිසිම මිනිහෙක් මැරිලා ඉපදිලා නැහැ. ඔක්කොම ඉන්නේ විවිධ මුහුණුවරින් තම තමන්ගේ සැලසුමට වැඩ කරමින්. 

2001 සාමකතා කාලේ ලස්සන සිංහල පත්තරයක් තිබ්බ දකුණේ. ඒකෙ සාමය ගැන සුන්දර කතා තිබ්බා. උතුරු දකුණු සහෝදරත්වය ගැන කතා තිබ්බා. දෙමලයි අපියි එකට හිනාවෙන දවස ගැන සිහින තිබ්බා. ඒ තරම් ඔය මාතෘකාව ගැන ලස්සනම කරුණු තියෙන මට එකඟ වෙන්න පුලුවන් පත්තරයක් දැකලා නැහැ මම. පත්තරේ නමත් ලස්සනයි දේදුන්න.

දන්නවද ගැහුවේ කවුද කියලා. කොටි සංවිධානය. එයාලා දකුණට ඒ සුන්දර සිහින විකිනුවට උතුරට වික්කේ වෛරය. ලේ පලිය. මරාගෙන මැරෙන හැටි. සයනයිඩ් හා සුයිසයිඩ් කිට්ස්.

ඔහොමයි වැඩ සිද්දවෙන්නේ.

දැන් මේ මොහොතේ ඔය කියන සහෝදරත්වයේ දිනය ඇයි සමරන්න බැරි මුල්ලිවයික්කාල් වල. හෝ උතුරේ තැනක. දෙමල ජනය එක්ක. දෙමල දේශපාලකයින් එක්ක. ඇයි එහෙ කට්ටිය එයාලගේ මැරිච්ච සෙබළු වෙනුවෙන් "මහවිරු" සැමරුමක් කරන්නේ? ඇයි එයාල හැගීම්බර කතා කරන්නේ දෙමලාගේ නැතිවූ නිජබිමේ අයිතිය ගැන.

 මේ  දකුණු සැමරුම ඒ උතුරු සැමරුමෙන් ස්වායත්ත නැහැ. ඒ දෙක එකම වැඩසටහනක් කොටස් දෙකක්. හරියටම දේදුන්න පත්තරේ වගේ.

ඉතින් කිසිවක් නොවුනා වගේ තොත්ත බබාවෙලා පෝස්ටරයක සුන්දරත්වය එක්ක ඔවුන් සමග ප්‍රේම කිරීම ඔබට බාරයි. අපිට ඒ කට්ටියත් එක්ක කතාවක් තියෙන නිසා අපි කතා කරන්නේ. ඒ  කතාවට  දිගු  ඉතිහාසයක්  තියෙනවා.



Friday, January 9, 2015

ජාතික වීරයා


සමහරවිට ඔබ නොදන්නා මෙතුමා ඊයේ සිට ජාතික වීරයෙකි. එතුමාගේ රුව මා විසින් සයිබරයේ  අඳින  ලද  මුල්ම  චිත්‍රයයි




මේ ගීතය එතුමාට උපහාර පිණිසයි


ග්‍රහ තාරකාවෝ බැලුවා එබී
කිමදෝ නැකැත් කරුගේ කලිසම තෙමී
ඊයේ දිනේදී නැකතක් බලාලා
නව වීරයෙක් බිහි වුණා //


කඳුලැල් සලාලා නොහඬන් මචෝ
කොහොමද කියාපන්කෝ ඔය ගේම දුන්නේ
ලොක්කා අනාතයි රජ පවුල ඉවරයි
උඹ දීපු ලණුවෙන් නොසිතූ ලෙසේ

ග්‍රහ තාරකාවෝ බැලුවා එබී...

තිරුපති ගියා දෙයියොත් බැලුවේ නැතේ
කහබෝලෙටත් බැරිවිය උඹගේ ගැටේ
චන්දරෙ මළාදෙන් මංජුල එපා බන්
උඹමයි අපේ ලෝකේ නව වීරයා

ග්‍රහ තාරකාවෝ බැලුවා එබී...

ටා රා ටරට්ටට්ට ටා රා

Friday, October 31, 2014

මීරියබැද්දේ අමිහිරිය

බොහෝ දෙනා දන්නා පරිදි ලංකා ඉතිහාසයේ සිදු වූ දැවැන්ත ස්වාභාවික ව්‍යසනයක් මීට දින කීපයකට පෙර බදුලු දිස්තික්කයේ කොස්ලන්ද ආසන්නයේ මීරියබැද්ද තේ වත්තේ සිද්ධ විය. මිය ගිය සංඛ්‍යාවන් ගැන නිච්චියක් තවම නැති අතර මල සිරුරු ඇත්තේ අඩි දහයක් විස්සක් පමණ පොලොව යට බව කියවේ. එම ස්ථානයේ පදිංචි පවුල් 120 පමණ ප්‍රමාණය සලකා මියගිය ගණන 400 සිට 50 දක්වා අනුමාන වන්නේ ගමේ පවුල් ගැන දත්ත අඩංගු කාර්යාලයත් ගම සමගම වැළලුනු බැවිනි [50 ක් හෝ තවත් අඩු වේවා කියා ප්‍රාර්ථනා කරමු]. පාසල් යාම නිසා පණ බේරුණු දරුවන් රැසක් වැළලුනු මවුපියන් ඉල්ලා හඬා වැටෙන මොහොතකි. මේ පූර්විකාව මෙතනින් අහවර කරන්නේ ඉතිරිය පුවත් වලින් කියවෙන නිසාය.

