Tuesday, June 30, 2015

ගුප්ත බුවා - නොස්ටල්ජික කතාවක්

කාලය 1991 විය යුතුය. ඒ කැරැල්ල මර්දනය කල පසු එළඹෙන මස්තබාල්දු නිදහස භුක්ති විඳින සමයයි. ඒ කාලේ මොකුත් සිද්ධ වූයේ නැත. ගල්කටස් එකට ටයර් එකට ජීවිත බිලිදුන් යුගයේ මරණ බය හැමතැනම සැඟවී සිටි නමුත් හැමදාම කතාකරන්නට දේවල් තිබුණි. දකුණු පළාතේ ලේ වල ඇති විප්ලවය නිසා අපේ හිත්වල "විප්ලවීය බලාපොරොත්තු" තිබුණි [පහු කාලීනව එව්වා කඩල ගොටු ගහන්නට වික්කෙමු].

මේ සියල්ල කෙටි කාලයකින් සමාප්ත කොට මිනිසුන්ට නිදහසේ හුස්ම ගන්නට සහ අර විප්ලවීය බලාපොරොත්තු ඒ නිදහස් සුසුමක පාකර ඔහේ වැඩක් බලාගන්නට සිද්ද වුනු නිසා මේ කාලය මෙලෝ රහක් නැති විය. ඒ මදිවාට මට මාස කීපයක පාසල් නොයන සමයක් ද පැවතුනි.

විප්ලවයක්  පටලාගෙන මාතෘකාව අමතක විය. මේ කතාව විප්ලවයක් ගැන නොවේ. ඊට වඩා පොඩි සීන් එකකි.

ඔන්න ඔහොම මස්ත බාල්දු දවසක ගමේ බුවෙක් වෙනත් බුවෙක් සමග ගෙන්ගෙට යමින් සිටියේය. මේ ගමේ බුවා ඇත්තෙන්ම ගමෙන් කසාදයක් කරගත් ලුම්පන් කියන වචනයට බොහෝ සෙයින් ගැලපෙන වෙනත් නාගරික පැත්තක එකෙකි. එක්කෝ ගෑණි රට යවා යැපෙන එසේ නැතිනම් කඩේක රස්සාවට කියා ගොස් ගෙදර වගකීම් කට් කරන හවසට කාගෙන් හෝ බී තව කාට හෝ කෑගහන එකෙකි.

ඌත් සමග ආපු බුවා සතු ගුප්ත බල තිබුණු බව ගමේ බුවා කියයි. එසේ කී ගමන් අර ගුප්ත බුවා අමුතු පෙනුමක් ගෙන හුස්ම ඉහලට ගෙන ලාලිත්යයකින් සින්දුවක් කියයි. සින්දුවක් කිව්වට ගාතාවකි. ගාථාවක් කිව්වට මේ ලෝකයේ මෙලෝ බාසාවකින් තේරුමක් නැති එකකි. හරියට ලහිරුවාගේ රම්බරි එකේ වචන මික්ස් කර ගායනා කලානම් ඇතිවන තත්වයට නොදෙවෙනිය. කෙසේ වෙතත් පොරගේ ගාථාව තරමක් හිතට කාවදින ලෙස කීමට පොරට හැකිය. ඩිරෙක්ට් මාකටින් වල මූලික අවශ්‍යතාවයක් වන අවධානය ගැනීමට එය ප්‍රමාණවත් විය.

ගමේ බුවා ගුප්ත බුවා ගැන පම්පෝරි ගැසීය. "මෙයාට කොළඹ ගාල්ල බස් දෙකක් තියෙනවා. මේක මේ සේවයක් හැටියට කරන්නේ", "මෙයා ඇච් ඇස් සී එහෙමත් පාස්", "සෝමක්කලගේ ගෙදර අවුල බලා හිටිය වගේ කිව්වේ", "හාමුදුරුවොත් සාන්තියක් කරව ගත්ත". ඔය අතර ගුප්ත බුවා මතුරයි. එක එක විකාර ශබ්ද දමයි. හිටි ගමන් විවිධ අනාවැකි කියයි.

ඔහොමින් වැඩේ නැගලා යද්දී සැලකියයුතු ක්‍රවුඩ් එකක් වට විය. ඊට පස්සේ ගුප්ත බුවා පම්පෝරි ගැසීම ප්‍රකාශකගෙන් තමාට පවරා ගත්තේය. ගුප්ත බුවාට අනුව පොර ආත්ම කීයක්දෝ මන්දා සිට පේවුණු එකෙකි [එදා පොර ගමේ බුවා සමග සෙට් වීම පේවීමට බාධාවක් නැති වීම වෙනම එකකි] පොර ඒ සංසාර ගමනේ විවිධ උසස් තනතුරු දැරීය. දුටුගැමුණු රාජසබාවේ රාජපුරුශයෙකි [ඒ ටික කියද්දී පොඩ්ඩක් රාජපුරුෂ හැසිරීම කර පෙන්වයි]. තවත් කලෙක මොකෙද්දෝ මන්දා රජෙකි [එහෙම එකෙක් අප දන්නා ලංකා ඉතිහාසයේ සිට නැත], තවත් ඉහල තනතුරු හා ඉහල මානසික තත්ත්ව ලබා තිබේ [ඒවා රඟපා පෙන්වයි], කාලයක් සිරිපා අඩවියේ ලෙනක සුදු නයෙකි [බංකුව මත දගර ගැහෙන්නට හදයි]

පැය බාගයක් පමණ තිස්සේ ගිය මේ නාටකය හෙවත් වෙළඳ දැන්වීම මස්තබාල්දු දවස රසවත් කළේය. වචන මතක නැතත් චිත්ත රූප සමග පොරගේ ගාථාව වගේ එකක් මට තාමත් ඇසෙයි. කෙසේ වෙතත් කොලු කෙල්ලන්ට සොමියක් දෙනවාට එහා යමක් සිදු නොවීය. කොටින්ම මුන් දෙන්නට එදා නොමිලේ රා බෝතලයක් වත් ලැබුණා යයි නොසිතමි.

