Adoption instead of Abortion කියා වතාවක් සටහනක් ලිව්වේ නූපන් දරුවන් ඉන්නන් වගේ කපලා අයින් කරන මානසිකත්වයත්, හදා ගන්න බැරි දරුවන්ගේ බර ඒ අසරණ අම්මලා මතම තියලා තද කරන මානසිකත්වයත් දැකලා ඇතිවුන වේදනාවට. එහෙම බරක් වෙන දරුවන් ව දරුවන් නැති අයට පවරා දෙන නීතිගත ක්‍රමවේදයක් තිබේ නම් කියා ලියුවේ මේ ප්රශ්නයේ සියලු පාර්ශ්ව වලට යහපතක් වෙන හොඳම විදිහ මේකයි කියා මට සිතුනු බැවින්.
ඔන්න ඔය අතරේ අපේ පොඩිත්ති ගේ උපන් දිනයත් ආවා. උපන් දිනේ අපේ වැඩිහිටි අමුත්තන් සමග ගෙදරදී සමරන එකේ හරයක් නැති නිසා අපි හිතුවා එයාගේ වයසේ බබාලා ඉන්න ළමා නිවාසෙක මේ මොහොත සමරන්න. මේ සටහන ඒ ගැන නොවේ [මං ගෙදර දොරේ විස්තර ලියන කෙනෙක් නොවේ].
සටහන ඒ තැන ගැනයි.
විවිධ පුද්ගලිකත්වයන් වලට බලපාන නිසා තැන නම් කරන්නේ නැහැ. අවශ්‍යතාවයක් ඇතැයි කියා හිතුනොත් පස්සේ හෙළි කරන්නම්.
සැමරුම ගැන සාකච්චා කරන්න ගිය වෙලාවේ මා දුටුවා මෙතන බිත්තියේ ගහලා තිබ්බ බෝඩ් එකක් Adoption for Abortion කියලා. ඔය ගැනම බ්ලොග් සටහනක් ලියූ නිසා මා ඒ ගැන සැලකිලිමත් වුනා. පස්සේ බලන කොට මෙතන ඉන්නවා ප්‍රෙග්නන්ට් අම්මලා ගොඩක්. පුංචි ලාබාල කෙල්ලන්. මේ අය කරන්නේ සරල දෙයක්. තමන්ට හදා ගන්න බැරි දරුවන් පිළිසිඳ ගත් මවුවරුන්ට මේ අය රැකවරණය දෙනවා. ඒ දරුවන් ලබා ගන්න කැමති අයට ලිස්ට් එකකට ඇතුළු වෙන්න පුළුවන් ආයතනයට ස්වේච්චාවෙන් නීතිමය උපදෙස් දෙන අය මේ දරු හුවමාරුව නීතිමය ලෙසින් කර දෙනවා.
අහපු ගමන සැක පහල වෙනවා ඇති දරුවන් විකුනනවාද කියා. පිටරට වල අයත් ගන්න නිසා ඒ බය දෙගුණ වෙනවා. එම ගැටලුව මගේ සටහනේත් ලිව්වා. එදාත් හිතට ආවා. හැබැයි මේ ගැන හොයන ආයතන ඉන්න නිසාත් මෙම ආයතනය ප්‍රසිද්ධ හා ලාභ නොලබන ආයතනයක් නිසාත් තරමක විශ්වාසයක් ඇති වෙනවා. මේ කතාවේ දී ඔය අවදානම් වතුරට බහින්නේ නැතුව දැනෙන මෙහෙයක් කරන්න කොහොමත් බැහැ.
කොහොම හරි මේක ශ්‍රේෂ්ට දෙයක්. මේ දරුවන් වදන අම්මලා ඒ දරුවන් ගේ පුංචිම කාලේ කිරි එහෙමත් දීලා ලු බාර දෙන්නේ. හැඟීම් බර ඇති. එහෙත් මේ අමානුෂික කතාවේ මීට වඩා මානුෂික නැවතුමක් තිබේ ද? ගබ්සා කිරීම, දරුවන් උපතේදී මැරීම හෝ මග දමා යාම යන මුහුණු තුනේ යක්ෂයා ට වඩා මේක ඉතාමත් ශ්‍රේෂ්ට දෙයක්. හදිස්සියට කුලප්පුවට උපත් පාලනයක් - කොටින්ම කොන්ඩම් එකක් - ගන්නේ නැතුව ආදරේ ප්‍රැක්ටිකල් කරන මිනිස් වෙස් ගත් වල් හරකුන් හා හරකියන් ඉන්න තාක් කල් මීට වඩා වෙන කරන්න දෙයක් නැහැ [බටහිර වගේ නොවේ, අපේ රටේ වැඩිපුර ගබ්සා අවිවාහක පිළිසිඳ ගැනීම්].
මා දුටු මේ ආයතනය බොහොම තද ආගමික නීති අනුව යන ආගමික ආයතනයක්. එහෙත් ඔවුන් දරුවන් දෙන්නේ වදන අම්මා හා හදන මව් පියන් ආගම ගැන එකඟ වන්නේ නම් පමණයි.
අංග විකල දරුවන්? ඒ අයව ආයතනය බලා ගන්නේ කවුරුත් ගන්නේ නැති නිසා වෙන්න ඇති. සාධාරනයිනේ. කවුරුත් මිනිස්සු නේ. ඒත් ඒ දරුවන් ඔවුන් හැකි පමණ ඉහළින් ම බලා ගන්නවා.
ළමා නිවාසය තුල අඩුපාඩු ඕන තරම් ඇති. එහෙත් සියල්ල සැලකු විට මේ අය කරන දේ ගැන මට ඉහල ප්‍රසාදයක් තියෙන්නේ. අනාගමිකයෙකු වූ පමණින්, තවත් ආගමක් වගේ ලෝකේ ඉන්න වෙනත් අනාගමිකයන් අනුව යමින්, ඔන්න ඔහේ කළලය කපලා දාන්න කියා කියන්න මට බැහැ. අන්තවාදී ආගමිකයන් වන මේ ආයතනය සමග මා මෙතැනදී එකඟයි. තියරි දාහකට වඩා එක ප්‍රායෝගික සැලසුමක් වටින බවයි මට හිතෙන්නේ.
හැකි වුනොත් නැවත මේ අය ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගොල්ලන් ඉල්ලා හිටියේ තෑගී එපා හැකි වෙලාවක නැවත ඇවිත් ඒ දරුවන් එක්ක මොහොතක් බෙදා ගන්න කියලා. ඒ වෙනුවෙන් මොනවා හරි කරන්න හිතා ගෙනයි අපි ඉන්නේ.
[ලියන්න හිතා ගෙන උන්නු දෙයක් මුහුණු පොත් සටහනක් තුලින් අවුස්සා දුන් රවිෂ තිලකවර්ධනට ස්තුතිය]