හරියටම ගලපා ගත නොහෙන මගේ ප්‍රශ්නය මේක මෙහෙම වුණේ ඇයි? මේක වලකා ගන්න තිබුනේ නැද්ද? එහෙමත් නැතිනම් අපේ රටේ ජන ජීවිතය මෙහෙම වන්නේ ඇයි? වගේ එකකි. තවත් බසකින් කීවොත් වැඩිවන ජනගහනය හා ඉන් බිහිවන පරිසර අර්බුද කියන පුළුල් මාතෘකාවේ මට ග්‍රහණය වන පැතිකඩක් ලෙස ද මෙය සැලකිය හැකිය. මේ අදහස් දැක්වීම තනිකරම මගේ ම නොවන්නේ පහුගිය දෙදින තුල මුහුණු පොත් අවකාශයේ මේ ගැන අදහස් බෙදා ගත් බොහෝ දෙනා නගන ප්‍රශ්න, ප්‍රති තර්ක හා එම සංවාද වල ඔවුන්ට ලියු පිළිතුරු සටහන් මේ ලියමන ට පාදක වන බැවිනි. ඒ සැමටම මගේ විශේෂ ස්තුතිය හිමි වේ.

මාධ්‍ය කියන පරිදි 2005 මෙම ස්ථානය [සහ අදාළ කොස්ලන්ද බෑවුම් ප්‍රදේශය] අනතුරුදායක කලාපයක් ලෙස හඳුනා ගෙන තිබේ. 2011 දී මෙම ස්ථානයේ ම නායයාමක් වාර්තා වේ. 2006 ද එවැන්නක් සිදු වී තිබේ. ඊට වසර කීපයකට පෙර [මං හිතන්නේ 2003 නායයාම් ගොඩක් වූ වසරේ වෙන්න ඕනේ] එවැනිම නායයාමක් වූ බවට එම පුවතම සාක්ෂි දරයි. මෙම එක නායයාමකින්  [කිනම් අවස්තාව දැයි නොපැහැදිලිය] දස දෙනෙක් පමණ මියගොස් ඇත. ඒ අනුව මෙම ප්‍රදේශය නායයාම් ගැන ඉතිහාසයක් සහිත පෙදෙසකි.

ජනයාට විකල්ප ස්ථාන ලබා දී තිබ්බා ගියේ පවුල් 30 ක් පමණි කියා මුලදී කියැවුණු මුත් දැන් දැන් කියන්නේ ගෙවල් හැදුවේ 30 ක් පමණයි වගේ කතාවකි. එනයින් අනිත් මිනිස්සු යන්න කැමැත්තෙන් තමන්ට පහසුකම් ලැබෙන තුරු සිටියා වන්නට පිළිවන. නායයාමට පෙර දිනයේ මෙම වටාපිටාවේ කොහේ හෝ නායයාමක් සිදුවන බවට එම ගම්මාන වලට අනතුරු අඟවා තිබේ. වහාම ඉවත් වන්නැයි පවසා සිටිය ද මිනිස්සු එසේ ඉවත් වී නැත.

අවසාන කොටස පළමුව සැලකුවොත් ස්වාභාවික විපතකදී මිනිසුන්ට යන්න කියා කීවාම යන පුරුද්දක් පවතියි. මේ මිනිසුන් නොගියේ ඇයි කියන එක වෙනම සලකා බැලිය යුතුය. සමහර විට යන්න සුදුසු අනාත කඳවුරක් නොපැවතීම විය හැකිය. මිනිසුන් බලෙන් ඉවත් නොකළේ ඇයි කියා අසන අය ද සිටිති. ලංකාවේ ස්වාභාවික විපතක් නිසා මිනිසුන් බලෙන් ඉවත් කිරීමක් කල අවස්තාවක් මට මතක් වන්නේ නැත. එසේම නාය යාමක් යනු සුළි සුළඟක් මෙන් ස්ථිරව අහවල් දවසේ අහවල් තැන වෙනවා කියා කිවහැකි දෙයක් නොවේ. එසේ බලෙන් ගෙන යන්නේ නම් අවදානම ඉවත් වන/කරන තුරු මිනිසුන් තාවකාලික පදිංචියක තබාගෙන ඔවුන්ගේ ජීවනෝපාය සැකසිය යුතුය. අනෙක් අතට මෙය මීරියබැද්ද පමණක් නොව අවදානම් කලාපයේ සියලුම් ගම්මාන හා වතු වලට අදාලය. මෙතරම් බරපතල වැඩසටහනක් එකවර සැලසුම් කිරීම අපහසු කර්තව්‍යයකි.

මේ ගැටලුව අභ්‍යන්තරයේ පවතින තේ කර්මාන්තයේ ආකෘතියේ ඇති දැවැන්ත අර්බුදය ගැන කතා නොකරම බැරිය. වසර සියගානක් තිස්සේ ඇදෙන මේ කතාව ඇත්තෙන්ම ගැටළු දෙකකි.

පළමු වැන්න තේ වතු නිසා බිහි වූ දැවැන්ත පාරිසරික අර්බුදයයි. එන්න එන්න වැඩිවන ආන්තික කාලගුණ තත්වයන් එක්ක තේ වතු වගේ අස්ථාවර පද්ධති කඩා වැටේ. සුද්ද මේවා හැදුවේ අපේ පාරිසරික සමතුලිතතාවය ගැන අබමල් රොනක අවබෝධයකින් නොවේ. එමෙන්ම සුද්දා එළවා අල්ලා ගත් අපේ උදවිය මේවා නඩත්තු කරන්නේ සුද්දා ගේ තත්ත්ව පාලන වලට සමානව නොවේ. ස්වාභාවික වන වැස්ම විනාශය, අතහැර දැමු කොටස් වල යටි වගාව ප්‍රබල නොවීම, පිටස්තර ශාඛ භාවිතය, සුද්ද දැමු ගල්වැටි ඒ ලෙසින් නඩත්තු නොකිරීම ආදී ලෙස මෙම විකෘති සංයෝජනයෙන් ඇති වූ අර්බුද රාශියකි.