ටික වෙලාවකින් ගුප්ත බුවා ගමේ බුවා සමග බස් හෝල්ට් එක දිහාවට ඇදෙනු දකින්න ලැබුණි.

කතාව් ලිව්වේ පරණ සීන් බෙදා ගන්න ආතල් එකටය. එහෙත් ඊට පාදක වූයේ වසර විසිදාහක  ආත්මභාවයන්  ගැන  මතක  ලංකාවේ  රජවරු  ඇමතිවරු  වෙලා උන්නු බව  කියන ගුප්ත  බුවෙක්  ගැන  ලියැවුණු මෙන්න මේ "පුවත" යි.


අදට වඩා ලෝකාවබෝධයෙන් දුර්වල එදා ලංකාවේ මිත්‍යා ඇදහිලි වලට ප්‍රකට පෙදෙසක ගමක පෙර කී ගුප්ත බුවාට ලැබුනේ විසුළු සහගත රිසෙප්ෂන් එකක් වුවත් දැන් එහෙම නැත. දැන් ඒ පොරවල් ඉන්නේ ගොසිප් සයිට් වලය. හෙට අනිද්දා මේ යකා ඊගාව දොලුකන්දයා වුනත් පුදුමයට හේතුවක් නැත.

කෙතරම් නව තාක්ෂනයන් සමාජගත වුවත් අවබෝධය හා බුද්ධිය අතින් ලංකාව ආපසු යන බවට කදිම සාධකයකි.

4 comments:

  1. සුජීව කියන ගුප්ත බුව යි. මේ කියන විස්වකර්ම බවයි අතර වෙනසක් නැති තරං. එකම වෙනස මේ යකාට පබ්ලිසිටි යක්ලැබෙන එක වෙන්න ඇති. ඒත් ඉතිං දෙන්නගෙ සාක්කු නං හොදට පිරෙයි
    විසේසෙං මේ දාස්වල
    නැද්ද

    ReplyDelete
    Replies
    1. මාත් පොඩි සහයෝගයක් දුන්න. පෝස්ට් එකක්ම දාලා :)

      1991 අරූ ජෝක් එකක් වෙලා 2015 මූ නිවුස් එකක් ගොසිප් එකක් හෝ වැදගත් දෙයක් [කාටහරි] වෙච්ච එක ගැන අපි අඬනවද? හිනා වෙනවද?

      Delete
  2. විභහග පාස් කර ඩිග් රිය අරගන්න
    බේබදු තාත්තා හොද මිනිහෙක් වෙන්න
    අක්කාට හනික මගුලක් කා පිට වෙන්න
    දෙයියෙක් වගේ කපුවෙක් මූ පිං දෙන්න...

    හතරෙ පන්තියෙන් උඩහට නොගිය උනත්
    හවස හවස කට් වෙන්නට ගැහුවා උනත්
    ගෑනූ නැතිව බ්ලු පත්තර බැලුවා උනත්
    දෙයියෙක් වගේ කපුවෙක් මූ මොනවා උනත්

    ReplyDelete
  3. පෝය දවසෙ දෙරණෙ තිබුන මොකද්දෝ නමක් තියන පැය දෙකතුනක වැඩකටහනක්. සාකච්ඡා කලේ යන්තර මන්තර භූතයන් වගේ සීන් තියනවද නැද්ද කියල. කට්ටඩියෙක් එක පැත්තක් නියෝජනය කරද්දි අනිත් පැත්තෙන් මනෝ වෛද්‍යවරයෙකුත් හේතුවාදී සංගමයේ ලොක්කෙකුත් හිටිය. මැද වැඩසිටියෙ හාමුදුරු කෙනෙක්. අර ජෝඩුව මිත්‍ය‍ාව පැතිරවීම විද්‍යාත්මකව පහදන්න හදද්දි කට්ටඩියගෙ පිහිටට ආපු හාමුදුරුවො එයා බේරගන්නව. අනේ අපොයි කියල හිතෙන්නෙ හාමුදුරුවො වෙලාවකට අනුන්ගෙ කතාව මැද්දට පැනල තග දානව එයාට ප්‍රමුඛත්වය ලැබෙන්න ඕන කියල.

    සුජීව කියන නොදියුණු ඒ කාලෙට වැඩිය දියුණු මේ කාලෙ මේව සිද්ධ වෙන්නෙ, දියුණුව වෙනුවෙන් පාවිච්චි කලයුතු දේවල් අනිත් පැත්තට පාවිච්චි කිරීම නිසා.(ඉන්ටනෙට්, මාධ්‍ය.....)
    http://raj1st.blogspot.com/2014/08/blog-post_26.html මේකෙත් මම ලිව්වෙ ඔය වගේ කාරණාවක්.

    ReplyDelete