දෙවැනි දුක්බර කතාව නම් අකමැත්තෙන් චුවත් තේ වතු කියන්නේ ප්‍රවේණි දාස ක්‍රමයට දුවන ආයතන බව පිළිගන්න සිදුවීමයි. වත්තේ ගෙවන කුලිය බාහිර සමාජයේ ගෙවන ගානට වඩා බෙහෙවින් අඩුය. එහෙත් ලයිම තියාගන්න නම් පවුලෙන් එකෙක් හෝ වත්තේ වැඩ කල යුතුය. එසේ වැඩ නොකලොත් බාහිරයේ ශ්‍රම බලකාය සමග තරග කර කුලී වැඩ සොයා ගන්නා අර්බුදය ද ඉස්මතු වේ. වත්තෙන් එලියට ඒ මිනිසුන් ගෙන යාමේදී වත්ත හා සේවකයා අතර සම්බන්ධය බිඳෙන නිසා ලාබ ශ්‍රමය කොල්ල කන වත්ත ද රැකියා සුරක්ෂිතභාවය ගැන හිතන සේවකයා ද ඊට කැමති නැත. එමෙන්ම මේ මිනිසුන්ගේ පඩියෙන් මුට්ටි කාසි කොල්ල කා පාර්ලිමේන්තු යන වතු කම්කරු දේශපාලකයින් ද ඊට කැමති නැත.

වත්තෙන් පිටට සේවකයා ගත්තොත් නිදහස් ශ්‍රම වෙළඳපොලේ ගානට ශ්‍රමය මිලට ගන්නා තේ කර්මාන්තය මියයන අතර, ප්‍රමාණවත් තරම් කුලී වැඩ නැති නිසා ඒ මිනිස්සු රැකියා විරහිත වනු ඇත. මේ නිසා මිනිසුන් වක්‍රව වත්ත තුල රඳවා ගැනේ. එනයින් වත්තේ ඉන්නා මිනිස්සු වත්තේ සිරකාරයින් වේ. වතුවල පවතින පදිංචියට නුසුදුසු තත්ත්ව තුල දිගටම පීඩා විඳින්නට ඔවුන්ට සිදුවේ.

අවසාන කාරනාව ලෙස මා දුටුවේ වැඩිවන ජනගහනය හා ඉන් බිහිවන පරිසර අර්බුද කියන පුළුල් මාතෘකාවයි. ශ්‍රී ලංකාව අධික ජන ඝනත්වයක් සහිත රටකි. එහෙත් පාරිසරික ගැටළු ඇතිවන්න තරම් පාලනය කල නොහැකි මට්ටමට ජන ඝනත්වය වැඩි රටක් නොවේ. ඒ වුනාට අපේ රට තුල ජනගහන වර්ධනයේ "දැවැන්ත" අභියෝග ඉස්මතු වී ඇත. උදාහරණයකට අපිට වඩා ජන ඝනත්වය වැඩි ජපානය නෙදර්ලන්තය දකුණු කොරියාව තායිවානය වගේ රටවල ලංකාවේ තරම් පාරිසරික ප්‍රශ්න නොමැත. මීට හේතුව ලංකාවේ ජන විසිරියයි.

අපේ නාගරික ජනගහන ප්‍රතිශතය 18% කි. මෙය ඉතාම අඩු අගයකි. මෙය අප්‍රිකාවේ මධ්‍යම ආසියාවේ තියෙන අපිට වඩා ඝනත්වය අඩු රටවලටත් වඩා අඩු අගයකි. ලෝකෙන්ම අපිට වඩා නාගරික ජනගහන ප්‍රතිශතය අඩු රටවල් ඇත්තේ දහයක් පහළොවක් පමණ වන අතර අපේ වගේ ජන ඝනත්වයක් එක්ක 18% වගේ අඩු නාගරික ප්‍රතිශතයක් තියෙන එකම රට ලංකාවයි. ඒ කියන්නේ ලංකාවේ 82% ඉන්නේ රට පුරා පැතිරුණු ග්‍රාමීය පරිසර වල ය. ඒ නිසා රටේ හැම පාරිසරික පද්ධතියටම මිනිසා ගේ බලපෑම වැඩිය. අනික ඒ මිනිස්සු ඉන්නේ ආන්තික ස්ථාන වල හෝ වාසයට නුසුදුසු තැන්වල ය. අර ඉපැරණි ගම කියන එක ඉදිමිලා ඉදිමිලා ගොස් වනාන්තර අලින්ගේ ගමන් මාර්ග ගොවිබිම් අස්සෙන් රිංගාගෙන බෑවුම් වෙරළ ගන් ඉවුරු හැමතැනම විසිරී ගොසිනි. එය නාගරික වී පහසුකම් සහිත එහෙත් එක ළඟ එකතු වූ තත්වයට ඇවිත් නැත.

මේ නිසා ඒ ජනයා එම පරිසර වල ඇති අඩු පහසුකම්, ජීවත් වීමේ අවදානම් ආදිය විඳින අතර රටේ ගොවිබිම්, වනාන්තර, ස්වාභාවික පද්ධති ආදිය ඔවුන් නිසා හැකිලී, අනතුරට ලක් වී ඇත.

ප්‍රශ්න ගොඩකි. විසඳුමක් ලියන්නේ නැත. ප්‍රශ්න හඳුනා ගැනීමෙන් එහාට යමක් මේ කුඩා අවකාශයෙන් බලාපොරොත්තු නොවෙමි. විසඳුම් සෙවීමට හැකි මිලියන විස්සකි.

ප.ලි.  නාගරික  ජනගහනය  පිලිබඳ  මගේ  දත්ත  වලට පටහැනි  වාර්තාවක්  අපි  දකිනවා  නාලක  ගුණවර්ධනගේ  මේ  ලිපියේ.

"2012 අවසන් වරට කළ ජන සංගණනයට අනුව මෙරට ජනගහනය 20,359,439ක් (මිලියන 20.36) වුණා. එයින් නාගරික යයි සැලකෙන ප‍්‍රදේශවල වාසය කළේ 18.2%ක් පමණයි.

එහෙත් මෙය මුලා කරවනසුලූ තරම් කුඩා ප‍්‍රතිශතයක් බව සංගණනය කළ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්ත මේන්තුවම ප‍්‍රසිද්ධියේ කියනවා.

... 1987 වන තුරු සුළු නගර සභා (Town Councils) බල ප‍්‍රදේශ ද නාගරික ලෙස සලකනු ලැබුවා. 1987දී ප‍්‍රාදේශීය සභා පිහිටුවීමත් සමග ඒවා අහෝසි වූ අතර, සියලූම ප‍්‍රාදේශීය සභාවල බල ප‍්‍රදේශ ග‍්‍රාමීය යයි පරිපාලන වශයෙන් පිළි ගැනීම ඇරැුඹුණා.’

... ‘1981දී පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීම් සංශෝධනය කරද්දී ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ ලෙස වර්ග කරනු ලැබුවේ විද්‍යාත්මක පදනමක් මත නොව මුළුමනින්ම දේශපාලන අවශ්‍යතා සඳහායි. ... ’ යයි ඔහු වරෙක පුවත්පත් ලිපියක කියා සිටියා.

... නොවැම්බර් 3-4 දිනවල කොළඹ පැවති නාගරික යටිතල පහසුකම් පිළිබඳ සමුළුව (LBR/LBO Infrastructure Summit 2015) අමතමින් මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන භාර අමාත්‍ය චම්පික රණවක මේ ගැන කතා කළා. ඔහු කීවේ මෙරට නාගරික ජන ප‍්‍රතිශතය සැබැවින්ම 48%ක් පමණ විය යුතු බවයි. "

Tuesday, October 21, 2014

ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ගෆ් විට්ලම් සහ නවීන සමාජවාදය

ඕස්ට්‍රේලියාවේ [කල්ප කාලයකට පෙර] හිටපු අගමැති අනූ අට වියැති ගෆ් විට්ලම් අභාවප්‍රාප්ත වී ඇත. ඕස්ට්‍රේලියාවේ ඉන්න බොහෝ දෙනෙක් ද නොදන්නා විට්ලම් මහතාගේ අභාවය ශ්‍රී ලංකාවට එතරම්ම වැදගත් කමක් නැතත් ඒ ගැන කතා කරන්නේ ඔහුගේ ඇතැම් ක්‍රියාකලාප වල ඇති පැහැදිලි දේශපාලන වෙනස මෑතකදී තදින් කතාබහට ලක්වෙන දේශපාලන සංවාද සමග සමීපවන නිසාය. වචන වල සිර නොවී මෙහි ඇති අදහස් ලංකාවේ දේශපාලනය සමග සංසන්දනය කරන මෙන් ඉල්ලා සිටිමි.

විට්ලම් කම්කරු පක්ෂ අගමැතිවරයෙකි. 1972 දී ඔහු බලයට එන්නේ වසර විසිගානක් විපක්ෂයේ හුන් කම්කරු පක්ෂය සමගය. ඒ විපක්ෂයේ හුන් කාලය පටන් ගන්නේ දක්ෂිනාංශික ඒකාධිකාරී පාලනයක් ගෙනගිය රොබට් මෙන්සිස් විසිනි. ඒ අනුව විට්ලම් බලයට එන්නේ තරමක් දරදඬු හා දක්ෂිනාංශික ඔස්ට්‍රේලියාවකය. එමෙන්ම ජීවන තත්වය අතින් පහත එහෙත් ආර්ථික එන්ජිම සක්‍රිය රටකය.

විට්ලම් බලයට ඒමට පෙර කම්කරු පක්ෂය වචනාර්ථයෙන්ම කම්කරුවන්ටම සින්න වී ගිය එකකි. යටත්විජිත/කොළණි සමයේ පතල් හා ගොවිපොළ කම්කරුවන්ගෙන් පැවතුනු යූනියන් බලය අඩු කොට කම්කරු පක්ෂය "සාමාන්‍ය පක්ෂයක්" බවට පත් කිරීම විට්ලම් විපක්ෂයේ ඉන්න කාලෙම කල වැඩකි. ඒ හරහා කල්ට් එකක් නොවී වඩාත් තාත්වික පක්ෂයක් ලෙස ජයග්‍රහණය ලබාගන්නට හැකිවිය.

බලයට ආ වහාම විට්ලම් ගෙන ආ වෙනස්කම් පහත පරිදි වේ.

- යුනිවර්සල් හෙවත් පූර්ණ සෞඛ්‍ය රක්ෂණයක් [ලබන ජූලියේ ඇබට් එය වෙනස් කරන තුරු යහතින් පවතී]

- පූර්ණ ලෙස නොමිලේ දෙන උසස් තත්වයේ පාසල් [රාජ්‍ය] අධ්‍යාපනය [තවමත් එසේය. සුපිරිය]

- පූර්ණ ලෙස නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය [අතාත්වික දෙයක් නිසා පසුව වඩාත් ප්‍රායෝගික ගෙවීම් සැලසුමකට හා සිසු ණය වලට මාරු කල ද තවමත් මෙහි මූලික රාමුව පවතියි]

- කාන්තාවන්ට සම වැටුප්.

- මෙතෙක් යටපත් කල අබෝරෝජිනි අයිතීන් පිළිගැනීම හා පළමු වරට එකම ජාතියක් ලෙස සැලකීම.

- අනිකාට ගැරහීම වලකා සමානාත්මතාවය ඉස්මතුවන නීති පනත්.

- ආගමික පදනමක පවතී දික්කසාද නීති වර්තමානයට ගැලපෙන සේ සකස් කිරීම.

- මේ දක්වා මහා රාජිනියට වන්දනා කල කොලොනියල් කාලේ ජාතික ගීය වෙනුවට ජාතික ගීයක අවශ්‍යතාවය ඉස්මතු කිරීම හා ඒ හරහා චන්දයක් මගින් වර්තමාන ගීය තේරීම. [එය හා තරග කලේ ප්‍රකට වෝල්ට්සින් මැටිල්ඩා ගීයයි] ජාතික ගීය හැටියට මෙය  නිල වශයෙන් බාර ගන්නේ නම් විට්ලම් ට බොහෝ පසුවයි.

විට්ලම් මේ සියල්ල කලේ වසර තුනකිනි. ඒ විපක්ෂ බලය සහිත සෙනෙට් සභාවක කකුලෙන් ඇදීමත් සමගයි. මේ අතර කාලය තුල ලෝක තෙල් අර්බුදය හා වෙනත් හේතු මත රට ආර්ථික ගැටළු වලට මුහුණ දුන්නේය. විට්ලම්ගේ දැඩි මතධාරී ප්‍රතිසංස්කරණ ඊට තදින් බලපෑ බවට චෝදනා පවතී. අවසානයේ සෙනෙටය රජයට මුදල් සම්මත කිරීම නතර කළේය [මේ ලඟදි ඔබාමාට කල සේ]. විට්ලම් පොඩ්ඩක්වත් වෙනස් වන්න කැමති වූයේද නැත. අන්තිමේදී නාමමාත්‍රික රාජ්‍යනායක වන බ්‍රිතාන්‍ය රැජිනගේ නියෝජිතයා 1975 දී විට්ලම් බලයෙන් පහ කළේය. මෙය ව්‍යවස්ථානුකූල ද යන්න විවාදාත්මක සිදුවීමකි. ඉන් පසුව වසර කීපයකින් පවතී චන්දය පරාජය වූ අතර විට්ලම් විශ්‍රාම ගියේය.

ප්‍රසිද්ධියේ පිළිගන්න පරිදි විට්ලම් සමාජවාදියෙකි. ෆේබියන් සමාජයේ යාවජීව සාමාජිකයෙකි. එහෙත් ඔහු මාක්ස්වාදී මොඩලය පසෙක දමා නවීන සමාජවාදියෙක් කියා දෙයක් හඳුන්වා දුන්නේය. වචනය පමණක් ලෙස නොගත යුතු මෙහි නිදහස් වෙළඳපොල, පුද්ගලික නිෂ්පාදන, ව්‍යවසායකත්වය, ආයෝජන, ප්‍රාග්ධනය පිළිගැනේ. එයට උපකාර කෙරේ. ඔහු සමාජවාදී දර්ශනය වැඩිපුර යෙදුවේ සුභසාධනය වෙනුවෙනි. වර්තමානයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ එක අවස්තාවක් ලෙස හඳුන්වන ස්කන්දිනේවියානු මොඩලයේ අනුරුවක් ලෙස විට්ලම් සැලකිය හැකිය. ඒ සඳහා වාම අන්තයක හුන් කම්කරු පක්ෂය ද දක්ෂිනාංශික අන්තයක හුන් රට ද ඔහු වෙනස් කළේය.

විට්ලම් ගැන හොඳ මෙන්ම නරකද කියවේ. විට්ලම් ගේ දර්ශනය තනිව ගත්විට එතරම් හොඳක් නොවෙන්නට ඉඩ තිබුණි. ඊට ප්‍රතිවාදී මිශ්‍රණ වලින් එහි අඩුපාඩු මැකෙන්නට ඇත. දියුණු සමාජයක් හදන්නට එක මතයකින් බැරිය. එහෙත් ඕස්ට්‍රේලියාව මෙතරම් වෙනස් කල වෙනත් තනි පුද්ගලයෙක් නැති බව බොහෝ දෙනා පිලි ගනිති [වසර තුනකින්]. කිනම් කාරණා කියවුණත් ඔස්ට්‍රේලියාව ලෝකයේ ජීවත් වෙන්නට හොඳම ස්ථානයක් ලෙස විවිධ සුබසාධක මත පදනම් වන ගණනයන් තුලින් ඔප්පු වන්නේ මූලික වශයෙන් විට්ලම් නිසාවෙනි.

ප.ලි. [21/03/2015] විට්ලම්  ගැන  ලියලා  
ප්‍රේසර්  ගැන නොලිය බැහැ.  මේ  තිසර ට දීපු  කොමෙන්ටුවක්  අරගෙන  මදක්  වෙනස්  කර  ලියන  පසු  ලිවීමක්.

විට්ලම් අන්තවාදී ලෙස ගෙනා වෙනස්කම් දරාගන්න ආර්ථිකයට අපහසු  වුණා. ඒවා  තරමක්  ආන්තික  හා  වේගවත්  ලෙස  ගෙන  ඒමයි  හේතුව. එහි ප්‍රතිපලයක් ලෙස ඔහු විශාල ණයක් ගන්න ගියා එතරම් විශ්වාස කටයුතු නොවන මාර්ගයකින් [බ්ලැක් මාකට් වගේ].

ඒ වෙලාවේ ඔහුගේ රජයට බජට් එක පාස් කරන්න නොදී සෙනෙටය හරහා හිරකර විට්ලම් ගෙදර යැව්වේ ප්‍රතිවාදියා  වන ලිබරල් නායක මැල්කම් ප්‍රේසර්. ඊ ගාව ආණ්ඩුව ප්‍රේසර් ගේ. ප්‍රේසර් අවුරුදු අටක් ඉන්නවා.

හැබැයි එහෙම එලෙව්වට ප්‍රති පාක්ෂිකයෙක්  වුනාට ප්‍රේසර් විට්ලම් කරපු කිසිම දෙයක් අයින් කලේ නැහැ. ඒවා වඩාත් ප්‍රායෝගික ලෙස කපලා කොටලා හදාගෙන ඒවා තමන්ගේ ප්‍රතිපත්ති බවට පත් කර ගත්තා. ඒ අනුව ප්‍රේසර් තමා විට්ලම් ගේ දර්ශනය ක්‍රියාවේ යොදන්නේ.

ප්‍රේසර් දිගටම තමන්ගේ  පැත්තේ සෙසු ලිබරල් උන්ගෙන් බැනුම් ඇහුවා ප්‍රතිවාදී විට්ලම් ගේ  ප්‍රතිපත්ති  වඩාත්  හොඳින්  ක්‍රියාත්මක  කිරීම  ගැන. එහෙත්  මේ  දෙන්නගේ  පාලන කාල  දෙකේ  තමා  ඔස්ට්‍රේලියාව  ඉහල  ජීවන තත්වයකට පත්වන්නේ.

විශ්‍රාම යාමෙන් පස්සේ ප්‍රේසර් හා විට්ලම් හොඳ මිත්‍රත්වයක් තියාගෙන තියෙනවා. පුදුමාකාර  විදිහට විට්ලම්  ගැන  සටහන ලියා  මාස පහක්  ගෙවෙන  තැන [ඊයේ]  මැල්කම් 
ප්‍රේසර් ද  ජීවිතයෙන්  සමුගන්නවා.  දැවැන්තයින්  දෙදෙනකුගේ  නික්ම  යාම. 

Friday, July 18, 2014

ඊශ්‍රායලය හා පලස්තීනය

ගාසා තීරයේ සිදුවන දේවල් ගැන යමක් ලියන්නට සිතුවත් ඒ සිදුවීමෙහි සංකීර්ණභාවය නිසා හරියට කාරනාවක් ගලපන්නට බැරිය. ඔය අර්බුදයේ මගේ ස්ථාවරය ඔය පෙදෙස් දෙක වෙන් කරන වැටේ හරි මැද ලක්ෂ්‍ය මතයි. දෙපාර්ශ්වයම දෙපාර්ශ්වය කෙරෙහි එල්ල කරන අසාධාරනයන්ගෙන් පෙලීමෙන් ඔබ්බට මට යමක් නොපෙනේ.

කනගාටුදායක තත්වය නම් මේ දෙපිරිසම කරන්නේ අනිකා කරන දේ නිසා දක්වන ප්‍රතිචාරයක් හෙවත් රියක්ටිව් වැඩක් වීමයි. එනම් අනිකාට මුහුණ දීම සඳහා කිසිම විචාරයකින් තොරව ගන්නා පියවරයන් විනා තමන් ගැන සිතාවත් ගන්න අනාගතවාදී සැලසුමක් දෙන්නටම නැත. දෙන්නටම අවශ්‍ය අනිකා රිදවීමටයි. එහි නියත ප්‍රතිපලයක් ලෙස තමන්ට ලැබෙන රිටර්න් එක ගැන සිතන්නේ නැත.

මේ තරම් ඇරියස් එක මත ජීවත් වෙන මෝඩ අර්බුදයක් තවත් නම් මා දන්නේ නැත. මේ දෙරටටම ලෝකයෙන් ලැබෙන්නේ සහයකි. බටහිර ඇතුළු පළමු ලෝකය ඊශ්‍රායලයට සහය දෙද්දී අරාබි සහය පලස්තීන කල්ලි වලට ලැබේ. මේ එකම පිරිසක්වත් මේ කට්ටිය කොටවා වාසි ගන්නා බවක් නොපෙනේ. ලංකාව වැනි රටවල අර්බුද වලට බලපෑ ආයුධ වෙළෙන්දන්ගේ කුමන්ත්‍රණ මේ කලාපය තුල ඇති බවට අද වෙනතුරු දැනගන්න ලැබී නැත. මේ දෙගොල්ලම තමන්ට නොමිලේ ලැබෙන හෝ තමා විසින් හදා ගන්න ආයුධ වලින් සටන් කරන පිරිසකි.

එත් මේ කිටි කිටියේ තද වුන කලාපය තුල මේ දෙන්නටම සැලසුමක් නොමැත. ඇති එකම සැලසුම අනිකාගේ වැඩිම ගණනක් මරා සතුටු වීමයි. අඩුම ගානේ එහෙම කිරීමෙන් තමා ගේ එවුන්ට වෙන අතවරය ඉවර වන්නේ ද නැත. එත් මේ මරා ගැනීම එපා වන්නේ ද නැත.

මේක හරියට දීර්ඝ කාලින වෛරයෙන් පොර කන බල්ලන් දෙදෙනෙකුගේ ක්‍රියාවක් වැනිය. බල්ලන් දෙදෙනා ට අසල්වැසි වසම් දෙකක් තිබ්බද උහු දුටු තැන සපා කති. සපා කන්නේ අනිකා සපා කෑමට පෙර වෙන කරන්න දෙයක් නැති නිසාවෙනි. සපා කෑමෙන් ලැබෙන යමක් නැත. ඉතිරි වන්නේ තුවාල පමණි.

ඒ නිසා ඉතිහාසය ලිහාගෙන අර්බුදය ගැන හාර බලන්නේ නැත. ඉතිහාසය හාරා බැලුවද තරාදියේ දෙපැත්ත සමාන වන සේ සාධක මට පෙනේ. අතවරයන් ගත්ත ද [ඊශ්‍රායලයේ ප්‍රහාර වල බලපෑම වැඩි නමුත්] දෙපාර්ශ්වයම එක සේ විඳවනවා විනා මේ යන සටනෙහි අවසානයක් පෙනෙන්නේ නැත. ඊශ්‍රායල යුධ බලය ගැන අධි තක්සේරුවක නැතිනම් අද ඊශ්‍රායලය තනන අයෝමය පියස්ස හෙට පලස්තීනුවන් විදින බව තේරුම යනු ඇත.

කතාවේ යටින් යන මෝඩ ආගමිකත්වය පමණක් විත්තිකරු ලෙස සලකා ජුදා ආගම හා මුස්ලිම් ආගම එකවර එල්ලා මරා දමමි.

පසු සටහන: "අනේ යන්න මෙයා ආගම මාර පවිත්‍ර යි. ඔය ඕකුන් ගහ ගන්නේ අපේ අහවල් පොත හරියට කියවලා නැතිව" ආදී ලෙස මනෝරාජික ආගමක පුද්ගලික අහින්සකත්වයක් පෙන්නා දීමට ඉදිරිපත් වන අය සිටිති. අහන්නත් කලින්ම කියන්නේ මා මෙහි ආගම කියන්නේ මිනිස් සමූහ ඇදහිලි මත මෙහෙයවී කරන සාමාජිය ක්‍රියාකාරකම ගැන විනා ටෙක්ස්ට් බුක් එකක් ගැන නොවන බවයි.

Saturday, June 21, 2014

ජයපාල කුමාරිට හාදුවක් දීලා... මළ කෙළියයි

මේ ගොසිප් අඩවි [හා සමහරවිට ජාතික පුවත්පත්] වල පලවන පුවතකි. මෙය මෙහි උපුටා දක්වන්නේ ඒ පුවත තුල ඇති ලංකාවේ මිනිසුන්ට ඇලජික් වචන සංඛ්‍යාව අතිශයින් වැඩි නිසාය. ටිකක් දිගට ලියන්නට සිදුවන්නේ මේක ඇතුලේ දුවන කතාව දිග නිසාය.

මෙම පෝස්ටුවේ අරමුණ ජයපාල හා කුමාරි දෙන්නගේ හෝ පෙර විවාහයේ සිද්ධියක් ගැනවත්, පොලිස් පාකින් ස්ලොට් වල පාක් කිරීම ගැනවත් කතා කිරීම නොවේ, ලංකාවේ උන්ට නිව්ස් ලියන්න හිතෙන්නේ මොන වගේ මානසිකත්වයකින්ද කියා කතා කරන්නටයි. එය මාතෘකාව මිස් කිරීමකි. එහෙත් නඩත්තු සිද්ධියක් හෝ පෙර විවාහයේ දරුවෙකු පැහැරගැනීමක් හෝ වැනි කතාවක් ගැන නඩුවක් වාරතා කරන කෙනෙකු කතා කර ඇත්තේ කා පාක් එකේ වෙච්ච දේ ගැන පමණක් නිසා මාතෘකාව මිස් වෙන්න ගත්තේ මට පමණක් නොවේ.

නම්ගම් හා ස්ථාන මනක්කල්පිත අතර, පුවත ඔරිජිනල් තැන සත්‍ය සිද්ධියක් ලෙස ලියා තිබුණි. 

කියවන අය පහත දැක්වෙන වචන අවධාරණය කරගන්න.වදන් පැහැදිලිකිරීමක් මේ සමග අමුනන්නට සිතා සිටිමි.

- ක්‍රිකට්
- පෙර විවාහයේ
- නිළිය
- හමර්
- හාදු

---------------

පුවත

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන 'ජයපාල හතරලියද්ද' ඔහුගේ පෙර විවාහයේ දරුවා දකුණු සුඩානයට රැගෙනයාමට උත්සහ කළ බවට චෝදනා කරමින් ඔහුගේ පළමු බිරිය රූමස්සල පොලිසියට පසුගිය දිනක පැමිණිල්ලක් කර තිබුණි. පසුව එම පැමිණිල්ල විභාග කිරීමට රූමස්සල පොලිසිය විසින් කරන ලද දැනුම් දීමකට අනුව ජයපාල හා ඔහුගේ වත්මන් බිරිය, ජනප්‍රිය නිළියකව සිටි 'කුමාරි මංගලිකා' ද ඔහු සමග පොලිසියට පැමිණ සිටියේ ය.

ලියාපදිංචි නොකරන ලද හමර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි ජයපාල සහ කුමාරි ඔවුන්ගේ මෝටර් රථය නවත්වනු ලැබුවේ රූමස්සල පොලිසියේ ස්ථානාධිපති වික්‍රමබුද්ධි මහතාගේ ජීප් රිය නවත්වනු ලබන ස්ථානයේ ය. මොවුන් පැමිණීමෙන් පසුව පොලිස් ස්ථානාධිපතිවරයාද එහි පැමිණ ඇති අතර ඒවන විට මෝටර් රථයේ සිටි කුමාරිට සිය මෝටර් රථය ඉවත් කරගන්නා ලෙස ද ඔහු දැනුම් දී තිබේ. පසුව හමර් රථය ඉස්සරහට පස්සට ගත්තද කුමාරිට එය ඉවත් කිරීමට නොහැකිවී ඇත.

මේ කලබෑගිනිය දුටු ජයපාල එතනට විත් කුමාරි රියදුරු අසුනෙන් බස්සා ඇයට හාදුවක් දීමට උත්සාහ කිරීමේ දී පොලිස් ස්ථානාධිපතිවරයා හාදු දෙන එක පසුව කරගන්නා ලෙසත් මුලින් මෝටර් රථය ඉවත් කරන ලෙසත් ජයපාලට විදානය කර තිබේ.

----------------

වදන්

ක්‍රිකට්:
අපේ පණ මෙනි. එහෙත් පර සුද්ද ගෙනාපු එකකි. මේවා ගහන එවුන් අඟහරු ලෝකෙන් ආපු උන්ය. උන්ට සල්ල අම්බානටය. උන්ගේ අම්මලටය. අපි උන්ගේ අගු පිලක හැංගී උන්ගේ මහා ධනස්කන්ධ ගැන හොයන්නට රුසියෝ වෙමු. ඔකුන්ගේ සල්ලි පෙරේත කම නොදකින්ය [අපි වගේ සල්ලිවලට පෙරේත නොවී ඉන්න උන්ට බැරිහැටි]. පුලුවන්නම් කවුරුහරි ඔකෙකුගේ වාහනයක් හප්පපිය. කීයක් හරි කඩා ගනින්. ඒ වුනාට අපේ ටීම් එකේ කොල්ලෙකුට සුද්දෙක් පාට් දැම්මොත්. අඩෝ අපේ සිංහ පැටවූ හරිය. පිට්ටනියේ සිංහ පැටවූ ...

පෙර විවාහයේ:
මහා අසෝබන දෙයකි. විවාහයක් කර ගත්තේ නම් එය තුල සිටිය යුතුය. දික්කසාදය අපේ සංස්කෘතියේ ආනන්තරීය පාපයකි. හොර ඒවා කලාට කමක් නැත. අපි හෙන බෞද්ධ නිසා මේ වගේ සංකර සිරිත් වලට අකමැත්තෙමු. මොකද දෙවියන් වහන්සේ විසින් එක්කල දෙය මනුෂ්‍යයා විසින් වෙන්කළ යුතු නොවන බැවිනි.

නිළිය:
වෙසගනට පර්යාය පදයකි. එහෙත් පාර අයිනේ ලගින කළු හඩු  වෙසඟනන් මෙන අහිංසක නැත. උන් බුදියා ගත්තුවා ගොසිප් ගත කර අපේ නින්ද කඩති. මෙම ඕනෑම  ගෑනියෙක් ලංකාවේ ධනවත් බලවත් පිරිමි 10% සමග නිදිවැද ඇතිබව ස්ථිරය. අපිට සල්ලි නැති නිසා අපි වගේ සදාචාරවාදීන්ට මෙය කරදරයකි.  ඒ නිසා ඕකිලාගේ රෙදි ගැලවිය යුත්තෙමු.

හමර්:
ධනපති පන්තියේ වාහනයයි. හදන්නේ ලෝක ධනවාදයේ නිජබිම වන ඇමරිකාවයි. ජයපාල වැනි මිනිසුන් පුද්ගලිකව හම්බු කල ධනයෙන් ගත්ත වුනත් මේවා තනිකරම වංචාකාරී ලෙස ඉපයූ දේවල් වේ. හමර් යන නාමය ම ඊට ශාක්ෂිය. මේවා හදන්නේ දුප්පතා සූරාගෙනය. දුවන්නේ දුප්පතා හප්පා ගෙනය. මේ පවතින ක්‍රමයේ ධනේශ්වරයේ තුප්පහි කමයි. නිර්ධන පන්තිය නැගිට මේ හමර් වල යන එවුන් ගෝල්ෆේස් එකේ එල්ලිය යුතුය.

හාදු:
අවිනීත අසංවර බටහිර සංකර ජුගුප්සාජනක දෙයකි. මේවා කාට හෝ පෙනෙන්නට දිය යුතු නොවේ. දෙන්න ඕනේ කසාද බැන්දට පස්සේ කාමරයේය. ඒවා අපේ රටේ එකාලා  යතුරු හිල් වලින් බලන එක අවුලක් නැත. ආදරය යනු මේවා නැති එකකි. මේවා තියෙන විට ආදරය වෙනුවට බලා සිටින සුවාසුදහසක් අපේ ස්නායු පද්ධතියේ දුරුවලම තැනට පහර වදියි. එක වරම එයින් ජනිත වන්නේ කුණු රසැති ලිංගික හැගීමක් හා දැවැන්ත සදාචාර ආරක්ෂණ වාදයකි. ප්‍රසිද්ධියේ මේවා දෙන එවුන් ගල්ගසා මැරිය යුතුවේ.